මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (OHCHR) විසින් ශ්‍රී ලංකාවේ ගැටුම් හා සම්බන්ධ ලිංගික හිංසනයට වගඋත්තරදායකවීම පිළිබඳව එළිදක්වා ඇති කම්පා සහගත තොරතුරු රැගත් අලුත්ම වාර්තාවේ දැක්වෙන පරිදි ඔවුන් විසින් විශ්වසනීය ලෙස තක්සේරු කර ඇති චෝදනා අතරින් සමහරක් 2024 ජනවාරි තරම් මෑත කාලීන වෙයි.
“අපට සියල්ල සමග යුක්තිය පිළිබඳ අපේක්ෂාවත් නැතිවුණා” හිසින් යුත් වාර්තාව සඳහා සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරන, වින්දිතයන් 27 දෙනකු (ස්ත්‍රීන් 23ක් සහ පිරිමින් 4ක්) සමග සිදුකළ දුරස්ථ ප්‍රවිචාරණය සහ විශ්වසනීය බාහිර මූලාශ්‍රයන් ඒකාබද්ධ කරගත්, වින්දිත කේන්ද්‍රීය සහ සමාජභාවයන් පිළිබඳ සංවේදී ප්‍රවේශයක් යොදාගත්’ බව OHCHR පවසයි.
“ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් ප්‍රධාන වශයෙන් යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව් සහ වවුනියාව යන දිස්ත්‍රික්කවල දෙමළ ජාතික පුද්ගලයන්ට එරෙහිව සිදු කරන ලද පැහැරගැනීම්, අත්තනෝමතික ලෙස රඳවා තබාගැනීම, වදහිංසා පැමිණවීම, අයහපත් ලෙස සැලකීම සහ ලිංගික හිංසනය පිළිබඳ මෑත කාලීන චෝදනා OHCHR විසින් පරීක්ෂා කරන ලදී. මෙම චෝදනා, 2024 ජනවාරි තරම් මෑත කාලීන වේ,” යි පිටු 30ක් පුරා දිවෙන සිංහල, දෙමල හා ඉංග්‍රීසි බසින් නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
තමන් ගොදුරුවූ පිළිකුල් සහගත ලිංගික වධබන්ධන පිලිබඳ විස්තර එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබාදී තිබේ.
“වධහිංසා පැමිණවීම් විවිධ ක්‍රම සහ ක්‍රෑර, අමානුෂික හෝ අවමන් සහගත හෝ සැලකිලි භාවිතා කරන ආරක්ෂක හමුදා පිළිබඳ වාර්තා, නිශ්චිත විශ්වසනීය ලෙස OHCHR තක්සේරු කළේය. තොරතුරු ලබාදුන් අයගෙන් බොහෝ දෙනෙක් ප්‍රශ්න කිරීමේදී හෝ සිර මැදිරිය තුළ දූෂණය කිරීම, වෘෂණ කෝෂ මිරිකීම, බලහත්කාරයෙන් නිරුවත පෙන්වීම, පියයුරු සපා කෑම ඇතුළු ලිංගික වධහිංසාවලට මුහුණ දුන් බව වාර්තා කළහ.”
දාහත් වසරක්ම උදා නොවූ යුක්තිය දේශීය වශයෙන් ලබාගැනීම කෙරේ කිසිදු විශ්වාසයක් නොමැති දෙමළ යුද පීඩිතයන් අධිකරණය හඳුන්වා ඇත්තේ ‘අපරාධකරුවන් ආරක්ෂා කරන්නා වූ යාන්ත්‍රණයක්’ ලෙසයි.
“වින්දිතයෝ, ජාතික සහ ජාත්‍යන්තර අධිකරණමය පද්ධතීන් කෙරෙහි ගැඹුරු විශ්වාසයක් නොමැතිකම අචලව ප්‍රකාශ කළහ. අධිකරණය, බොහෝදෙනා විසින් දක්නා ලද්දේ යුක්තිය කරා වූ මාවතක් වශයෙන් නොව, අපරාධකරුවන් ආරක්ෂා කරන්නා වූ යාන්ත්‍රණයක් වශයෙනි. වසර ගණන් ඇණහිටි හෝ අසමත් හෝ නඩු විභාග විසින් වින්දිතයන් භාවමය වශයෙන් විඩාපත් සහ ප්‍රකෝප ගන්වා ඇත්තේ වගඋත්තරදායකත්වය කිසිවිටක ළඟාකරගත නොහැකි පදයකැයි යන හැඟීම ප්‍රතිබලගන්වමිනි.”
ලිංගික හිංසනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ආයතන විසින් ශ්‍රී ලංකාවට නැවත නැවතත් දෙන ලද නිර්දේශ ඉටුකිරීමේ පොරොන්දු ‘තවමත් ක්‍රියාවට නැංවීමට ඉතිරිව තිබෙන’ බව සිහිපත් කරන වාර්තාව මේ වතාවේත් රජයට නිර්දේශ මාලාවක් ඉදිරිපත් කර තිබේ.
“රජයේ සන්නද්ධ හමුදා සහ අන් අය විසින් කරන ලද ලිංගික හිංසාවන් ප්‍රසිද්ධියේ පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා රජය, ඉක්මන් හා මූර්ත පියවර ගතයුතු අතර විධිමත් සමා අයැදීමක් නිකුත් කිරීමටත්, ආරක්ෂක අංශ, අධිකරණමය සහ නෛතික ව්‍යුහයන් ආවරණය වන පරිදී විඳිත කේන්ද්‍රීය ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමටත්, ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමටත්, මනෝවිද්‍යාත්මක සහ සාමාජීය ආධාරයන්ට ප්‍රවේශක අවස්ථා සහතික කිරීමටත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය පූර්වයෙන් කළ යෝජනාවන් යටතේ සිදුකළ ප්‍රතිඥා ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කළ යුතු ය.”
ආණ්ඩුව අපරාධකරුවන්ට එරෙහිව රට තුලදී පියවර නොගන්නේ නම් රටින් පිටතදී නෛතික පියවර ගැනීමට උපකාරී වනලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටී.
“ජාතික අධිකාරයන් ක්‍රියාත්මක වීමට අසමත් වන තැනදී, යෝග්‍යතාව අනුව, සර්වභෞමික සහ බහිර්භෞමික අධිකරණ බලය අභ්‍යාස කිරීම මගින් වගඋත්තරදායකත්වයට අදාළ ප්‍රයත්නයන්ට ජාත්‍යන්තර ප්‍රජාව සහාය දැක්විය යුතු අතර, ජාත්‍යන්තර නීතිය හා සමානුයෝගීව අපරාධකරුවන්ට එරෙහිව ඉලක්කගත සම්බාධක පැනවීමටත්, සාම සාධනය සහ ද්වී පාර්ශ්වික සහයෝගීතාවන් සඳහා සළකා බලනු ලබන පුද්ගලයන් දැඩි සුපරීක්ෂාවට භාජනය කිරීමට සහ වින්දිතයන්ට සහ සිවිල් සමාජ සංවිධානවලට තිරසාර සහාය සහතික කිරීමටත් ක්‍රියා කළ යුතු ය.”
OHCHR විසින් ප්‍රවිචාරණය කරන ලද දෙමළ වින්දිතයන් තමන් ගොදුරු කරගන්නා ලද බියකරු ලිංගික හිංසන පිලිබඳ විස්තර රැගත් “අපට සියල්ල සමග යුක්තිය පිළිබඳ අපේක්ෂාවත් නැතිවුණා” සිංහල වාර්තාව මෙතනින්.
දශක ගණනාවක් තිස්සේ යුක්තිය නොලද ලිංගික හිංසනයට ගොදුරුවූවන් පිරිසක විඳවීම් හෙළිකරන අලුත්ම වීඩියෝවක් මතු පළවේ.

Sri Lanka: UN Finds Systemic Sexual Violence During Civil War




