2021 පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත්‍ර ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාවේ

වැඩසටහන සමග පැමිනි හා- හෝවේ උණුසුම පහව ගොස් නැත.

එය එක් අතෙකින් රාජපක්ෂවරුන් පිළිබඳව ඇති වෛරී සහගතබාවය ප්‍රකට කරන අතරම අනෙක් පසින් බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ වල ක්‍රියාකාරිත්වය පිළිබඳව ඇති ගැටලුත්, ලංකාවේ ආරක්ෂක අංශ රාජපක්ෂවරු සමග දැක්වූ ඇගෑලුම් කමත් පිළිබඳව ගැටලුත් මතුකරයි.


නමුත් මෙහි ඇති මූලික ව්‍යුහාත්මක තත්ත්වය පිළිබඳව සමාලෝචනයක් කෙරෙන්නේ නැතුවාක් මෙන්ම ඒ පිළිබඳව වන සංවාදයක්ද ඇති නොවෙයි. ඊට හේතු කාරනා බොහොමයක් තිබේ. මේවා අතර ඇති මේ සම්බන්ධතා පිළිබඳව කිරා බැලීමක් සිදුවී නැත. මේ උත්සාහය ඒ පිළිබඳව යම්කිසි කතිකාවක් ඇති කිරීමයි.


ආරක්ෂක අංශ වල ක්‍රියාකාරිත්වය

ලංකාවේ බොහෝ දෙනෙකු අපේ රටේ ආරක්ෂක අංශයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව මතුපිටට ගෙනෙනා ප්‍රශ්න වල මූලය නිරන්තරයෙන් මගහරී. ඊට හේතුවන වෙනස් කම් හෝ ව්‍යුහාත්මක සැකසුම් පිළිබඳව ඇත්තේ අදහසක් නැති අදහසකි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් පිහිටුවා ස්ථාපිත කරන ලද ලංකාවේ ත්‍රිවිධ හමුදා සහ පොලීසිය පිළිබඳව වන සැකසුම වෙනස් වූයේ නම් එය සිදුකිරීමට අවශ්‍ය පසුබිම සැකසෙන්නේ උතුරේ ද්‍රවිඩ සන්නද්ධ නැගිටීම් වලට සාපේක්ෂව විනා, අපේම වූ ක්‍රමෝපායන් වල දියුණුවක් නිසා නොවේ.

උදාහරනයකට සැප්තැම්බර් 3 වෙනිදා සිය 157 වෙනි උපන් දිනය සමරන ශ්‍රී ලංකා පොලීසිය තවම පාලනය වෙන්නේ බ්‍රිතාන්‍යයන් විසින් හදුන්වා දුන් පොලිස් දෙපාර්තමේන්තු නියෝග (DO) හා පොලිස් ආඥා පනත අනුවය. නිදහසින් පසු වසර 74 ක් ගෙවී ඇති මුත් එහි ඇති මේ මූලික පරිපාලන ආකෘතියවත් වෙනස් කරගනීමට අපි අපොහොසත් වී ඇත.

අනෙක් පසින් ලංකාවේ ත්‍රිවිධ හමුදාව යනු උත්සව අවස්ථාවන් සදහා සැකසුණු “සෙරමෝනියල් ආමි” එකක් පමනක් වීමෙන් ඛන්ඩනය වීමට හේතු තිබේ. 1971 අප්‍රේල් වල දියත් වූ ජනතා විමුක්ති පෙරමුනේ පලමු කැරැල්ල නිදහසින් පසු ලංකාවේ ආරක්ෂක අංශ මුහුණ දුන් ප්‍රථම අභියෝගයයි. සිය ස්වයං චරිතාපදානය ලියන ජෙනරාල් සිරිල් රනතුංග විසින් 71 කැරැල්ලේදී හමුදාව මුහුණ දුන් අභියෝග මොනවට පැහැදිලි කරදී තිබේ. සංවිධානාත්මක බාවයෙන් තොර ආයුධ හෝ යුධ ශිල්පීය ක්‍රම වලින් නොදියුණු එවැනි කැරැල්ලක් මර්ධනය පිනිස හමුදාව යෙදූ උපක්‍රම මෙන්ම එහි මිල්ටරිමය සැලසුම්ද සමකාලීනව බලද්දී හිනා යන සුළුය. නමුත් 80 දශකය ඇරඹීමත් සමග එය එසේ වන්නේ නැත.

80’දශකයේ ආරම්භ වූ උතුරේ දෙමල ගරිල්ලා ව්‍යාපාර හරහා ලංකාවේ රාජ්‍ය වෙත දැඩි පීඩනයක් එල්ලවෙන විට එහි බලපෑමට ආරක්ෂ අංශ ගොදුරු වීම අනිවාර්‍ය ඵ්ලයකි. 1983 ජූලි 12 ඇරඹි පලමුවෙනි මහා පරිමාණ පහරදීමෙන් පසු (තිරුනෙල්වේලි,හිදී කරනු ලැබූ මෙම පහරදීමෙන් දෙවෙනි ලුතිනන් වාස් ගුණවර්ධන ඇතුලු සෙබලුන් 13 මියයන අතර කුප්‍රකට කලු ජූලිය ඇරඹෙන්නේ මින් පසුවය) හමුදා බැරැක්ක වලට කොටුවෙන අතර 1987 වන විට යාපනය අර්ධද්වීපයේ පාලනය දරන්නේ දෙමල LTTE ගරිල්ලා සංවිධාන විසිනි. තවදුරටත් සම්ප්‍රදායික යුධහමුදා මූලෝපායන් විසින් තත්ත්වය පාලනය කිරීම ගිලිහී යන මේ 80′ දශකයේ සම්ප්‍රදායන්ට අභියෝගය එන්නේ හා එය ව්‍යුහාත්මක ලෙස වෙනස් කරන්නේ රාජ්‍ය විසින්ම නොවේ.

Maj Gen G Hettiarachchiවිශ්‍රාමික මේජර් ජනරාල් හෙට්ටිආරච්චි

1985 දී එවකට කපිතාන් වරයෙකු වූ ගාමිණී හෙට්ටිආරචි (මේජර් ජෙනරාල්වරයෙකු ලෙස විශ්‍රාම යන අතර Father of SF යනුවෙන් හඳුන්වයි, විශේෂ බලකායේ නිර්මාතෘවරයා මොහුය.) හා ලුතිනන් වරයෙකු වූ ෆස්ලි ලාෆීර් (1996 මුලතිව් සටනේදී මියයයි) විසින් කම්බැට් ට්‍රැකර් ටීම් යනුවෙන් 35 දෙනෙකුගෙන් සමන්විත ප්‍රථම කුඩා ප්‍රහාරක හමුදා භට කණ්ඩායම වවුනියාවේදී ස්ථාපිත කරන අතර එය ලංකාවේ හමුදා ප්‍රහාර පිළිබඳව වන සම්ප්‍රදායික මූලෝපායන්ගේ වෙනස් වීම ලකුනු කරයි.

මෙහි අදහසනම් ලංකාවේ ආරක්ෂක ව්‍යුහයෙහි දේශපාලන නායකත්වය හෙබවූ ලලිත් ඇතුලත්මුදලිගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා වන පදාසය කිසිම ආකාරයකින් මේ සංග්‍රාමික මිල්ටරි ව්‍යුහයන් පිළිබඳව හැදෑරෑ හෝ ඒවා පිළිබඳව වැටහීමක් තිබූ අය නොවීමයි.



LTTE පාලන ප්‍රදේශ වලට ඇතුලුව ප්‍රහාර එල්ල කල හැකි LRRP නොහොත් දිග දුර විමර්ශන කණ්ඩායම් පවා බිහිවන්නේ හමුදාවේ නිලධාරීන් තුල තිබූ අප්‍රහිත ධෛර්‍යය නිසා මිස රාජ්‍ය ප්‍රතිපත්තිවල දිගුවක් නිසා නොවේ. කර්නල් රාජ් විජේසිරි විසින් LRRP කණ්ඩායම් පිළිබඳ සංකල්පය හදුන්වා දෙන විට ඒ සඳහා රාජ්‍ය මැදිහත් වීම තිබෙන්නේ ඉතා කුඩා ස්ථානයකය. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් හමුදාමය ජයග්‍රහණ වල උරුමය තමන්ගේ අතේ තබාගැනීමට උත්සාහ කිරීම පිටුපසද මේ ගැටලුව තිබේ.



LTTE විසින් මුලතිව් හා තොප්පිගල ආශ්‍රිතව පිහිටුවා තිබූ උතුරු අක්ෂය හා නැගෙනහිර අක්ෂයේ සටන් මූල කදවුරු හරහා පීඩනයට ලක්කරන්නේ අදාල පලාත්ම පමනක් නොවේ ඒවා නැගෙනහිර හා උතුරු මැද පලාත් වල හමුදාවේ සැපයුම් මාර්ග දක්වා දිගුවෙයි. පදවිය, කැබිතිගොල්ලෑව, තන්තිරිමලේ, හොරොව්පොතාන, වැලිකන්ද, අරලගංවිල වැනි උතුරු මැද පලාත් වලටද, ත්‍රිකුණාමලය හා මඩකලපුවේත්, අම්පාරේත් සීමා වල කෙලවර දක්වාමත් ඒම ප්‍රහාර දිගුවෙයි.

කුඩා ප්‍රහාරක කණ්ඩායම් හරහා මේ යුධ ත්‍රීව්‍රතාවයත් එහි ගම්‍යතාවයත් රදවා ගැනීමට LTTE ය කටයුතු කරද්දී ආරක්ෂක අංශ මේ සීමා ආරක්ෂා කිරීම දක්වා පසුබසී. මෙහි ප්‍රති-සටන් ව්‍යුහය LTTE සංවිධානයට මුන ගැසෙන්නේ මේ LRRP කණ්ඩායම් හරහාය. අක්කරායන්කුලම් හා කිලිනොච්චි අතර මාර්ගයේ මැද දී මුහුදු කොටි අංශයේ දෙවැනියා වූ ගංගන් අමරන් විනාශ කරමින් එල්ලවන ප්‍රහාරය හරහා හමුදාවේ මිල්ටරි අඩුදඩු LTTE සැපයුම් සීමාවන් වෙත දිගුකිරීමට හමුදාව සමත් වෙන අතර එහි පලමු ආරම්භකයා LTTE සංවිධානය බව අපි අමතක කරයි.



මට මින් කියන්නට අවශ්‍ය වන්නේ හමුදාවන් වල ක්‍රමෝපායික මිල්ටරි ව්‍යුහය සකස් වෙන්නේ LTTE ය අනෙකා කරගෙන බවයි. LTTE ය නොවන්නට අපේ රාජ්‍ය හමුදාවන් සෙරමෝනියල් තත්ත්වයෙන් වෘත්තීමය හමුදාවන්ගේ තත්ත්වයට ගමන් කිරීම පිළිබඳව වෙනත් පූර්වාදර්ශ නැත.



නාවික හෝ ගුවන් හමුදා වලද තත්ත්වය මීට වෙනස් නැත. ඒවා දියුණු වෙන්නේද අලුත් මිල්ටරිම සැකසුම් සකස් වෙන්නේද LTTE යට සාපේක්ෂවය. SBS නොගොත් විශේෂ යාත්‍රා බලගනය වැනි කුඩා අධිබලති අවුරෝ නැමති බෝට්ටු මත ක්‍රියාත්මක කණ්ඩායම් බිහිවන්නේ මුහුදු කොටින්ගේ ක්‍රියාකාරිත්වයට ප්‍රති-එරෙහි වීමක් වශයෙනි.

තමන් විසින් ඉතාමත් ගරුකරන කොටි සාමාජිකයන් අතර මුහුදු කොටින්ගේ දෙවැනියා වූ ගංගන් අමරන් සිටින බව රිය අද්මිරාල් රවී විජේගුනරත්න කියන්නේ නිකං නොවේ. ගංගන් අමරන් ත්‍රිකුණාමලය නේවි බේස් එක තුලම කල විනාශකාරී මෙහෙයුම් වල දෝංකාරය එහි තිබේ.

ගුවන් හමුදාවද සිය වර්ධනයන් අත්පත් කරගන්නේ මින් පරිබාහිරව නොවේ. බෙල් 212 හෝ 412 හෙලිකොප්ටර් වල සිට MI17 හා කෆීර්, මිග් වැනි ප්‍රහාරක යානා දක්වා ඒවා දියුණු වෙන්නේ LTTE යේ ගුවන් බලයට ප්‍රති-බලයක් ලෙසින් අපි වටහා ගත යුතුය. ඇන්ටනොව් වැනි යානා වලට ගුවනේදී පහරදී විනාශ කිරීමේ හැකියාවත් කුඩා ගුවන් යානා කිහිපයක් උපයෝගී කරගෙන කොලඹ දක්වා එල්ලවූ LTTE ගුවන් බලයත් නිසා ගුවන් හමුදාව සිය ගුවනේ තිබිය යුතු ආධිපත්‍ය ගිලිහී යාම රැකගත්තේ අසීරැවෙනි. දකුනු අප්‍රිකානු ගුවන් නියමුවන්ගේ සිට ලාංකික ගුවන් නියමුවන් ප්‍රහාර සදහා පුහුණු කිරීම දක්වා වන පරාසය ඇති වන්නේ මේ පීඩනයට එරෙහිව වන විට ඒ සදහා බාධා කිරීම් ඕනාවටත් වඩා සිදුවී ඇත.



මගේ මූලික තර්කය වන්නේ තමා අභිමුඛව ප්‍රබල සතුරෙකු සිටින විට ඊට එරෙහි සටනේ ජයග්‍රහණය ඇතිවන්නේ සතුරා පිළිබඳව වන නිශ්චිත තක්සේරුවකින් හා ඒ සතුරාගේ උපක්‍රමික මූලෝපායන් අතික්‍රමනයකින් විය යුතු බවයි .LTTE සංවිධානයේ මිල්ටරි මූලෝපායන් වර්ධනය වූයේ රාජ්‍ය හමුදාවන්ගේ ප්‍රබලත්වය නිසාම නොවෙතත්, රාජ්‍ය හමුදාවන්ගේ මිල්ටරි මූලෝපායන් වර්ධනය වූයේ LTTE යේ ප්‍රබලත්වය මතය. මේ මිල්ටරි අක්ෂ දෙකෙහි සමාන අවස්ථාව 2000 දී අලිමංකඩ 54 වෙනි සේනාංකයේ පසුබැසීමෙන් පසු යාපනය අර්ධද්වීපය වැටලීමෙන් අතිපිහිත වූ අතර ඉන් ඉදිරියට යාමට රාජ්‍ය හමුදාවන් වල තිබූ හැකියාව භූ-දේශපාලනික උවමනාවන් හා මිශ්‍රණය වීමෙන් 2009 දී සිවිල් යුධ ගැටුම අවසන් විය. LTTE සංවිධානයේ පීක් එක 2001 දී ලකුනු වෙන අතර ඉන් ඉගෙන ගත් පාඩම් මත ප්‍රතිව්‍යුහගත වූ රාජ්‍ය හමුදාවන් මින් ජයග්‍රනය ලැබීය.




බුද්ධි අංශයේ ක්‍රියාකාරිත්වය

බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසින් ලංකාවට ත්‍රිවිධ හමුදා හා පොලිස් යාන්ත්‍රනයක් සකස් කරදුන් මුත් එහි බුද්ධි අංශ වල යාන්ත්‍රනයක් වූයේ නැත. මූලිකව ලංකාවේ බුද්ධි අංශවල බිහිවීම පිළිබඳව අතීත මූලාශ්‍ර බහුල නැත. ඒවා පවතියාදැයි හෝ රහසිගත ආකාරයෙන් ක්‍රියාත්මක වූවාදැයි අපැහැදිලි මුත් 80 දශකයේ මුල ජාතික බුද්ධි කාර්‍ය්ංශය (NIB) පොලීසියට අනුබද්දව බිහිවෙයි.

ලංකා රාජ්‍යයේ බුද්ධි අංශ වර්ධනය මෙන්ම විකාශනයද අදාල වන්නේ රටේ අභ්‍යන්තරික ආරක්ෂාව තහවුරු කිරීම පිනිස වීම අනිවාර්‍යතාවයක් වන්නේ එය බාහිර ලෝකය කෙරෙහි විවෘත කිරීමේ සම්පත් පිළිබඳව ඇති දුගී කම නිසාය.

xgdsfgfdg

ඇමෙරිකාව වැනි රාජ්‍යයක් සිය අභ්‍යන්තරික ආරක්ෂාව පිනිස ජාතික ආරක්ෂක ඒජන්සිය (NSA) පිහිටුවා ඇතිවිට මධ්‍යම බුද්ධි ඒජන්සිය (CIA) පිහිටුවා ඇත්තේ බාහිර තර්ජනයන්ගෙන් ඇමෙරිකානු රාජ්‍ය ආරක්ෂා කරගැනීමටය. ඊට අනුදත්ව ලංකාව තුලද 21 වෙනි ශතවර්ෂයේ මැද ජාතික බුද්ධි සේවය (NIS) පිහිටවූ අතර ඉන් තහවුරු කරවූයේ ලාංකික රාජ්‍යයේ අභ්‍යන්තර ආරක්ෂාවයි. එය පොලීසියේ වගකීම්භාරයට පැවරුනු අතර NIS හි අධ්‍යක්ෂවරයා වූ නියෝජ්‍ය් පොලිස්පතිවරයා, පොලිස්පති වෙත වගකියයුතු විය.

නමුත් රාජ්‍ය බුද්ධි සේවය (SIS) පිහිටුවාලූයේ බාහිරින් එන තර්ජනයන් පිළිබඳව හදුනාගැනීමට හා විදේශීය බුද්ධි අංශ සමග කටයුතු කිරීමත් ලබා ගන්නා බුද්ධි තොරතුරු කෙලින්ම ජනාධිපතිවරයාට වාර්තා කිරීමත් පෙරදැරිවය. SIS කෙලින්ම ජනාධිපතිවරයාට වගකිවයුතු වීම යන කරුනෙන් අදහස් වූයේ SIS හි අධ්‍යක්ෂවරයා සිය බුද්ධි තොරතුරු පිළිබඳව ආසන්න දැනුම් දෙන්නා වන්නේ ජනාධිපති බවයි. ඒ අනුව අතිශයින්ම සංවේදී වූ කාරනා පිළිබඳව ජනාධිපතිවරයා ඕනෑම මොහොතක දැනුවත් විය යුතු අතර එහි වගකීමද දැරිය යුතුය.

ලංකාවේ පැරණි බුද්ධි අංශ ආකෘතියේ පාලනය (NIB) පොලීසිය දැරුවද 87-89 යුගයේ ජ.වි.පෙ.කැරැල්ලත් ඊට පසු ත්‍රීව්‍ර වූ උතුරේ සිවිල් යුද ගැටුමත් නිසා ත්‍රිවිද හමුදා විසින්ද බුද්ධි අංශ නඩත්තු කලේය. එපමනක් නොව පොලිස් විශේෂ කාර්‍ය බලකාය (STF) පවා තමන්ගේ වූ බුද්ධි අංශයක් නඩත්තු කලේය. මින් සිදු වූයේ ලැබෙන තොරතුරු පරස්පර වීමත් ඇතැම් තොරතුරු එක් අංශයකට පමනක් සීමා වීමත් තම, තමන්ගේ පුද්ගලික තොරතුරුකරුවන් ආරක්ෂා කිරීම පිනිස වන ගැටලු වලට මුහුණ පෑමත් ය.


dsgwtමේජර් ජෙනරාල් හෙන්දවිතාරන


මේ පිළිබඳව අවධානය යොමුකළ හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම සියලුම බුද්ධි අංශ එකට එකතු කරමින් රාජ්‍ය බුද්ධි සේවාව (SIS) ආරම්භ කල අතර එහි අණදීම මේජර් ජෙනරාල් හෙන්දවිතාරන වෙත පැවරුවේය. එයින් ඉතා හොද ප්‍රතිඵල ලබාගැනීමට හැකිවූ අතර එහිලා ක්‍රියාත්මක වූ මෙහෙයුම් වල රහසිගතබාවයද ආරක්ෂා කිරීමට එය සමත් වූහ.

නමුත් මෙහිලා සදහන් කලයුතු වැදගත් කාරනා කිහිපයක්ද තිබේ.



ලංකාවේ බුද්ධි අංශ වල ක්‍රියාකාරිත්වය වීරත්වයට නැංවෙන කතා අසා තිබුනද ඒවා යථාර්ථය හා සමපාත නැත. 1993 මැයි 01 දා දහවල් ලංකාවේ ජනාධිපති වූ රනසිංහ ප්‍රේමදාසව ඝාතනය වූ අතර එය LTTE යෙහි මනා ලෙස සැලසුම් කල ප්‍රහාරයක් බවට සැක නැත. ප්‍රේමදාසගේ අතේවාසිකයා වූ මොහිදීන් නැමැති පුද්ගලයා හරහා බාබු නැමැති LTTE මරාගෙන මැරෙන බෝම්බකරු සමීප සබඳතාවයක් ගොඩනගා ගන්නා අතර එය ලංකාවේ බුද්ධි අංශ වලට හසුනොවීම ලැජ්ජා සහගත කාරණාවකි. එසේම කොළඹ ක්‍රියාත්මක මත්ද්‍රවය කාටාලය හා LTTE ය සමීප සම්බන්ධතා පවත්වාගත් අතර 1999 වර්ෂයේදී චන්ද්‍රිකා බන්ඩාරනායක මරාදැමීමට කොළඹ නගර සභා පිටියේදී ඔවුහූ උත්සාහ කලහ. අනූ නමයෙන් වැරදී ගිය ප්‍රහාරයේ මුල හොයාගෙන ගිය විමර්ශකයන්ට මෝදර කිඹුලා ඇල පදිංචි ගුනා නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුව අවශ්‍ය වූ නමුත් ඔහු ඒ වනවිටත් ඉන්දියාවට පලාගොස් තිබුනි.



මේ අවස්ථා දෙකේදීම ලංකා රාජ්‍යයේ බුද්ධි අංශය පරාජය කිරීමට LTTE ටොසී බුද්ධි අංශය සමත් වී තිබුනි. එපමණක් නොව ඉන්දියානු අගමැති රජීව් ගාන්ධි ඝාතනය පිනිස සිය කාඩර්වරුන් මෙහෙයවීමට පොට්ටු අම්මාන්ගේ ටොසී ඔත්තු සේවාව සමත් වී තිබූ අතර එහිදී ලංකාවේ බුද්ධි අංශ පමනක් නොව ඉන්දියානු බුද්ධි අංශයද (RAW) පරාජය කිරීමට ටොසී සමත්ව තිබුනි.

Pottu Ammanටොසී බුද්ධි සේවයට අණදුන් දුන් පොට්ටු අම්මාන්


මෙහි ඇති බැරෑරැම් වැදගත් කම නම් උතුරේ හා නැගෙනහිර පලාත් වල සිය බලකේන්ද්‍රය පවත්වා ගනිමින් ක්‍රියාත්මක වූ ගරිල්ලා ව්‍යාපාරයක් සිය බුද්ධි අංශය මෙතරම් ත්‍රීව්‍ර ලෙස සකස් කලේ කෙසේද යන්නයි. එහිදී තාක්ෂණික කාරනා වලට වඩා එහි වූ මානව සම්පත කලමනාකරනයෙහි දැක්වූ සමත් කම ඊර්ශ්‍යාව ජනනය කරන සුළුය. බාබු ඊට කදිම උදාහරණයකි. රාජ්‍යයේ ආරක්ෂක ව්‍යුහය සකස් කිරීමේදී LTTE හි යුද හැකියාව ඉමහත් සේවාවක් ඉටු කලා සේම රාජ්‍යයේ බුද්ධි අංශය සැකසීමේදීත් ටොසී බුද්ධි සේවාව ඉමහත් කාර්‍යයක් ඉටු කර ඇත. පොට්ටු අම්මාන් සිය සිරුර පවා ආරක්ෂක හමුදාවන්ට හසුවීමට ඉඩ තිබ්බේ නැත. එහි සංඥාව සංකීර්න ලෙස කියවා ගත යුතුය.


රාජ්‍ය බුද්ධි අංශ විදේශීය බුද්ධි සේවා සමග සහයෝගයෙන්..

එසේම 2009 අවසන් වූ සිවිල් යුධ ගැටුමේදී අපේ බුද්ධි අංශ විදේශීය බුද්ධි සේවා සමග සහයෝගයෙන් කටයුතු කල බවට උදාහරණ තිබේ. 2007 වර්ෂයේදී LTTE ය වෙත යුධ උපකරණ රැගෙන මුලතිව් බලා යාත්‍රා කරමින් තිබූ නෞකාවන් තුනක් ගැඹුරැ මුහුදේදී විනාශ කිරීමට නාවික හමුදාව සමත් වූ අතර එහි තොරතුර ලැබී තිබුනේ ඉන්දියානු රෝ ඔත්තු සේවය හරහාය. ජාත්‍යන්තර අවි-ආයුද ජාලය තුල ඔත්තු සේවා සැරිසැරීම සාමාන්‍ය කටයුත්තක් වුවත්, එවැන්නක් කිරීමේ හැකියාව අපේ බුද්ධි අංශ සතුවූයේ නැත. ඉන් අදහස් වෙන්නේ ජාත්‍යන්තර තලයේ ක්‍රියාත්මක ත්‍රස්ත්‍ර ජාලයන් තුලට රිංගා කටයුතු කිරීමට තරම් වූ “සම්පත්” අපිට නොවූ බවයි. ඒ නිසාම අපිට යැපීමට සිදු වූයේ විදේශීය බුද්ධි සේවා ජාලයන් මත පදනම්ව වීම ස්වභාවිකය. ඒ සදහා නියම වූ “මිල” පිළිබඳව ඇත්තේ නොපැහැදිලි චිත්‍රයකි.

උතුරේ වෙනම දෙමල රාජ්‍යයක් බිහිවීමේ ඉන්දියානු නොකමැත්තත්, 2006-2009 කාලය තුල කොන්ග්‍රස් ආණ්ඩුවක් තුල ගාන්ධිලා බලවත් වීමත් මීට බලපාන්නට ඇතිවාක් මෙන්ම, ඇමෙරිකාව හා යුරෝපය තුල LTTE සංවිධානය ත්‍රස්ත්‍ර සංවිධානයක් ලෙස නම් කෙරී තහනම් වීමත් මීට අදාල වූවාට සැක නැත.

කෙසේ වුවත් LTTE ය 2008 වනතුරුම කොළඹ කේන්ද්‍රීයව එල්ල කල ප්‍රහාර නැවැත්වූයේ නැත. එම ප්‍රහාර වල පූර්න නැවතීමක් ලකුනු වෙන්නේ බුද්ධි අංශ වල දක්ෂකම නිසාම පමනක් නොවේ. ඊට බලපෑ වෙනත් කාරනාද ඇත. LTTE ය වඩ, වඩා උතුරට තල්ලු කිරීමත් සමග දකුන හා සම්බන්ධිත සැපයුම් මාර්ග LTTE යට අහිමි වෙන අතර ප්‍රහාරක ජාලයන්හි ඇතැම් අතරමැදියන් අත් අඩංගුවට පත්වී හෝ ඝාතනය වීමත් ඇතැම් කොළඹ තුල ක්‍රියාත්මක කාඩරයන් නැවත සටන් සදහා කැදවීමත් මීට බලපෑ අනෙකුත් හේතූන් විය.

එසේම නිද්‍රාශීලී තත්ත්වයේ තබා සිටි කාඩරයන් එසේම යටබිම් ගත වීමත්, පසුව විදේශ ගත වීමත් බහුල විය. ඒ තත්ත්වය ට්‍රේස් කිරීමට බුද්ධි අංශ සමත් වූයේ නැත. ඇතැම් ද්විත්ව ඒජන්තවරු වැඩි බරක් LTTE ය පැත්තට යෙදීම විස්මය ජනිත කරයි. කර්නල් මුතාලිෆ් ඝාතනය වූයේ ඒ ද්විත්ව ඒජන්තයෙකු වූ අයිස් මංජු අතිනි. කර්නල් මීඩින් ඝාතනයේ ඇතැම් තොරතුරු ඒ මූලාශ්‍ර නිසා හෙලිකල නොහැක. ඒවා ටොසී ඔත්තු සේවාවේ ක්‍රියාමාර්ග වන විට රාජ්‍ය බුද්ධි අංශ සිටියේ ඊට ගව්ගනනාවක් පිටුපසය.



මට මෙතනදී අවධාරණය කල යුතු කරුන වූයේ ජාත්‍යන්තරය තුල අපේ බුද්ධි සේවා නිසි පරිදි ක්‍රියාත්මක නොවූ බව හා රට අභ්‍යන්තරයේද ඒවා වල ක්‍රියාකාරීබාවයේ හිඩැස් තිබූ බවයි. හතුපිපෙනවා සේ බිහිවන යූ-ටියුබ් කරුවන් හෝ සිංහල ජාතිකවාදී ව්‍යාපෘතිය තුල වර නැගෙන සිංහල-දේශප්‍රේමිත්වය හෝ රණකාමි වීරත්වය පිළිබඳ කතාන්දර යථාර්ථය හා ගැලපෙන්නේ නැත.


kumaran pathmanathanකේ.පී. (කුමරන් පද්මනාදන්)


කේ.පී. (කුමරන් පද්මනාදන්) අත් අඩංගුවට ගෙන ලංකාවට ගෙන ඒම පවා සිදුවූයේ රාජත්‍රාන්ත්‍රික මැදිහත් වීමකින් මිස බුද්ධි සේවා වල මෙහෙයුමක ප්‍රතිඵල නිසා නොවේ. එය ආර්ජන්ටිනාවේදී පැහැරගත් නාසි මිනීමරු වෛද්‍යවරයා වූ ඇඩොල්ෆ් අයික්මාන්, වෙනුවෙන් කල මොසාඩ් ඔත්තු සේවයේ විශිෂ්ට මෙහෙයුම වැනි කාර්‍යයක් නොවේ. කරු නා අම්මාන් පවා LTTE යෙන් ඉවත් කිරීම බුද්ධි අංශ වල මෙහෙයුමක ප්‍රතිඵලයක් නොවේ. එසේ වූවානම් කරුනා අම්මාන් නැගෙනහිර මුස්ලිම් දේශපාලඥයින්ගෙන් ආරක්ෂාව පැතීමේ අවශ්‍යතාවයක් නැත. එසේම කරුනා අම්මාන් නැගෙනහිරදී ඔහුගේ මිල්ටරි බලය පිළිබඳ කියූ කතා සැකයට තුඩු දෙයි. තොප්පිගල අල්ලා ගැනීමට යුද හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තු වෙත පැවරැනු විට ඊට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. එසේම සාම්පූර් හා වාකරේ මුදා ගත්තේද විශේෂ බලකාය විසින් දරුනු සටනකින් පසුවය. මේ නැගෙනහිර මර්මස්ථාන වල LTTE ය හොදින් තහවුරු වී තිබුනි. එයින් අදහස් කරන්නේ කරුනා අම්මාන් සමග නැගෙනහිර ගරිල්ලන් යම් කිසි ප්‍රමාණයක් ඉවත් වී ගියද, එහි බලය පවත්වා ගැනීමට LTTE ය සමත් වූ බවයි.

මුලු චිත්‍රය දෙස බැලීමේදී ලංකාවේ බුද්ධි අංශ මත තිබූ පූර්ණ බලයක් යොදා තත්ත්වයන් පාලනය කිරීමේ හැකියාව සැක සහිතය. ටොසී ඔත්තු සේවාව අපේ ආරක්ෂක දැලට රිංගා ගැනීමට සමත් වී තිබුනද, රාජ්‍ය බුද්ධි අංශ LTTE ආරක්ෂක ජාලයට රිංගීමට හැකියාව ලබා තිබුනේ නැත. ප්‍රධාන පෙලේ කිසිදු LTTE කාඩර්වරයෙකු රාජ්‍යයේ මත්තුකරුවෙකු වූයේ නැතිවාක් මෙන්ම, ඒ කිසිවෙකු අත් අඩංගුවට ගැනීමටත් රාජ්‍ය ආරක්ෂක අංශ සමත් වූයේ නැත.


පාස්කු ඉරුදින ප්‍රහාරය , ආරක්ෂක අංශ හා බුද්ධි අංශය

xgsdfg

සහරාන් ප්‍රමුඛ කණ්ඩායමේ මේ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව දියත් කිරීමේ ක්‍රියාවලිය ස්වයං-ප්‍රහාරයක්ද, එසේත් නොමැතිනම් ජාත්‍යන්තර බුද්ධි සේවා විසින් සැලසුම් කරන ලද ප්‍රහාරයක්ද, එසේත් නොමැතිනම් දේශපාලන බලය වෙනුවෙන් රාජපක්ෂවරු බුද්ධි අංශ සමග සැලසුම් කල ප්‍රහාරයක්ද යන්න සැකයට තුඩුදෙයි. එය විවාද සම්පන්න වන්නේ මේ ප්‍රහාරයේදී ඊට පිටුපසින් තිබූ “අදිසි හස්තය” පිළිබඳව වන ගැටලුවේදීය. එය දේශපාලනය වෙනුවෙන් යොදාගැනීමේ ඉඩ විවර වෙන්නේත් මේ විවාද සම්පන්න කරුනු තුන අතර ඇති දෝලනය නිසාය.

පළමුවෙන් මේ ප්‍රහාරය ජාත්‍යන්තර බුද්ධි සේවා විසින් කල සැලසුමක්‍ ය යන කාරණාව සලකා බැලුවහොත් ඉන්දියානු රෝ ඔත්තු සේවාව මින් ඉවත් වේ. කුමක් නිසාද යත් ප්‍රහාරය පිළිබඳව ප්‍රහාරයට පෙර රෝ විසින් ඒ පිළිබඳව ලිඛිතව රාජ්‍ය බුද්ධි අංශ දැනුවත් කර තිබේ. ඔවුන්ට මේ තොරතුරු ලැබූ මූලාශ්‍රය රහසිගතය. නමුත් ලංකාවේ ආරක්ෂාව පිළිබඳව ඉන්දියානු විමසිලිමත් දෑස් යොමුවී තිබෙන බව ඉතා පැහැදිලිය. මේ ප්‍රහාරක කණ්ඩායම පිළිබඳව රෝ මත්තු සේවාවේ තිබූ දැනුම හා තොරතුරු ලැබූ මූලාශ්‍රයේ තිබූ විශ්වාසනීයත්වය පිළිබඳ සැකයක් නැත.


රෝ’ව වගකියන්නේ ඉන්දියාවට මිස ලංකාවට නොවේ

ලංකාව තුල ක්‍රියාත්මක ඉස්ලාමීය-මූලධර්මවාදී කන්ඩායමක් පිළිබඳව සංවේදී වීම ඉන්දියාව පැත්තෙන් සාධාරණය. මේ ප්‍රහාරක කණ්ඩායමේ අඩු-දඩු ඉන්දියාව වෙත යොමු කිරීමට තරම් ප්‍රබලදැයි ඔවුන් ගණනය කරන්නට ඇත. ඒ සදහා නිවැරදි මූලාශ්‍ර ලබා ගැනීමට ඒ තුලම රෝ ඔත්තු සේවාවට තොරතුරු ලබා දෙන්නෙකු යෙදවූවානම් එය රෝ ,හි දක්ෂතාවයකි. ප්‍රහාරයේ ප්‍රබලත්වය හා පහර දෙන ස්ථාන වල සංවේදීතාවය පිළිබඳව ඉන්දියානු රෝ,හි තක්සේරුව අනුව එය ලංකාවේ බුද්ධි අංශ දැනුවත් කල යුතු බවට ඔවුන් ගත් තීරණය අපිට විවාද කිරීමේ හැකියාව අහිමි කරයි. රෝ’ව වගකියන්නේ ඉන්දියාවට මිස ලංකාවට නොවේ.

මෙය වෙනත් ප්‍රබල රටක ඔත්තු සේවා විසින් කල සැලසුමක් ය යන කාරණය එක එල්ලේ බැහැර නොකළත්, ඊට අවශ්‍ය වන මූලාශ්‍ර හෝ විශ්වාසදායි තොරතුරු නැත. ෆෝට්-සිටි හරහා නැගී ආ චීන බලය වන් ෆෝ බෙල්ට් ව්‍යාපෘතිය හරහා ලංකාවට කේන්ද්‍රගත වීම පිළිබඳව ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් නොසතුටින් සිටි බව නොරහසකි. නමුත් ඒ නොසතුටම, ඊටත් වැඩියෙන් ඉන්දියාවට තිබුනි.



එසේනම් භූ-දේශපාලනික බලය පිළිබඳව කාරණය හරහා චීන ව්‍යාපෘතිය අඩාල කිරීමේ අරමුණින් මේ ප්‍රහාරය සැලසුම් කලානම් ඉන්දියාව අහක බලාගෙන සිටිය යුතුය. නමුත් ඉන්දියාව අපිට අනතුරු අහවන්නේ නීත්‍යානුකූල මට්ටමිනි. එය රෝ’හි ඒජන්තයෙකු දෙන සාමාන්‍ය තොරතුරක් නොවේ. අනිත් අතින් මේ ප්‍රහාරය පිටුපස ප්‍රබල රටක ඔත්තු සේවාවක් ක්‍රියාත්මක වූවානම් එය සදාකල් වැසී යනු ඇත. එවැනි ජාලයක් විනිවිදීමේ හැකියාවක් අපිට නොමැති බවද අපි අවබෝධ කරගත යුතුය.




මේ ප්‍රහාරය ස්වයං-ප්‍රහාරයක් ද ?

cvgdrgජිජැක්


ඊලග කරුණ නම් මේ ප්‍රහාරය ස්වයං-ප්‍රහාරයක් ය යන සාධකයයි. එයද බැහැර කල නොහැකි මූලාශ්‍ර වලින් පිරී තිබේ. මුස්ලිම්-මූලධර්මවාදය ධනවාදය කෙරෙහි දක්වන ප්‍රතිවිරෝධය හිංසනය දක්වාම ගමන් කරන පැසේජයකි. ඉන් අදහස් වන්නේ ධනවාදී ක්‍රමයෙන් පරාරෝපනය වෙන මුසල්මානුවා සිය ආගමික ඉගැන්වීම් කෙරෙහි සීඝ්‍රයෙන් පසු බසින බවයි. මේ ක්‍රමය තුල සියලුම දේ වාෂ්ප වන බවට වන මාක්ස් ගේ අදහස මෙතනදී වැදගත් ය. මුස්ලිම් සාරධර්ම හා සංස්කෘතිය මෙතනදී ධනවාදයට එරෙහිව ආගමික ස්වරෑපයෙන් ක්‍රියා කරන බව ජිජැක් කියන්නේ එහෙයිනි. එනම් ධනවාදයට විවේචනය එන්නේ ආගමෙන් බවයි.

ක්‍රිස්තියානි හෝ බෞද්ධ ආගමික සංස්ථාපිතයන් ධනවාදය කෙරෙහි දක්වන අනුරාගී බැඳීම මුස්ලිම් ආගම තුල නැත. ඔවූහූ ඒ වෙනුවට පැහැදිලි පරතරයක් නඩත්තු කරයි. මේ ප්‍රහාරයේදී මරාගෙන මැරුනු බහුතරයක් විදේශීය බටහිර රටවල් වල අධ්‍යාපනය ලැබූවන් වීම හරහා ඔවුන් මේ ක්‍රමයට දැක්වූ විරෝදයද අන්තර්ගත වේ. ෂැංග්‍රිලා වැනි ධනවාදයේ දෙවොලකට සිය ප්‍රහාරයේ හස්තය දිගුකරන ඔවූහූ බටහිර-ක්‍රිස්තියානිය කෙරෙහි දක්වන විරෝධයද මේ තුලම අඩංගු කරයි.


ලංකාවේ මුස්ලිම් විරෝධය ඇතිවන්නේ බෞද්ධ-සිංහල ප්‍රජාව අතර වන නමුත් ප්‍රහාරකයන් බෞද්ධ සිද්ධස්ථාන අත් හරී. එහි ඇති සංඥාවනම් බෞද්ධ සිද්ධස්ථාන ඉලක්ක කිරීම බටහිර ලෝකය කලඹන්නට සමත් නොවනු ඇති බවයි. එවැනි ප්‍රහාරයක් ලංකාව වැනි දූපතක් තුලම ගිලී යනු ඇත. LTTE සංවිධානය දළදා මාළිගාවට එල්ල කරන ලද ප්‍රහාරය සිංහල-බෞද්ධ ජනතාව සසල කලමුත් එය බටහිර ලෝකය කෙරෙහි බලපෑම් සහගත වූවේ නැත. ක්‍රිස්තියානි සහ මුස්ලිම් සම්ප්‍රදායික එදිරිවාදිකම සිංහල -බෞද්ධයන්ට කිසිදා ගැටලුවක් වී නැත.

මට කියන්නට අවශ්‍ය වන්නේ මේ ප්‍රහාරය ස්වයං-ප්‍රහාරයක්‍ ය යන මතය තහවුරු කිරීමේ අවශ්‍යතාවයක් නොවේ. නමුත් මේ සදහා යොදාගත් පුපුරන ද්‍රව්‍ය පිළිබඳ ප්‍රාථමික තාක්ෂණයත්, ප්‍රහාරකයන්ගේ තිබූ අරමුනත් අතර ඇති සම්බන්ධය තියුණු ලෙස නිරීක්ෂණය කල යුතුය. ISIS වැනි ත්‍රස්ත්‍ර සංවිධානයක් RDX හෝ C4 වැනි අධි බලැති පුපුරන ද්‍රව්‍ය භාවිතා කරද්දී සහරාන් ප්‍රමුඛ කල්ලියේ මේ තාක්ෂණය ඉතා ප්‍රාථමිකය. ඔවූහූ කොච්චිකඩේ අටවා තිබූ දෙවැනි කාල බෝම්බය පවා පුපුරා ගියේ නැත. එය පසුව STF විසින් නිෂ්ක්‍රිය කරන ලදී.


ඊලග කාරණාව ලිවීමේදී කිසියම් ප්‍රවේශ සහගත වීමක් අවශ්‍ය ය. එය මේ ලියුම්කරු පවා රාජපක්ෂවාදියෙකු හෝ ඊට වෛරකරන්නකු වීමේ විභවය සහිතය. ලංකාවේ ආරක්ෂක ව්‍යුහය රාජපක්ෂ රෙජීමය විසින් නැවත සකස් කල ආකාරය පිළිබඳව තියුණු කියවීමක් අවශ්‍ය වන්නේ ඒ නිසාය. SIS ප්‍රධානියා වන මේජර් ජෙනරාල් සුරේශ් සලේ හෝ ප්‍රහාරය සිදු වන විට සිටි SIS ප්‍රධානියා වන ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන හෝ රාජපක්ෂ රෙජීමය හා සම්බන්ධ කිරීම ජනප්‍රිය විය හැකි වුවද ඊට වඩා අභ්‍යන්තර කතාව වැදගත් ය.



උතුරේ සිවිල් යුද ගැටුම අවසන් වීම පිළිබඳව දකුනට ඇති අදහස දේශප්‍රේමී රනකාමිත්වයෙනුත් සිංහල ස්වහෝත්මවාදයෙනුත් පිරී ඇත. එය අවසන් වූ ආකාරය පිළිබඳව බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව ඉදිරිපත් කල killing field වාර්තා වැඩසටහන බහුතර දකුනේ සිංහලයන් පිලිගන්නේ නැත. එය නොපිළිගන්නා දකුනේ සිංහල බහුතරයම පාස්කු ප්‍රහාරය පිළිබඳව ඇති චැනල්4 නාලිකා වාර්තා වැඩසටහන නිවැරදි බව පිළිගනී. මේ පරස්පරය තුලම ලංකාවේ ආරක්ෂක අංශ හා රාජපක්ෂ රෙජීමය අතර ඇති බැදියාවද ගිලී තිබේ.




ලංකාවේ ආරක්ෂක අංශ වල සැකැස්ම බ්‍රිතාන්‍යයන් විසින් සකස් කලද එහි වර්ධනය ලබාගන්නේ ඉන්දියානු හා පාකිස්ථානු මිල්ටරි ඇකඩමි හරහාය. ඊට ඊශ්‍රායල් හා ඇමෙරිකානු බලපෑම්ද තිබේ. නමුත් ඊට අහිමිව යන්නේ මානව හිමිකම් හා බැදුනු යුරෝපීය සම්ප්‍රදාය යි. මෙය හිතන තරම් සරල නැත. ඉන් අදහස් වන්නේ රාජ්‍ය වෙනුවෙන් සටන් කිරීමට තමන්ට ඇති අයිතිය නිසා ඊටම අයිති “මිල්ටරි විනය” ගිලිහී යාමයි. එය මතවාදී තලයේදී සිංහල-බෞද්ධ දෘෂ්ටිවාදී කඩතුරාවෙන් වැසී තිබේ.

උතුරේ හමුදා කදවුරු ආශ්‍රිතව ගොඩනැංවෙන බුද්ධ ප්‍රතිමා හා බෞද්ධාගමික හැඩයෙන් යුතු සංස්කෘතික උත්සව හරහා කියාපාන්නේ ඒ තුල ඇති සිංහල-බෞද්ධ බලපෑමේ පරිමාවයි. ලාංකීය රාජ්‍යයේ ආරක්ෂක ව්‍යුහය යනු සිංහල-බෞද්ධ වූ සංස්ථාපිතයක් වන විට ඊට අදාල ආකෘතිය අහිමි වෙයි. මේ තත්ත්වය ආරක්ෂා කරන්නේ රාජපක්ෂ රෙජීමය විසිනි. එය කොපමණ දුරක් ගමන් කරනවාද යත් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුලු සිවිල් දෙමල වැසියන් හයදෙනෙකු ඝාතනයක සැකකරුවෙකු වී අධිකරණ ක්‍රියාවලියකින් දඩුවම් ලද හමුදාවේ හිටපු සාජන් වරයෙකුට ජනාධිපති සමාව ලබා දීම දක්වා දුරක් එය ගමන් කරයි. එයින් ලබා දෙන සංඥාවනම් රාජ්‍ය වෙනුවෙන් කරන ක්‍රියාවන් සදහා සීමා-මායිම් නොමැතිව කටයුතු කලද ඒවා ආරක්ෂා කරන බවයි. එයින් හමුදා යාන්ත්‍රනය තුල ඇති හුයක් බදු එහි මිල්ටරිමය විනය විනාශ වෙන බව ඊට අදාල බලධාරීහු නොදනිති.



මින් අදහස් වන්නේ හමුදා යාන්ත්‍රනය තුල වෘත්තීය මට්ටමට එහා ගොස් සිය පුද්ගලික අභිලාෂයන්ට අනුව කටයුතු කිරීමේ ඉඩ විවර කරවීමයි. ආරක්ෂක ජාලයෙහි ඇතැම් ප්‍රමුඛයෝ ව්‍යාපාරිකයන් බවට පත්වී ඇත්තේත්, ඔවූහූ සිය පුද්ගලික ජීවිතය තුල සල්ලිකාරයන් වී ඇත්තේත් එහි අතුරු ඵලයක් ලෙසිනි. මෙයින් එන උත්තේජනයනම් තමන්ගේ සුඛ විහරණය සදහා බලපෑම් සහගත රෙජීමයක් බලයේ සිටීම පිළිබඳව ඇති ආරක්ෂක ව්‍යුහයේ කැමැත්තයි.




උදාහරනයකට පාකිස්ථානයේ බලය හොඹවන්නේ කවුරුද යන්න එහි මිල්ටරිය විසින් තීරණය කිරීම දක්වා එය දුරගොස් තිබේ. ලංකාවේද එහි ජායා දැකිය හැකිය. ගෝඨාභය බල කේන්ද්‍රය ඉවත් කිරීමේ ගාලුමුවදොර අරගලයේදී ඇතැම් ආරක්ෂක ප්‍රධානීන් කටයුතු කල ආකාරය පිළිබඳ විමර්ශන දැන් ආරම්භ වී ඇත.


vxdfsfඅවිනිශ්චිත තත්ත්වය තුල ඉන් දේශපාලනික වාසිය ගෝඨාභයට හිමි විය.



හිටපු ආරක්ෂක ලේකම්වරයා ලෙස ගෝඨාභය ජාතික ආරක්ෂාව වැනි තමන්ට හිතකර විෂයක් පෙරමුනේ රැගෙන යාමේ දේශපාලන කැමැත්ත පිළිබඳව මම තර්ක නොකරමි. ඇතිවූ අවිනිශ්චිත තත්ත්වය තුල ඉන් දේශපාලනික වාසිය ගෝඨාභයට හිමිවූ බවද සත්‍යයකි. ඕනෑම පවතින ආන්ඩුවල අසාර්ථක වීමක් ඊලග බලය ඩැහැගැනීමට සිටින පාර්ශවයේ තුරැම්පුවක් වීම ලාංකික දේශපාලනය තුල නිදන්ගත තත්ත්වයකි. දකුනේ සිංහල-බෞද්ධ ඡන්ද බහුතරයක් ගෝඨාභයට ලැබෙන්නේ මේ ආරක්ෂාව පිළිබඳ කාරනාවත් සිය පුද්ගලික කුටුම්භය වෙත කඩා පනින සතුරෙකු පිළිබඳව වන ෆැන්ටසියත් පෙරදැරිවය.

ඉන් අදහස් වන්නේ ප්‍රහාරයෙන් පසු ඇතිවූ තත්ත්වය සිය දේශපාලන අභිලාෂය වෙනුවෙන් යොදාගැනීමේ ඉඩ රාජපක්ෂවරු ලබාගත්තද ඊට බලපෑ ප්‍රහාරය එහි සැලසුමක්දැයි සැක සහිත බවයි. ඉහතදී මා විසින් සාකච්ජා කල අපේ ආරක්ෂක ජාලයෙහි ඇති හිඩැස් ඒ සදහා කොපමණ බලපෑම් සහගත වූයේදැයි තක්සේරුවක් අපිට නැත.


ආරක්ෂක ව්‍යුහය ;රාජ්‍ය සහ ආත්මීය කාරනා

මෙම ලිපියේ දුෂ්කරම කොටස සදහා මම දැන් එළඹෙමි. ලාංකික ජනතාව තුල රාජ්‍ය පිළිබඳව හෝ එහි නිලබල රටාව පිළිබඳ විද්‍යාවක් නැත. ඒ පිළිබඳව ගොඩනගාගත් න්‍යායික පරිචයක්ද නැත. ඊට හේතුව වන්නේ නූතන ලාංකීය රාජ්‍ය අපි විසින් නොව බ්‍රිතාන්‍යයන් විසින් ගොඩනංවා අපි වෙත බාරදුන් දෙයක් වීමයි. මින් ජනිත කරන අදහසනම් රාජ්‍යය ගොඩනැංවීමේදී ඒ තුල අඩංගු විය යුතු මහජන සහභාගීත්වය පිළිබඳව වන විප්ලවකාරී අදහස අපිට නොමැති බවයි.



රාජ්‍යය යනු ආකෘතියක් වනවිට එහි අන්තර්ගතයන් වෙනස් විය හැක. නමුත් අපි වගබලාගත යුත්තේ වෙනස් වෙන, වෙනස් කරන අන්තර්ගතයන් හරහා ආකෘතිය හානි නොවී පවත්වාගෙන යාමයි. ආකෘතියම වෙනස් කරනවා යනු පුලුල් දේශපාලනික ව්‍යාපෘතියක ඵලය වනවා විනා අතරමැදි පැලැස්තර නොවේ. ජනාධිපති තනතුර යනු පාලන ව්‍යුහය තුල ඇති ආකෘතියකි. ඊට රනිල්, ගෝඨාභය හෝ සිරිසේන වැනි අන්තර්ගතයන් ඇතුල් වීම ජනතා කැමැත්ත මත සිදුවන්නකි. මේ ඇතුල් වන අන්තර්ගතයන් අදාල ආකෘතිය අනුව කටයුතු කරනවා විනා තමන් තුලම ඇති ආත්මීය කාරනා වලින් ආකෘතිය වෙනස් කිරීමට යාමෙන් ඇති වන්නේ විකෘතියකි.




උදාහරනයකට මෛත්‍රිපාල සිරිසේන විසින් තම බිරිද විසින් සකස් කරන කෙහෙල් කොලේ බත් හා ව්‍යංජන අරලිය ගහ මැදුරේ සිට ආහාර ලෙස ලබාගැනීම අයිති වන්නේ පුද්ගලික, ආත්මීය කලාපයටය. එය ප්‍රසිද්ධ කිරීම නිසා ජනාධිපති තනතුර යන ආකෘතිය විකෘති වේ. එම තනතුරේ ඇති වගකීම් සහගත තත්ත්වය හා ජනතාව ඒ කෙරෙහි ඇති ගෞරවය විහිලුවකින් කෙලවර වීමක් මිස ඊට වඩා දෙයක් මෙයින් බලාපොරොත්තු විය නොහැක. මේ අන්තර්ගතයන්හි විකාර සහගත තත්ත්වය අපි හිතන්නේ නැති දුරක් ගමන් කල විට එහි බලපෑම මුලු රටටම විදීමට සිදුවෙයි. ඊට උදාහරණ ඕනෑ තරම් තිබේ.

පාස්කු ප්‍රහාරය වන විට ජනාධිපති ලෙස සිටින්නේ මෛත්‍රිපාල සිරිසේන මහතාය. ඔහු නිල බලයෙන්ම ආරක්ෂක ව්‍යුහයේද ප්‍රධානියා වෙයි. ආරක්ෂක ඇමති මෙන්ම, ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානියාද වෙයි. මින් අදහස් වන්නේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් බලගතුම හා වගකිවයුතුම තනතුර ජනාධිපති තනතුර බවයි. එසේ තිබියදී ඔහුගේ ක්‍රියාකලාපන් ප්‍රශ්නගතය. ආරක්ෂක මණ්ඩලය වෙත අගමැතිවරයා සහභාගී වියයුතු වුවද ඒ සදහා එවකට අගමැති වූ රනිල් වික්‍රමසිංහ සමග තිබූ පුද්ගලික ගැටලු නිසා ඊට අගමැති සහභාගි කරවාගෙන නැත. ඒ වෙනුවට තිලංග සුමතිපාල වැනි ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු වගකීමක් නොදරන පුද්ගලයි සහභාගී කරගෙන ඇත. එසේම සිය පුද්ගලික සංචාරයක් සදහා සිංගප්පූරු බලා ගිය සිරිසේන මහතා ආරක්ෂාව පිළිබඳ වගකීම කිසිවෙකුට පවරා දීද නැත.



2000 වර්ෂයේදී LTTE ය විසින් යාපනය වැටලීමේ පලමු වෙඩිමුරය වන පරන්‍තන් හි ඉදිරි ආරක්ෂක වලල්ලට පහර දෙන විට එවකට ජනාධිපති චන්ද්‍රිකා සිටියේ විදේශගතවය. නමුත් ආරක්ෂක මණ්ඩලය රැස් කිරීමේ බලය ඇය විසින් අගමැති රත්නසිරි වික්‍රමනායකට ලබා දී තිබූ අතර වහා ක්‍රියාත්මක වූ අගමැති රත්නසිරි ආරක්ෂක මන්ඩලය රැස් කර අවශ්‍ය තීන්දු තීරණ ගත්තේය. පාස්කු ඉරුදින ත්‍රස්ත්‍ර ප්‍රහාරයෙන් පසු ජනාධිපති සිරිසේන සිංගප්පූරැවේ සිටි බැවින් ආරක්ෂක මණ්ඩලය රැස් කිරීමට අගමති රනිල් උත්සාහ කලද ජනාධිපති සිරිසේනගේ උදහසට ලක්වෙතැයි යන බිය නිසා ඊට එක්වීමට ආරක්ෂක ප්‍රධානීන් මැලි වූ බව ප්‍රසිද්ධ රහසකි. ඒ අනුව ජනාධිපති සිරිසේන විසින් ආරක්ෂක ව්‍යුහය තුල ඇති කර තිබූ මනෝභාවය පැහැදිලිය.


අනිත් පැත්තෙන් SIS හි ප්‍රධානී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන විසින් තමන් වෙත මේ ඉන්දියානු රෝ ඔත්තුසේවයෙන් ලැබූ තොරතුර ලබා නොදුන් බව ජනාධිපති සිරිසේන පැවසීම හාස්‍යජනකය. ජනාධිපතියා වෙත ඕනෑම මොහොතක ඔන්ද කෝල් ඇමතීමේ අවස්ථාව SIS ප්‍රධානියාට හිමිය. ජනාධිපතිවරයා රාජකාරියක යෙදී සිටින්නේනම් අදාල දුරකථනය වගකිවයුතු නිලධාරියෙකු අත තිබීම සම්ප්‍රදායයි. එය බොහෝ විට තමන්ගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා (PSO) අත හෝ ජනාධිපති කාර්‍ය මණ්ඩලයේ කෙනෙකු අත තිබියම යුතුය. අනිත් පැත්තෙන් ජනාධිපතිවරයා මෙම සංචාරය පුද්ගලික උවමනාවට ගියද ඔහු යන්නේ රටේ ජනාධිපති ලෙසය. එහි වගකීම් සදහා අදාල කාර්‍ය මණ්ඩලයක් ඔහු හා ගමන් කිරීම සාමාන්‍ය කටයුත්තකි. ඒ අනුව මෙම තොරතුර ජනාධිපතිට දන්වන්නට හැකියාවක් නොවූ බව පැවසීම විහිලු සහගතය.

එසේ මේ තොරතුර ජනාධිපතිවරයාට දැනුම් දීමට නොහැකි වූ බව SIS හි ප්‍රධානියා පවසන්නේනම් එහි වගකීම පූර්ණ වශයෙන් ඔහු බාර ගත යුතුය.

ඊලගට මෙම තොරතුර ජනාධිපතිවරයාට දැනුම් දිය නොහැකි නම් ඉන් පසු SIS ප්‍රධානියා ඒ සදහා ගත යුතු ක්‍රියාපිලිවෙත අපැහැදිලිය. ඊලගට සිටි වගකිවයුත්තා අග්‍රාමාත්‍යවරයා වන නමුත් ජනාධිපති හා අගමැති අතර ඇතිවී තිබූ ගැටුම නිසා ඒ සදහා SIS ප්‍රධානියා කටයුතු නොකර සිට ඇත. සිය වගකීම්බාරය පැවරෙන්නේ ජනාධිපතිවරයා හා සෘජුවම බැවින් ඒ සදහා අගමැති සම්බන්ධ නොකරගැනීම තාක්ෂණික කාරනාවක් වුවද, මෙය මිනිස් ජීවිත පිළිබඳව වන ගැටලුවක් බව අමතක කල යුතු නැත. ඒ අනුව SIS ප්‍රධානියා අදාල තොරතුර පිළිබඳව ලිඛිත දැනුම් දීමක් පොලිස්පතිවරයා වෙත කරනු නමුත් රෝ වෙතින් ලැබුනු තොරතුර අඩංගු ලිපිය ඊට අමුනන්නේ නැත. එය එම තොරතුරේ රහස්‍යබාවය ආරක්ෂා කිරීමේ සම්ප්‍රදාය බව මම පිලිගනිමි. නමුත් ඉන් සිදුවන්නේ මේ තොරතුරේ බර සැහැල්ලු වීමයි. මේ ආකාරයේ තොරතුරු පොලිස්පතිවරයාගේ මේසය මතට දිනපතා පැමිනීම දෛනික රාජකාරියේ කොටසකි. එවැනි ලිපි සදහා නියෝග යොදා ඒවා පලාත්භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට යොමු කිරීම සම්ප්‍රදායයි.

මෙහිදී කෙනෙකු ඇසිය හැකි ප්‍රශ්නය වන්නේ පොලිස්පතිවරයාට එසේ වගකීමෙන් නිදහස් විය හැකිද යන්නයි. මෙය විවාද සම්පන්න තත්තවයකි. නමුත් යථාර්ථය තුල මෙහි කටුක ඇත්ත සඟවා තිබේ.



ලංකාවේ බුද්ධි අංශ මගින් ලැබෙන තොරතුරු වල නිරවද්‍යතාවය පිළිබඳව විශාල ගැටලු ඇත. එවැනි තොරතුරු දිනපතා පාහේ පොලිස්පතිවරයාටත්, එහි අවසාන වගකීම උසුලන පොලිස් ස්ථානාධිපතිවරුන්ටත් ලැබෙයි. මෙම ලැබෙන තොරතුරු වලින් සත්‍ය තොරතුරු බවට තහවුරු කරගත් තොරතුරු අල්ප ය. ඒ අනුව මෙවැනි තොරතුරක බුද්ධි අංශයේ අනතුරු ඇඟවීම් සංකීර්න ලෙස බාරගන්නා ආරක්ෂක ව්‍යුහයක් ලංකාව තුල නැත.



ප්‍රහාරයෙන් පසු පා.ම.විමල් වීරවංශ විසින් මෙම ප්‍රහාරය පිළිබඳව ඇමති ආරක්ෂක (MSD) අංශය දැනුවත්ව සිටි බව හා ඒ පිළිබඳව එයින් ආරක්ෂාව ලබන ප්‍රභූන් දැනුවත්ව සිටින බව කියන විට එය සත්‍යයකි. ගැටලුව ඇත්තේ ලැබෙන තොරතුරු වල විශ්වාසනීයබාවය පිළිබඳව ඇති අතීත අත් දැකීම් නිසා ඒවා නොසලකා හැරීමයි.

මෙවැනි සංවේදී තොරතුරක් පිළිබඳව රාජ්‍යයක ආරක්ෂක ව්‍යුහයම ක්‍රියාකරනවා යනු සංකීර්න කටයුත්තකි. එය ආරක්ෂක මණ්ඩලය රැස්වී ගන්නා තීරණයක් ලෙස ක්‍රියාත්මක වන්නකි. උදාහරණයට හමුදාවන් යොදවා ක්‍රිස්තියානි පල්ලි ජනයාගෙන් තොර කර ශුන්‍ය කිරීම වැනි කටයුත්තක් කිරීම ලෙහෙසි නැත. එය මුලු ආරක්ෂක ජාලයම සම්බන්ධ විය යුතු කටයුත්තකි. මින් අදහස් වන්නේ රටේ පූර්ණ ආරක්ෂක සංවිධානයෙහි වෙනස් කමක් සිදු කිරීම ආරක්ෂක මණ්ඩලය හරහා සිදුවිය යුතු බවයි. එහි අණ, පාලනය, සම්බන්ධීකරණය සිදුවන්නේ එවිටය.

පාස්කු ප්‍රහාරයේදී අපේ ආරක්ෂක ව්‍යුහයට අහිමිව යන්නේ මේ කොටසයි. ප්‍රහාරයෙන් පසු ඒ පිළිබඳව කෙරෙන සමාලෝචනයන් කොතෙක් තිබුනද එහි යථාර්ථය ඇත්තේ මේ හිඩැස් තුලය. ප්‍රහාරය මෙහෙයවීම, එහි සම්පත් ලබාදීම, මතවාදී බලය හැසිරවීම යන කාරනා පිළිබඳව වාදකල හැකි වුවත් ඉන්දියානු රෝ ඔත්තු සේවයෙන් ලද තොරතුරටවත් ක්‍රියාත්මක නොවීමට තරම් තිබූ “හිල්” පිළිබඳව ඇත්තේ විශාල ගැටලුවකි. එහි මූලය ගමන් කරන්නේ එකී වගකීම් සහගත තනතුරු දැරු පුද්ගලයන්ගේ ආත්මීය ගැටලු දෙසටය. ජනාධිපති සිරිසේන හා අගමැති රනිල් අතර තිබූ ගැටුම එහි ආකෘතික සම්බන්ධය දක්වාම හානි පමුණුවා තිබුනි. තමන් කොපමණ අප්‍රිය කරන කෙනෙකු වුවද අදාල තනතුරේ වගකීම හා වගවීම යන කාරනා හෝ ප්‍රොටෝකෝලයෙන් ලැබෙන නිර්ණායක නොසලකා හැරිය යුතු නැත. නමුත් සිදුවී තිබුනේ මේ ගැටුම් කිසිසේත්ම ඊට සම්බන්ධ නොවූ රාජ්‍යයේ ගැටලු ලෙස අභිමුඛ වීමයි.



අනිත් අතට මූලික වශයෙන් තම තනතුරට නොව තමන්ට වගකියන පුද්ගලයින් ආරක්ෂක ව්‍යුහයේ ඉහල පුටුවලට පත්කිරීම හරහා ඒ ව්‍යුහයම දේශපාලනීය කර ඇත. ලංකාවේදී මේ ආකෘතිගත බල රටාව යනු ඊට ඇතුලත් වෙන අන්තර්ගතයන් වන පුද්ගලයන්ගේ ආත්මීයත්වය නිසා විකාර සහගත වන පද්ධතියකි. පාස්කු ප්‍රහාරය සදහා කිසිවෙකුට ඇඟිල්ල දිගුකිරීමට පෙර අපි ලාංකීය ජාතිය වශයෙන් මේ සදහා වගනොකියන්නේ ඇයිදැයි අපෙන්ම ඇසිය යුතුය. එය නිදහසින් පසු ලාංකීය ජාතිය මෙන්ම රාජ්‍යයද ගොඩනැගීමට අපි දැක්වූ අසමත් කමේ සමරෑපයයි. එමනිසා අපි ගල් ගහන ගස වවා ඇත්තේ අපිමය.


(විශේෂ වාර්තාකරුවකු විසිනි )

(උපුටා ගැනීම - carbonnews.lk)

 

JW

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්