මේ දිනවල මැතිවරණ කතා අස්සේ හඩු ජාවාරම්කාර වෙළඳපල බේරා ගැනීමේ නාගරික ඉහළ මැදපංතික විශේෂඥ කව මගින් ගොඩ නගන එක භීතියක් වන්නේ “සමාජවාදය” නැවත ගෙනාවොත් රටටම කෙළ වෙනවා යන්නය.
මේ ජාවාරම්කාර විවෘත වෙළඳපල විසින් අවුරුදු 40ට වැඩි කාලයක් පුරා රටටම කෙළ වලා අවසන් යැයි ඔවුන් කියන්නේ නැත. බොහෝ අය තමන්ටත් කෙළ වෙලා යැයි තේරුම් නොගන්නේත් නාගරික වෙළඳපලෙහි ඇති පාරිභෝගික නිදහසින් ගොඩ යා හැකි යැයි වන මිථ්‍යාවෙහි මත්වී ඉන්නා නිසා ය. ඒ වෙනුවෙන් තමන් ධෛර්යමත්ව, අධිශ්ඨාන සහගතව තමන්ගේ ගමන යන්නේ නම් ජීවිතය සාර්ථක කරගත හැකියැයි “ධනාත්මක චින්තන” වෙදුන් කණ්ඩායමක්ද මෙහි පොහොසත් වෙති.
මේ වෙළඳපල පුරා හැල්මේ දුවන්නේ නැතිව මඳක් නැවතී වටපිට බලන්නේ නම්, දැකිය හැක්කේ දුප්පත්කම නොකඩවා වැඩිවී ඇති සැටිය.
මේ වෙළඳපල පුරා හැල්මේ දුවන්නේ නැතිව මඳක් නැවතී වටපිට බලන්නේ නම්, දැකිය හැක්කේ දුප්පත්කම නොකඩවා වැඩිවී ඇති සැටිය. සමාජයේ ආදායම් හා වත්කම් බුක්ති විඳීමේ පරතරයද ඒ හා සමග බරපතල ලෙස තියුණුවී ඇති සැටිය. අධ්‍යාපනය, සෞඛ්‍ය, පොදු මගී ප්‍රවාහනය කොහේ යන්නේදැයි බලධාරීන් දන්නේද නැත. අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රයෙහි වෘත්තිකයින්ගේ දෛනික ආදායම් ඉහළ දැමුණු නමුත් සේවාවන් වශයෙන් ඒවා බාල, අවලංගුවූ සේවාවන් හැටියට ඉතිරිව ඇත. සමාජයේ නීතිය පවත්වා ගැනීම අති දූෂිත යැයිද අධිකරණ ක්‍රියාවලිය හැමවිට හැමට සාධාරණ නොවන්නේ යැයිද දැඩි විවේචන ඇත.
දේශපාලන හා මුදල් බලය මත කෙරෙන පරිසර විනාශය කෙළවරක් නොමැත.
අවුරුදු පතා ඉහළ යන ස්ත්‍රී දූෂණ, ලිංගික අපරාධ හා හිංසන, පාසල්වල ළමුන්ට හිංසාකාරී ලෙස පහර දීම්, ළමා ලිංගික හිංසන සහ අපරාධ, මිනී මැරුම්, කප්පම් ගැනීම්, සොරකම්, දූෂණ වංචා වැනි සියලු අපරාධ මේ ජාවාරම්කාර වෙළඳපලෙහි සාමාන්‍ය කාරණා බවට පත්ව ඇත. ඒ සමග දේශපාලන හා මුදල් බලය මත කෙරෙන පරිසර විනාශය කෙළවරක් නොමැත. වනාන්තර හා තෙත් බිම් විනාශය, වෙරළාසන්න ප්‍රදේශ අප්‍රසන්න ලෙස භාවිත කිරීම බලා සිටියදී ඉහළ යන්නකි.
අපි නොදන්නා “සමාජවාදී” කතා
“සමාජවාදය” ගැන නිශ්චිත, පැහැදිලි කිරීම් ඒ වෙනුවෙන් පෙනී සිටින්නන්ටද නැත. විරුද්ධ වන්නන්ටද නැත.
“සමාජවාදය” ගැන කතාව දැන් මතු කෙරෙන්නේ ජාවාරම්කාර වෙළඳපලෙහි සිදුවන අයුක්තීන්, අසාධාරණකම්, විනාශ, අපරාධ විඳ ගැනීමට අසීරු වනවිට, විකල්ප සෙවීමෙහිදී ය. එහෙත් “සමාජවාදය” ගැන නිශ්චිත, පැහැදිලි කිරීම් ඒ වෙනුවෙන් පෙනී සිටින්නන්ටද නැත. විරුද්ධ වන්නන්ටද නැත. මේ දෙපාර්ශවයම දළ වශයෙන් “රාජ්‍ය කේන්ද්‍රීය” ආර්ථික සමග දැඩිව පාලනය කෙරෙන වෙළඳපල ආකෘතීන් “සමාජවාදී” ආර්ථික යැයි බාර ගනිති.
එවැනි සමාජවාදයක් සඳහා 60 - 70 දසකවල නිදසුන් ලෙස තබා ගත් සෝවියට් රුසියාව සහ එහි ආධිපත්‍යයට යටත් වූ නැගෙනහිර යුරෝපීය රටවල්, චීනය සහ පසුව කියුබාව වාමාංශික දේශපාලනයෙහි වැරදි තේරුම් ගැනීම් ය. ඒ රටවල් කිසිවක් සමාජවාදී රටවල් නොවුනි. ඒවායේ පැවතියේ දැඩි නිලධරවාදී දූෂිත කොමියුනිස්ට් පක්ෂ විසින් සියලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහෝසි කෙරුණු ඒකාධිපති පාලන යටතේ පවත්වා ගෙන ගිය රාජ්‍ය කේන්ද්‍රීය ආර්ථික ක්‍රියාවලියකි. ඒවායේ පාරිභෝගික අවශ්‍යතා හා තේරීම් තීන්දු කරනු ලැබුවේද කොමියුනිස්ට් පක්ෂ නිලධරය විසින් ය.
“සමාජවාදය” එවැනි දූෂිත අධිකාරවාදී පාලන යටතේ පවත්වාගත හැකි සමාජ ආර්ථික ආකෘතියක් නොවේ.
“සමාජවාදය” එවැනි දූෂිත අධිකාරවාදී පාලන යටතේ පවත්වාගත හැකි සමාජ ආර්ථික ආකෘතියක් නොවේ. එය දියුණු ධනේශ්වර සමාජයකටද වඩා දියුණු සමාජ පැවැත්මක් වෙනුවෙන් යොදනු ලැබූ නමකි. දළ වශයෙන් ගතහොත් 1935 දී ලංකාවේ පළමු දේශපාලන පක්ෂය පිහිටුවීමේදී එහි මාක්ස්වාදී න්‍යායික තේරීම් අනුව ප්‍රධාන අරමුණක් වූයේ සමාජවාදී සමාජයක් හැදීමය. ඒ වෙනුවෙන් ඔවුන්ගේ පක්ෂය “සම සමාජ” පක්ෂය යැයි නම් කෙරුණේ “සමාජවාදය” සරළ සිංහලෙන් තේරුම් කිරීමේ අදහසිනි. සියල්ලන්ට සමානයින් ලෙස ජීවිත් විය හැකි සමාජයක් හදන්නාවූ දේශපාලනයට හිමිකම් කියන්නාවූ පක්ෂයක් යැයි කීමට ය.
මාක්ස් නොකියූ “සමාජවාදී” කතා
කාල් මාක්ස් සහ ෆ්‍රීඩ්රික් එන්ගල්ස්
කාල් මාක්ස් සහ ෆ්‍රීඩ්රික් එන්ගල්ස් විසින් ඔවුන්ගේ ජීවිත කාලයේ කෙරුණු ආර්ථික හා සමාජ විද්‍යා පර්යේෂණ හා අධ්‍යන සමග ඉදිරිපත් කළ මානව පරිනාමයේ ඓතිහාසික භෞතිකවාදී කියවීමට අනුව, ධනේශවර ක්‍රමයේ උපරිම දියුණුවෙන් පසු මානව පරිනාමයේ පළමු වරට ජන සමාජයෙහි දැනුවත් තේරීම් සමග ඊළග සමාජය සැළසුම්කර ගත හැකි වන්නේය. එසේ විය හැක්කේ ඒ වනවිට විද්‍යාව, තාක්ෂණය, කලමනාකරණය, කුසලතා වර්ධනය, වැනි සියල්ල අතිශය දියුණු ඉහළ තත්ත්වයක තිබීමත් ඉතා දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහ හා සම්ප්‍රදායන් සමාජ සංස්කෘතියෙහි වැදගත් සාධක ලෙස තහවුරුව තිබීමත් නිසාවෙනි. ඒ සමග වාණිජ ප්‍රාග්ධනය ශක්තිමත් නිෂ්පාදන ප්‍රාග්ධන ආයෝජන බවට පරිවර්තනය වී ඒ හේතුවෙන් ඉතා දියුණු, විශාල, සංවිධානාත්මක ශ්‍රම බලකායක්ද දියුණු ධනේශ්වර සමාජයෙහි වර්ධනයවී තිබීමය.
පැවති රාජ්‍ය “ජනතා” විප්ලව මගින් හෝ ජනතාව වෙනුවෙන් කෙරුණු විප්ලව මගින් ස්ථාපිත කෙරුණේ යැයි ඒවා සමාජවාදී රටවල් ලෙස ගණන් හැදීම අතිශය වැරදි ගණන් හැදීමකි. එවැනි විප්ලව සඳහා නායකත්වය දෙනු ලැබුවේ කොමියුනිස්ට් පක්ෂ යැයි ඔවුන් බලය ගත් හේතුවෙන් ඒවා සමාජවාදී රටවල් වන්නේද නැත. මෙතෙක් ඉතිහාසයෙහි එවැනි “ජනතා” විප්ලව මගින් තහවුරු කෙරුණු කිසිදු රටක් මාක්ස්වාදී අර්ථකතනයට අනුව සමාජවාදය අහළකටවත් පැමිණි රටවල් නොවුනි.
මාක්ස්වාදයට අනුව එවැනි නොදියුණු සමාජයක සමාජවාදයට ඉඩක් නැත.
යූරල් කඳු වැටියෙන් බස්නාහිරට සහ විශාල ප්‍රදේශයක් ආවරණය කරමින් නැගෙනහිරට පැතිර තිබූ මහ රුසියාව, දිළිඳු වැඩවසම් සමාජයක් විය. රුසියානු සාර් අධිරාජ්‍යයෙහි පෝලන්තය හා ෆින්ලන්තය අත හැරි පසු 1916 වනවිට ජනගහනය වූයේ දළ වශයෙන් මිලියන 96 ක් පමණය. ඉන් සියයට 82 ක් ගැමියන් යැයි ගණන් බලා තිබිණ. 1861 දී රුසියානු ප්‍රවේණිදාස ක්‍රමය අහෝසි කෙරුණාට, වැඩවසම් ආකල්ප හා සම්ප්‍රදායන්, බැඳීම්, ඉඩම් අයිතීන් එතරම් වෙනසකට බඳුන් වී නැත. කම්කරු ජනගහනය සියයට 04 ක් යැයි ගණන් බලා තිබුණේ පෙත්‍රොග්‍රාඩ්, මොස්කව්, ටුලා, කාර්කොව්, කසාන්, සමාරා වැනි නගරවල කර්මාන්තශාලා සේවකයින් සහ ශිල්පීන්, සොල්දාදුවන් හා නාවිකයින් වැනි පුද්ගල සංඛ්‍යාවන්ද ඇතුළත්වය. (Imperial Russia – Government & People / Chapter – Class Divisions in Russia)
ධනේශ්වර වර්ධනයකට හරියාකාරව පය ගසාවත් නොතිබුණු යෝධ වැඩවසම් රුසියාවේ සාර් පලවා හැර 1917 ඔක්තෝම්බරයේ බොල්ෂෙවික් පක්ෂය රාජ්‍ය බලය ගත්තද ඔවුන්ට තහවුරු කළ හැකි සමාජවාදයක් නොවුනි. මාක්ස්වාදයට අනුව එවැනි නොදියුණු සමාජයක සමාජවාදයට ඉඩක් නැත. සෝවියට් රුසියාවේ වසර 25 ක පමණ ස්ටාලින් පාලනයත් තවත් වසර 25 ට පමණ පසු මිහායිල් ගොර්බෂෙව් යටතේ 1990 දී ප්‍රජාතන්ත්‍රීය කිරීමේ උත්සාහය සෝවියට් අධිකාරවාදී පාලනයට එරෙහි කැරලි විසින් සෝවියට් රුසියාව කැබලි කිරීමත් කැබලිවීමෙන් හැදුණු කිසිදු රටක් පැවති සෝවියට් පන්නයේ රාජ්‍යවාදී ආර්ථිකයක් පවත්වා නොගැනීමත් සෝවියට් රුසියාව සමාජවාදී රාජ්‍යයක් නොවුනාට හොඳම නිදසුන යැයි සිතමි.
එවැනි විල්පව සමගින් බලය අල්ලා ගත් රටවල සමාජ ආර්ථික ආකෘතීන් කිසිවක් සමාජවාදයට කිසිදු නෑකමක් නොකීහ.
චීනයද මාඕ සෙඩොං ගේ කොමියුනිස්ට් පක්ෂය 1949 ඔක්තෝම්බරයේ බලය අල්ලා ගන්නා විට රුසියාව වැනිම අතිශය පසුගාමි රටක් විය. දැඩි විනයකට යටත් වූ චීනයේ කම්කරු ශ්‍රමය වර්ධනය වන්නට පටන් ගන්නේ චීන කොමියුනිස්ට් පාලනය යටතේ ය. එවගේම චීන ආර්ථිකයද සෝවියට් ස්ටාලින්වාදී ආකෘතිය වාගේම චීන කොමියුනිස්ට් පක්ෂයේ ආධිපත්‍යයට වඩා මාඕ ගේ ඒකාධිකාරි පාලනයට යටත් කෙරුණක් විය. එවැනි විල්පව සමගින් බලය අල්ලා ගත් රටවල සමාජ ආර්ථික ආකෘතීන් කිසිවක් සමාජවාදයට කිසිදු නෑකමක් නොකීහ.
“සමාජවාදය” මාක්ස්වාදී අර්ථයෙන්
“සමාජවාදය” කාල් මාක්ස්ටත් වඩා ඉතාමත් පැරණි අදහසකි. සංකල්පමය වශයෙන් එය දහතුන්වන සියවසෙහි ක්‍රිස්තියානි අදහස් වලද, දහහත්වන සියවසෙහි බුද්ධිමය ආලෝකනයෙහිද කැටිව තිබුණකි. එකල මූලික දාර්ශනික අදහස වූයේ රාජ්‍ය හා ආත්මීය වටිනාකම් වෙන් කළ නොහැකිය යන්නය. දේශපාලනය හා සාරධර්ම වෙන්කළ නොහැකිය යන්නය. ඒ සමග සියලු මනුෂ්‍යයින් සමානයින් යැයි යන්නද අදහස් විය. මාක්ස්ගේ දාර්ශනික අර්ථ දැක්වීම් සමග දහනවවන සියවසෙහි සමාජවාදය නිරාගමික රාජ්‍යයක් හා නිදහස් මිනිසකු පිළිබඳ දාර්ශනික අර්ථ දැක්වීමට බඳුන් විය. ඔහු සමාජවාදය අර්ථ දැක්වූ අයුරු දියුණු ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මානව අයිතීන් වලින් ඔබ්බට යන නිදහස් සමාජයක මිනිසකු අර්ථ දැක්වින.
උපරිම වශයෙන් දියුණු වූ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සිට එවැනි නිදහස් සමාජයක් දක්වාවන පරිවර්තනයට, සංක්‍රමණික කාලයක් අවශ්‍ය වන්නේය. ඒ කාලය තුල පෞද්ගලික ප්‍රාග්ධන හිමිකාරිත්වය සමාජගත පොදු ප්‍රාග්ධන හිමිකාරිත්වයකට පරිවර්තනය වන්නේය. එය වර්තමානයේ අදහස් කරන “ජනසතු” කිරීම් හා කිසිදු සම්බන්ධයක් නැත. එවගේම වැටුප් ගෙවා නිෂ්පාදන කාර්යයේ යොදා ගන්නා ශ්‍රමිකයා ක්‍රමානුකූලව නිෂ්පාදනය සම්බන්ධ තීන්දු ගන්නා නිදහස් පුරවැසියෙකු බවට පරිවර්තනය වන්නේය. ඒ සමග සමාජය පාලනය කරන්නාවූ ඊට ඉහළින් පවත්වා ගන්නා රාජ්‍ය අනවශ්‍ය ආයතනයක් බවට පත් වන්නේය.
සමාජවාදය පිළිබඳ ඒ මාක්ස්වාදී අර්ථ දැක්වීම් සම්පිණ්ඩනය කළහොත් මෙවැනිය.

(01) උපරිම ධනේශ්වර වර්ධනයක ඇති වන්නාවූ සමාජ පැවැත්මෙහි ආවේනික ඇණහිටීම් හමුවේ අලුත් සමාජ පරිවර්තනයක අවශ්‍යතාව හා ඒ වෙනුවෙන් සමාජයේ ඇති වෙන්නාවූ දැනුවත් දේශපාලන මැදිහත්වීම
(02) පුද්ගලවාදී ධනේශ්වර අධි වර්ධනයෙහි පැවැත්ම නිදහස් ව්‍යාපාරිකයින්ගේ සමාජ සාමුහිකත්වයක් ලෙස සංවිධානයවීම සමග වැටුප් ශ්‍රමිකයා නිෂ්පාදනයේ පංගුකාරිකයෙකු ලෙස අලුතින් ස්ථානගතවීම
(03) රාජ්‍ය පාලනයක අවශ්‍යතාව කෙමෙන් වියැකී යාම හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වඩා අර්ථවත් ලෙස සමාජ සම්මතයන් බවට පත්වීමත් සමග නිදහස් සාමුහික සමාජයක් ලෙස සමාජය පරිවර්තනයවීම,
“සමාජවාදය” සහතික කර ගැනීමේ ක්‍රියාවලිය වන්නේය.
මේ සමාජවාදය සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ මනෝරාජික සමාජයක් ලෙසින්ය. සියවස් 02 ට ආසන්න කාලයක් ගතවී හෝ එවැනි සමාජයක් මාක්ස්ගේ පුරෝකතන සමග යුරෝපයේ දියුණු ධනේශ්වර රාජ්‍යයන්හි හෝ ආරම්භවී නැති හෙයිනි. එයට මූලික හේතුවක්ව ඇත්තේ විද්‍යාව හා තාක්ෂණය වේගයෙන් වර්ධනය වූ දෙවන ලෝක යුද්ධයෙන් පසු පොහොසත් බටහිර ධනේශ්වර ලෝකයේ ආර්ථික ග්‍රහණයට හසුවූ දුප්පත් රටවල, වාමගාමී පක්ෂ ඉන් ගොඩ යෑමට දියුණු ධනේශ්වර වර්ධනය මගහැර එකවර සමාජවාදී රාජ්‍ය ස්ථාපිත කළ හැකි යැයි දේශපාලනය කිරීමය.
ඔවුන්ද සමාජවාදයක් ගැන නොදැන සමාජවාදයක් ගැන කතා කිරීමේ අර්බුද අපටද ඉදිරියේ හමුවන්නට ඉඩ ඇත
එවැනි පෙනුමක් සමග රතු වර්ණ පක්ෂයක් ලෙස ජ.වි.පෙ කතා කරන හෙයින් දේශපාලනයක් හරියට නොකියවන මාධ්‍යවේදීන් ඔවුන්ව මාක්ස්වාදී කියා හැඳින්වීමේ සහ ඔවුන්ද සමාජවාදයක් ගැන නොදැන සමාජවාදයක් ගැන කතා කිරීමේ අර්බුද අපටද ඉදිරියේ හමුවන්නට ඉඩ ඇත. එසේ සමාජවාදය හැදීමට ගිය හැම රටක්ම තිරිසන් ඝාතන සිදුවූ කාම්බෝදියාවක් නොවුනාට අසාර්ථක ගමන් ගිය රටවල් විය. එබැවින් දියුණු බටහිර රටවල කම්කරුවන්ට එවැනි බලහත්කාර අව වර්ධිත රාජ්‍ය ආකර්ශනයක් නොවුනි. බටහිර යුරෝපීය රටවල දෙවන ලෝක යුද්ධයෙන් පසු මාක්ස්වාදී දේශපාලනයට එනිසා ඉල්ලුමක් නොවුනි.
එහෙත් එනිසාම, රාජ්‍යගත ආර්ථික ආකෘතීන් සමග නිදහසක් ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති, දූෂිත ඒකාධිපති පාලන සමාජවාදී යැයි අර්ථ දැක්වීම වැරදිය. ඒවා හඳුනාගත යුත්තේ රාජ්‍ය ආර්ථිකවාදී ඒකාධිපති පාලන වශයෙනි. අවශ්‍ය නම් ඒවාට කෙටි නමක් යොදා ගත හැකිය. දැනට එපමණ ය.
(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන්)
2024 මැයි 12






