පලස්තීන සටන්කාමී කණ්ඩායමක් වන හමාස් සංවිධානය ඔක්තෝබර් හත්වන දා

ඊශ්‍රායලයට එල්ලකළ ප්‍රහාරය, පරිමාණය හා ප්‍රචණ්ඩත්වය අතින් ගත්කල පෙර නොදුටුවිරූ ප්‍රහාරයකි.

අනතුරු හැඟවීමකින් තොරවම පැමිණිය ද, එය දශක ගණනක් තිස්සේ ඊශ්‍රායල හා පලස්තීන ජාතිකයින් අතර පැවැති ආතතියේ ප්‍රතිඵලයකි.

හමාස් පවසන පරිදි එහි ප්‍රහාරය පිටුපස හේතු ගණනාවක් තිබේ - අපි ඉන් හතරක් සළකා බලන්නෙමු.

 

ගාසා

ගාසා තීරය යනු ඊශ්‍රායලය, ඊජිප්තුව සහ මධ්‍යධරණී මුහුද අතර පිහිටි කිලෝමීටර් 41ක් දිගු, කිලෝමීටර් 10ක් පළල භූමි ප්‍රදේශයකි. මිලියන 2.3ක පමණ ජනතාවක් වෙසෙන එය ලෝකයේ ඉහළම ජනගහණ ඝනත්වයෙන් යුත් ප්‍රදේශයකි. එය, බටහිර ඉවුර (වෙස්ට් බෑන්ක්) සහ නැගෙනහිර ජෙරුසලම හා එක්ව පලස්තීන ප්‍රදේශවල කොටසක් නිර්මාණය කරයි.

 

එක්සත් ජාතීන් පවසන පරිදි ගාසාහි ජනගහණයෙන් 80%ක් පමණම ජාත්‍යන්තර ආධාර මත යැපෙන අතර, මිලියනයක පමණ ජනකායක් ආහාරමය ආධාර මත දෛනිකව යැපෙයි.

එහි වෙසෙන ජනයාගේ එදිනෙදා ජීවිතය කටුක ය. එක්සත් ජාතීන්ට අනුව, 2021 වසරේ දී ප්‍රදේශයට විදුලි බලය ලැබී තිබුණේ දළ වශයෙන් දිනකට පැය 13ක් පමණි. පුද්ගලයෙකුට දිනකට පානය, සේදීම්, ඉවුම්පිහුම් සහ ස්නානය සඳහා ජලය ලීටර් 100ක් අවශ්‍යබව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන නමුත්, ගාසාහි දෛනික සාමාන්‍යය ලීටර 88ක් පමණි.

Gaza land
ගාසා තීරයේ වෙරළ සහ ගුවන් කලාපය පාලනය කරන ඊශ්‍රායලය, එහි දේශසීමා මාරු හරහා ඇතුළුවීමට සහ පිටවීමට අවසර දෙන්නේ කාට ද හා කුමන භාණ්ඩවලට ද යන්නට සීමා පනවා තිබේ. ඊට සමානව, ඊජිප්තුව එහි ගාසා දේශසීමාව හරහා ඇතුළුවන සහ පිටවන තැනැත්තන් පාලනය කරයි. මෙය ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍යබව දෙරට පවසයි.

දැන්, සති අන්තයේ එල්ලවූ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල රජය ගාසා සඳහා "පූර්ණ වටකිරීමක්" ප්‍රකාශයට පත්කර ඇති අතර, එම ප්‍රදේශයට ආහාර, ජලය හා ඉන්ධන ඇතුළුවීම අවහිර කිරීම ද මීට අයත් ය.

cdfye56විදුලි විසන්ධිවීම් යනු ගාසා තීරයේ දෛනික සංසිද්ධියකි

අභ්‍යන්තර වශයෙන්, ගාසා තීරය 2007 සිට හමාස් පාලනය යටතේ පවතියි. එවසරේ දී, එවකට ගාසාව පාලනය කළ පලස්තීන අධිකාරියට පක්ෂපාතී හමුදාවන් ප්‍රචණ්ඩ ගැටුමකින් පසු ඉස්ලාමීය කණ්ඩායම විසින් නෙරපා හරිනු ලැබුණි.

 

2014 දී, හමාස් සමග ඇතිවූ කෙටි ගැටුමකින් පසු, ඊශ්‍රායලය සටන්කාමීන්ගේ රොකට් ප්‍රහාරවලින් ආරක්ෂා වීමට හා සටන්කාමීන්ට සිය රටට ඇතුළුවීම වැළැක්වීම සඳහා ගාසා තීරය වටා ස්වාරක්ෂක කලාපයක් ප්‍රකාශයට පත් කළේ ය. නමුත් මෙමඟින්, මිනිසුන්ට ජීවත්වීමට සහ ගොවිතැන් කිරීමට ඇති ඉඩම් ප්‍රමාණය අඩු කෙරිණි.

 

අල්-අක්සා මස්ජිදය
නැගෙනහිර ජෙරුසලමේ අල්-අක්සා මස්ජිදයට වඩා, ඊශ්‍රායල ජාතිකයින් හා පලස්තීනුවන් අතර පවතින ආතතීන් සංකේතවත් කරන ස්ථාන ඇත්තේ නම් ඒ අල්පයකි. කඳු ගැටයක් මත සංකීර්ණයක පිහිටි මෙය ඉස්ලාමයේ තෙවැනි වඩාත්ම පූජනීය ස්ථානය වන නමුත්, එය 'ටෙම්පල් මවුන්ට්' ලෙස හඳුන්වන යුදෙව්වන්ගේ පූජනීයතම ස්ථානය ද එය යි.

 

"අපේ ශාස්තෘවරයාට අල්-අක්සා මස්ජිද භූමිය තුළ අපහාස කරන්නට තරම් නිර්භය වූ" ඊශ්‍රායල ජාතිකයින් "අල්-අක්සා මස්ජිදය වෙත එල්ලකරන දෛනික ප්‍රහාර"වලට එරෙහි පියවරක් ලෙස මෙසේ ප්‍රචණ්ඩත්වය ඇරඹිබවට, ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ දී නිකුත් කළ හඬ පටියක, හමාස් සංවිධානයේ යුද අංශය වන අල්-කසාම් බ්‍රිගේඩයේ අණදෙන නිලධාරී මුහම්මද් අල්-දෙයිෆ් පවසයි.

 

මෑත වසරවල දී, ඊශ්‍රායලයේ ආගමික ජාතිකවාදීන් අදාළ පූජා භූමිය වෙත සිදුකරන ගමන්බිමන් වැඩිකර තිබීම පලස්තීන ජාතිකයින්ගේ කණස්සල්ලට හේතුවී තිබේ.

මෙම සිද්ධස්ථානයේ දී පලස්තීන බැතිමතුන් හා ඊශ්‍රායල ආරක්ෂක අංශ අතර නිරන්තර ගැටුම් ඇතිවී තිබේ. පසුගිය අප්‍රේල් මාසයේ දී, එහි පැවැත්වෙන ආගමික කටයුතු සම්බන්ධ ආරවුලකින් පසු ඊශ්‍රායල පොලීසිය ස්ටන් ග්‍රෙනේඩ් සහ රබර් උණ්ඩ යොදාගෙන මස්ජිදය වැටලූහ. 2021 වසරේ දී ඊශ්‍රායලය සිදුකළ වැටලීමක් හේතුවෙන්, ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර එකොළොස් දිනක් පුරාවට පූර්ණ පරිමාන අර්බුදයක් ඇතිවී පැවැතියේ ය.

අදාළ සිද්ධස්ථානය පිළිබඳ ඊශ්‍රායල රජයේ අභිප්‍රායන් ගැන ඔවුන් කණස්සල්ලට පත්ව ඇතිබව ද, එයට සිදුකරන ඕනෑම වෙනසක් "පැහැදිලි රතු ඉරක්" වනු ඇතිබව ද, ලෙබනනයේ වෙසෙන හමාස් ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකු වන ඔසාමා හම්දන් බීබීසීහි ග්ලෝබල් නිව්ස් පොඩ්කාස්ට් වෙත පැවසීය. ඊශ්‍රායල බලධාරීන් පවසන්නේ, එහි වැඳුම් පිදුම් කිරීමේ නිදහස ආරක්ෂා කිරීමට එරට කැපවී සිටිනබවකි.

al mඅල්-අක්සා මස්ජිද සංකීර්ණය ඉස්ලාමයේ ශුද්ධවූ ස්ථානවල ඉහළින්ම පිහිටන්නකි

යුදෙව් ජනාවාස

1967 වසරේ යුද්ධයෙන් පසු ඊශ්‍රායලය එම ප්‍රදේශ අත්පත්කර ගත්බැවින්, එහි යුදෙව් ජනාවාස, විශේෂයෙන්ම බටහිර ඉවුරේ යුදෙව් ජනාවාස සංඛ්‍යාව දිගින් දිගටම ඉහළයමින් පවතියි. 2022 වන විට ඊශ්‍රායල ආක්‍රමණය යටතේ ඇති ප්‍රදේශයක් යුදෙව් ජනයා 700,000ක් පමණ වෙසෙන බවට එක්සත් ජාතීන් ඇස්තමේන්තුකර තිබේ.

ජාත්‍යන්තර නීතියට අනුව මෙම ජනාවාස නීති විරෝධීබව එක්සත් ජාතීන් හා තවත් බොහෝ රටවල් සළකතත්, ඊශ්‍රායලය මීට එකඟ නොවේ.

 

මෙවසරේ දී, අත්පත්කර ගත් බටහිර ඉවුරේ වෙසෙන පලස්තීන සිවිල් වැසියන්ට එරෙහිව අන්තවාදී ඊශ්‍රායල ජනාවාසකරුවන් විසින් එල්ල කරන ප්‍රචණ්ඩත්වය විශාල වශයෙන් ඉහළගොස් තිබුණි. මසකට එවැනි සිදුවීම් 100කට වැඩි ගණනක් වාර්තාවූබව එක්සත් ජාතීන් පවසයි. 2022 වසරේ සිට පුද්ගලයින් 400ක් පමණ දෙනා ඔවුන්ගේ ඉඩම්වලින් එලවා දමා ඇතැ යි ද එක්සත් ජාතීන් අනතුරු අඟවයි. 

xdtw435මතභේදයට තුඩුදී ඇති භූමියේ යුදෙව්වන් පදිංචි කිරීම ද ඊශ්‍රායල - පලස්තීන ආතතියට මුල්වී ඇත

 

හමාස්හි ඔසාමා හම්දන්ට අනුව, ඊශ්‍රායලය "පලස්තීනුවන් බටහිර ඉවුරෙන් එලවා දමන්නට සැලසුම් කරන්නේයැ"යි පලස්තීන ජාතිකයින් බියෙන් පසුවෙයි.

 

ඊශ්‍රායල-අරාබි සබඳතා

1979 සහ 1994 සාම ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු, ඊශ්‍රායලය එහි අරාබි අසල්වැසියන්ගෙන් දෙදෙනෙකු වන ඊජිප්තුව හා ජෝර්දානය සමග පමණක් පූර්ණ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වයි. කෙසේ වෙතත්, මෑත වසරවල දී එය එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි කලාපයේ අනෙකුත් වැදගත් රාජ්‍ය සමග ඊට සමාන ගනුදෙනු සඳහා මාර්ගය තනා ඇත.

සැප්තැම්බරයේ දී, සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු වන මොහම්මද් බින් සල්මාන්, ඔහුගේ රට ඊශ්‍රායලය සමග සබඳතා සාමාන්‍යකරණයට "දිනෙන් දින ළඟාවෙමින් සිටින"බව, එක්සත් ජනපද රූපවාහිනී නාලිකාවක් වන ෆොක්ස් නිව්ස් වෙත පැවසුවේ ය.

 

එවැනි ඕනෑම ගනුදෙනුවක් අවසානයේ පලස්තීන රාජ්‍යයක් නිර්මාණය කිරීම කරා යා යුතුව ඇතැ යි සෞදි අරාබිය මින් පෙර ප්‍රකාශකර ඇතත්, පලස්තීන අයිතිවාසිකම් හඳුනාගැනීම සඳහා ඊශ්‍රායලයට එල්ලවෙන පීඩනය, සාමාන්‍යකරණය හරහා අඩුවනු ඇතැ යි පවසන හමාස් සංවිධානය මේ පියවරට එරෙහි වෙයි. ඔක්තෝබර් හත්වැනි දා විකාශය කළ පටිගත කරන ලද ප්‍රකාශයක් හරහා, හමාස් නායක ඉස්මයිල් හනියේ යුදෙව් දේශය වෙත සහනශීලී ස්ථාවරයක් අනුගමනය කිරීමට එරෙහිව අරාබි රටවල් දෝෂ දර්ශනයට ලක්කළේ ය.

"ඔවුන් සමග ඔබ අත්සන් කළ සාමාන්‍යකරණයේ සියලුම ගිවිසුම්වලට මෙම ගැටුම විසඳීමට නොහැකියි," ඔහු පැවසුවේ ය.

(bbc sinhala)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්