The Leader News
BREAKING
Top Ad
Opinion

“තණමල්විල කොල්ලෙක්” හා බෞද්ධාගමික සංකල්ප

T

The Leader Desk

May 30, 2020 • 8:46 AM

“තණමල්විල කොල්ලෙක්” හා බෞද්ධාගමික සංකල්ප

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ස්වාධීන රූපවාහිනී නාලිකාව තුළින් මේ දිනවල විකාශය වන ‘තණමල්විල කොල්ලෙක්’ ටෙලිවෘතාන්තය මේ වනවිට
  • මෙම ටෙලිනාට්‍යය සඳහා යොදාගෙන ඇති තේමා සංගීතය හා එහි නම සමග දිස්වන නෙළුම් මල් දෙකක රූප, පිරිත් සූත්‍ර දේශනාවක ස්වරය ද, බෞද්ධ චිත්‍ර කලාව ද සිහිපත් කරවයි.
  • පෝ දින ඒකාංගික කතාවක තරමේ ළයාන්විත මිමිනුම් හඬකින් ගායනා වන එම තත්පර හතරක් පමණ වූ කෙටි ගායන ඛණ්ඩය සමස්ත කතාවට ම ඉතා සංවේදී, දුක්මුසු නමුදු හෘදයාංගම බවක් හා භාවාත්මක බවක් එක් කරයි.
  • විවාහ මංගල්‍ය, සමාරම්භක උත්සව, පූජා නර්තන ආදි වූ සුභ කටයුතුවල දී ගැයෙන හා නර්තනයේ යෙදෙන මෙම තිසරණ සරණ ගොස් අවසර ගැනීම ‘තණමල්විල කොල්ලෙක්’ පුරාවට සියුම් ව මුසු කෙරූ බෞද්ධාගමික අංග හා සංකේත තුළට ඉතා කන්කලු ව බවක් එක් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් ගණනකගේ සිත් දිනාගෙන අවසාන ය. සුසිත විජේමුණිගේ තිර රචනයෙන් ද ෆාහිම් මවුජූඞ් නිෂ්පාදනයෙන් හා රොෂාන් රවීන්ද්‍රගේ අධ්‍යක්ෂණයෙන් සති අග රාත්‍රී 8.00ට විකාශය වන මෙම ‘යෞවනයේ ප්‍රකාශිත පරිච්ඡේදය” දිවෙන්නේ ඌව පළාතේ, මොණරාගල දිස්ත්‍රික්කයට අයත් තණමල්විල ග්‍රාමයේ තරුණයෙකු (දීප්ත) තම ගමින් කොළඹටත්, ඉන් ඉතාලියටත්, පසුව ජර්මනියටත් යන ගමන වටා ය.

නාගරිකව දිවිගෙවන අපට වුව ද හුරුපුරුදු ‘ගම යි – පන්සල යි, වැව යි – දාගැබ යි’ යන වැකිය මොනවට විද්‍යමාන කරමින් මෙම රූපවාහිනී දිගහැරුම බුදුදහම හා පන්සල ඇසුරෙහි, තම බඩවියත රැකගැනීමට නොයෙක් අරගලවල නිරත වන මිනිසුන්ගේ ජීවන යාථාර්ථයන් ප්‍රේක්ෂක අප හමුවේ විවිධ වූ ක්‍රම ඔස්සේ ගෙන එයි.

එකී ජීවිත සංසිද්ධීන් පෙළගස්වන අතර ම නොයෙක් විට දීප්තගේ පියාගේ චිත්‍ර තුළින් ද, සංකේත හා ඉඟි මගින් ද ඉතා සියුම් ලෙස බුදුදහමේ මූලික ඉගැන්වීම්, අනියත බව, සිදුහත් සිරිතේ සිදුවීම් ආදිය ඉස්මතු කිරීමෙහිලා නිෂ්පාදක කණ්ඩායම දරා ඇති උත්සාහය අගයනු වස් මෙලෙස ‘තණමල්විල කොල්ලෙක්’ දෙස බෞද්ධාගමික විචාර කෝණයකින් බැලීමට උත්සාහය කළෙමි.

thanamalvila kollek 1

මෙම ටෙලිනාට්‍යය සඳහා යොදාගෙන ඇති තේමා සංගීතය හා එහි නම සමග දිස්වන නෙළුම් මල් දෙකක රූප, පිරිත් සූත්‍ර දේශනාවක ස්වරය ද, බෞද්ධ චිත්‍ර කලාව ද සිහිපත් කරවයි. පෝ දින ඒකාංගික කතාවක තරමේ ළයාන්විත මිමිනුම් හඬකින් ගායනා වන එම තත්පර හතරක් පමණ වූ කෙටි ගායන ඛණ්ඩය සමස්ත කතාවට ම ඉතා සංවේදී, දුක්මුසු නමුදු හෘදයාංගම බවක් හා භාවාත්මක බවක් එක් කරයි.

බෞද්ධ චිත්‍ර තුළ බහුල ව දක්නට ඇති සියපත් දෙක දීප්ත හා ඔහුගේ පියා නිරත වූ චිත්‍ර කර්මාන්තය පමණක් නොව ඔවුන්ගේ ජීවිත පන්සල හා බැඳී ඇති ආකාරය මෙන් ම, ජීවිත සටනින් ජය ගැනීමට විටෙක නෙළුම් මල් විකිණීමේ ද නිරතවන දීප්තලා ඇතුළු සුවහසක් මිනිසුන්ගේ ආත්මීය ප්‍රකාශනයකි.

විවාහ මංගල්‍ය, සමාරම්භක උත්සව, පූජා නර්තන ආදි වූ සුභ කටයුතුවල දී ගැයෙන හා නර්තනයේ යෙදෙන මෙම තිසරණ සරණ ගොස් අවසර ගැනීම ‘තණමල්විල කොල්ලෙක්’ පුරාවට සියුම් ව මුසු කෙරූ බෞද්ධාගමික අංග හා සංකේත තුළට ඉතා කන්කලු ව බවක් එක් කරයි.

මෙම සංගීත ඛණ්ඩයේ තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ වරක සුමිහිරි නදින් වැයෙන මෙය ම, දෙවනවර මළබෙර නදින් වැයීම යි. ජීවිතයට හිමි අටලෝදහමේ සුබ-අසුබ, දුක-සතුට යන පරස්පර අත්දැකීම් මෙම කථාංගය හරහා අපට මුණගැසෙන චරිතවලට ද කෙතරම් පොදු දැ යි සිතේ.

මෙහි පළමු කථාංගය තුළින් දිස්වන දනුක ඩිල්ෂාන් විසින් පණපොවන දීප්තගේ වර්තමාන කතාව තුළ ද, ඔහු ගමේ දී පන්සල ඇසුරෙහි ලද අභාසය යැයි සිතිය හැකි ඔහුගේ ඉතාලියේ නිවසේ පහන් දල්වා ඇති බුද්ධ ප්‍රතිමාවක් හා ඔහු විසින් චිත්‍රයට නගා ඇතැ යි අනුමාන කළ හැකි බුදු රුවක් ද දිස් වේ.

thanamalvila kollek 2

දීප්තගේ පියාගේ චරිතයට පණපොවන ප්‍රවීණ රංගවේදී හේමසිරි ලියනගේ උදෑසන බුදුන් වැඳ තම මූර්ති නිර්මාණ කටයුතු අරඹනු ප්‍රේක්ෂකයන්ට දිස්වේ; ඔහු නෙළනු දිස්වනුයේ ද බුදු පිළිම වහන්සේ නමකගේ ප්‍රතිමාවකි;

ඉනික්බිති අප අවධානය යොමුවන දීප්තගේ පියා නිරාවරණය කරන සිදුහත් කුමරුන් සරණ බන්ධනයට පෙර ශිල්ප දක්වන සිතුවම, දෙවන හා තුන්වන කථාංග තුළ කතාබහට ලක් වූ දීප්තගේ ඉගනුම් කුසලතා එළිදැක්වීම සිහිගන්වයි.

අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අසමත් ව සිටින දීප්තට විභාගය තුළින් සිතූ ලෙස තම ශිල්ප දැක්වීමට නොහැකි වුව ද, ටෙලිනාට්‍ය ගලා යෑමේ දී ඔහුට විවර වන අනෙකුත් දොර පිළිබඳ අපට දැනගැනීමට ලැබේ. ඉන් එක් කුසලතාවක් වන්නේ දීප්ත සතු ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ හැකියාවයි. මෙය ඇඟවීමටදෝ ඉතා සූක්ෂම ලෙස තම බැට් පිත්ත ගෙන තනි ව පුහුණු වන දීප්තව ඔහුගේ පියා මේ සිතුවම වර්ණ ගන්වන අතර පසුබිමෙන් අපට පෙන්වීමට අධ්‍යක්ෂවරයා අමතක නොකරයි.

තම ගැබිනි සොහොයුරිය නැවත විවාහ පත් වීමෙන් දිවියේ බර අඩු කරගත් කැලුම්සිරි පහළොස්වන කථාංගයේ දී ගිහි ජීවිතයෙන් මිඳී මහණදම් පිරීමට තීරණය කරයි. නමුදු කුල පරපුරෙන් ගම්වැසියන්ගේ රෙදිපෙරදි සෝදන්නන් වූ දෙමාපියන්ට දාව උපත ලද කැලුම්සිරිගේ මෙම සසුන් ගතවීම ගමේ අනෙකුත් දෙනා පිළිගන්නේ අවඥාසහගතව ය.

මෙම පුවත කන වැකුණු දින රාත්‍රියේ මිදුලට යන දීප්ත දකින තම පියා සිතුවම් කර ඇති බුදුන් දවස සිටි සෝපාකගේ සිතුවම, එදත් අදත් අඩු යැයි සමාජයේ සම්මත කුලයක ඉපදීම නිසා පීඩාවට පත් අසරණ මිනිසුන්ට සමානාත්මතාවෙන් පිරි බුදුරදුන්ගේ දහමේ පිහිට ලැබුණු බව ප්‍රේක්ෂක අපට ද මතක් කොට දෙයි;

අවසන සියලු සමාජ පීඩා මැද කැලුම්සිරි සිවුරු පොරවා සසුන්ගත වන්නේ එදා සෝපාක අඩු කුලයක ඉපිද සොහොනක මිනියකට බැඳ හිවලුන්ට කන්නට දමා තිබියදීත් ඔහු සතු වූ පුණ්‍ය ශක්තියෙන් ධර්මයේ පිහිට ලැබ සසුන්ගත්ව රහත් ඵල ලැබූ ඒ කතා පුවත ද සිහිකැඳවමිනි.

thanamalvila kollek 3

දහනමවන කථාංගය ආරම්භ වන්නේ තවත් ප්‍රියයකුගේ වෙන්වීමක් සටහන් කරමින් කිතුලාගේ පියා වන අලි ප්‍රහාරයකින් මරණයට පත්වීමේ අවාසනාවන්ත පුවතිනි. ජීවිතයේ අනිත්‍යබව, නොතිර බව සියුම් තේමාවක් ලෙස “තණමල්විල කොල්ලෙක්” ටෙලිවෘතාන්තය පුරාවටම දිවෙන්නේ මේ නිසාවෙනි.

දීප්තගේ දෘෂ්ටි කෝණයෙන් අප වෙතට ගෙනෙන තණමල්විල මෙම ග්‍රාමයේ පීඩිත මිනිසුන්ගේ ඛේදනීය ජීවන යථාර්ථය යළි යළිත් සිහිපත් කරවමින් පියතිලක මාමා ලෙසින් හැඳින්වෙන කිතුලාගේ පියා අප රටේ අනෙකුත් දුෂ්කර ගම්මානවලට ද පොදු අලි-මිනිස් ගැටුමේ තවත් එක් ගොදුරක් බවට පත් වේ.

මේ පණිවුඩය ඇසූ දීප්තගේ අවධානය යොමුවන්නේ තම පියා වර්ණ ගන්වමින් සිටින නාලාගිරි දමනයේ සිතුවමට යි. බුදුන් ඉදිරියේ දමනය වූ ඒ මහා සත්වයා ඈත ගමක අවිහිංසක ව දිවිගෙවන මෙම මිනිසුන් ඉදිරියේ දණ නොනමන බව, එදා උද්දාමයෙන් ඇසූ නාලාගිරි නම් රා පොවා කුලප්පු කර බුදුන් වහන්සේගේ දිවි නැසීමට එවූ කතා පුවතේ අලි පරපුරේම එකෙකු මෙදා ‘දොට්ට පිළට වත් යා නොහැකි ව’ එකතැන් ව සිටි පියෙකුට පහරදීමට පැමිණි කල කිතුලාගේ අලිවෙඩි තැබුම් හමුවේත් නොදැමුණු යථාර්ථය මෙම අතීත කතාව දත් ප්‍රේක්ෂක හද කැකෑරෙමින් රිදුම් දෙන්නක් බවට පත්කිරීමට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයා සමත් වෙයි.

 ‘සිරිරතන හාමුදුරුවෝ කියපු කතාව ඇත්ත, අපි ජීවත් වෙන එක, මැරෙන එක තීරණය කරන්නේ අපි නෙමෙයි’ කිතුලා තම පියාගේ සොහොන දෙස බලාගෙන දීප්තට පවසන මෙම වැකියේ ගැබ් ව ඇත්තේ ඒ වේදනාත්මක භාව ප්‍රකාශනය යි.

thanamalvila kollek 4

‘තණමල්විල කොල්ලෙක්’ ටෙලි නාට්‍යය පුරාවට ඉහත සඳහන් නොවූ නොයෙක් පන්සල, ස්වාමීන් වහන්සේලා, ධර්ම දේශනා, පින්කම් ආදිය තුළින් එම ගැමි ජීවිත තුළට බුදුදහමින් ලත් අභාසය හා එකිනෙක බැඳී ඇති ගමත් පන්සලත් සංකල්ප දෙකෙහි වර්ධනය නිරූපණය කරයි. මා ඉහත සඳහන් කර ඇත්තේ එතරම් ම ඍජු නොවූ, ව්‍යංගාත්මක වූත්, සියුම් වූත් බෞද්ධාභාසයන් කථා සන්දර්භය තුළට එක්කොට ඇති අවස්ථා කිහිපයකට නිදසුන් ය.

මෙහිලා තවත් එක් සුවිශේෂීත්වයක් වන්නේ දීප්තගේ වර්තමාන කතාව දිගහැරෙන තණමල්විල ඔහුගේ නිවස තුළින් අපට ප්‍රථම වරට ඇස ගට්ටන ලුම්බිණි සල් උයනේ සිදුහත් කුමරුගේ උපත සිදුවන චිත්‍රයේ සිට සිදුහත් සිරිත ගලා යන පරිද්දෙන් ම දීප්තගේ පියාගේ සිතුවම් පෙළ ගැස්වීමට නිෂ්පාදක කණ්ඩායම සූක්ෂ්ම වී ඇති අයුරුය. කතාවේ ගලා යාමට මඳකුදු බාධාවක් නොවන පරිද්දෙන් පළමුව සිදුහත් උපතත්, දෙවැනුව සරණ බන්ධනයට පෙර ශිල්ප දැක්වීමත්, සතර පෙර නිමිති දැකීමත්, බුදුබව සාක්ෂාත් කොට අසරණයින්ට පිහිට වීම හා නොදැමුනුවන් දමනය කිරීමත් යන සිතුවම් මනා සැලකිල්ලෙන් කාලානුක්‍රමික ව පෙළගස්වා ඇති ආකාරය අති ප්‍රශංසනීය ය.

විටක සංගීත ඛණ්ඩ හරහා ද, විටෙක චිත්‍ර හරහා ද, තවත් විටෙක දෙබස් හා කවි උපයෝගී කරගෙන ද ආගමික තේමාවක් මුලික නොවූ කතාන්දරක මෙතරම් සියුම් ව, සූක්ෂ්ම, ප්‍රවේසම් සහගත ව, මූලික කතා සංදර්භයට අල්ප වූ අසාධාරණයක් නොකොට, අන්‍යාගමික ප්‍රේක්ෂක මනසට කතාව රසවීඳීමට බාධාවක් ද ඇති නොකොට බෞද්ධාගමික සංකල්ප මතුකරන මෙම රූපරචනය පිටුපස සිටින ඒ විශිෂ්ඨ නිර්මාණ කණ්ඩායම රසික අප අගය කිරීමට ලක් කරනවා මඳි නොවේ දැයි මට සිතේ. මේ සටහන ඒ වෙනුවෙන් කෙරෙන එක් අල්ප වෑයමක් පමණි.

මෙම රූපවාහිනී දිගහැරුමේ ඉදිරි කොටස් තුළින් කොතෙක් දුරට මෙලෙස බුදුදහමට සමීපබවක් පෙන්නුම් කරත්දැයි කීමට මම නොදන්නා නමුදු, අප සැම හද දිනූ මෙම තණමල්විල කොල්ලාගේ ජීවිතයෙහි ඉතිරිය නැරඹීමට ඔබ තරම්ම උත්සුක බවකින් මා ද පසුවන බව සටහන් කර මෙම විවරණය අවසන් කරමි.

(මුල් කථාංග 22 ඇසුරෙනි)

(නඳුනි මධුමාලි, කොළඹ විශ්වවිද්‍යාලය - ravaya.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...