සබඳ අපට මිතුරන් නැත. තිබෙන්නේ පළා යාමට කඳු විතරයි!

–කුර්දි කියමනක්–

 පෙරවදන-

 ශ්‍රී ලංකාවේ දෙවන ජනරජ ව්‍යවස්ථාව (1978) ඉදිරිපත් කරමින් ප්‍රථම ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා තම විරුද්ධවාදීන් අමතා ‘ජනපති’ තනතුරේ අර්ථය මෙසේ අර්ථකතනය කළේ ය.

” මම ජනාධිපති වුවහොත් මම මේ දේවල් කරනවා. මේක තමයි මගේ වැඩසටහන සහ ප්‍රතිපත්තිය. මාව පත් කරන්න!”(If I become President, I am going to do these things. This is my Programme & Policy. Elect me.)”

ඉහත අදහසට පසුව ජේ.ආර්. නැවත මෙසේ කියයි.

” මම පාර්ලිමේන්තු ක්‍රමයට විරුද්ධ කෙනෙක් නෙවෙයි. නමුත් අපි විශාල කාලයක් අධිරාජ්‍යයකට ගැට ගැසී සිටිය රටක්. දැන් කාලය ඇවිල්ල තියෙනවා ඉන් ගැලවී අපගේ ක්‍රමවේදයකට අනුව ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමට.”

ශ්‍රී ලංකාව නිදහස ලබන විට රටේ ජනගහනය දළ වශයෙන් මිලියන හතරකට ආසන්න මට්ටමක පැවතිණ. එවිට රටේ ආර්ථික ව්‍යුහය ‘ආනයන-අපනයන’ ආකෘතිය තුළ රැඳී පැවතියේ ය. රාජ්‍ය නිලධාරී තන්ත්‍රයේ සිවිල් නිලධාරීන් වූයේ රාජ්‍යයේ බදු එකතු කරන්නන්ය.(D.R.O) පාසල් සහ විශ්ව විද්‍යාල මඟින් රැකියා පුහුණු පාඨමාළාවන් ඉදිරිපත් කරන ලදී. යුධ හමුදාව උත්සව සංවිධායකයන් විය.

නමුත් 70 දශකය වන විට ජනගහනය අධික ලෙස වර්ධනය වන විට රටේ ආර්ථික ව්‍යුහය සංකීර්ණ කිරීමේ අවශ්‍යතාවය මතු විය. යටත් විජිතවාදී අපනයන ආර්ථිකයට රටේ අධික ජනගහනය නඩත්තු කිරීමට නොහැකි විය. රාජ්‍ය සේවය සේවා සැපයීමෙන් ආදායම් උපද්දවන තැනකට විස්ථාපනය කිරීම අවශ්‍ය විය. රාජ්‍ය ආරක්ෂාව ප්‍රසාරණය වී එය ජාතික ආර්ථිකයේ ආරක්ෂාව දක්වා දිගු විය. මේ සියළු ප්‍රතිසංස්කරණ සඳහා දේශපාලන තර්කනයක් අවශ්‍ය විය. ‘මනමේ’ සහ ‘සිංහබාහු’ වැනි අසමසම කලා නිර්මාණ තුළ මහාචාර්ය සරත්චන්ද්‍ර මහතාට රටේ ආර්ථික ව්‍යුහයේ සිදු වූ විපර්යාසය වැටහුනේ අධර්මිෂ්ඨ රාජ්‍යයක් ලෙසිනි. ආර්ථිකයේ ප්‍රතිලාභ ප්‍රථම වරට පහළ සමාජ පන්ති වලට ගලා ගියේ ය. ගැහැණුන් ඩුබායි යෑම වශයෙන් එය පොදු ජන විඥාණය තුළ ස්ථානගත විය.

ජනාධිපති තනතුර ආරම්භ වූ මොහොතේ සිට එයට විරුද්ධාභාසයක් (Paradox) විය. එම තනතුර ලංකාවේ මධ්‍යම පන්තිය අර්ථකතනය කරන ලද්දේ මතවාදී (Ideology) සහ සදාචාර (Moral) අංශයෙනි. නමුත් එය සමාජයේ පීඩිත පන්තීන් ( අවිධිමත් ආර්ථිකයෙන් යැපෙන්නන්- ස්ථීර මාසික වැටුප් නොලබන ජනයා) අර්ථකතනය කරන ලද්දේ විමුක්තිජනක තනතුරක් ලෙසිනි. 90 දශකයේ එහි ප්‍රකාශකයා වූයේ ආර්.ප්‍රේමදාස මහතාය. ඉන් ආර්ථිකය ප්‍රසාරණය වූ අතර ස්ථාවර දේශපාලන සංස්ථාපිතයක් බවට ජනපති තනතුර පත් විය. J.R ගේ වචන වලින්ම ප්‍රකාශ කරන්නේ නම් පාර්ලිමේන්තුවේ පුද්ගල අභිලාෂ වලින් රට නිදහස් විය. නමුත් මෙම තත්ත්වය මධ්‍යම පන්තිය සහ වාමාංශික ව්‍යාපාරය දුටුවේ නිශේධනාත්මකවය. ජනපති තනතුරේ විරුද්ධාභාසය ලෙස මා විග්‍රහ කරන්නේ මෙම තත්ත්වයයි.

ඉහත විරුද්ධාභාසය දේශපාලනිකව පහදන්නේ කෙසේද? ජනපති තනතුරේ ගැඹුරු ව්‍යුහාත්මක අවශ්‍යතාවය පවතින්නේ ආර්ථික තලයකය. එනම් එහි ආකෘතිය (Form) දේශපාලන- ආර්ථික අදහසකි. එමඟින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විසින් මඟ හරින ජනකායකගේ ආර්ථික ප්‍රගතිය සංවිධානය කරයි.

අනෙක් පසින් එහි අන්තර්ගතය (Content) බවට පත් වන්නේ තාර්කික හුදකලා පුද්ගලයෙකි. සමාජයෙන් එල්ල වන සදාචාර විවේචනය නාභිගත වන්නේ ජනපති තනතුර දරණ ‘පුද්ගලයාගේ සිතුවිලි අඩංගුවට’ මිස එහි ආකෘතියට නොවේ. මෙම තනතුර සහමුලින් අහෝසි කළහොත් සමාජයේ පහළ කොටස් වලට ආර්ථික ප්‍රතිලාභ රාජ්‍ය හරහා ගමන් කිරීම නවතියි. උදාහරණයක් වශයෙන් මොරගහකන්ද ජල යෝජනා ක්‍රමය වැනි අදහසක් පාර්ලිමේන්තුව තුළ සිතීමටවත් ඉඩ නැත. දැන් ඔබට මා විසින් සූත්‍රගත කරන ගැටළුව පැහැදැලි ඇති. එක පැත්තකින් ජනපති තනතුර අපට අවශ්‍යයය. අනෙක් පසින් අප එම තනතුර පිළිකුල් කරයි. ජනපති ආකෘතියෙන් තොරව අපට විශාල ජනගහනයකට ආර්ථික ප්‍රතිලාභ රැගෙන යා නොහැක. (උදා- විදේශ ආයෝජන) නමුත් ජනපති තනතුරට පත් වන පුද්ගලයාගේ (ඡන්දයෙන්) මනෝභාවයන්ට මධ්‍යම පන්තිය රුචි නැත. මාඩ්ගේ-Mao- භාෂාවෙන් කියන්නේ නම් ප්‍රතිපක්ෂයන් ජනපති තනතුර තුළ රැඩිකල් ලෙස එකමුතුය.

මැන්ඩෙලාගේ උභතෝකෝටිකය-

 වර්ණභේදය අවසන් කොට 90 දශකය මුලදී දකුණු අප්‍රිකානු ව්‍යවස්ථාව නිර්මාණය කරද්දී නෙල්සන් මැන්ඩෙලා මුහුණ දුන්නේ ද ඉහත ආකාරයේ විරුද්ධාභාසයකටය. එක පසෙකින් ඔහු සුදු ආධිපත්‍යය ප්‍රතික්ෂේප කළ අතර අනෙක් පසින් ඔහු කලු ආධිපත්‍යය ද ප්‍රතික්ෂේප කළේ ය. මැන්ඩෙලාගේ ජනපති තනතුර කලු ආධිපත්‍යය තහවුරු කරන්නට උත්සහ කළේ නම් ඔහුට අලුත් සිවිල් යුද්ධයකට මුහුණ දීමට සිදු විය හැකිව තිබුණි. මන්ද සුළුතර සුදු ජාතියේ ආරක්ෂාව තහවුරු වූයේ ජනපති තනතුර හරහා වීමය.

2015 ජනවාරි 09 වනදා ශ්‍රී ලංකාවේ ජනපති ධුරයට පත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා‌ගේ අන්තර්ගතය ඉල්ලා සිටියේ ආර්ථික අදහසක් නොවේ. රාජපක්ෂ රෙජිමය ජනපති තනතුරේ ආර්ථික අදහස අන්තවාදයකට රැගෙන ගොස් තිබුණි. ජනතාවගේ සිවිල් නිදහස පවුල්වාදයකට කොටු වී පැවතිණ. රටේ ආර්ථිකය පවුලක් විසින් මෙහෙය වන ලදී. රාජ්‍ය නිලධාරීන් දූෂ්‍ය වූ අතර ඔවුන් නාස්තියේ ප්‍රතිමූර්තිය විය. ‘සිවිල් සංකල්පයක්’ වූ යහපාලනය යන අදහස 2014 වර්ෂයේ මතු වූයේ එනිසාය. වසර 35ක් පමණ රටේ ආර්ථිකය මෙහෙය වූ ජනපති තනතුර මෛත්‍රී ජනාධිපතිවරයාගේ යුගය තුළ ප්‍රජාතන්ත්‍රවාදී අන්තර්ගතයක් උරා ගත්තේය. මෛත්‍රී ජනාධිපතිවරයා යටතේ රටේ ‘ප්‍රජාතන්ත්‍රය ප්‍රජාතාන්ත්‍රිකරණය’ විය. මේ තත්ත්වය නිසා රටේ මධ්‍යම පන්තියත් , පහල සමාජ ස්ථරයත් එකවර ප්‍රකෝප විය.

මෛත්‍රී විසින් ලංකාවේ ‘දේශපාලනය’ ගැන පැවති සීතල යුධ යථාර්ථයේ ඵලයක් වූ වම/දකුණ භේදය ප්‍රගතිශීලී අර්ථයෙන් අහෝසි කළේය. ලංකංවේ දේශපාලනය මෛත්‍රී යුගය දක්වා නිර්වචනය වූයේ වම/දකුණ සංකල්පීය බෙදුම්කඩනය හරහාය. ඔහුගේ යුගයෙන් පසු දේශපාලනය සඳහා සදාචාර මිණුම් දඬු සහ ආගමික මිණුම් දඬු වලංගු නැත. ආර්ථික අදහසක් වූ ශ්‍රී ලංකාවේ ජනපති තනතුර ඔහු ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යස්ථානයක් කළේය. මින් මධ්‍යම පන්තියත් සමාජයේ තැරැව්කාර පහළ සමාජ ස්ථරයත් එකසේ ප්‍රකෝප විය. සියළුදෙනාගේ රහසිගත ඉල්ලීම වූයේ “හොරකම් කරන්න අපට ඉඩ දෙන්න!” යන්නයි. මෙයට ඔහු ඉඩ නොදුන් නිසා ඔහුව උදාසීනත්වයේ සංකේතය බවට දේශපාලන විචාරකයන් සහ මාධ්‍ය පත් කළේය. අලුතින් පත් වන ජනාධිපතිවරයා කවරෙකු වූවත් ඔහු මෙම උදාසීන ප්‍රතිරූපය බිඳින්නට උත්සහ කරනු ඇත. එය කළ හැකි එකම ක්‍රමය යළිත් හොරකම් කරන්නට ඉඩ දීමයි. සියළුදෙනා මෛත්‍රී යුගයට පසු උදාවන යළිත් අපට හොරකම් කළ හැකි යැයි යන ප්‍රාර්ථනය නිසා උත්කර්ෂවත් වී ඇත. මෛත්‍රී අසමත් වූ දෙයෙහි ගැඹුර අපට යළිත් සිහි වන්නේ යළිත් ඔහු වැන්නකු අවශ්‍ය වූ දිනකය.

-දීප්ති කුමාර ගුණරත්න-

(3man.com)

subscribeYT

නවතම පුවත්

ඇට මැස්සා