The Leader News
BREAKING
Top Ad
Opinion

ජම්බුව සහ නලින් ද සිල්වාගේ බම්බුව - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

March 5, 2024 • 11:27 AM

ජම්බුව සහ නලින් ද සිල්වාගේ බම්බුව - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එකක් නම් වසර දහස් ගණනක් තිස්සේ ආර්යයන් වහන්සේලා විසින් දිවිහිමියෙන් රැක ගෙන ආ ත්‍රිපිටක ධර්මයේ අර්ථ විකෘති කරමින් නිර්මාණය කර ඇති වහරක සහ මීවලපලාන වැනි නිකායයන් ය.
  • අනෙක නම් සාක්ෂි සහිතව තහවුරු කර ඇති ඉතිහාසය විකෘති කරමින් “බුදුන් උපන් ජම්බුද්වීපය හෙළදිව ය” යනුවෙන් නිර්මාණය කර ඇති අලුත් වංශකතාවයි.
  • මීට වසර කිහිපයකට පෙර ඉතා සුළුවෙන් තැකූ මේ සතුරු බලවේග අද වන විට ඉතා ප්‍රබල ලෙස ලක්දිව බෞද්ධ සිංහල සමාජය ගිල ගෙන තිබේ.
  • නමුත් අප තේරුම් ගත යුත්තේ මෙම බරපතල අර්බුදය ඇති කරවන මූල හේතුව කුමක්ද කියා ය.
අකුරු ප්‍රමාණය (Font Size):

එකක් නම් වසර දහස් ගණනක් තිස්සේ ආර්යයන් වහන්සේලා විසින් දිවිහිමියෙන් රැක ගෙන ආ ත්‍රිපිටක ධර්මයේ අර්ථ විකෘති කරමින් නිර්මාණය කර ඇති වහරක සහ මීවලපලාන වැනි නිකායයන් ය. අනෙක නම් සාක්ෂි සහිතව තහවුරු කර ඇති ඉතිහාසය විකෘති කරමින් “බුදුන් උපන් ජම්බුද්වීපය හෙළදිව ය” යනුවෙන් නිර්මාණය කර ඇති අලුත් වංශකතාවයි.

 

මේ දෙක එකිනෙකින් යැපේ. මීට වසර කිහිපයකට පෙර ඉතා සුළුවෙන් තැකූ මේ සතුරු බලවේග අද වන විට ඉතා ප්‍රබල ලෙස ලක්දිව බෞද්ධ සිංහල සමාජය ගිල ගෙන තිබේ. එයට එරෙහිව හඬ නගන ශාසන ලැදි ජාති හිතෛශී භික්ෂූන් වහන්සේලා සුළු පිරිසක් වෙති. උන්වහන්සේලා එම පරවාද සිය තර්කයෙන් ධර්මයෙන් බිඳ දමමින් බෞද්ධ සිංහල සමාජය දැනුවත් කරමින් සිටිති. නමුත් අප තේරුම් ගත යුත්තේ මෙම බරපතල අර්බුදය ඇති කරවන මූල හේතුව කුමක්ද කියා ය.  

 

Ravana 4

මේ ප්‍රකාශන පදනම් වන්නේ එකම දෘෂ්ටියකට ය. මේ ආකාරයට දැඩි “ආත්ම කේන්ද්‍රීය” දේශපාලන චින්තනයක් මෙරට නිර්මාණය කිරීම ඇරඹෙන්නේ කුමාරතුංග මුනිදාස සහ පිරිස විසින් නිර්මාණය කළ “හෙළහවුල” හරහාය. මුනිදාස විසින් සිංහල භාෂාව පෝෂණය කිරීමෙහි ලා වටිනා කාර්යභාරයක් සිදු කළ බව සැබෑය. නමුත් ඔහුගේ “සුද්ද සිංහල” අදහස අන්තවාදයකි. “ලොව සියලුම භාෂා විකාශය වූ මුල් බස සිංහල බස ය” වැනි සාහසික අදහස් නිර්මාණය වෙන්නේ ඒ මත ය. බලි තරු රාවණ සහ සිව්හෙළ වැනි අභූත සංකල්ප නිර්මාණය වන්නේ ඒ හරහා ය. අද වන විට ලක් සමාජය එම මිත්‍යා දෘෂ්ටිය තුළ ගිලී ගොස් ය. නලින් ද සිල්වා විසින් සිය ඊනියා ජාතික චින්තනය හරහා එම ආත්ම කේන්ද්‍රීය දෘෂ්ටිය ලංකාවේ ශාස්ත්‍රීය සමාජය තුළ බලහත්කාරයෙන් තීව්‍ර කළේය. අර්බුදයේ මුල මෙම අවිද්‍යාත්මක දෘෂ්ටිවාදය යි.

mahawanshaya1

 

මහාවංශයෙන් කියැවෙන්නේ විද්‍යාත්මකව තහවුරු කර ඇති ආර්යය සංක්‍රමණය යි. නමුත් ආත්ම කේන්ද්‍රීය ජම්බුවන්ට එය මදි පුංචි කමකි. ඔවුන්ගේ හීනමානය අස්වැසෙන්නේ සිංහලයා මේ භූමියේම ස්වයංජාතව පරිණාමය කරවීමෙන් පමණී. මානව පරිණාමය සහ ව්‍යාප්තිය පිළිබඳව කිසිදු විද්‍යාත්මක දැනුමක් නොමැති එම අඥානයන් ලොව ප්‍රථම සහ උසස්ම ශිෂ්ටාචාරය ගොඩනැගුවේ මෙහි බව විශ්වාස කරයි. කිසිදු සාක්ෂියක් නොමැති රාවණා ප්‍රබන්ධය සහ ඔහුගේ ආලකමන්දාව සත්‍යයක් යැයි කියමින් උදම් අනයි. එයට හේතුව ඔවුන්ගේ “ආත්ම කේන්ද්‍රීය” දෘෂ්ටිවාදය යි. “අගත අනගත චතුදිශ ශගශ දිනෙ” යන්නෙහි “ශගශ” යන්න “යගශ” හෙවත් “යක්ෂ” ලෙස සෝමදේවට වැරදියට පෙනෙන්නේ ඔහු ගත් එම දෘෂ්ටිය නිසා ය.

 

buddha5

බුද්ධ චරිතය ලංකාවෙන් පිට දේශයක සිදු වීම ඔවුන්ට මදි පුංචි කමකි. බුදුන් වහන්සේත් ලංකාවේම ඉපද ලංකාවේම සත්‍යය අවබෝධ කර ලංකාවේම ධර්මය දේශනා කර ලංකාවේම පිරිනිවන් පෑවේ නැත්නම් ඔවුන්ට එය චිත්ත පීඩාවකි. එයට හේතුව වන්නේ ඔවුන්ගේ “ආත්ම කේන්ද්‍රීය” දෘෂ්ටියම ය. එනම් ලෝකයේ මොනවා හෝ විශිෂ්ට දෙයක් ඇත්නම් ඒවා කර ඇත්තේ වෙන කිසිවෙකු නොව අපම ය යන දැඩි මමත්වය යි. වෙනත් රටවල මිනිසුන් විසින් සිදු කරන විද්‍යාත්මක සොයා ගැනීම් සහ ඊනියා සංවර්ධනය ද සිල්වාට ගැටලුවක් වන්නේ ඒ නිසා ය. අපට කරන්න බැරි දේවල් වෙන උන් කිරීම ඔවුන්ගේ පුහු මානයට ප්‍රශ්නයකි. මිදිවල්ල කඩාගැනීමට නොහැකි නලියා මිදිවල්ල “පට්ටපල් බොරුවක්” යැයි කියමින් සිය හීනමානය අස්වසා ගනී. 

01 11කුමාරතුංග මුනිදාස

 

ත්‍රිපිටක ධර්මය කෙරෙහි ඔවුන් දක්වන්නේත් එවැනිම සිතුවිල්ලකි. ඔවුන් කියන්නේ එය බුද්ධඝෝෂ හිමි විසින් වෙනස් කර ඇති බව ය. “සං” දේශනාව නමින් ත්‍රිපිටක ධර්මය අමු අමුවේ විකෘති කරමින් “අපේම” වූ අර්ථයක් සොයන්නේ ඒ නිසාය. කුමාරතුංග මුනිදාසත් එකල බෞද්ධ භික්ෂුවට ගර්හා කළේය. පාළිය පිළිබඳ මුලින්ම සැකයක් නිර්මාණය කළේ මුනිදාසය. ඒ පාළිය “අපේ” කරගැනීමේ අර දෘෂ්ටිය නිසා ය. නලින් ද සිල්වා කියන පරිදි ඔහු ත්‍රිපිටකයේ සූත්‍ර හත අටකට වඩා කියවා නැත. නමුත් “සත්‍යය” වැනි සංකල්ප බුද්ධ ධර්මයට එකතු කර ඇත්තේ බමුණන් විසින් යැයි හෙතෙම කියයි. ද සිල්වාගේ ධර්ම විකෘතිය මීවලපලානේ විකෘතියට නොදෙවෙනි නොවේ. ද සිල්වාට මා යෝජනා කරන්නේ ධර්මය ගැන පඬි කතා කියන්නට පෙර ත්‍රිපිටකයවත් කියවා එන ලෙසය.

 

ආත්මවාදයේත් අන්තයක්ම වන ආත්ම කේන්ද්‍රීය දෘෂ්ටිය මෙකල ලංකාවේ මුල් බැස ගෙන තිබේ. මීවලපලානේ භික්ෂු ප්‍රතිරූපකය වළක්වා දැමුවත් තවත් එවැන්නනුන් බිහි වීම වැළැක්විය නොහේ. සමන්ත භද්‍ර පවා මෙම ආත්ම කේන්ද්‍රීය දෘෂ්ටියේ විකාර නිර්මිතයකි. ඔහු දැඩි මමායනයකින් පෙළේ. දිලිත් ජයවීර නන්දොඩන ජාතික චින්තනයත් එම ආත්ම කේන්ද්‍රීය දෘෂ්ටියේ දිගුවක් පමණී. එබැවින් මෙම අර්බුදය මුලිනුපුටා දැමීමට නම් එහි විපාක බිඳින අතරම එහි හේතු ප්‍රත්‍යයද නැසිය යුතුය.

ධර්මය ඔබට මග වේවා!

(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

සබැඳි ලිපි :

බැසිල් රෝහණ සහ නලින් ද සිල්වාගේ ජාතිකත්ව මීටරය - (එරන්ද ගිනිගේ)

සංසන්දන අගතිය හෙවත් නලින් ද සිල්වාගේ ජාතිකවාදය - (එරන්ද ගිනිගේ)

බුදුදහම සහ නලින් ද සිල්වාගේ මායාවාදය - (එරන්ද ගිනිගේ)

සරල රේඛාව සහ නලින් ද සිල්වාගේ මෝල් ගහ - (එරන්ද ගිනිගේ)

පරිණාමවාදය සහ නලින් ද සිල්වාගේ කිකිළිය (එරන්ද ගිනිගේ)

මහා පිපිරුම සහ නලින් ද සිල්වාගේ මැවීම - (එරන්ද ගිනිගේ)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...