රනිල් වික්‍රමසිංහගේ අයවැය යෝජනා සමගි ජන බලවේගයේ හර්ෂ ද සිල්වා දැක ඇත්තේ කපුටු කූඩුවක් තුළ කොහෙකු දැමූ බිත්තරයක් ලෙසිනි. ඔහුට

ගැටළුව ඇත්තේ බිත්තරය සමග නොව එය දැමූ ස්ථානය ගැනය. හර්ෂගේ ප්‍රකාශයට ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් වික්‍රමසිංහ ඉතාම නිවැරදි ප්‍රශ්නය පෙරළා ඉදිරිපත් කළේය. "එසේනම්, මෙය හොඳ එජාප අයවැයක් බව ඔබ පිළිගන්නවා නේද?" එකම ආර්ථික දැක්මක් නියෝජනය කරන මේ දක්ෂිණාංශික දේශපාලකයින් දෙදෙනා අතර පාර්ලිමේන්තුවේදී ඇති වූ දෙබස අපට වත්මන් ලාංකීය ලිබරල් දක්ෂිණාංශය මුහුණ දී සිටින දේශපාලන උභතෝකෝටිකය කදිමට පැහැදිලි කරවයි.

 

1977 ජේ.ආර් ජයවර්ධනගේ ආර්ථික ලිබරල්කරණ වැඩ පිළිවෙළ උත්කර්ෂයට නංවමින් තම අයවැය කතාව පටන් ගත් වික්‍රමසිංහ තම මාමාගේ අඩි පාරේම තවත් ඉදිරියට යන්නට යෝජනා කරයි. ඒ වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය වී ඇත්තේ '77 දී ගත් නිදහස්කරණයේ හැරවුමෙන් ආසන්න වශයෙන් සියවස් බාගයක් ගත වූ තත්ත්වයක් තුළය යන කාරණය පහසුවෙන් අමතක කරමිනි. හර්ෂ තම දේශපාලන ගුරුවරයාගේ ආර්ථිකමය දැක්ම කිසිසේත් ප්‍රතික්ෂේප කරන්නේ නැත. ඒ වෙනුවට ඔහු ඉතාම ගරුසරු ලෙස වික්‍රමසිංහගෙන් වියුක්ත න්‍යායික ප්‍රශ්නයක් විමසයි. එනම්, "ඔබගේ ආර්ථික ලිබරල්වාදය සමග සමගාමීව දේශපාලන ලිබරල්වාදයද ආරක්ෂා විය යුතු නොවේද" යන්නයි.

 

මේ දිනවල වික්‍රමසිංහගේ ආර්ථික මාවත පිළිගන්නා අතරම ඔහුගේ මර්දනකාරී ආණ්ඩුකරණ ප්‍රතිපත්තීන් ගැන නොසතුටට පත්ව සිටින බොහෝ ලිබරල්වාදීන් විවිධ ස්වරූපවලින් විමසන්නේ හර්ෂ විමසූ පැනයයි. ආර්ථික ලිබරල්වාදය සමග අතිනත ගෙන යන දේශපාලන ලිබරල්වාදයක් ගැන ඔවුන් අපේක්ෂා දල්වති. නමුත්, අවාසනාවන්ත ලෙස ඔවුනගේ දේශපාලන ස්වාමියා එක් අතකින් ආර්ථිකයේ දොරටු හැර දමන අතර අනෙක් අතින් රට පුරා හමුදා සහ පොලිස් මාර්ග බාධක ඉදිකරමින් සිටියි. සැබවින්ම මේ කාරණයේදී වික්‍රමසිංහ තම ශිෂ්‍ය ප්‍රජාවට වඩා ලෝකාවබෝධය අතින් ඉදිරියෙන් සිටීය යන්න මගේ  අදහසයි. මන්ද යත්, වත්මන් නිමේෂය තුළ ආර්ථිකයේ දොරටු හැර දැමීමේ අත්‍යවශ්‍ය පූර්ව-කොන්දේසියක් ලෙස දේශපාලන සහ සමාජ නිදහසේ දොරටු වසා දැමිය යුතු බව දක්ෂිණාංශික ප්‍රයෝජ්‍යතාවාදී දේශපාලකයෙකු ලෙස වික්‍රමසිංහ අවබෝධ කරගෙන ඇති බව පෙනේ. තවදුරටත් ආර්ථික ලිබරල්වාදයත් දේශපාලන ලිබරල්වාදයත් එක්ව ගමන් කරන්නේ නැති බව පැරණි පාසැලේ මනෝරාජික ලිබරල්වාදීන් තවමත් වටහාගෙන නොමැත. වික්‍රමසිංහ තම අයවැය කතාවේදී උපුටා දැක්වූ ලාංකීය ලිබරල්වාදීන් දෙදෙනා අයත් වන්නේද එම පැරණි පාසැලටය.

 

මනෝරාජික ලිබරල්වාදය  


අපි ප්‍රායෝගික නිදසුන් ඇසුරින් ලාංකීය මනෝරාජික ලිබරල්වාදයේ ගැටළුව විමසා බලමු. ජනාධිපතිවරයා මෙරට බරපතල ඖෂධ හිඟයක් පවතින්නා වූද සෞඛ්‍ය සේවයේ බිඳ වැටීමක් ගැන ජාත්‍යන්තර අවධානය පවා යොමු වී ඇත්තා වූද තත්ත්වයක් තුළ රජයේ රෝහල්වල ගෙවන වාට්ටු ඇති කිරීමට යෝජනා කරයි.

 

 124118171 c02c7736 6b14 405d 922a 3c9f915fbb45

මෙහි සරල පණිවිඩය කුමක්ද? රජය මහජන සෞඛ්‍යය පිළිබඳ වගකීම්වලින් ක්‍රමානුකූලව ඉවත්ව යන අතර යහපත් සෞඛ්‍යය යනු මුදල් හදල් ඇති අය හට ලබා ගත හැකි වරප්‍රසාදයක් බවට පත් කරනවාය යන්නයි. ඔබ සතුව මුදල් නොමැති නම් ඔබට නොමිළේ සෞඛ්‍ය සේවය තවදුරටත් සැපයෙනු ඇති නමුත් රෝහල් තුළ ඇති සීමිත ඖෂධ සඳහා මින් ඉදිරියට පවතිනු ඇත්තේ අවශ්‍යතාව මුල් කොටගත් ප්‍රවේශයකට වඩා තරඟකාරී ප්‍රවේශයකි. එම තරඟයෙන් බොහෝවිට ජය ගනු ඇත්තේ මුදල් සහ බලය ඇති උදවියයි. මේ වනාහී ඇචීල් ම්බෙම්බේගේ වචනයෙන් කිව හොත්, දුබලයා මරණයට නිරාවරණය කරන්නා වූ මරණ-දේශපාලනයක් මිස අන් කුමක්ද?

 

ඒ අතරම සිංගප්පූරුව සමග ඇති කරගත් නිදහස් වෙළඳ ගිවිසුම සහ කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්වය (RCEP) ගැන විශේෂයෙන්ම සඳහන් කරමින් විදේශ වෙළඳ සබඳතා සඳහා නිදහස්කරණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට වික්‍රමසිංහ යෝජනා කරන්නේ රටේ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් පළමුව වසංගතයෙන්ද දෙවනුව ආර්ථික අර්බුදයෙන්ද බිඳ වැටී තිබෙන වාතාවරණයක් තුළය. ඔහුගේ නිදහස්කරණ ප්‍රතිපත්ති මගින් යළිත් වරක් පීඩනයට ලක් වන්නේ එම ව්‍යවසායන් තුළ සිටින අවිධිමත් අංශයේ රැකියා නියුක්තිකයින් බහුතරයයි.

 

මේ වනාහී දැනට අයි.එම්.එෆ් විසින්ද යෝජනා කෙරෙන ආර්ථිකය සංකෝචනය කිරීමේ දිශාවට හැරුණු යෝජනා බව පැහැදිලිය. ඔහු සෘජුව පැහැදිලි නොකරන රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ යන්නෙන් හැඟවෙන්නේද රාජ්‍ය වියදම් අඩු කිරීම සඳහා වන වන්දිය රාජ්‍ය සේවක ප්‍රජාව විසින් ගෙවිය යුතුය යන්නයි. තමන් සහන ආර්ථිකය පිළිබඳ ජනප්‍රිය ප්‍රවේශය තවදුරටත් අනුගමනය නොකරන්නේය යන වික්‍රමසිංහගේ ප්‍රබුද්ධ ප්‍රකාශයේ යටි පෙළ අරුතක් වන්නේ වඩ වඩාත් උග්‍ර වන ආර්ථික අර්බුදය හමුවේ වුවත් රාජ්‍යය තවදුරටත් මහජන සුබසාධනය තම අරමුණක් ලෙසින් නොසලකන බවය. මේ වනාහී නයෝමි ක්ලයින් කතා කරන ආපදා ධනවාදයේ ලාංකීය ස්වරූපය මිස අන් කුමක්ද?

 

අර්බුදය කළමනාකරණය කිරීමේ වික්‍රමසිංහ ප්‍රවේශය තුළ පන්තිමය පක්ෂපාතීත්වයක් තිබේ යැයි කීමට කිසිවෙකුත් ගතානුගතික මාක්ස්වාදියෙකු විය යුතු නැත. ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ දක්ෂිණාංශික කතිකාව තුළ නොඅසනු ලබන ප්‍රශ්නය වන්නේ එය කා සඳහා වන ස්ථාවරත්වයක්ද යන්නයි. ස්ථාවරත්වය පිළිබඳ උදෘතය ඉදිරිපත් කරනු ලබන්නේ හරියට එය නෛසර්ගිකවම අපක්ෂපාතී වූද, සියලු දෙනාට එකසේ අදාළ වන්නා වූද එකක් මෙනි. නමුත්, රැකියා හෝ ආදායම් අවස්ථා අහිමි වීමට සමගාමීව රජයේ සහනද අපේක්ෂා නොකළ හැකි අවිධිමත් අංශයේ කම්කරුවන් හට වික්‍රමසිංහ යෝජනා කරන ස්ථාවරත්වය දැනෙනු ඇත්තේ කෙසේද? නව-ලිබරල් ආර්ථික චින්තනය තුළ එවන් කොටස් සම්බන්ධයෙන් ඇති විසඳුම වන්නේ සමස්ත ආර්ථිකය යහපත් අතට හැරුණු පසුව එම ආර්ථිකයේ පල ප්‍රයෝජන පහළට ගලා එනු ඇතැයි යන විශ්වාසය පමණි. එසේ කිරි හට්ටියක් ඉතිරෙන්නාක් සේ ප්‍රගතිය පහළට ගලා එන්නේය යන උපන්‍යාසය පසුගිය දශක කිහිපය තුළ ප්‍රායෝගිකවද න්‍යායිකවද ඇති තරම් අභියෝගයට ලක්ව තිබේය යන කාරණය මදක් පසෙකින් තබමු. ආර්ථික සමෘද්ධියේ කිරි හට්ටිය ඉතිරෙන තෙක් අඩු ආදායම් ලබන ජන කොටස් ජීවත් විය යුත්තේ කෙසේද යන ප්‍රශ්නය ඉන්පසුවත් ඉතිරි වේ.

Harsha De Silva copy


ඉහත ප්‍රශ්නයට වික්‍රමසිංහ ප්‍රවේශය තුළ විසඳුම් දෙකක් පවතී. පළමුවැන්න ප්‍රකාශිත විසඳුමකි. ඒ හර්ෂ ඇතුළු ලිබරල්වාදීන් අවධාරණය කරන සමාජ වෙළඳපළ ආර්ථිකය නොහොත් වික්‍රමසිංහ 'සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ක්‍රමයක්' ලෙසින් හඳුන්වන විසඳුමයි. මේ වනාහී නව-ලිබරල්වාදයට එල්ල වූ විවේචනයන්ට ප්‍රතිචාරයක් ලෙසින් එහි ආරක්ෂකයින් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රවේශයකි. එයින් කියැවෙන්නේ නිදහස් වෙළඳපල ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන විට ඒවායින් වඩාත් පීඩනයට ලක් වන සමාජ කොටස් වෙනුවෙන් සමාජ ආරක්ෂණ දැලක් පවත්වාගෙන යා යුතු බවය. මෙහිදී නිදහස් වෙළඳපල ප්‍රතිපත්ති මගින් කිසියම් සමාජ කොටසක් රාජ්‍යයේ රැකවරණය නොමැතිව ජීවත් විය නොහැකි තරමේ අන්ත අසරණභාවයකට ඇද වැටෙන බව පිළි ගැනේ. හර්ෂ වැනි අය විමසන්නේ වික්‍රමසිංහගේ අයවැය කතාව තුළ සමාජ ආරක්ෂණය සඳහා ඉදිරිපත්ව ඇති සංයුක්ත යෝජනා මොනවාදැයි කියාය. දැනටමත් පවතින ඇතැම් සහන කප්පාදු කිරීමක් මිස නව සමාජ ආරක්ෂණ යෝජනා කිසිවක් වික්‍රමසිංහගේ අයවැය තුළින් සොයා ගත හැකිද?

 

නමුත්, අඩු ආදායම්ලාභී ජන කොටස් වෙනුවෙන් වික්‍රමසිංහ පාලනය විසින් ඉදිරිපත් කෙරෙන දෙවන විසඳුම අප්‍රකාශිත වුවත් වඩා පැහැදිලිය. එම විසඳුම පිළිබඳ හැඟවුම් වන්නේ අතිවිශාල ආර්ථික අර්බුදයක් පවතින වාතාවරණයක් තුළ පවා රාජ්‍ය ආරක්ෂක වැය ඉහළ මට්ටමක රඳවා ගැනීමයි. තම දේශපාලන විරුද්ධවාදීන් යැයි සලකනු ලබන කණ්ඩායම්වලට එරෙහිව ත්‍රස්තවාදය වැළක්වීමේ පණත ඇතුළු මර්දන නීති ක්‍රියාවේ යෙදවීමයි. ජනතා උද්ඝෝෂණ කෙරෙහි ප්‍රහාරාත්මක ප්‍රතිචාරයක් දැක්වීමට පොලීසිය පෙළඹවීමයි. ඉදිරියේ එන අසීරු සහ ජනප්‍රිය නොවන ආර්ථික තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා හදිසි නීතිය අවශ්‍ය වනු ඇතැයි යන ඔහුගේ ප්‍රවාදය මගින් කියැවෙන්නේද එයයි. මනෝරාජික ලිබරල්වාදීන්ගේ ගැටළුව වන්නේ මෙම මර්දනකාරී දේශපාලනය වනාහී ඔවුන්ම අනුදකින ආර්ථික මාවත විසින් ඉල්ලා සිටිනු ලබන්නක්ය යන්න වික්‍රමසිංහ තරම් නිර්දය හා නග්න ලෙස පිළිගැනීමට ඔවුන් සූදානම් නොවීමයි.


වික්‍රමසිංහගේ මනෝරාජිකවාදය


නමුත් මෙයින් අදහස් වන්නේ වික්‍රමසිංහ අන් සියල්ලන්ට වඩා ප්‍රායෝගික හා සංයුක්ත තේරුම් කිරීමක් ඉදිරිපත් කරමින් සිටිනවාය යන්න නොවේ. ඒ වෙනුවට ඔහුගේ අයවැය කතාව තුළින් ලාංකීය දක්ෂිණාංශයේ තවත් බරපතල මනෝරාජිකවාදයක් අපට නිරීක්ෂණය කළ හැකිය. මා මින් ඉහතදීද පැවසූ පරිදි වික්‍රමසිංහ තම කතාවේ ආරම්භයේදීම ජේ.ආර්ගේ ආර්ථික මාවත වර්ණනාවට ලක් කළද, අප මෙතරම් විශාල ආර්ථික ව්‍යසනයකට ඇද වැටී තිබෙන්නේ ඒ මාවතේ සියවස් බාගයක් පමණ දුර ගමන් කිරීමෙන් නොවේද යන ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට අසමත් වේ. නමුත්, ඔහු කිසියම් පිළිතුරක් සඳහා ප්‍රයත්න දරා ඇති බවද මෙයට එකතු කළ යුතුය. ඔහු ගොඩ නගන්නට ප්‍රයත්න දරන පිළිතුර මෙයයි.


"නමුත් 1977 නිර්මාණය කළ ආර්ථික පදනම වේගවත්ව ඉදිරියට ගෙන යන්නට හැකි වුණේ නැහැ. සිවිල් අරගල වැනි පරිබාහිර සාධක ගණනාවක් හේතුවෙන් ඒ ගමන අඩපණ වුණා."


වික්‍රමසිංහ සඳහන් කරන සිවිල් අරගල වැනි පරිබාහිර සාධක පැන නැගුණේ කෙසේද? ඒවා හුදෙක් නව-ලිබරල් ආර්ථිකයේ පිරිසුදු ගමනට බාධා කරමින් පිටත ලෝකයේ සිට කඩා වැදුණු සාධක සමුදායක්ද? එවන් පරිබාහිර බාධක නොවී නම්, මෙරට ජයවර්ධන ආරම්භ කළ සංවර්ධන මාවත ඔස්සේ අප සමෘද්ධිය කරා ගමන් කරන්නට නියමිතව සිටියේද? නොඑසේනම්, එම සාධක ජයවර්ධනගේ ආර්ථික මාවත සමග වෙන් නොකළ හැකි ලෙස බැඳී ගොඩ නැගී විකාශනය වූ ඒවා විය නොහැකිද? මගේ තර්කය නම්, යථාර්ථයට වඩාත් සමීප පිළිතුර ගැබ්ව පවතින්නේ ඉහත අවසන් ප්‍රශ්නය තුළ බවයි.

 

1980 දශකයෙන් පසුව පැන නැගුණු සියළුම ප්‍රධාන පෙළේ සිවිල් අරගල - ජනවාර්ගික යුද්ධය, ඉන්දීය මැදිහත්වීම, විධායක බලයේ අත්තනෝමතිකත්වයට එරෙහි අරගලය වැනි - සියල්ල සංකීර්ණ ආකාරයෙන් ජයවර්ධන පාලනයේ ආර්ථික මාවත සමග සම්බන්ධය. ආර්ථික නිදහස්කරණයට සමගාමීව ජනවාර්ගික ජාතිකවාදය ප්‍රවර්ධනය කළ පළමු නායකයා ජයවර්ධන නොවේ. එසේම, වත්මන් අර්බුදයට ප්‍රධාන හේතුවක් ලෙසින් හඳුනාගනු ලබන අනුග්‍රාහක දේශපාලනයද මෙරට ආර්ථික විවෘතකරණය සමග සමගාමීව විකාශනය වූ එකකි. මේ සියල්ල පරිබාහිර සාධක ලෙසින් නම් කිරීම හරියට පැරණි ගතානුගතික මාක්ස්වාදීන් පොතේ හැටියට විප්ලවය සිදු නොවන හැම විටම අහඹු සාධක මත වරද පැටවීම වැන්නකි.

 

මෙරට සැබවින්ම නව-ලිබරල්වාදය ක්‍රියාත්මක වූයේ සහ වන්නේ වික්‍රමසිංහ පරිබාහිර සාධක යැයි පවසනු ලබන සියල්ල සමගිනි. සැබවින්ම පවතින ආර්ථික ලිබරල්කරණය එයයි. එයින් තොරව සුපිරිසුදු ලිබරල්කරණයක් පවතින්නේ ඉතිහාසය තුළ නොව මිල්ටන් ෆ්‍රීඩ්මාන්ගේ පොත් තුළ පමණි. එබැවින්, අප විචාරයට ලක් කළ යුත්තේ වියුක්ත සහ න්‍යායික ආර්ථික ලිබරල්වාදය නොව සැබවින්ම පවතින 'ලෞකික පවුලේ' ආර්ථික (සහ දේශපාලන) ලිබරල්වාදය යි.                          



පාර්ලිමේන්තුවාදයේ සීමාව සහ ප්‍රජාතන්ත්‍රවාදයේ රැඩිකල්කරණය - (සුමිත් චාමින්ද)(සුමිත් චාමින්ද)
කතිකාචාර්ය
කොළඹ විශ්ව විද්‍යාලය
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්