The Leader News
BREAKING
Top Ad
Opinion

බැසිල් රෝහණ සහ නලින් ද සිල්වාගේ ජාතිකත්ව මීටරය - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

February 29, 2024 • 5:24 AM

බැසිල් රෝහණ සහ නලින් ද සිල්වාගේ ජාතිකත්ව මීටරය - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ කාටහරි “ජාතිකත්වය” තියෙනවද නැද්ද කියලා පරීක්ෂා කරලා සහතික නිකුත් කරන්නේ ද සිල්වා සහ සමාගම විතරයි.
  • ඔවුන්ගේ පේටන්ට් බලපත්‍ර හිමි “ජාතිකත්ව මීටරයෙන්” සුටුස් ගාලා ඔබව ස්කෑන් කරලා ටක්කෙටම කියාවි ඔබේ ජාතිකත්ව මිනුම. මහාචාර්ය නලින් ද සිල්වා “1977 මැතිවරණයෙන් පැරදුණු බැසිල් එජාපය සමග එකතු වුණා” කියන ද සිල්වා එයින් අදහස් කරන්නේ එහෙම පක්ෂ මාරු කළ නිසා රෝහණට ජාතිකත්වය නැත කියාය.
  • ශ්‍රීලනිපය ආසන 8 ට වැටුණා.
  • ද සිල්වා කියනවා “2005 මහින්ද ජනාධිපති වුණේ ඒ වෙලාවේ තිබුණු දේශප්‍රේමී කඳවුරේ ශක්තිය මතය” කියා.
අකුරු ප්‍රමාණය (Font Size):

ලංකාවේ කාටහරි “ජාතිකත්වය” තියෙනවද නැද්ද කියලා පරීක්ෂා කරලා සහතික නිකුත් කරන්නේ ද සිල්වා සහ සමාගම විතරයි. ඒගොල්ලෝ තමයි කියන්නේ මෙන්න මූට ජාතිකත්වය තියෙනවා… අන්න අරූට ජාතිකත්වය නැහැ… කියලා. ඔබට ඔබගේ ජාතිකත්වය මැන ගැනීමට අවශ්‍ය නම් වහාම යන්න ද සිල්වා සහ පුත්‍රයෝ වෙත. ඔවුන්ගේ පේටන්ට් බලපත්‍ර හිමි “ජාතිකත්ව මීටරයෙන්” සුටුස් ගාලා ඔබව ස්කෑන් කරලා ටක්කෙටම කියාවි ඔබේ ජාතිකත්ව මිනුම. 

 

මහාචාර්ය නලින් ද සිල්වා
“1977 මැතිවරණයෙන් පැරදුණු බැසිල් එජාපය සමග එකතු වුණා” කියන ද සිල්වා එයින් අදහස් කරන්නේ එහෙම පක්ෂ මාරු කළ නිසා රෝහණට ජාතිකත්වය නැත කියාය. ඒක හරිම සරල “රේඛීය චින්තනයක්”... ද සිල්වාගේ තර්කය අනුව ගත්තොත් ඔහුට ඔහුම යෝජනා කරන ජාතිකත්වයක් තියෙන්න බැහැ. මොකද නලින් කාලයක් උග්‍ර මාක්ස්වාදියෙක්. ඒ වගේම උතුරේ දෙමළ ජාතිකයන්ගේ ස්වයං නිර්ණය අයිතිය වෙනුවෙන් දැඩිව පෙනී සිටි අයෙක්. නමුත් පසුව ඔහුගේ එම මතවාද ඔහු වෙනස් කරගන්නවා. එයාට හොඳයි. අනුන්ට නරකයි. නලින්ගේ තර්ක හරිම බොළඳයි.

 

කළු ජූලිය සැමරීම : වාමාංශික තක්කඩියන්ගේ දෙබිඩිකම83′ කළු ජූලිය
ඒ යුගයේ එජාපය හිටියේ දෙමළ විමුක්තිකාමයට විරුද්ධව. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන්න එජාපය එදා ඡන්දය දුන්නා. බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුමට විරුද්ධ වුණේ එජාපය. 1977 රෝහණ විතරක් නොවෙයි මහින්දත් පැරදුණා. ශ්‍රීලනිපය ආසන 8 ට වැටුණා. එදා සිංහල ජාතිකවාදය තිබුණේ එජාපය අතේ. 1982 උතුරේ දෙමළ වැසියන් ඡන්දය දුන්නේ ජේආර්ට විරුද්ධව. 1983 කොළඹ දෙමළ ජාතිකයන් ඇඳිවතින් බෝට්ටුවල දාලා කන්කසන්තුරේට පැන්නුවේ ජේආර්. එහෙම බැලුවම ඒ කාලේ එජාපය වෙන කිසිම පක්ෂයකට වඩා සිංහල ජාතිකවාදීයි. ජේආර් පටන් ගත්ත ව්‍යාපෘතිය එයා එදා ඉවර කළා නම් ලංකාවේ දෙමළ කියලා ජාතියක් ඉතුරු නොවෙන්න තිබුණා. රාජපක්ෂලාට අවසන් කරන්න යුද්ධයක් ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් ලංකාව අද සිංහල රාජ්‍යයක්. හරි නම් නලින් ද සිල්වාගේ ජාතිකත්ව මීටරේ වීරයා විය යුත්තේ ජේආර්.

 

රාජපක්ෂ සනුහරයට කත් අදින බත් බැළයන් වෙත... 

ද සිල්වා කියනවා “2005 මහින්ද ජනාධිපති වුණේ ඒ වෙලාවේ තිබුණු දේශප්‍රේමී කඳවුරේ ශක්තිය මතය” කියා. එදා මහින්දට ලැබුණේ 50.29% යි. උතුරේ මිනිස්සුන්ට ඡන්දය වර්ජනය කරන්න කියලා කොටි නායක පිරපා නියෝග නොකළා නම් රනිල් වික්‍රමසිංහ ලංකාවේ ජනාධිපති වෙන්නේ එදා. එහෙම අමුතු දේශප්‍රේමී ශක්තියක් එදා තිබුණේ නැහැ. මහින්ද වෙනුවෙන් රෝහණ රාජපක්ෂ මැතිවරණ ව්‍යාපාරය සංවිධානය කළ හැටි ගැන ගෝඨාභය රාජපක්ෂ මා සමග කියා තිබෙනවා. නිදහස් පක්ෂයෙන් ලැබිය යුතු සහාය මහින්දට එදා ලැබුණේ නැහැ. ඒ බර ඇද්දේ රෝහණ. ද සිල්වා මොනවාද කළේ… මහින්ද දිනුවට පස්සේ තමයි ජාතික කඳවුර ශක්තිමත් වුණේ. යුද්ධ කරන්නයි රට හදන්නයි අවශ්‍ය කරන සල්ලි හොයලා දුන්නේ රෝහණ රාජපක්ෂ. ද සිල්වාගේ මේ ගුණමකුකම ඔහුගේ ජාතික චින්තනයේ ලක්ෂණයක්.

මම දන්න තරමින් රාජපක්ෂලා අතරින් වැඩිම සිංහල ජාතිකවාදී ගතිය තියෙන්නේ රෝහණට. භික්ෂු සංඝයාට වෙහෙර විහාරස්ථානවලට ඔහු කර ඇති නිහඬ සේවය අහලකටවත් එන්න බැහැ ද සිල්වාට. නමුත් කුමක් හෝ හේතුවකට ඊනියා ජාතිකවාදීන් ඔහුට නිරපරාදේ මඩ ගහනවා. මා හිතන්නේ එයට එක හේතුවක් ඔහුගේ නම. “පර්සි” කියන නම වැඩිපුර කියවුණා නම් ද සිල්වා මහින්දගේ ජාතිකත්වයත් ප්‍රශ්න කරන බවට මෙන්න කැට. මේවා තමයි නියම බමුණු චින්තන. “රෝහණ රාජපක්ෂ” කියලා වැඩිපුර කියවුණා නම් ද සිල්වාගේ ජාතිකත්ව මීටරේ බැසිල් උඩට එනවා. අනෙක් පැත්තෙන් මා හිතන්නේ ද සිල්වලාගේ මෙවැනි අතාර්කික කතා මහින්දලා ගෝඨාභයලා සිනහවෙන් ඉවසුවට රෝහණ ඉවසන්නේ නැහැ. ද සිල්වාගේ ජාතිකත්ව මීටරය වැඩ කරන්නේ ඔන්න ඔය වගේ බොළඳ පුද්ගලික දෘෂ්ටි මත.

නැත්නම් කාටවත් රෝහණ සමග ජාතිකත්වය මත ප්‍රශ්නයක් තියෙන්න බැහැ. ගෝඨාභයත් ඇමරිකාවේ පුරවැසිකම ගත්තා. රෝහණත් ගත්තා. ඒ දෙන්නම ගත්තේ ඔවුන්ගේ පවුලේ අයගේ උවමනාවට කියලයි මා හිතන්නේ. ද සිල්වා ඇමරිකාවේ ගිහිල්ලා ඉන්නෙත් එයාගේ පවුලේ උවමනාවට. ඒවා මත කෙනෙකුගේ ජාතිකත්වය තීරණය කරන්න පුළුවන් කියා සිතීම අසාධාරණයි. ගෝඨාභය ඇමරිකාවේ නොගිහින් ඉන්න සමහර විට කොබ්බෑකඩුවලා විජය විමලරත්නලා සමග ඒ කාලෙම අපට අපට අහිමි වෙන්න තිබුණා. ද සිල්වාට එයාගේ පුතාව බලන්න අද ඇමරිකාවට යන්න පුළුවන් වුණාට ගෝඨාභයට යන්න බැහැ. ද සිල්වා හිතන්නේ හරිම “රේඛීයව”.

 

1240047948b2

ද සිල්වා කියනවා “2015 මහින්ද පැරදුණේ රෝහණ නිසාය” කියා. මම කියනවා 2015 මහින්ද පැරදුණේ ද සිල්වා නිර්මාණය කළ විකෘති ජාතිකවාදය නිසාය කියා. එදා මහින්දට විරුද්ධව හිටගත්තේ ජාතික චින්තනයේ ඔද්දල් වුණු හෙළ උරුමය ප්‍රමුඛ ඊනියා ජාතිකවාදී කඳවුරයි. ඔවුන් හැදුවේ රාජපක්ෂලාට “පාඩමක්” උගන්වන්න. ඔය ඉගැන්නුවේ පාඩම… 2015 න් පටන් ගත්ත බිඳ වැටීම තමයි තාම මේ යන්නේ. රෝහණ විතරයි හැමදාම වගේ එදත් මහින්ද වෙනුවෙන් ඡන්ද කළේ. සැලසුම තිබුණේ රෝහණව සිරගත කරලා ජීවිතය නැති කරන්න. ඔහු හදිසියේ රටින් පිටවෙන්නේ ඒ නිසයි. ද සිල්වාට එහෙම ජීවිත අවදානමක් නැහැ. 2022 විමල්-ගම්මන්පිල ඊනියා ජාතිකවාදීන් හැදුවෙත් රාජපක්ෂලාට පාඩමක් උගන්වන්න. ඔය ඉගැන්නුවේ යසට…

ද සිල්වා කියනවා “බටහිරයන් දේශපාලනයෙන් ඉවත් කර ඇත්තේ මහින්ද හා ගෝඨාභය පමණක් බව අමතක කරන්න එපා. ජාතිකත්වයක් නැති රෝහණට දේශපාලනය කරන්න පුළුවන්,” කියා. ද සිල්වාට අමතක වෙලා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගේන්නෙම රෝහණව දේශපාලනයෙන් ඉවත් කරන්නට කියා. 21 වැනි සංශෝධනය ගේන්නෙත් ඒකටමයි. ද සිල්වාට පේන්නේ එයාගේ පටු කෝණයට ගෝචර වෙන දේ විතරයි. ද සිල්වාගේ තර්කයම අරගෙන මා කියනවා ඒ අනුව බටහිරයන්ගේ උගුලෙන් ගැලවෙන්න පුළුවන් වුණෙත් රෝහණට විතරයි කියලා.

 

1699958319 mahinda gotabaya basil l 1

මහින්දට ⅔ කේ අගමැතිකම ආරක්ෂා කරගන්න බැරි වුණා. ගෝඨාභයට 69 ලක්ෂයේ ජනපතිකම ආරක්ෂා කරගන්න බැරි වුණා. නමුත් රෝහණට අඩුම ගානේ පොහොට්ටුව ආරක්ෂා කරගන්න පුළුවන් වුණා. ඔතන වෙන මිනිහෙක් හිටියා නම් මෙලහකට පොහොට්ටුවක් නැහැ. පේනවනේ ඔය සමහර ජ්‍යෙෂ්ඨයන් කියන අය පවා මේ දවස්වල වෙනත් පක්ෂවල නායකයන්ට පොහොට්ටුව පංගඩාත්තු කරන්න වලි කන හැටි.

දැන් ඉතින් කියයි මා බැසිල්ගේ “අන්තේවාසිකයෙක්” කියා. සමහරු කියන්නේ මා ගෝඨාභයගේ අන්තේවාසිකයෙක් කියලයි. මට නම් ඔය මොන රාජපක්ෂත් එකයි. අරයට වැඩිය මෙයා හොඳයි වගේ පුද්ගල ප්‍රඥප්ති මගේ නැහැ. මට වැදගත් වෙන්නේ මේ අවස්ථාවේ රාජ්‍යයේ ආරක්ෂාව සහ දිගුකල් පැවැත්ම තහවුරු කරන්න පුළුවන් ජාතික නායකත්වය පමණයි. කවුරු කැමති වුණත් අකමැති වුණත් ඒ සඳහා දැනට ඉන්නේ රාජපක්ෂලා පමණයි. වෙන ජාතික නායකත්වයක් පෙනෙන්න නැහැ. ද සිල්වා පඬි කතා කිව්වට එයාට මේ එකක්වත් කොරන්න බැහැනේ. එයාට පුළුවන්ද පක්ෂයක් හදලා ඡන්ද කරලා දිනන්න? බැහැනේ. මමත් මේවා ලිව්වට ඔය මැතිවරණ දේශපාලනය කරන්න කැමැත්තක් නැහැ. එහෙනම් ඒක කරන්න පුළුවන් මිනිස්සුන්ට වචනයකින් හෝ සහාය දීමයි සැබෑ ජාතිකවාදියෙකුගේ යුතුකම.

ධර්මය ඔබට මග වේවා!

(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2022 පෙබරවාරි 29 

සබැඳි ලිපි පෙළ :

සංසන්දන අගතිය හෙවත් නලින් ද සිල්වාගේ ජාතිකවාදය - (එරන්ද ගිනිගේ)

බුදුදහම සහ නලින් ද සිල්වාගේ මායාවාදය - (එරන්ද ගිනිගේ)

සරල රේඛාව සහ නලින් ද සිල්වාගේ මෝල් ගහ - (එරන්ද ගිනිගේ)

පරිණාමවාදය සහ නලින් ද සිල්වාගේ කිකිළිය (එරන්ද ගිනිගේ)

මහා පිපිරුම සහ නලින් ද සිල්වාගේ මැවීම - (එරන්ද ගිනිගේ)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...