1200 x 80 DMirror

 
 

වර්තමාන මහජන උද්ඝෝෂණ රැල්ල ට හිසක් නැතැයි යන්න සාමාජීය වශයෙන් ඇති බරපතළ විවේචනයකි.



එකී උද්ඝෝෂණ රැල්ල දෙස බැලීමේදී පෙනී යන වැදගත් ලක්ෂණයක් වන්නේ තරුණ ජනයා එහි ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමය.

උද්ඝෝෂණ ප්‍රවේශයෙහි හා යොදා ගන්නා සටන් පාඨ වල සන්දර්භීය ලකුණ ලෙස සනිටුහන්ව තිබෙන්නේ ජාතිකත්වය හා දූෂණයට එරෙහි වීම පිළිබඳ අදහසකි.


ධජයෙන් අඩුව පිරිමැසීම

"ගෝඨා ගෝ හෝම්" කියන්නෝ ජාතික ධජය පෙරටුකොටගෙන සිටිති. ගෝඨාභය බලයට පත් කරන වැඩසටහනේදී ද ජාතික ධජය දේශපාලන මතවාදය ප්‍රචාරණය කිරීමට භාවිත කැරිණි.

මෙම ක්‍රියාවලීන් දෙකටම ජාතික හැඟීම පිළිබඳ කාරණයෙන් එහා ගැඹුරු දේශපාලන දැක්මක් නැති බව ජාතික ධජය තත්වාකාර සාක්ෂියක් සපයයි.



ධජයේ දැවටු මතවාදය පෙරදැරිව ගෝඨාභය ජනාධිපති ධුරයට පත්කළ වැඩසටහන අර්ථ විරහිත බව අද වන විට ඔප්පු වී හමාරය. මතුපිටවාදී ජාතිකත්වයෙන් එහා ගිය දේශපාලන ඥානයක් ලාංකීය සමාජයට තිබුණානම් ගෝඨාභය ජනාධිපති පුටුවෙහි තබන්නේ නැත.

 


vfgvxcgගෝඨාභය තම ජනාධිපතිධුර අපේක්ෂකත්වය තහවුරු කළේ පාස්කු  ප්‍රහාරයත් සමඟය.


ජාතික ආරක්ෂාව රටක වැදගත් ම විෂයයක් වුවත් එය ගෝඨාභය භාවිත කළේ බලය ලබාගැනීමේ උපකරණයක් වශයෙනි. ගෝඨාභය තම ජනාධිපතිධුර අපේක්ෂකත්වය තහවුරු කළේ පාස්කු ප්‍රහාරයත් සමඟය.

ජාතික ආරක්ෂාව බලය ලබාගැනීමේ දේශපාලන උපකරණයක් ලෙස අවභාවිත කිරීම නම් වූ සැලසුම් සහගත ක්‍රියාවලිය හමුවේ ජනයා නිර්වින්දනය වූයේය.

ඔවුහු, මූල්‍ය විනිවිදභාවය, සංවර්ධන ආර්ථිකය, ජාතීන් අතර සහයෝගීතාව, නීතියේ පාලනය, මානව හිමිකම් මෙන්ම ආර්ථික හා ආහාර සුරක්ෂිතතාව පමණක් නොව සෞඛ්‍ය හා අධ්‍යාපනය යන වැදගත්ම විෂය ප්‍රදේශයන් ගෝඨාභයගේ ජාතික ආරක්ෂාව නම් වූ යෂ්ටියට යටත් කර දැමූහ.

ප්‍රමාදවී ප්‍රකෘතිය ලද ඔවුහු දැන්, ගෝඨා පිස්සෙක් යැයි තාලයට කියති. පිස්සුව හැදුණේ ගෝඨාට ද තමන්ට ද යන්න එම ජනයා දැන් ඉවසීමෙන් කල්පනා කර බැලිය යුතුය.

එමෙන්ම රටෙහි හා ජනයාගේ වැදගත්ම ප්‍රශ්න ව්‍යාජ ජාතික ආරක්ෂාවට යටත් කර දැමීමේ මුග්ධ ක්‍රියාවලිය විශාලත්වයෙන් සමානවද දිශාවෙන් ප්‍රතිවිරුද්ධවද අනෙක් පැත්තට හැරවිය හැකිද යන්නත් ඔවුන් කල්පනා කර බැලිය යුතුය.

සාමකාමී උද්ඝෝෂණ එක දිගට පැවැත්වුවත් ගෝඨා සහ ඔහුගේ ජොන්ස්ටන්වාදී හිතුවක්කාර කල්ලිය නොසෙල්වී සිටියහොත් අප කරන්නේ කුමක්ද? රාජපක්ෂලා හොරු බව හඬ ගෑමෙන් පමණක් ඔවුන්ගේ පැවැත්ම අහෝසි කළ හැකිද.

මේ සංකීර්ණය නිරාකරණය උදෙසා ප්‍රකෘතිමත් දේශපාලන ක්‍රියාවලියක් අවශ්‍ය නැද්ද?

විරෝධතාකරුවන් ජාතික ධජය ලෙළවමින් විරෝධය පළ කරන විට තවත් අර්ධ ජාතිවාදී බලවේගයකට හෝ එම විෂයෙහි කෙළ පැමිණි රාජපක්ෂලාට ම අලුත් වටයකින් එළඹීමට මහජනයාගේ ජාතිකවාදී කවුළුව ඉඩක් සපයා නො දෙයි ද? 

 

අප යා යුතු අවසාන සංවර්ධන අරමුණ ලෞකික රාජ්‍යය නම් ඒ ගමන සඳහා ජාතික ධජය මෙතෙක් සංකේතවත් කළ දේශපාලනය මෙන්ම සංඝ සමාජය මගින් ඔද්දල් කළ දේශපාලනය ළං කර ගත යුතුම නැත. ලෞකික රාජ්‍යය සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය අවංකව ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩපිළිවෙළකි.
 



රුවන්ඩා උදාහරණය :

අපට රුවන්ඩාව උදාහරණයට ගත හැකිය. මීට වසර විසිපහකට පෙර ගෝත්‍රික සටන් වලින් ගහන, දරිද්‍රතාවයේ පතුලටම වැටී තිබුණු රාජ්‍යයක් වන රුවන්ඩාව අප්‍රිකානු කලාපයේ දියුණු රාජ්‍යයක් බවට පත්කිරීමට ජනාධිපති පෝල් කාගමේට හැකිවූයේ ජාතිය හා ආගම පෙරට ගැනීමෙන් නොවේ. ඒ දෙක පෙරට දමා ලංකාවේ මෙන් යටින් චෞර පාලනයක් ක්‍රියාත්මක කිරීමෙනුත් නොවේ. ජාතීන් අතර සමගිය ඇති කරන වැඩසටහන් මෙන්ම මූල්‍ය විනිවිදභාවයෙන් යුතු නිෂ්පාදන ආර්ථික වැඩසටහන් ඉස්මත්තට ගැනීමෙනි. එමෙන්ම එම ජාතීන්ට අර්ථ සම්පන්න ජීවිතයක් ළඟා කරදෙන සාමාජීය හා සංස්කෘතික වැඩසටහන් හදුන්වා දීමෙනි.

ලංකාවේ විරෝධතාකරුවන් ජාතික ධජය අතට ගත්තේ ආරක්ෂාව පතා ගෙන ද ? ඔවුන් කඩාකප්පල්කාරී වුවහොත් හෝ ආණ්ඩුව මර්දනය දියත් කිරීමට තීරණය කළහොත් ජාතික ධජය කිසිසේත්ම සන්නාහයක් නොවන බව කවුරුත් පිළිගත යුතුය.

ආරක්ෂාව පතා ධජය ලෙළවනවා නම් හෝ එය සරම සේ පටලවා ගන්නවා නම් එය අන්ත නොපැසුණු හා නොදියුණු ක්‍රියාවක් බව කිව යුතුය.

ධජය වෙනුවට දෑත් එසවිය නොහැකි ඇයි ?  රට තුළ මෙන් ම අන්තර්ජාතිකව ද අභ්‍යන්තර තත්වය සන්නිවේදනයට හා විරෝධය පලකිරීමට දෑත් ලෙළවීම ප්‍රමාණවත්ය.
 
 

විදෙස්ගත ලාංකිකයන්ගේ විරෝධතා සඳහා සිය අනන්‍යතාව පළ කිරීමට ජාතික ධජය භාවිත කළ හැකිය. මෙරට තුළ අරගලයට අවශ්‍ය ජාතික අනන්‍යතාව පළ කරනවාට වඩා පුළුල් අරුතකි. ධජය මෝටර් සයිකල් වල යන ගමන් ලෙළවා අරගලයට පටු අරුතක් දිය යුතු නැත.


 


යුද්ධය ජය ගත් විට මහ පාරේ කිරිබත් උයා කෑවේත් ජාතික ධජය ඉනවටේ ඔතාගෙන ය. අරක්කු බිව්වේත් එම සෙයියාවෙන්මය. ගෝඨා ඔසවා තබන විටත් අතට ගත්තේ ඒ කොඩිය ම ය. කපුටු කාක් කාක් වැනි නොගැඹුරු පාඨ කියමින් ගෝඨා ගෝ හෝම් කියන්නේත් ඒ කොඩිය අතට ගෙන ය.

මෙවැනි තීරණාත්මක අරගල සමයක් බිග් මැච් සීසන් එකක් බවට පත් කර ගත යුතු නැත. ජාතික ධජය රාජපක්ෂලා මෙන් අව භාවිත නොකොට එය නිසි තැන තිබෙන්නට සලස්වා මෙම දේශපාලන අරගලයට පීඩිත පුරවැසියාගේ සිට වැඩකරන ජනයාගේ මෙන්ම මෙරට සංස්කෘතික මිනිසාගේ පාර්ශ්වයෙන්
අර්ථයක් දීම වැදගත් වෙයි.



විපක්ෂයේ භූමිකාව

ranil sajith anura champika

මේ මොහොතේ ආණ්ඩුව තුළ මතුව ඇති අර්බුදය තරමටම බරපතළ අර්බුදයක් වනුයේ වර්ධනය වන මහජන විරෝධය අවශෝෂණය කරගැනීමට විපක්ෂය අසමත් වී තිබීමය.

ජනතාව හඬනගා කියන්නේ නියෝජනයකින් තොරව තමන් අරගල කරන බවය.

ජනතාවට නොතේරෙන සත්‍ය වන්නේ ව්‍යාපාරයකින් තොරව අරගලයක් පැවතිය නොහැකි බවය. ඇතැම් විට ඔවුන් තමන්ට ව්‍යාපාරයක් නැති හිස්කම ආවරණය කර ගැනීමට ජාතික ධජය භාවිතා කරනවා විය හැකිය.

 
අප වෙල්ලස්සේ කැරැල්ල උදාහරණයකට ගතහොත් එම කැරැල්ල පළමුව ආරම්භ කළේ වෙල්ලස්සේ සාමාන්‍ය ජනයා ය. එහෙත් ජනතාව පමණක් දිගටම අරගල කළා නම් කැරැල්ල එපමණ දුරකට හෝ ගමන් නොකරනු ඇත. ඊට ඉතා ඉක්මනින්ම ජාතික නායකයෝ සම්බන්ධ වූහ. ඔවුහු කිසියම් වෘත්තීය මට්ටමකට කැරැල්ල සැලසුම් කළහ.
 


මොනරවිල කැප්පෙටිපොළ තමන් ගිය මග වෙනස් කරමින් ජාතිය දෙසට හැරීම තුළින් කැරැල්ලට බලවත් නායකත්වයක් ලැබිණි. අනතුරුව තවත් දීප්තිමත් නායකයෝ ඊට එක් වූහ. ජනතාව පමණක් කැරලි ගැසුවා නම් තත්වය කුමක් විය හැකිද.අ

ප්‍රේල් 9 වැනිදා ගාලු මුවදොර රැය පහන් කළ විරෝධතාකරුවන්ගේ ධෛර්ය සම්පන්න භාවය හා වුවමනාව අප බිඳකින් වත් අව ප්‍රමාණ කළ යුතු නැත. ඔවුහු මුළු රටේම පීඩාවට පත් ජනයා නියෝජනය කරති.  එහෙත් ඔවුන්ට එකලාව අරගලය අල්ලාගෙන සිටීම කළ නොහැකි බව කිව යුතුය. ඊට වෘත්තීයමය භාවයක් අවශ්‍ය ය. ඒ සඳහා දේශපාලන වැඩපිළිවෙළක් අවශ්‍ය ය.

කිසිසේත් ම විපක්ෂයේ බල දේශපාලන උවමනාවන් සමග ඔලු මාරු කරන දේශපාලනයක නිරත වන්නට අප ඔවුන්ට නොකියමු.

කාල් මාක්ස් කීවේ පක්ෂය යනු ජනතා මූලස්ථානය බවය. ජනතා මූලස්ථානයක සෙවණ අහිමිව දිගු අරගලයක් කළ නොහැකිය යන්න එහි ප්‍රධාන තේරුම ය. පක්ෂ විරහිතව කරන අරගලයක දිශානතිය පාරභෞතිකය. පක්ෂ මැදිහත්වූ අරගලද වැරදී ගියේ කට්ටිවාදය නිසාය. වර්තමාන අරගලය කුඩා ව්‍යාපාර වල හෝ රාජ්‍ය නොවන සංවිධාන කරන ස්වරූපයේ සීමිත අරගලයක් නොවේ. ඊට තිබිය යුත්තේ පුළුල් අරගල අරුතකි.



භාරකාර රජයක් : සජිත්ගේ ස්ථාවරය !

සීමිත කාලයකට භාරකාර රජයක් පිහිටුවීම පිළිබඳ යෝජනාවක් කීපදෙනකු විසින් ම පසුගිය දිනවල සිදු කර තිබුණි.

ඒ ගැන මෙම ලියුම්කරු විපක්ෂ නායකවරයා සමඟ ද සාකච්ඡාවක් කළේය. ඔහුගේ අදහස වූයේ ඔවුන් ගොඩ නගමින් යන ඉලක්ක ගත පක්ෂ දේශපාලන වැඩපිළිවෙළට එමගින් බාධාවක් සිදු වන බව ය.

භාරකාර රජයේ ව්‍යූහය තුළ තෝරාගත්, පිළිගත් වෘත්තීය දේශපාලන නායකයන් ක්‍රියාකාරී වැඩ කොටසක් ඉටු කරන අතර රටෙහි පිළිගත් සක්‍රිය බුද්ධිමතෙකු නායකත්වයේ සිටිය යුතු බව ද ලියුම්කරුගේ යෝජනාවෙහි දැක්විණි.

මීළඟ මැතිවරණය විෂයෙහි වූ බල දේශපාලන උවමනාවෙන් එම වැඩසටහන සම්පූර්ණයෙන්ම වියුක්ත විය යුතු අතර රටෙහි උද්ගතව ඇති මූලික ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් සෙවීම හා ක්‍රියාත්මක කිරීමට පදනම සකස් කිරීම ඊට අයත් ප්‍රමුඛ කාර්යභාරය විය යුතු බව ද ලියුම්කරුගේ යෝජනාවෙන් අවධාරණය කැරිණි.


කවර ආණ්ඩුවක් පිහිටුවීමට හෝ ගෝඨාභය තනතුරෙන් ඉවත් විය යුතු බව සැබෑය. විකල්ප වශයෙන් 20 වැනි සංශෝධනය අවලංගු කොට යළි 19 ට ගොස් ආණ්ඩුවක් පිහිටුවීමේ ඉඩ 113 ක බහුතරය ඇති නායකයකුට ලබා දිය යුතුය. එවැනි විසඳුමක් සඳහා පියවරක් පසුපසට යාමට ගෝඨාභයගේ කැමැත්තක් නැත.



ඔහුට, වඩා හිතවත්කම් පාන්නේ ජොන්ස්ටන් වැනි අදේශපාලනික හිතුවක්කාරයන්  නිසා ජනපතිට මේ ගැන නිසි උපදෙසක් දීමට කෙනෙකු නැති බවද පැහැදිලිය.

ජනපති කල්පනා කරනු ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් සහනශීලී තත්ත්වයක් ඇති කරගෙන කිසියම් ආකාරයකට මහජන සහන කිහිපයක් සලසා මෙම ආතතිගත තත්ත්වයෙන් ගැලවීමට විය හැකිය.

ජනතාව දේශපාලන මතයක් නොදරා පළකරන හුදෙකලා විරෝධය ඒ අනුව යම් මොහොතක නිමා විය හැකිය. ඔවුන්  දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරන තත්ත්වය තුළ සජිත්ට හා අනුරට ජනතා අරගලය සමඟ බද්ධ වීමට සිදුව තිබෙන්නේ සීමා සහිතවය.

NMඇන්. ඇම්. පෙරේරා කොළඹ ගාලු මුවදොර පිටියේ අවසන් හර්තාල් රැළිය අමතයි. (දකුණු පස මූලාසනයේ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක)



53 හර්තාලයේදී දේශපාලන නායකයන්ට වඩා ජනයා ඉදිරියට ගියේය. ජනතා සටන කළමනාකරණය කිරීමට දේශපාලකයෝ අසමත් වූහ. ඒ නිසා අරගලයද විරෝධතා වලින් එහාට නොගොස් දියාරු වූයේය. වසර 69 කට පසු යළි උද්ගත වෙමින් තිබෙන්නේ ඊට තරමක් සමාන තත්වයකි. එබැවින් දැන් කළ යුත්තේ කුමක්ද?


බුද්ධිමතන්ගේ භූමිකාව

මේ රටේ බුද්ධිමතුන්ට නව මහජන ව්‍යාපාරයක් ගොඩනැඟිය නොහැකිද? පළමුව ඒ සඳහා උනන්දු වන සිය දෙනෙකුගෙන් පමණ සමන්විත සක්‍රීය පිරිසක් එකතු වී ඔවුන් කිසියම් මහජන මූලස්ථානයක් ආරම්භ කළ යුතුය.

බහුවිධ සමාජ දේශපාලන හා සංස්කෘතික අරගලවලට වසර කිහිපයක් තිස්සේ දායක වෙමින් සිටින, තීරණාත්මක දේශපාලන අත්දැකීම් ලැබූ ක්‍රියාධරයන් පිරිසක් එක්ව විවිධ ක්ෂේත්‍ර වල වැඩ කරන බුද්ධිමතුන්ට එම ව්‍යාපාරයට එකතු වන ලෙස යෝජනා කළහොත් එම ප්‍රයත්නය පල දරන්නට පුළුවන.

අනතුරුව එම මූලස්ථානය පක්ෂ ව්‍යුහයකට පත්කොට නායකත්ව මණ්ඩලයක් හා එම මණ්ඩලයටත් වගකියන පිළිගත් බුද්ධිමත් ක්‍රියාධරයකු නායකත්වය සඳහා ගෙන ඒම මෙහි වැදගත්ම පියවර ලෙස සැලකිය හැකිය.

ඊට සම්බන්ධ වන විවිධ විෂය ක්ෂේත්‍රයන් නියෝජනය කරන උගතුන්ට හා විශේෂඥයන්ට රටේ දැවෙන ප්‍රශ්න වලට අදාලව පත්‍රිකා ලිවීම හා ඒවා ප්‍රායෝගිකත්වයට නැංවීම පිළිබඳ වැඩසටහන් සම්පාදනය කළ හැකිය.
 

සාම්ප්‍රදායික පක්ෂ ප්‍රතික්ෂේප කරමින් සිටින වර්තමාන උද්ඝෝෂකයන් මෙවැනි ව්‍යාපාරයකට කැමැත්තෙන් එකතු වනු ඇත. දැනට ඔවුන්ගේ අරගල මැදිහත්වීම අවශෝෂණය කරගත නොහැකි නිසා සාම්ප්‍රදායික පක්ෂ පසුවන්නේ සැලකිය යුතු අර්බුදයක ය. එහෙත් බුද්ධිමතුන්ගේ ව්‍යාපාරයක් හෝ පක්ෂයක් ඔවුන් ප්‍රතික්ෂේප නොකරනු ඇත.
 


දේශපාලනය මජර ගලන තැනක් නිසා ඉන් විතැන් වී සිටින ජනතාව මෙන්ම තම මාතෘ භූමියෙහි යහපත පතන විදෙස්ගත පුරවැසියන් සැලකිය යුතු පිරිසක් මෙවැනි මැදිහත්වීමකට තම තමන්ගේ මට්ටමින් දායක වනු ඇත.

මෙවැනි වැඩසටහනකට උනන්දු පිරිසක් අලුත් යෝජනා සහිතව තරමක් දීර්ඝ සාකච්ඡාවකට යොමු වීම පළමුවෙන් කළ යුත්තකි.

"උඹේ පුතා මහ මිනිහෙක් කරලා පීඩකයාට විරුද්ධ වෙන්න පුරුදු කරපං" යනුවෙන් දෙබසක් සුගතපාල ද සිල්වාගේ" දුන්න දුනුගමුවේ "නාට්‍යයේ තිබුණි. එය මුල් වරට රඟ දැක්වූයේ 1972 දීය. එදා එම දෙබස කන වැකෙන විට ඇතැම් ප්‍රේක්ෂකයෝ අවඥාවෙන් සිනාසුනහ. එසේ වූයේ උක්ත දෙබසෙහි ක්‍රියා අරුත ඇත්තේ බොහෝ දුරක නිසා විය හැකිය. එහෙත් අද වනවිට එම දෙබස අප ඉක්මවා ගොස් ඇත.

මිත්‍රවරුණි, හුඟක් කල් ඉකුත් වී තිබේ. එහෙත් අප යළි බිංදුවෙන් පටන් ගත යුතුව ඇත.


wimalanath weeraවිමලනාත් වීරරත්න
රාවය හිටපු කර්තෘ
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 


 
 

Leader Whats app

 

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58