දෙවැනි හෝ තෙවැනි මනාපයක් යනු, යම් නිමිත්තක් මූලික කර ගනිමින් එකම අවස්ථාවක තේරීම් කිහිපයක් ඉදිරිපත් කිරීමට කෙනෙකුට අවස්ථාව ලබාදීමකි.

එය, දියුණු ප්‍රජාතන්ත්‍රීය ක්‍රමවේදයකි. ඒ පළමු, දෙවැනි සහ තෙවැනි තේරීම් අතරේ පවතින වටිනාකම් එකිනෙකින් වෙනස් අගයක් ගනී. 

උදාහරණයක් වශයෙන්, යම් කෙනෙකු අනුර කුමාර දිසානායකට පළමු ඡන්දය පාවිච්චි කරන විට එයින් ඔහු/ඇය කියන්නේ මේ රටේ ජනාධිපති වීමට වැඩිම සුදුස්සා ඔහු බවයි. එම පුද්ගලයාම තමාගේ දෙවැනි මනාපය සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පාවිච්චි කළොත් එහි අදහස වන්නේ, යම් විදිහකින් අනුර කුමාර දිසානායක ජයග්‍රහණය නොකරන්නේ නම්, අනුර කුමාර වෙනුවට සජිත් ප්‍රේමදාස තෝරා ගැනීමක් නොව, ගෝඨාභය රාජපක්ෂ වෙනුවට සජිත් ප්‍රේමදාස තෝරා ගැනීමකි. 

පැසුණු ප්‍රජාතන්ත්‍රවාදියා සිටින්නේ, පළමු ඡන්දය සමග දෙවැනි මනාපයකුත් එසේ එකාබද්ධ කරන ක්‍රියාව තුළ ය. 

දැන් අපි ඒ දෙස මෙසේ ද බලමු. අනුර කුමාර දිසානායක සඳහා කෙනෙකු පළමු ඡන්දය පාවිච්චි කරන්නේ, ඔහුව ජනාධිපති කැරැවීමටම නොවේ. ඔහු වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන පිරිසෙන් සුළු පිරිසක් හැරුණු විට අති බහුතරයක් එය දනිති. 

මන්ද යත්, රටේ දැනට පවතින දේශපාලනික පරිසරය තුළ ඔහු දිනතියි හෝ දෙවැනි තැනට පැමිණෙතියි හෝ සිතිය නොහැකි බැවිනි. එහෙත්, එසේ පළමු ඡන්දය ඔහු වෙනුවෙන් පාවිච්චි කිරීමෙන්, ඔහුව ජනාධිපති කැරැවීමේ ඈත එල්ලයට මෙපිට යම් පුද්ගලයෙකු තවත් දේවල් බලාපොරොත්තු විය හැකිය. 

විකල්පයක් පිළිබඳ වාම බල කේන්ද්‍රයක් ගොඩනැගීම ඉන් එකක් විය හැකිය. ඒ විකල්ප කේන්ද්‍රය, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය ප්‍රමුඛ කරගත් (සමාජවාදී?) එකක් විය යුතුය යන්න තවත් එකක් විය හැකිය. ඉවසුවා ඇති යැයි සිතා සම්ප්‍රදායික පක්ෂ දෙකටම 'හොඳ පාඩමක්' ඉගැන්වීම තවත් එකක් විය හැකිය. 

මේ නිසා, අනුර කුමාර දිසානායක වෙනුවෙන් පළමු ඡන්දය පාවිච්චි කිරීම, රැඩිකල් දේශපාලනික තර්කණයක් මත පිහිටා සිදු කරන්නක් බව පෙනේ. ඒ සාර්ව දේශපාලනික තර්කණය මේ ලියුම්කරු පිළිනොගනී. 

ඔට්ටුවේ වටිනාකමට වඩා, පරදුවට තැඛෙන අලාභය භයංකාරය:

මන්ද යත්, එක පැත්තකින්, ඔට්ටුවේ වටිනාකමට වඩා, පරදුවට තැඛෙන අලාභය භයංකාර වන බැවිනි. දෙවැනුව, බූරු පිටියක චෙස් ඇදීම විකෘතියක් වන බැවිනි. (ඒ ගැන සවිස්තරාත්මකව වෙනත් ලිපියක සාකච්ඡා කෙරේ). කෙසේ වෙතත්, ඔවුන්ගේ එම අභිලාෂය තුළ සදාචාරමය වශයෙන් ගත හැකි දේශපාලනික අහිංසකත්වයක් තිබිය හැකි බව හෙතෙම පිළිගනී. අනිත් අතට, පළමු ඡන්දය තමා වෙනුවෙන් පාවිච්චි කොට දෙවැනි ඡන්දයක් වෙනත් කිසිවෙකුට පාවිච්චි නොකරන්නැයි කියා ඉල්ලා සිටින්නේ නම් හෝ දෙවැනි ඡන්දයක් පාවිච්චි කිරීම පිළිබඳ නිශ්චිත මගපෙන්වීමක් සංයුක්ත ආකාරයකින් නොකරන්නේ නම් හෝ, ඒ කියන රැඩිකල් භාවයවත්, අවිහිංසකත්වයවත් එම ඡන්දය තුළ අඩංගු නොවන්නේය. 

මන්ද යත්, එසේ කිරීම, ''මා (අනුර) තෝරා ගැනීමට බැරි රටකට, ඉතිරි වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයද, ෆැසිස්ට්වාදයද යන්න මට අදාළ නොවන'' බව ඒ මගින් කියාපාන බැවිනි.

ෆැසිස්ට්වාදියෙකු බලයට පත්වීමේ බරපතල අවදානමක්...

තවදුරටත් අපි මෙසේ සිතමු: මනාප ඡන්දයක් නැති, තනි ඡන්දයක් පමණක් ඇති ක්‍රමයක් තිබේ යැයි සිතන්න. ඉහතින් කී පරිදි, පවතින ක්‍රමය තුළ අනුර කුමාර දිසානායක වැනි විකල්පයක අපේක්ෂකයාට රටේ ප්‍රධාන පුරවැසියා වීමේ ඉඩක් නැතැයි යන අනුමානය තුළ හිඳීමින් එක දිගටම (ප්‍රධාන තරගකරුවන් දෙන්නාගෙන් කෙනෙකුටම සහාය දක්වමින්) ක්‍රියා කළොත්, කිසි දවසක විකල්පයක් බිහි නොවනු ඇත. 

මන්ද යත්, විකල්පයේ 'ආරම්භයක්' කිසි දවසක සිදු නොවන බැවිනි. එවැනි තත්වයක් තුළ, තමන් පරාජය වන බව දැන දැනත් තමන්ට ඡන්දය දෙන්නැයි කෙනෙකු ඉල්ලා සිටීම අපට තේරුම්ගත හැකිය.

 එහෙත් එහිදී පවා, තමන් සඳහා පාවිච්චි කරන ඡන්දය නිසා, යම් අවස්ථාවක සෘජුව හෝ වක්‍රාකාරයෙන් ෆැසිස්ට්වාදියෙකු බලයට පත්වීමේ බරපතල අවදානමක් තිබේ නම්, එවැනි අවදානමක් දරමින් තමන් සඳහා ඡන්දය පාවිච්චි කළ යුතු යැයි ප්‍රජාතන්ත්‍රවාදියෙකුට ඉල්ලා සිටිය නොහේ.      අපේ ජීවිතයේ කරුණු සම්බන්ධයෙන් වුවත්, කළු-සුදු වශයෙන් තෝරාගත හැකි දේවල් තිබේ. එහෙත් බොහෝ දේවල් සම්බන්ධයෙන්, කළු-සුදු වශයෙන් හැරුණු කොට, තවත් ආකාරයන්ගෙන් ප්‍රශ්න දෙස බැලීමේ අවශ්‍යතාවක්ද මතු වන අවස්ථා අනන්තවත් තිබේ. එම කාරණය, දේශපාලනයේදී විශේෂ වැදගත්කමක් ගනී.

අප දැන් කතා කරන මාතෘකාව සම්බන්ධයෙන් ගත් විට, ඉහතින් කී, 'විකල්පය' තෝරාගන්නා අතරේම, ෆැසිස්ට්වාදය පරාජය කිරීමේ අවස්ථාවත් ඡන්ද ක්‍රමය තුළින්ම පුරවැසියාට ලැබී ඇති අවස්ථාවකත්, ඒ වරය කෙනෙකු ප්‍රතික්ෂේප කරන්නේ නම්, එය තනි ඡන්දයක් පමණක් ඇති අවස්ථාවක ''තමා පමණක් තෝරාගන්නා'' ලෙස කරන ඉල්ලීම වැනි සමාව දිය හැකි කාරණයක් නොවේ. 

එවැන්නක් සහසුද්දෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදයට හතුරු ය. දැනුවත්ව හෝ නොදැනුවත්ව, අචේතනිකව හෝ සචේතනිකව, ෆැසිස්ට්වාදය සමග සෙල්ලම් කිරීමකි.  

සජිත් ප්‍රේමදාස ෆැසිස්ට්වාදියෙකු විය නොහැකිද?

දැන් කෙනෙකු මෙසේ ප්‍රශ්න කළ හැකිය. ඇයි, සජිත් ප්‍රේමදාස ෆැසිස්ට්වාදියෙකු විය නොහැකිද? තවත් කෙනෙකු මෙසේ ප්‍රශ්න කළ හැකිය. ඇයි, ගෝඨාභය රාජපක්ෂට ප්‍රජාතන්ත්‍රවාදියෙකු විය නොහැකි ද? කිසි පුද්ගලයෙකු හෝ පක්ෂයක් සම්බන්ධයෙන් යාවජීව සහතික නිකුත් කිරීමේ හැකියාවක් කෙනෙකුට නැත. (මෙය, අනුර කුමාර දිසානායක සහ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙනුත් අදාළ ය) කාම්බෝජයේ පොල්පොට් පැරිසියේ ජීවත් වන කාලයේ හොඳ මාක්ස්වාදියෙකි. ඔහු කාම්බෝජයේ නායකත්වයට පත්වන අවස්ථාවේත් ප්‍රගතිශීලියෙකි. එහෙත් වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ ඔහු මුළු කාම්බෝජ ජනගහනයෙන් හතරෙන් පංගුවක් හෙවත් මිලියන දෙකකට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය කෙළේය. 

සිම්බාබ්වේ රටේ රොබට් මුගාබේ මුලින් විමුක්ති සටන්කරුවෙකි. ඊළඟට මාක්ස්වාදියෙකි. පසුව, සමාජවාදියෙකි. අවුරුදු 37 ක් කිසිවෙකුට හෙල්ලිය නොහැකි ප්‍රජාපීඩකයෙකු බවට පත්වුණේ එවැන්නෙකි. 

ඒ නිසා, මේ මොහොතේ අපේ ඇස් ඉදිරියේ තිඛෙන, අපේ සංජානනයෙන් බුද්ධිමත්ව අපට දන්වන සහ සාධාරණ සේ ගත හැකි තේරීම් කෙරෙහි යොමු වීම හැර, ඉදිරි වසර කිහිපයකින් යම් අභව්‍යයක් සිදුවේ යැයි උපකල්පනය කොට (සජිත් ප්‍රේමදාස ෆැසිස්ට්වාදියෙකු වීමට ඉඩ ඇතැයි සිතා) ඒ මත පදනම්ව අද තීන්දු ගැනීම කළ නොහේ. 

අනිත් අතට, අප කොහෙත්ම නොකළ යුත්තක් ද තිබේ. අපේ ඇස් ඉදිරියේ තිඛෙන, අපේ සංජානනයෙන් බුද්ධිමත්ව අපට දන්වන සහ අත්දැකීම් මගින් ද සනාථ කොට ඇතිtest27 ගෝඨාභය වැනි ප්‍රජාපීඩකයෙකු, අනාගතයේදී හොඳ වෙතැයි උපකල්පනය කොට පත්කර ගැනීම, අතිශය අන්තරායකාරී ය. විශේෂයෙන් එම පුද්ගලයා තවමත්, පරණ ප්‍රජාපීඩකයාම යැයි තමන් විසින්ම අදටත් ඔප්පු කරමින් සිටින අවස්ථාවක, කොහෙත්ම එසේ නොකළ යුතුය.

ප්‍රංශයෙන් උදාහරණයක් .....

දෙවැනි මනාපය පාවිච්චි කිරීම හෝ නොකිරීම පිළිබඳ කාරණය කෙලින්ම බැඳී ඇත්තේ එවැනි පසුබිමක් සමගයි. ඇත්ත වශයෙන්ම, විධායක ජනාධිපති ක්‍රමයක් අප ඇති කරගන්නා අවස්ථාවේ මීට වඩා දියුණු සහ සරල ක්‍රමයකට අපට යා හැකිව තිබුණි. ඊට අගනා උදාහරණයක් ප්‍රංශයේ ජනාධිපතිවරණ ක්‍රමය අපට සපයයි. එය, සැබෑ බහුතරයේ අවසාන කැමැත්ත උරගා බැලෙන ක්‍රමයකි. (අපේ ක්‍රමය තුළ ලැඛෙන්නේ, ගණිතමය බහුතරයක කැමැත්ත මිස, සැබෑ බහුතරයක අවසාන කැමැත්තක් නොවේ). 

ප්‍රංශ ජනාධිපතිවරණය වට දෙකකින් සමන්විතයි. එක ඉරිදාවක පළමු වටයේ මහජන ඡන්දය පවත්වන අතර, ඊට සති දෙකකට පසු ඉරිදාවේ දෙවැනි වටයේ මහජන ඡන්දය පවත්වයි. යමෙකු පළමු වටයේදී, සියයට 50 ට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තොත්, දෙවැනි වටයක් පැවැත්වෙන්නේ නැත.

ප්‍රංශයේත්, ලංකාවේ මෙන්ම ප්‍රධාන පක්ෂ දෙකක් තිබේ. එකක්, දක්ෂිණාංශික ය. අනෙක, සමාජවාදී ය. මාරුවෙන් මාරුවට බලයට පත්වන්නේ මේ පක්ෂ දෙකයි. (අවසාන අවස්ථාවේ ඒ පක්ෂ දෙකටම අයත් නැති කෙනෙකු තේරී පත්වීම අපේ වර්තමාන සාකච්ඡාවට අදාළ නැත). 

කෙසේ වෙතත්, අපේ මෙන්ම, පක්ෂ රාශියක් තරගයට ඉදිරිපත් වෙයි. දෙවැනි වටයේ ඡන්දයට ඉදිරිපත් කෙරෙන්නේ, පළමු වටයේදී වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන සිටි අපේක්ෂකයන් දෙන්නා පමණි. එහි අරුත වන්නේ, පළමු අවස්ථාවේදී සියලූ අපේක්ෂකයන් අතරින් එක් අයෙකු තෝරා ගැනීමට ජනතාවට අවස්ථාව ලබාදීමත්, එසේ කිරීමට ඔවුන් අසමත් වෙතොත්, නැවත වතාවක් ප්‍රධාන ජයග්‍රාහකයන් දෙන්නාගෙන් එක් අයෙකු තෝරා ගැනීමට තවත් අවස්ථාවක් ලබා දීමත් ය. 

එහිදී අනිවාර්යයෙන්ම තේරෙන්නේ, ඡන්දය පාවිච්චි කළ මුළු ජනගහනයෙන් බහුතරයේ කැමැත්ත ඇති අපේක්ෂකයා ය.

2002 දී පැවති ප්‍රංශ ජනාධිපතිවරණය ඉතිහාසගත ය. හේතුව, කවුරුත් නොසිතූ පරිදි, ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් වන, සමාජවාදී පක්ෂයේ අපේක්ෂකයා පළමු වටයෙන්ම පරාජයට පත්වී, අන්ත දක්ෂිණාංශික, උග්‍ර ජාතිවාදී ෆැසිස්ට්වාදියෙකු දෙවැනි තැනට පත්වීමයි. දැන්, සති දෙකකට පසු දෙවැනි වටයේ ඡන්දය පැවැත්වුණේ, ධනපති දක්ෂිණාංශික ප්‍රජාතන්ත්‍රවාදියා සහ අන්ත දක්ෂිණාංශික ෆැසිස්ට්වාදියා අතරේ ය. 

මතක තියාගන්න: පළමු වටයේදී පරාජයට පත් සියලූ වාමාංශික, කොමියුනිස්ට් සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ මෙන්ම, ඒ දක්වා ආණ්ඩු බලය හොබවමින් සිටි සමාජවාදී පක්ෂයත් එකාවන්ව මුළු රටෙන්ම එක ඉල්ලීමක් කෙළේය. එනම්, ෆැසිස්ට්වාදියා පරාජය කිරීම සඳහා ධනපති දක්ෂිණාංශික අපේක්ෂකයාට ඡන්දය පාවිච්චි කරන ලෙසයි. ප්‍රංශ ඉතිහාසයේ විශාලතම වැඩි ඡන්ද ප්‍රතිශතයකින් (සියයට 82.21) දක්ෂිණාංශික ජනාධිපතිවරයෙකු තේරී පත්වූ අවස්ථාව එයයි. ඒ, ෆැසිස්ට්වාදය පරාජය කිරීම සඳහා මුළු රටම එකාවන්ව නැගී සිටීම නිසා ය. 

අත්වැරදීමක් වුවහොත්  ෆැසිස්ට්වාදීයකු බලයට ඒමේ අවධානමක්...

එහිදී සිදුවුණේ කුමක්ද? ජනතාව අතින් පළමු වටයේදී අත්වැරැද්දක් සිදුවිය. සති දෙකකට පසු පැවැත්වුණු දෙවැනි වටයේදී ඒ අත්වැරැද්ද නිවැරදි කර ගැනීමට ජනතාවට යළි අවස්ථාවක් ලැබුණි. ඔවුන් වාසනාවන්ත ය. අපේ ක්‍රමය තුළ, වෙනම දවසක එළැඹෙන දෙවැනි අවස්ථාවක් නැත. එහෙත් පළමු අවස්ථාව ඇතුළේම, පළමු දවසේම, දෙවැනි අවස්ථාවත් අන්තර්ගත කොට තිබේ. දෙවැනි මනාපය යනු එයයි. 

ඒ අතින් ගත් විට, අපේ ප්‍රගතිගාමී ඡන්දදායකයා ප්‍රංශ ඡන්දදායකයාට වඩා අතිශය තීක්ෂණ විය යුතුය. පරිස්සම් විය යුතුය. ඔහු/ඇය අතින් වරදක් සිදුවුණොත්, එය නිවැරදි කර ගැනීමට ලැඛෙන්නේ අඩුම වශයෙන් තව අවුරුදු 5 කට පසුව ය. 

එහෙත් අද අප කරන වැරැද්දක් නිසා බලයට පත්වන්නේ ෆැසිස්ට්වාදී ප්‍රවණතාව සහිත ගෝඨාභය වැනි කෙනෙකු නම්, සමහරවිට අවුරුදු 5 සීමාව තව බොහෝ ඈතට පා වී යාමටත්, කළ පාපයේ සාපය දිට්ඨධම්ම වේදනීයව විඳිමින් සිටීමටත් හොඳටම ඉඩ තිබේ. 

(දේශපාලන විචාරක, සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්