The Leader News
BREAKING
Top Ad
Opinion

මැතිවරණගාය දැන් සනීපයි; ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් දිනුවේ කවුද?

T

The Leader Desk

June 4, 2020 • 3:14 PM

මැතිවරණගාය දැන් සනීපයි; ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් දිනුවේ කවුද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැතිවරණ පෙත්සම් හත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට සලකා නොබලන බවට ලබාදුන් තීන්දුවත් සමග රටේ ප්‍රදේශ රැසක
  • සාධාරණ අයෙකුට සැකයක් ඇතිවීම සාධාරණය.
  • පැවති පාර්ලිමේන්තුව සඳහා තවත් මාස 06ක කාලයක් ඉතිරිව තිබියදී ජනාධිපතිවරයා විසින් මාර්තු 2 වෙනිදා ව්‍යවස්ථාවෙන් තමන්ට හිමි බලය අනුව පාර්ලිමේන්තුව විසුරුවන ලද අතර ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අප්‍රේල් 25 දිනය නියම විය.
  • නැවත පාර්ලිමේන්තුව කැඳවන දිනය ලෙස දැක්වූයේ මැයි 14ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ආණ්ඩු පාක්ෂිකයන් රතිඤ්ඤා පත්තු කළ බව අසන්ට නොලැබුනත් මාධ්‍ය මගින් දකින්ට සැලැස්සුවේය. උත්ප්‍රාසාත්මක කාරණය නම් සෞඛ්‍ය ඇමැතිවරියත් රතිඤ්ඤා දැල්වෙන දෙස සතුටින් බලා සිටින අයුරු මාධ්‍යයේ පෙන්වීමයි.

මෙම තීන්දුව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින කඳවුර ලැබූ පරාජයක්ද? සාධාරණ අයෙකුට සැකයක් ඇතිවීම සාධාරණය. ඒ පිළිබඳව තේරුම් ගැනීමට නම් නඩුවේ පසුබිම සරලව වටහා ගත යුතුය.

පැවති පාර්ලිමේන්තුව සඳහා තවත් මාස 06ක කාලයක් ඉතිරිව තිබියදී ජනාධිපතිවරයා විසින් මාර්තු 2 වෙනිදා ව්‍යවස්ථාවෙන් තමන්ට හිමි බලය අනුව පාර්ලිමේන්තුව විසුරුවන ලද අතර ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අප්‍රේල් 25 දිනය නියම විය.

නැවත පාර්ලිමේන්තුව කැඳවන දිනය ලෙස දැක්වූයේ මැයි 14ය. ඒ අනුව නාම යෝජනා ලබා ගැනීමෙන් අනතුරුව මාර්තු 20 මැතිවරණ කොමිසම විසින් මැතිවරණයට අදාළ සිය ගැසට් නිවේදනය නිකුත් කරන ලදි.

එහෙත් කෝවිඞ් 19 හමුවේ අප්‍රේල් 25 මැතිවරණය පැවැත් වීමට නොහැකි වේ. ඒ අනුව නැවත මැතිවරණය පැවැත්විය හැකි දිනය ලෙස මැතිවරණ කොමිසම ප්‍රකාශ කරන්නේ ජුනි 20 දිනය. ඒ අප්‍රේල් 20 වන දින නිකුත් කරන ගැසට් නිවේදනය මගිනි.

 

නඩුවට ප්‍රස්තුත කාරණය ?

නඩුවට ප්‍රස්තුත කාරණය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විසුරුවා ඇති පාර්ලිමේන්තුව මාස තුනක් ඇතුළත රැස් විය යුතු බැවින් එම මාස තුන පිරෙන ජුනි 2වෙනි දිනට පෙර එසේ රැස්විය විය නොහැකි නිසා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය සහ මැතිවරණ දිනය ප්‍රකාශ කළ මැතිවරණ කොමිසමේ ගැසට් නිවේදන වලංගු ද යන්නයි.

රටේ ඇතිවන ප්‍රශ්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන් අනුව ව්‍යවස්ථාදායකය, විධායකය හෝ අධිකරණ ඔස්සේ විසඳා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලික ලක්ෂණයකි. ඒ අනුව මේ ගැටලුව අධිකරණය හමුවට ගෙන යෑම සෑම අතින්ම අගය කළ යුතු පියවරකි.

 

පෙත්සම් පාර්ශවයන්ට චෝදනා තුනක්:

එහෙත් මෙසේ අධිකරණයට යෑම සම්බන්ධයෙන් ප්‍රධාන ප්‍රවාහයේදී චෝදනා තුනක් එල්ලවිය.

  1. මෙය මැතිවරණ පවත්වනවාට එරෙහිව නියෝගයක් ලබා ගැනීමට අධිකරණය වෙත යෑමකි.

  2. තමන් ලබා දුන් නාම යෝජනා අහෝසි කර ගැනීමට සමගි ජන බලවේගයට අවශ්‍යව ඇති අතර මේ අධිකරණයට යන්නේ ඒ නිසාය.

  3. මේ අධිකරණයට යන්නේ විසුරවා ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවීමට නියෝගයක් ලබා ගැනීමටය.

එහෙත් පෙත්සම්කාර පාර්ශ්වයේ සැබෑ අවශ්‍යතාවය වූයේ කෝවිඞ් 19 වසංගතය නිසා රටේ පොදු කටයුතු සීමා කර ඇති තත්ත්වයක නිදහස් සාධාරණ මැතිවරණයක් පැවැත්විය නොහැකි නිසා ඒ සඳහා සුදුසු කාලයක මැතිවරණය පැවැත්වීමට අධිකරණ නියෝගයක් ලබා ගැනීමයි.

''පෙත්සම්කාර පාර්ශ්වයේ සැබෑ අවශ්‍යතාවය වූයේ කෝවිඞ් 19 වසංගතය නිසා රටේ පොදු කටයුතු සීමා කර ඇති තත්ත්වයක නිදහස් සාධාරණ මැතිවරණයක් පැවැත්විය නොහැකි නිසා ඒ සඳහා සුදුසු කාලයක මැතිවරණය පැවැත්වීමට අධිකරණ නියෝගයක් ලබා ගැනීමයි.''

ඒ හැර නාමයෝජන අහෝසි කිරීමට හෝ පාර්ලිමේන්තුව නැවත කැඳවීමට ජනාධිපතිවරයාට නියෝග කිරීමක් මෙහිදී කිසිසෙත් බලාපොරොත්තු නොවීය.

එසේම ව්‍යවස්ථාදායකය අක්‍රීයව පවතිද්දී රට පාලනය කරන්නේ කෙසේද ද යන්න පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය මෙම නඩුවෙන් බලාපොරොත්තු විය නොහැක. එමනිසා ඉහත සියලු චෝදනාවන් වැරදි සහ පටු චෝදනාවන්ය.

 

අධිකරණය විසින් කළේ ප්‍රශ්නය මගහැරයාමක් ද ?

අධිකරණය මෙම පෙත්සම් ප්‍රතිෂේප කිරීම මගින් රටේ ව්‍යවස්ථාදායක සහ විධායකය අතර අතිශය තීරණාත්මක ගැටුමක් ඇතිව තිබියදී එය මගහැරයාමක් බව ඇතමුන් චෝදනා කරනු දක්නට ලැබිණ. එයද නිවැරදි නොවන අතර මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉතා පටු අර්ථ දැක්වීමකි.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන පෙත්සම මුලින්ම විභාගයට ගන්නවාද නැද්ද යන්න සලකා බලන අතර මේ පෙත්සම යනු එම කාරණය දින දහයක දිර්ඝ කාලයක් සලකා බැලුන අවස්ථාවකි. ශ්‍රේෂ්ඨාධිකරණය මේ කෙරෙහි කෙතරම් බරපතළ අවධානයක් යොමු කරාද යන්නට මේ ගත වූ කාලයෙන්ම තේරුම් ගත හැක.

ඒ අනුව දෙපාර්ශ්වයම සිය කරුණු ඉදිරිපත් කරන ලද අතර මැතිවරණ කොමිසම විසින් තමන්ට ජුනි 20 දින මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නොමැති බව අධිකරණය හමුවේ කරුණු දැක්වීම මෙහිදී අතිශය වැදගත්ය.

''දැන් කොරෝනා සමාජයේ පැතිරීම පාලනය වී ඇති බව ආණ්ඩුව ජයග්‍රාහී ලෙස පවසන්නේ නම් එහි දායකත්වය රටේ සියලු පුරවැසියන් එකසේ ලබා දුන් දෙයකි.''

කෝවිඞ් 19 රටට ඇතුළු වන විට මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ වී තිබුණි. එතැනින් පසු මැතිවරණය කල් දැමීම, ඇඳිරි නීතිය වැනි සිදුවූ බොහෝ දේ තනිකරම රටේ නිතිය අනුවම සිදු වූ දේ නොවේ. එහෙත් අවස්ථාව අනුව කිසිවෙකු ඒවා අභියෝගයට ලක් නොකර ආණ්ඩුවේ තීරණ වලට සහයෝගය දැක්විය.

දැන් කොරෝනා සමාජයේ පැතිරීම පාලනය වී ඇති බව ආණ්ඩුව ජයග්‍රාහී ලෙස පවසන්නේ නම් එහි දායකත්වය රටේ සියලු පුරවැසියන් එකසේ ලබා දුන් දෙයකි.

 

පැවැති තත්ත්වය හමුවේ අප්‍රේල් 25 හෝ ජුනි 20 මැතිවරණය පැවැත්වුවා නම් !

ඒ අනුව පැවැති තත්ත්වය හමුවේ අප්‍රේල් 25 හෝ ජුනි 20 මැතිවරණය පැවැත්වුවා නම් ආණ්ඩු බලය, මාධ්‍ය බලය, දේශපාලන බලය නොමැති විපක්ෂයේ දේශපාලන පක්ෂ වලට දැඩි අවාසියක් සිදුවීමට නියමිතව තිබුණි. මැතිවරණ නිරීක්ෂණ සංවිධානවලට නිසි ලෙස මැතිහත් වීමට නොහැකි වනු ඇත.

එවැනි තත්ත්වයක මැතිවරණයක් පැවැත්වීම මැතිවරණගායක් මිස අන් කිසිවක් නොවේ. ඒ මැතිවරණගාය වැළඳී තිබුනේ ආණ්ඩු පක්ෂයේ පිරිසට බව රහසක් නොවේ.

මැතිවරණය නිදහස් හා සාධාරණව පැවැත්විය යුතු යැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන, සිවිල් සංවිධාන සහ මැතිවරණ කොමිසම පවා නිතරම ප්‍රකාශ කරන කාරණයකි. නිදහස් යනු සියලු දෙනාටම කිසිදු බාධාවකින් තොරව මැතිවරණයට සහභාගී වීමට ලැබෙන ඉඩ අතර සාධාරණ යනු මුළු මැතිවරණ ක්‍රියාවලියම සමබිමක පැවැත්වීමයි.

මහජනතාවගේ ඡන්ද අයිතිය සුරැකෙන්නේ හුදු ඡන්ද පැවැත්වීමෙන් නොව පවත්වන ඡන්ද නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීමෙනි. වසංගතයක් මැද පවත්වන මැතිවරණයක් කිසිසෙත්ම ජනතාවගේ ඡන්ද අයිතිය සුරැකෙන්නේ නැති බව පැහැදිලිය.

 

කඩිමුඩියේ මැතිවරණගායකින් පවත්වන මැතිවරණයක් දැන් නැත:

එහෙත් මේ අධිකරණ ක්‍රියාවලිය හරහා දැන් නැවත මැතිවරණය පැවැත්වීම පිළිබඳ සම්පූර්ණ වගකීම මැතිරණ කොමිසමට ලැබී ඇති අතර දැන් රටේ පවතින්නේ ක්‍රමයෙන් විවෘත වන අවදියකය. ඒ නිසා ආණ්ඩුවට පමණක් නොව අන් සියලු දෙනාට තම ක්‍රියාකාරීත්වයන් දැන් ඇරඹීය හැක.

Prabodha Rදැන් මැතිවරණ කොමිසමට අදාළ සෞඛ්‍ය සහ අනෙකුත් නිර්ණායක අනුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය පියවරයන් ගත හැකි අතර ඒ සඳහා ඔවුන්ට සාධාරණ කාලයක් අවශ්‍යය.

ඒ නිසා දැන් කඩිමුඩියේ මැතිවරණගායකින් පවත්වන මැතිවරණයක් නැත. ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාවගේ, මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල, විපක්ෂයේ දේශපාලන පක්ෂවල මතයට දැන් සාධාරණය ඉටුව ඇත. සමහර විට පැවැති තත්ත්වයේ බරපතලකම දන්නා සෞඛ්‍ය ඇමැතිවරිය රතිඤ්ඤා දැල්වූයේ ඒ සතුටට විය හැක. සැබැවින්ම ඇයට පමණක් නොව අපටද මෙය සතුටකි.

සමහර සංකීර්ණ ගැටලු වලට විසඳුම පිළිතුර ලැබෙන්නේ පිළිතුර සෙවීමේ ක්‍රියාවලියෙන් මිස අවසානයේ දී ලැබෙන දෙයින් නොවේ. මේ නඩුවේ තීන්දුවට පෙර අවශ්‍ය පිළිතුර ලැබුණි. ඒ මැතිවරණය කල් යෑමයි. දැන් නිදහස් හා සාධාරණ ඡන්දයට අවශ්‍ය කාලය ලැබීමෙන් ජනතාවගේ ඡන්ද අයිතිය සුරැකී ඇත.

මැතිවරණගාය සුව වුවත් පෙර කී පරිදි දැන් තව ප්‍රධාන ප්‍රශ්නයක ඉතිරව ඇත. ඒ ව්‍යස්ථාදායකයෙන් තොරව තව කොපමණ කාලයක් රට පාලනය කළ හැකි ද යන්නයි. ඒ ගැන වෙනම ම ලිවිය යුතුය.

[නීතිඥ ප්‍රබෝධ රත්නායක විසින් සමබිමට (samabima.com) ලියන ලද ලිපියකි.]

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මැතිවරණගාය දැන් සනීපයි; ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් දිනුවේ කවුද? | The Leader