මැතිවරණවලින් පසුව වැඩියෙන්ම අවධානය යොමුවන්නේ ජයග්‍රාහකයා සහ ජයග්‍රාහක පාර්ශ්වය ගැනය. පරාජිතයන්, සාමාන්‍යයෙන් ලක්වන්නේ සිනාවට සහ අවඥාවටය. ඔවුහු තම තමන් අතර රණ්ඩු දබර ද සිදුකර ගනිති. එයින් වෙනස්ව සිතිය යුතුය යැයිද මෙම ජනාධිපතිවරණ ප්‍රතිඵල අපට යෝජනා කරයි.


ඒ අනුව සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක සහ මහේෂ් සේනානායක යන පරාජිත අපේක්ෂකයන් තිදෙනා ගැන ස්වල්ප ලෙසින් හෝ බැරෑරුම් දේශපාලන සිතීමක යෙදිය යුතුව තිබේ. මේ ඒ සඳහා උත්සාහයකි.

උභතෝකෝටික

සජිත් ප්‍රේමදාස මහතා ලැබූ ප්‍රතිඵලය, ජයග්‍රහණය සහ පරාජය යන පැති දෙකෙන්ම සමන්විත වේ. ලංකාවේ සුළු ජන ප්‍රජාවගේ අතිබහුතරයක විශ්වාසය දිනා ගැනීමට ඔහු සමත් විය. ඒ සමගම සිංහල සමාජයේ අතිබහුතරයක ප්‍රතික්ෂේප කරනු ලැබීමට ඔහු පාත්‍ර විය. 

මෙයම ගෝඨාභය රාජපක්ෂ මහතාට, වෙනස් ආකාරයකින් අදාළ වේ. සිංහල සමාජයේ ඡන්දදායකයන්ගේ අතිබහුතරයක කැමැත්ත ලැබුවද, සියලු සුළු ජන ප්‍රජාවල ඡන්දදායකයන් ඔහු දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇත.

සජිත් ප්‍රේමදාස මහතා මුහුණ දුන් මෙම උභතෝකෝටිකය, අනාගතයේද ඔහු දේශපාලනයේ යෙදෙන්නේ නම් ඔහුටද, එජාපය නායකත්වය දෙන අනාගත සන්ධානයකටද එකසේ බලපාන එකකි. එම උභතෝකෝටිකය මෙසේ සූත්‍රගත කළ හැකිය: අනාගතයේදී සුළු ජන ප්‍රජාවන්ගේ බහුතරය ලබාගන්නා අතරම, සිංහල සමාජයේද බහුතරය ලබා ගනිමින්, ජනාධිපතිවරණයක් ජයගත හැකිද?

ජයගන්නේ කෙසේද?

අනුර කුමාර හා මහේෂ් සේනානායක දෙපළ නියෝජනය කළේ ලංකාවේ අධිපති දේශපාලන සන්ධාන දෙකට විකල්ප දේශපාලන ප්‍රවාහයක් ශක්තිමත් කිරීමේ ඉදිරි දැක්මකි. එහෙත් ජනාධිපතිවරණ ප්‍රතිඵලවලින් පෙනෙන්නේ, විකල්ප දේශපාලන බලවේගවලට පැවති අවකාශයද තවත් සීමාවී ඇති බවයි. 

ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් බලන විට මෙයින් මතුවන අභියෝගය වන්නේ, විකල්ප බලවේගවලට මැතිවරණ දේශපාලනය තුළ සීමාවී තිබෙන අවකාශය පුළුල් කරගත හැකිද? ඒ කෙසේද යන්නයි.

එජාපය, ජවිපෙ සහ දේශෝදය ව්‍යාපාරය මුහුණ දෙන්නේ ලංකාවට පමණක් සීමිත වූ ගැටලුවක් නොවේ. ඉන්දියාවේ වර්තමාන දේශපාලන ගමන් මග සමග සමාන්තරයක් ලංකාවේද ගොඩනැගී තිබේ. මේ සමාන්තරයන් ගැන හඳුනා ගැනීම, පසුගියදා ලංකාවේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ගැන අවබෝධ කරගැනීමටද ප්‍රයෝජනවත් වනු ඇත.

ඉන්දියාවේ සමාන්තරය

ඉන්දියාවේ බීජේපී පක්ෂයත්, ලංකාවේ පොහොට්ටු පක්ෂයත්, අතිවිශාල මැතිවරණ ජයග්‍රහණ ලැබූහ. බීජේපීය පාර්ලිමේන්තු මැතිවරණයෙනි. පොහොට්ටු පක්ෂය ජනාධිපතිවරණයෙනි. දෙගොල්ලන්ගේම මැතිවරණ මූලෝපායයේ එක් මූලික සමානත්වයක් තිබේ. එනම් රටේ ජනගහණයෙන් සංඛ්‍යාත්මක බහුතරයද වන වාර්ගික බහුතරයේ ඡන්ද මත මූලික වශයෙන්ම පදනම්වෙමින් මැතිවරණ ඉහළින්ම ජයගත හැකි මූලෝපායක් මත විශ්වාසය තැබීමයි. 

ඒ සඳහා, පසුගිය අවුරුදු දහයක පමණ කාලය තුළ ලෝක මට්ටමෙන් පැතිරුණු ක්‍රියාමාර්ගයක් ගොඩ නැගී තිබිණ. එය නම් වාර්ගික බහුතර ප්‍රජාවගේ අනාරක්ෂිතභාවය පිළිබඳ හැඟීම්වලට ආමන්ත්‍රණය කරමින්, ජනවාර්ගික අනාරක්ෂකත්වය දේශපාලන අවියක් බවට පරිවර්තනය කිරීමයි.

viyangoda text 12.02ඉන්දියාවේ බීජේපීය මෙම ප්‍රවේශය ඉතා දැඩි ලෙස දියුණු කර ඇති දේශපාලන බලවේගයකි. ආණ්ඩු බලයේ සිටි පසුගිය අවුරුදු පහ තුළම, බීජේපීය සිදුකළ දෙයක් නම්, හින්දු සහ මුස්ලිම් ප්‍රජා කණ්ඩායම්, ජාතික මට්ටමෙනුත්, ප්‍රාන්ත රාජ්‍ය මට්ටමෙනුත් තියුණු ලෙස බෙදා වෙන් කිරීමයි. ඒ මගින්, හින්දු බහුතරයේත්, මුස්ලිම් සුළුතරය යන දෙපාර්ශ්වයේම අනාරක්ෂිතතා තියුණු කොට, ඒ මගින් මැතිවරණ වාසි ලබාගැනීමයි.

පොහොට්ටු පක්ෂයේ ජනාධිපතිවරණ උපාය මාර්ගය, බීජේපීයේ උපාය මාර්ගය තරම් දියුණු එකක් නොවේ. එහෙත් එය ඒ වෙතින් ආදර්ශය ලබා සකස් කරන ලද්දක් බව පෙනේ. ‘ජාතියේ ආරක්ෂාව’ පිළිබඳ සටන් පාඨය, රාජපක්ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරය සිංහල-බෞද්ධ සමාජය වෙත ඉදිරිපත් කළ ප්‍රධානතම දේශපාලන අදහසයි. 

 Pasku 2019.12.02

පසුගිය පාස්කු ඉරිදා ඉස්ලාමීය ත්‍රස්තවාදී ප්‍රහාරය විසින් සිංහල සමාජයේ තියුණු කරන ලද අනාරක්ෂාවේ භීතිය පිළිබඳ පසුබිම තුළ ‘ජාතියේ ආරක්ෂාව’ පිළිබඳ සටන් පාඨයට විශේෂ දේශපාලන ශක්‍යතාවක් හිමිවිය. මෙය සුළු ජන ඡන්ද නොමැතිව ජනාධිපතිවරණ ජය ගැනීමේ මූලෝපායයක් සකස් කිරීම ගැන සිතමින් සිටි පොහොට්ටු පක්ෂයේ උපාය මාර්ගික චින්තකයින් විසින් වහාම අත්පත් කරගනු ලැබූ ඉඩ ප්‍රස්ථාවකි.


සජිත්ගේ පරාජයට බලපෑ තවත් හේතුන් .....

සජිත් ප්‍රේමදාසගේ ප්‍රබල පරාජයට, තවත් වැදගත් හේතු ගණනාවක්ද සාධක වූ බව මෙහිදී අමතක නොකළ යුතුයි. එජාපයේ නායකත්වය දුන් යහපාලන ආණ්ඩුවේ දූෂණය, අකාර්යක්ෂමතාව, අභ්‍යන්තර ගැටුම්, දුර්වල ආණ්ඩුකරණය, තියුණු වූ ආර්ථික අර්බුදය සහ වැනෙන දේශපාලන නායකත්වය ඒ අතර ප්‍රධාන වේ. 

පොහොට්ටු පක්ෂය, සිංහල බෞද්ධ සමාජය තුළ දියත් කළ ‘අනාරක්ෂිත ජාතිකවාදී’ දේශපාලන මතවාදයට විකල්ප මෙන්ම එය සමග තරග කළ හැකි ජාතිකවාදී නොවන මතවාදී බලමුළු ගැන්වීමත්, ගෝඨාභය රාජපක්ෂ මහතා සමග තරග කළ අපේක්ෂකයන් කාගෙන්වත් ඉදිරිපත් නොවීය. 

එයට සමාන්තරය සපයන්නේ, බීජේපීයට අභියෝගයක් වීමට දිගටම අසමත් වන ඉන්දියානු කොංග්‍රස් පක්ෂයේ සහ වාමාංශික පක්ෂවල අත්දැකීම්වලිනි. කොංග්‍රස් පක්ෂයේ ගාන්ධිවාදී සහ නේරුවාදී දෘෂ්ටිවාදයක්, වාමාංශික පක්ෂවල සමාජවාදී දෘෂ්ටිවාදයත් අබිබවා යාමට බීජේපීය ගොඩනගා ඇති අනාරක්ෂිතවාදී සහ රණවාදී නව හින්දු ජාතිකවාදය දිගින් දිගටම සමත් වෙයි.

 බීජේපීය ජාතික මැතිවරණවලින් ඉහළින්ම ජය ලබයි. ඉඳහිට පරාජය වන්නේ ප්‍රාන්ත මැතිවරණවලිනි. ඒ ප්‍රාන්ත සුවිශේෂී හේතු මතය.

2019 ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලින් පෙන්නුම් කරන පරිදි ලංකාවේද ආරම්භ වී තිබෙන්නේ මේ ආකාරයේ දේශපාලන පරිවර්තන ක්‍රියාවලියකි. පාස්කු ඉරිදා ඉස්ලාමීය ත්‍රස්තවාදීන් සිදු කළ බෝම්බ ප්‍රහාර නිසා සිදුවී තිබෙන්නේ එම පරිවර්තන ක්‍රියාවලියට සුදුසු දේශපාලන පසුබිම ශක්තිමත් කිරීම සහ එම ක්‍රියාවලියේ ඉදිරි ගමන්මග වඩාත් නිශ්චිතව නිර්ණය කිරීමයි. 

ගෝඨාභයගේ උපාය මාර්ගය සකස් කළ පුද්ගලයා ?

පොහොට්ටු පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයේ උපාය මාර්ගය සකස් කළ පුද්ගලයා හෝ පුද්ගලයින්, ඉතා දක්ෂ ලෙස ප්‍රයෝජනයට ගෙන තිබෙන්නේ සිංහල සමාජයේ විවෘත වූ මෙම සමාජ-විඥානාත්මක අවකාශයයි. 

ඔවුහු සිංහල බෞද්ධ ජනයාගේ අනාරක්ෂිතවාදී විඥානය, දේශපාලන මතවාදයක් සහ දේශපාලන ව්‍යාපෘතියක් බවට පරිවර්තනය කර, එය සිංහල සමාජයේ අතිබහුතරයක ආකර්ෂණයද ලබාගැනීමට සමත් වූ විකල්පයක් ලෙස ඉදිරිපත් කළහ. සිංහල සමාජයේ පොදු දේශපාලන සම්මුතිය බවට පත් කළහ.

ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස, අනුර කුමාර සහ මහේෂ් සේනානායක යන අපේක්ෂකයන් තිදෙනාම ලද අනපේක්ෂිත පරාජයන්ට නොයෙක් හේතූන් දායක වන්නට ඇත. එහෙත් ඒ අතර, තිදෙනාටම පොදු සාධකයක් වන්නේ එම තිදෙනාටම සිංහල සමාජයෙන් ලැබුණු මෙම ප්‍රතික්ෂේප කරනු ලැබීමයි. 

එය තේරුම් ගැනීම, එම තිදෙනාම නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ බලවේගවල ඉදිරි දේශපාලන ගමන් මග පැහැදිලි කරගැනීමට ආධාරකාරී වනු ඇත. අනුර කුමාර මහතාට දෙමළ සමාජයෙන් ඔහු අපේක්ෂා කළ ආකාරයේ ප්‍රතිචාරයත් නොලැබීම වෙනම සිතා බැලිය යුතු කරුණකි.

දැන් අප ඉහතදී මතු කළ උභතෝකෝටිකය වෙතින් මතුවූ අභියෝගය යළි මතක් කර ගත හැකිය. සිංහල සමාජයෙන් මෙන්ම දෙමළ හා මුස්ලිම් සමාජවලින්ද ඡන්දදායකයන්ගේ බහුතර සභාය ලබාගත හැකි දේශපාලන විකල්ප ගොඩනැගීම පිළිබඳ සිතීමට, පරාජිත අපේක්ෂකයන් මෙන්ම ඔවුන් සමග සිටින දේශපාලන බලවේග සූදානම්ද? ඒ සඳහා ඔවුන් ඉදිරියේ අවුරුදු පහක කාලයක් තිබේ. ඉදිරියේ එන පාර්ලිමේන්තු මැතිවරණයේදී එවැනි විකල්ප ගොඩනැගීමට කිසිසේත්ම කාලයක් නැත.

එජාපයේ ගැටලු:
text viyangoda 3
මේ අතර එජාපය විශේෂයෙන් පත් නොවිය යුතු ඉරණමක් තිබෙන බවද එහි රනිල් සහ සජිත් පාර්ශ්ව දෙකම වහාම තේරුම් ගත යුතුය. එය නම් මැතිවරණයකින් දැඩි පරාජයකට පත්වන ආණ්ඩු පක්ෂයක් සාමාන්‍යයෙන් මුහුණ දෙන යථාර්ථයයි. එනම් පරාජයේ වගකීම එකිනෙකා මත පටවා ගනිමින්, එකිනෙකාට දෝෂාරෝපණය කරගනිමින්, පක්ෂය දෙකඩ කර ගැනීමයි. මෙය පසුගිය මැතිවරණ පරාජයෙන් පසු ශ්‍රීලනිපයට සිදුවූ ඉරණමකි.

ලංකාවේ දැනට විවෘත වී තිබෙන නව දේශපාලන තත්ත්වය තුළ ලංකාව පත්විය හැකි දේශපාලන පරිවර්තනය වනාහි අවිනිශ්චිත එකකි. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉරණම කුමක් වනු ඇත්ද, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමය කවර පරිවර්තන දිසාවකට ඇතුළු වෙනු ඇත්ද යන්න නොපැහැදිලිය. අවිනිශ්චිතය. 

එවැනි තත්ත්වයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන විකල්ප ලෙස, සජිත්, අනුර කුමාර සහ මහේෂ් සේනානායක යන මහතුන්, ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රමාණයේ වෙනස්කම් නොතකා දේශපාලන අරගලය තුළ සක්‍රීයව සිටීම, ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වෙයි. 

එම බලවේග තුනටම දේශපාලන වශයෙන් තමන් ටික දුරකට හෝ අලුතින් නිර්මාණය කර ගැනීමක් සිදුවනු ඇත. එම නව ස්වයං නිර්මාණයේ මගපෙන්වන චින්තන සූත්‍ර පාඨය විය යුත්තේ “සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි යනාදී වාර්ගික සහ ආගමික අනන්‍යතාව සහිත සියලුම පුරවැසි ප්‍රජාවන්ට එක සේ ආමන්ත්‍රණය කළ හැකි, ඔවුන්ගේ බහුතර සහාය ලබාගත හැකි දේශපාලන විකල්ප ලෙස මතුවීම” යන ඉලක්කයයි.

ලංකාවේ ඉදිරි අවුරුදු පහේ දේශපාලන අරගලය ප්‍රජාතන්ත්‍රවාදය කේන්ද්‍ර කොටගත් අරගලයක්වීමට බොහෝ විට ඉඩ තිබේ. මෙහිදී අමතක නොකළ යුතු පාඩමක්ද තිබේ. එය නම් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අරගලය තනියම කළ නොහැකි අරගලයක්ය යන්නය. එය තමන්ට වෙනස් අදහස් සහ ප්‍රතිපත්ති සහිත ප්‍රජාතන්ත්‍රවාදීන් සමගද සන්ධානගතව සහ එක්ව කළ යුතු අරගලයකි.

( මහාචාර්ය ජයදේව උයන්ගොඩ - රාවය පුවත්පතින් උපුටා ගැනිණ )

subscribeYT

නවතම පුවත්

ඇට මැස්සා