The Leader News
BREAKING
Top Ad
Opinion

සංසන්දන අගතිය හෙවත් නලින් ද සිල්වාගේ ජාතිකවාදය - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

February 27, 2024 • 6:07 AM

සංසන්දන අගතිය හෙවත් නලින් ද සිල්වාගේ ජාතිකවාදය - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පළමුවෙන්ම අප ඇසිය යුතු ප්‍රශ්නය තමයි අපි ඉන්දියාව වගේ විය යුත්තේ ඇයි?
  • උදාහරණයක් හැටියට ඔබ ඔබේ සාර්ථකත්වය මනින්නේ ඔබේ මිතුරන් හෝ අසල්වැසියන් හෝ නෑදෑයන් හෝ ෆේස්බුක් හෝ ඉන්ස්ටග්රෑම් චරිත සමග ඔබව සංසන්දනය කිරීමෙන්.
  • දැන් අපිට ඒ හත්කලවමෙන් මිදෙන්න බැරි තරමට කලවම් වෙලා.
අකුරු ප්‍රමාණය (Font Size):


පළමුවෙන්ම අප ඇසිය යුතු ප්‍රශ්නය තමයි අපි ඉන්දියාව වගේ විය යුත්තේ ඇයි? නලින් ද සිල්වාගේ ඊනියා ජාතිකවාදයේ මූලික වරද මෙයයි. ඔහු යෝජනා කරන ජාතිකවාදය සෑම විටම පදනම් වන්නේ “අනෙකා” මතයි. මේක පුද්ගලික මානසික අගතියක්.

බොහෝ අය තමන් ගැන විනිශ්චය කරන්නේ අනුන් සමග තමාව සංසන්දනය කිරීමෙන්. උදාහරණයක් හැටියට ඔබ ඔබේ සාර්ථකත්වය මනින්නේ ඔබේ මිතුරන් හෝ අසල්වැසියන් හෝ නෑදෑයන් හෝ ෆේස්බුක් හෝ ඉන්ස්ටග්රෑම් චරිත සමග ඔබව සංසන්දනය කිරීමෙන්.

ඒ නිසා තමයි ඔබට කවදාවත් සතුටෙන් ඉන්න බැරි. ද සිල්වාට මේ මානසික අගතිය ඉතා දරුණුවට තියෙනවා. ඔහුගේ ගෝලබාලයන්ට ඒ අගතිය ඔහු විසින් දශක කිහිපයක් තිස්සේ පොවා තිබෙනවා.

 

FlagSL
සිංහල ජාතිය ගැන ද සිල්වා හැම වෙලාවෙම කතා කරන්නේ ‘බටහිර විද්‍යාව සහ එහි ආධිපත්‍යය’ නමින් ඔහු විසින්ම නිර්මාණය කරගත් අර්ථශුන්‍ය ප්‍රවාදයකට සාපේක්ෂවයි. විටෙක එය ඉන්දියානු ආධිපත්‍යය වෙනවා. විටෙක එය චීන ආධිපත්‍ය වෙනවා. “අනෙකෙකු” නැතිව සිංහල ජාතික අනන්‍යතාවයක් ගැන වචන දහයක් කතා කරන්න ද සිල්වාට බැහැ. එය දරුණු හීනමානයක්. අනන්‍යව පැවති බෞද්ධ සිංහලයා “අනුන්ට” සාපේක්ෂව හිතන හීනමාන සිංහල බෞද්ධ ජාතිකවාදයකට තල්ලු කළේ ප්‍රධාන වශයෙන් නලින් ද සිල්වා විසින්. අන්න ඒ නිසා තමයි අපිට අපිටම අනන්‍ය වූ ජාතික චින්තනයක් අද වෙනකොට නැත්තේ. මීට වැඩිය හොඳයි නලින් මුලින් හිටිය මාක්ස්වාදයේම හිටියා නම්. මොකද එහෙම වුණා නම් ලංකාවේ එක බුද්ධිමය පරම්පරාවකට මේ සා විශාල අපරාධයක් වෙන්නේ නැහැ.

අනෙකා සමග සංසන්දනය වෙමින් තමන්ට තමන් වෙන්න බැහැ. තමන්ට තමන් වෙන්න පුළුවන් එකම ක්‍රමය අනෙකාගෙන් සම්පූර්ණයෙන්ම මිදීමයි. එතකොට තමයි පූර්ණ ස්වාධීන චින්තනයක් හැදෙන්නේ.

 

මහාචාර්ය නලින් ද සිල්වා

 

ලංකාවට ලංකාව වෙන්න බැරි කළේ නලින් ද සිල්වා විසින් නූතනයේ නිර්මාණය කළ මේ සංසන්දන අගතියයි. මෙහි බරපතලකම ඔහුට තේරුම් ගියාට පසුව තමයි ඔහු කියන්නේ බටහිර විද්‍යාත්මක දැනුම අපිට “අවශ්‍ය” විදිහට ගත්තට කමක් නැහැ වගේ සාම කතා. මොන කුණුහරුපයක්ද ඒ? ඒක තමයි සංස්කෘතික ඛාදනය. එහෙම කළාම තමයි සංස්කෘතික කලවම් හැදෙන්නේ. ඒක තමයි ඇත්තටම වුණේ. දැන් අපිට ඒ හත්කලවමෙන් මිදෙන්න බැරි තරමට කලවම් වෙලා. ද සිල්වා දැන් ඇමරිකාවේ ඉඳගෙන ඕස්ට්‍රේලියානු සිංහල ජාතිකවාදීන්ට සූම් එකෙන් ලංකාවේ දේශපාලනය ගැන බන කියනවා!

මෙහි වඩාත් ඛේදනීයම තත්ත්වය තමයි ද සිල්වා විසින් සිංහල ජාතික අනන්‍යතාවයන් තහවුරු කරන්නේ අනෙකාගේ අනන්‍යතාවයට පහර ගැසීමෙන් වීමයි. එයට හොඳම උදාහරණය තමයි ඔහුගේ දේව විශ්වාසය. ඔහුගේ දේව විශ්වාසය තහවුරු කරන්නේ එහිම වූ යථකින් නොවෙයි. එයා නාථව ඔප්පු කරන්න හදන්නේ බටහිර දෙවියන්ට කෝටුපාර ගැසීමෙන්. ඉන්දියාවේ මහා බ්‍රහ්මට කෝචෝක් කිරීමෙන්. අනෙකා නැතුව ද සිල්වාගේ නාථට ප්‍රාදූර්භූත වෙන්නවත් බැහැ. ධම්මික පැනිය vs. බටහිර එන්නත්… අපි vs. නිව්ටන්… අපි vs. අයින්ෂ්ටයින්… අපි vs. කළු කුහර… අපි vs. රේඛීය චින්තනය… නලින් ද සිල්වා කියන “අපි” යනු අනුන් වෙනුවෙන්ම, අනුන් නිසාම, අනුන් මතම පවතින්නක්. ද සිල්වාගේ “අපි” පවතින්නේ ඔහුගේ ලෝකයේ ඔහුගේ සතුරන් නිසයි.

ජවිපෙ දෙවැනි මනාපය: ''ලාල්කාන්තගේ කතාව දියාරු වුනත් ප්‍රසංසනීයයි'' - ගාමිණී  වියන්ගොඩ

 

කාටහරි මේ අගතිය තවම තේරුම් ගන්න බැරි නම් ඔබ කල්පනා කරන්න ජේවීපීකාරයන් කියන කතාව. ඔවුන්ට ඔවුන්ගේම ස්වාධීන චින්තනයක් නැහැ. තිබුණත් ඒක යල්පැනගිය අතාර්කික අප්‍රායෝගික පුස්සක්. ඒ නිසා ඔවුන් කරන්නේ “අපිට දියුණු වෙන්න බැරි ජේආර්ගේ නිදහස් වෙළඳපොළ ආර්ථික ආධිපත්‍යය නිසයි…” එහෙම නැත්නම් “අපිට දියුණු වෙන්න බැරි මහින්ද රාජපක්ෂගේ දේශපාලන සංස්කෘතික ආධිපත්‍යය නිසයි…” කීමයි. මේක තමයි මාක්සියානු අගතිය. “නිර්ධනයට සැප විඳින්න බැරි ධනපතියා නිසයි” කීම. නලින්ගේ ජාතිකවාදයේ පදනම මේකමයි. ඔහු කරන්නේ ප්‍රභූ ධනවාදය වෙනුවට “බටහිර ආධිපත්‍යය” යනුවෙන් වචන මාරු කිරීම පමණයි. ද සිල්වාගේ ගෝලයන් ජේවීපීකාරයන්ට වෙනස් නැහැ. ඔවුන්ගෙන් සමහරු මේවාට ප්‍රතිචාර දක්වන්නේ අනුරගේ විකාර ගැන කීවාම ප්‍රතිචාර දක්වන නොසන්ඩාල ආකාරයටම තමයි.

අනුන්ට එරෙහිව ඊනියා “ජාතික චින්තන” හදන්න ගියාම වෙන්නේ තියෙන ජාතික චින්තනයත් නැති වීමයි. ද සිල්වාට අද වෙනකොට “ඔහුගේ” ජාතිකවාදය මනින්න වෙලා තියෙන්නේ “ඔහු” ඊර්ෂ්‍යාවෙන් දකින ඉන්දියාවේ අහවල් ජාතිකවාදයට සංසන්දනය කරමින්. මොනතරම් ඛේදවාචකයක්ද…

ධර්මය අපට මග වේවා!

සබැඳි ලිපි :

බුදුදහම සහ නලින් ද සිල්වාගේ මායාවාදය - (එරන්ද ගිනිගේ)

සරල රේඛාව සහ නලින් ද සිල්වාගේ මෝල් ගහ - (එරන්ද ගිනිගේ)

පරිණාමවාදය සහ නලින් ද සිල්වාගේ කිකිළිය (එරන්ද ගිනිගේ)

මහා පිපිරුම සහ නලින් ද සිල්වාගේ මැවීම - (එරන්ද ගිනිගේ)


(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 පෙබරවාරි 26


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...