නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස ඔහු කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ON’Ally Holdings PLC සමාගමේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි.
වාර්තා වන පරිදි, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඉවත් කිරීමට ආසන්නතම හේතුව වී ඇත්තේ, තුම්මුල්ල ෆෙන්ටාරා ව්‍යාපෘතියට අදාළව ගනු ලැබූ තීන්දු තීරණ සම්බන්ධයෙනි. නාගරික නියාමනයන් සහ පනත උල්ලංඝනය කරමින්, අනුමත මහල් ප්‍රමාණයට වඩා මහල් තිස් පහක් (35) වැඩිකරමින්, අසත්‍ය කරුණු පවා ඉදිරිපත් කරමින් නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී ඇත.
වෙන් වූ විශේෂ කලාපයන් සම්බන්ධ කරමින් භූමිය නිර්මාණය කිරීම, නියාමනයන් වෙනුවෙන් අසත්‍ය කරුණු සකස් කර තිබීම වැනි හිතාමතාම මහල් ප්‍රමාණය වැඩිකිරීමේ කූඨ උවමනාවෙන් යුතුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් සිදු කර ඇති ක්‍රියාවන් නිසා, මෙහි වංචාවක් හෝ දූෂණ තත්ත්වයක් පවතින බවට පැහැදිලි ඉඟි ලැබී ඇතැයි චෝදනා කරමින් ප්‍රදේශවාසීන් සහ සිවිල් සංවිධාන මේ වනවිටත් අධිකරණ ක්‍රියාමාර්ග සඳහා අවතීර්ණ වී සිටිති.
නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අනුර කරුණාතිලක අමාත්‍යවරයාට සිය ධූරය අහිමිවීමට පවා මෙම කාරණය දැඩි ලෙස බලපෑ බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. කෙසේවුවද අනුර කරුණාතිලක නව අමාත්‍යංශයක් හිමිවූ අතර එම කැබිනට් සංශෝධනයෙන් පසු ඉංජිනේරු කුමුදු ලාල් නිවාස, ඉදිකිරිම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කරනු ලැබිය.
අයතා ගනුදෙනු රැසක තොරතුරු අනාවරණය කරගෙන...
කැබිනට් සංශෝධනයෙන් පසු විදෙස් නිල සංචාරයකට සහභාගිව සිටි අමාත්‍ය බිමල් රත්නායක යළි දිවයිනට පැමිණ නාගරික සංවර්ධන අධිකාරියේ කටයුතු අධීක්ෂණය කිරීමෙන් පසු පසුගිය කාලයේ සිදුව ඇතැයි කියන අයතා ගනුදෙනු කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
ඒ අතර නාගරික සංවර්ධන අධිකාරියේ සිදුව ඇතැයි කියන දැවැන්ත මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමුකර ඇත. ඊට වගකිවයුතු යයි සැලකෙන හිටපු නීති අධ්‍යක්ෂවරියට එරෙහිව වහාම නිත්‍යානුකුලව කටයුතු කරන්නැයි ද ඇමතිවරයා අදාල බලධාරීන්ට නියෝගකර ඇත.




