ලංකාවේ මිනිස් ජීවිත පිළිබඳව වන වටිනාකම “ජීවත්වීම” යන කොටුවට කොටුවූ පසු චක්‍රයක් ලෙස

එකතැන පල්වීම සාමාන්‍යකරනය වී ඇත.

ඉන් අදහස් වන්නේ දේශපාලනය වනාහි මනුෂ්‍ය සම්බන්ධතා නව ආකාරයකින් ව්‍යුහගත කිරීමෙන් ඉවත් වී ඇති බවයි. එය ඉටුකරමින් සිටින්නේ ප්‍රාග්ධනය විසිනි.

උදාහරනයකට මහාමාර්ග භාවිතා කරන රියදුරන් හෝ පදිකයන් ශික්ෂණය ලබන්නේ පවත්නා නීති, රීති අනුව නොව ප්‍රාග්ධන තර්කනය අනුවය. පුද්ගලික බස් රථ රියදුරෙකුට මාර්ග නීති වැඩක් නැත. ඔහු ලාභය එකතු කල යුතුය. පදිකයකුට මාර්ග නීති වැඩක් නැත. ඕනෑම ස්ථානයකි පාර හරහා පැන තමන්ගේ අවශ්‍යතාව ඉටු කරගත යුතුය.‍ සිය පුද්ගලික ජීවිතය සමාජයට වඩා විශාල වනවා යනු මෙහි දාර්ශනික අදහසයි. රාජ්‍යය අපේ ජීවිත කෙරෙහි මැදිහත් විය යුත්තේ මෙතැනටය.

පාස්කු ඉරුදින ත්‍රස්ත්‍ර ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාද හරහා මේ මැදිහත් වීමේ කලාපය කොතරම් පුද්ගල කේන්ද්‍රීය වී ඇත්දැයි කල්පනා කිරීම වැදගත් ය.

 

ඕනෑම රාජ්‍යයක් තුල ඔත්තු සේවාවක් බිහිවන්නේ එකී රාජ්‍යයේ මූලික ව්‍යවස්ථාපිත පැවැත්ම ඊට පිටින් සිට සහතික කිරීම සඳහාය. වෙනත් වචන වලින් කියන්නේනම් බුද්ධි අංශයක් ක්‍රියාත්මක වෙන්නේ මූලික මිනිස් අයිතිවාසිකම් ඇතුලු ව්‍යවස්ථාපිත නීති රාමුව තුල නොවේ. ඒවාහි සීමාකිරීම් පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණය හා ත්‍රිවිධ හමුදාවන් කරා බලපැවැත්වුවද ඔත්තු සේවා ඉන් බාහිරව පිහිටා තිබේ. මෙය බොහෝ දෙනෙකුට තිත්ත කසායක් වන්නේ මෙහිදීය.

 

උදාහරනයකට පසුගියදා කැනඩාවේදී ඝාතනය වූ සීක් ජාතික නායකයා පිළිබඳව සිද්ධියේ චෝදනාත්මක ඇඟිල්ල RAW වෙත එල්ල වී තිබේ. කුමන චෝදනාවක් එල්ල වුවද අවසාන අර්ථයෙන් ඉන්දියානු රාජ්‍ය ආරක්ෂා කිරීමේ කාර්‍යය රෝ සංවිධානය විසින් ඉටුකර ඇත. ඇමෙරිකානු CIA හෝ ඊශ්‍රායල් මොසාඩ් ඔත්තු සේවාහි කාර්‍ය සාධන මට්ටමට රෝ’ව ලගා වී තිබීම පිළිබඳව අපි තියුණු ලෙස සලකා බැලිය යුතුය. නමුත් ඊට පෙර විසදාගත යුතු ගැටලු අපිට තිබේ.

 

පාර්ලිමේන්තු විවාදයේදී දකින්නට ලැබුනු ප්‍රධානම දෙයනම් ඔත්තු සේවාව පිළිබඳව අපේ මහජන නියෝජිතයන් දරන්නා වූ නොදැනුම කොපමණද යන්නයි. ප්‍රසිද්ධ කරනු ලැබූ මේ විවාදය හරහා ආන්ඩුව මෙන්ම විපක්ෂයද ආරක්ෂක ව්‍යුහය සම්බන්ධයෙන් ඇති අවබෝධයේ රෙදි ගලවාගෙන ඇත.

 

තම තමන්ගේ දේශපාලනික පක්ෂපාතීත්වය අනුව ඒ පාර්ලිමේන්තු කතා උත්කර්ශවත් කලද එහි ඇති ඛේදනීය තත්ත්වය අතිශයින් බැරෑරුම් ය. මෙය ඔත්තු සේවා පිළිබඳව පුහුණුවක් ලැබූ හා ඒවායෙහි සේවය කරනා පුද්ගලයින් ඉන් අකර්මන්‍යකරනවා සුලු වීමේ විභවයක් සහිතය.

ලාංකීය රාජ්‍ය ආරක්ෂා කිරීම යනු එහි පුලුල් අර්ථයෙන් රාජත්‍රාන්ත්‍රිකබාවයට එහා ගිය කාර්‍යයක් බව මේ පාර්ලිමේන්තුවේ බොහෝ දෙනෙකු නොදනිති. බාහිර තර්ජනයන් හෝ අභ්‍යන්තර තර්ජනයන් සම්බන්ධයෙන් පුරෝකතනය කිරීම මේ යුගයේදී අසීරු ය.

සමකාලීන මනුෂ්‍යාගේ මානසික ව්‍යුහය සකස් වෙන්නේ පවතින සමාජ ක්‍රමයේ පරාරෝපිතයක් ලෙසිනි. ඒවාට ජාති, ආගම්, කුල, ඇදහිලි, පුදපූජා ආදිය මිශ්‍ර වූ විට බිහිවන්නේ පරාජිත හා පලිගන්නා සුලු ආත්මබාවයකි.

මේ පුද්ගලික ව්‍යුහාත්මක වෙනස සමාජයක් මත පටවා ඇතිවිට ඉන් ගම්‍ය වන අදහසනම් අපි සියලුම දෙනාගේ ජීවිත අනාරක්ෂිත හා අනතුරක් සදහා විවෘත බවයි. ඒවා දේශපාලනික ඇජෙන්ඩා මත ත්‍රීව්‍රකිරීමට යමෙක් සමත්වෙතොත් ඊට එරෙහිව රාජ්‍ය ක්‍රියාකළ යුතු සේම එහිලා බුද්ධි අංශ වල කාර්‍යය වැදගත් කමක් උසුලයි.

ඔත්තු සේවා වල රහසිගතබාවය පිළිබඳව ඇති වැදගත්කම වන්නේ සිය මුහුණු නිරාවරණය වීම හරහා මේ තර්ජනයන් මොට කිරීමේ යාන්ත්‍රනය දියාරු වීම හා ඒ තර්ජනයන් සිය පුද්ගලික ජීවිතවලට පවා ආසන්න වීමයි. තාක්ෂණය භාවිතා කිරීම් අසමත් වීම් නැවත නිවැරදි කිරීමට හැකි වුවද මිනිස් සම්පත් එසේ නැවත නිවැරදි කිරීමට හැකි වන්නේ නැත. කැනඩා සිද්ධියේදී ඉන්දියානු රජයේ ක්‍රියාමාර්ග රෝ’හි අනාගතය තීන්දු කරනු ඇත.

සහරාන් ප්‍රමුඛ ත්‍රස්ත්‍ර කල්ලියේ පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ආ චෝදනාවක් වූයේ මේ කණ්ඩායම සදහා මුදල් වෙන්කිරීමක් රාජ්‍ය පැත්තෙන් සිදුවී ඇති බවයි.
මෙය විවාද සම්පන්න තත්ත්වයකි. නමුත් ඔත්තු සේවා සදහා මුදල් වෙන් කිරීම ආරක්ෂක අමාත්‍යාංශය සතු “රහසිගත ගිනුමක්” මගින් ඉටුකිරීම පිළිගත් ක්‍රමවේදයකි. මේ මුදල් වියදම් කල ආකාරය පිළිබඳව පාර්ලිමේන්තුවට හෝ සම්ප්‍රදායික වාර්ෂික විගනනයන් හරහා හෝ පරීක්ෂා කිරීමේ සීමා කිරීම් තිබේ. ඉන් මේ මුදල් වියදම් කරන ලද මූලාශ්‍ර වල රහස්‍යබාවය ආරක්ෂා කිරීම අවසාන අරමුණයි.

නැගෙනහිරදී මුස්ලිම් ජනතාවගේ කැමැත්ත හෝ සහය එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙතින් දුරස්ථකිරීමේ උපායමාර්ගය අතීතයේ සිට භාවිතා කෙරී ඇත. එය ආගමික වශයෙන් මුස්ලිම් ප්‍රජාවට නිදහසේ වර්ධනය වීමේ ඉඩප්‍රස්තා ඇතිකළ අතර වෙළඳ ප්‍රජාවක් ලෙස ඒකාධිකාරයක් පවත්වාගැනීමටද ඇති හැකියාව වර්ධනය කර ඇත. එක් අතෙකින් ඊට එල්.ටී.ටී.ඊ.ය දක්වන ලද ප්‍රතිචාර ඉතා නරක අන්ත දක්වා ගමන් කරද ඇත. කාන්තක්කුඩි මුස්ලිම් පල්ලිය වෙත එල්ලවූ ප්‍රහාරය එවැනි ම්ලේච්ජ ප්‍රතිචාරයකි. නැගෙනහිරදී කරුනා අම්මාන්ගේ බිදීයාමෙන් පසු ඇතිවූ තත්ත්වයේදී කරුනා අම්මාන් හා බිදීගිය කාඩරය මුස්ලිම් දේශපාලනය හා ගනුදෙනු කල ආකාරය පිළිබඳව ඇත්තේ විස්මයකි.

කරුනා අම්මාන් රැකගැනීම සදහා මුස්ලිම් දේශපාලඥයින්ගේ කැපවීම කුතුහලය ජනනය කරන සුළුය. එය සිය ජීවිතවල තර්ජනය ඉවත්කිරීම පිළිබඳව ප්‍රතිඋපකාරයක් විය හැකි වුවද දෙපාර්ශවයේ අවබෝධය හොදින් ගැලපීම කල්පනා කල යුතු තත්ත්වයකි.

නැගෙනහිර බලය පවත්වාගැනීම අවසාන සිවිල් යුද්ධයේදී වැදගත් කම අතින් ඉතා ඉහල අගයක් ගන්නා මූලෝපායකි. වන්නිය වටකෙරෑ විට නැගෙනහිරින් එල්ලවන තර්ජනය අවම කිරීමෙන් පෙරමුණු අක්ෂ දෙකක සටන් කිරීමට මිල්ටරියට සිදුවීම වලක්වාලනු ලැබීය.

 

ඒ සදහා ගෙවූ මිල හා සහරාන්ලා වෙනුවෙන් කරනු ලැබූ ගෙවීම් සමපාත වියහැකි අවස්ථා ඇත්තේනම් එහි රහසිගතබාවය ආරක්ෂා කිරීම පිළිබඳව මෙම ලේඛකයා ප්‍රශ්න නොකරයි. එය දේශපාලඥයින්ද උගත යුතුය. සිවිල් යුද්දයෙන් පසු වුවද එල්.ටී.ටී.ඊ.එකට එරෙහිව කටයුතු කල නැගෙනහිර මුස්ලිම්වරු රැක ගැනීම රාජ්‍යයේ කාර්‍යයක් වූවානම් එයද මට ගැටලුවක් නැත. නමුත් ඇෆ්ගනිස්ථානයේදී රුසියානු බලය මැඩලීම පිනිස ඇමෙරිකානු CIA විසින් බලගැන්වූ මුස්ලිම් මූලධර්මවාදය පෙරලා පහර දුන්නේ ඇමෙරිකාවට බවද සිහියේ තබාගත්තේදැයි ගැටලුවකි.

 

තවත් වැදගත් කරුනක්ද මෙතනදී මතක් කල යුතුය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරව සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට අනුව පාස්කු ප්‍රහාරයේ විමර්ශනයේදී එහි ඇතැම් මූලාශ්‍ර වලට ළඟාවීම බුද්ධි අංශය (SIS ) විසින් වැලැක්වූ බව කියා තිබේ.

මම මීට පෙර ලිපියකද මේ පිළිබඳ කරුනු දක්වා ඇත. සාමාන්‍ය අපරාධයක් විමර්ශනය කරනා ආකාරයෙන් සිදුකරනු ලබන විමර්ශනයකදී ඒ තුල ඇති ඕනෑම මූලාශ්‍රයක් වෙත ලගාවීමේ හැකියාව විමර්ශකයන් සතුය. එය අධිකරණ ක්‍රියාවලියකදී “සාධාරණ සැකයෙන් ඔබ්බට” ගොස් එකී අපරාධය ඔප්පු කිරීමේ හැකියාව විමර්ශකයන්ට ලබාදෙයි. නමුත් බුද්ධි අංශ පිළිබඳව කරන විමර්ශනයකදී එසේ නොවේ. මූලාශ්‍ර කෙරෙහි ලගා වීම හරහා ඒවා තුල ක්‍රියාත්මක ඇතැම් රහසිගත කරුනු නිරාවරණය වීම හානිදායකය. ඒවා තුල කටයුතු කිරීමේ පුහුණුවක් හෝ ශික්ෂණයක් විමර්ශකයන් තුල තිබුනාදැයි සැකසහිතය. එහි තුලනයක් ඇති කිරීම හෝ ඒවා එකට යා කරන යාන්ත්‍රනයක් අපේ නැත. සිදුවන්නේ සීමාකිරීම් පුද්ගලික මට්ටමෙන් ගෙන මාධ්‍ය මත දිගහැරීම හරහා ඒවා විකාර සහගත කිරීමයි.

 

පාස්කු ප්‍රහාරය පිළිබඳව පුලුල් චිත්‍රය වඩ, වඩා ගමන් කරන්නේ එකී සිද්ධියට පාදකවන්නා වූ මූලික සිද්ධාන්ත පිළිබඳව නොදැනුම අයිති ප්‍රදේශයටය. පාර්ලිමේන්තුව තුලද එහි සෙවනැලි මනාව පිලිඹිමු විය. ප්‍රහාරයේ කාර්‍ය සාධනය පිළිබඳව ඒවටා ගෙතී ඇති කතාන්දර හරහා කොමඩියක් තත්ත්වයට ගමන් කරමින් තිබේ. මුලින් කීවා සේ මිනිස් ජීවිත පිළිබඳව වටිනාකම ලංකාව තුල කුනු කූඩයට වීසිකර ඇත. රාජ්‍යය දිය කිරීම වෙනුවෙන් ගෙවන ලබන වන්දිය වෙනුවට එය වඩා ශක්තිමත් ලෙස වර්ධනය කිරීමකින් මෙපිට මේ ගැටලු සදහා පිලිතුරු නැත.

 

බටහිරදී මිනිස් සම්බන්ධතා දේශපාලනික මුහුණුවරකින් නැවත ව්‍යුහගත කිරීම හරහා රාජ්‍යය බිහිකරගෙන ඇති මුත් ලාංකීය අපිට එය ආගන්තුකය. අපේ දේශපාලනය තවමත් ඇත්තේ පසුගාමී චින්තනයක් තුලය. ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා සහ මෛත්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තුව තුල පෙන්වූයේ අපේ දේශපාලනික මුහුනුවරේ ඇති දිලිදුකමයි.

(carbonnews.lk)

 

carbonnews සබැඳි ලිපි :

ආරක්ෂක ව්‍යුහයේ හිඩැස් ; හිනාවෙන සර්පයන් අතර තරගය… (3 වෙනි කොටස)

ආරක්ෂක ව්‍යුහයේ හිඩැස් ; හිනාවෙන සර්පයින් අතර තරගය.. (2 වෙනි කොටස)

ආරක්ෂක ව්‍යුහයේ හිඩැස් ; හිනාවෙන සර්පයන් අතර තරගය

ජාතික ආරක්ෂාව, රාජ්‍ය සහ බුද්ධි අංශය ; ගල් ගහන ගස කාගේද ?

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්