ගමන් කරන අවස්ථාවේදී, ශ්‍රී ලංකාවට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් දායකත්වය සපයන බව ශ්‍රී ලංකාවේ නව නේවාසික අධ්‍යක්ෂවරිය ලෙස පත්වූ ෂැනන් කවුලින් (Shannon Cowlin) පැවසුවාය.
ඇය මේ බව අදහස් පළ කළේ, කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී සිය ධූරයේ වැඩ කටයුතු අද (09) ආරම්භ කරමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය, කොවිඩ්-19 වසංගතය සහ මෑතකාලීන ආර්ථික අර්බුදය වැනි අභියෝගාත්මක අවස්ථාවන්හිදී ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවේ විශ්වාසවන්ත සහකරුවෙකු වූ බවයි.
ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ මාවතේ ගමන් කරන මෙම අවස්ථාවේදී, දිට්වා සුළි කුණාටුවෙන් (Cyclone Ditwah) සිදුවූ බලපෑම් අවම කිරීමටත්, රටේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමටත් බැංකුව කැපවී සිටින බව ඇය වැඩිදුරටත් පැවසුවාය. එමෙන්ම තිරසාර වර්ධනයක් උදෙසා රජය සහ අනෙකුත් සංවර්ධන පාර්ශවකරුවන් සමඟ සමීපව කටයුතු කරන බවද ඇය අවධාරණය කළාය.
ෂැනන් කවුලින් මහත්මිය වසර 26කට අධික වෘත්තීය පළපුරුද්දක් සහිත නිලධාරිනියක් වන අතර, ඉන් වසර 13ක්ම ආසියානු සංවර්ධන බැංකුව සමඟ කටයුතු කර ඇත. බලශක්තිය, දේශගුණය, පරිසරය සහ මහජන සෞඛ්‍යය වැනි ක්ෂේත්‍ර පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති ඇය, මෙම පත්වීමට පෙර මොංගෝලියාවේ ආසියානු සංවර්ධන බැංකු නේවාසික අධ්‍යක්ෂවරිය ලෙස සේවය කළාය.
ඇමරිකානු ජාතිකයෙකු වන ඇය කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් පාරිසරික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් සහ පාරිසරික සෞඛ්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ඇත.
(සටහන | ජේ.මුණසිංහ)




