එයින් පෙනුණේ ඔවුන්ට ඔවුන් ගැන ම විශ්වාසයක් නැති බව පමණී. විධායක ජනාධිපතිකමත් ලැබුණා නම්, 2/3 පාර්ලිමේන්තුවකුත් ලැබුණා නම් පසුගිය අවුරුදු බාගයේ කළ යුතු වැඩත් කළා නම් මේ තරම් දඟලන්නට උවමනා නැත. වැඩේ හරියට කළා නම් ජනතාව මාලිමාවට කතිරය ගසනු ඇත. මාලිමා රැල්ල තවමත් පහව ගොස් ද නැත. රටේ ජනපති සහ අගමැති පවා සිය රාජ්‍ය වගකීම් පැහැර හරිමින් වේදිකා ගානේ කථා පවත්වමින් රූපවාහිනී ෂෝවල expose වෙන්නට අවශ්‍ය නැත.
මාලිමාව මේ ඡන්දයෙන් විශාල පළාත් පාලන මන්ත්‍රීන් පිරිසක් ගත්තත් එය ඔවුන්ට අවැඩකි. කණ්ඩායම විශාල වන තරමට එය නඩත්තු කිරීම සහ පාලනය කිරීම අපහසුය. 2018 පොහොට්ටුවට වුණේ එවැනි දෙයකි. කණ්ඩායම විශාල වන විට ඔවුන්ගේ ඉල්ලීම් සහ අපේක්ෂාවන්ද වැඩි වේ. ඔවුන් වෙනම කල්ලි ගැසේ. පසුකාලීනව පොහොට්ටුවට විරුද්ධ වී ඉවත් වුණේ ද ඔවුන්ම ය. බර ව්‍යුහයක් හදා ගත් විට එය කළමනාකරණය කිරීම අපහසුය. අප හදා ගන්නා සිස්ටම් agile විය යුතු ය. ඕනෑම අවස්ථාවක ඕනෑම ආකාරයට පාලනය කළ හැකි ආකාරයට සැහැල්ලු විය යුතු ය. උදාහරණයක් ලෙස කන්ටේනර් ගෙන යන නැවක් හැරවීම දුෂ්කරය. එය යන්නේ හෙමිනි. නමුත් සුපර් බෝට්ටුවක් සැහැල්ලුය. වේගයෙන් යා හැකි ය. ඕනෑම අවස්ථාවක ඕනෑම අතකට හැරවිය හැකි ය. පෙනෙන හැටියට නාමල් හදමින් ඉන්නේ සුපර් බෝට්ටුවකි.

අනුරගේ බය තිබෙන්නේ මහමැතිවරණයට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයක් ඔවුන්ට ලැබුණොත් එය ඔවුන්ට කැළලක් වනු ඇත කියාය. එය ඔහුගේ ඊගෝවට පහරක් මිස සැබැවින්ම අර්බුදයක් නොවේ. අනුර කළ යුතුව තිබුණේ කිසිවක් නොකර බලා සිටීම ය. එවිට ඔහුට භූමියේ යථාර්ථය නිවැරදිව මැන ගත හැකි ය. අනෙක් අතට විපක්ෂයේ බිම් මට්ටමේ ක්‍රියාකාරීන්ට දේශපාලනය කිරීමට අවස්ථාව ලැබේ. එවිට ඔවුන්ගේ ආතතිය අඩු වේ. විපක්ෂය තමන්ට උවමනා ආකාරයට පාලනය කිරීමට නම් ඔවුන්ටත් තමා යටතේ පාලන බලයක් දිය යුතු ය.
“විපක්ෂය දිනන සභාවලට මුදල් දෙන්නේ නැහැ” කියා ප්‍රසිද්ධියේ කීම අමු මෝඩ කථාවකි. එහෙම කරන්න පුළුවන් නම් කළ යුත්තේ කට වහගෙන විපක්ෂයට දිනන්නට දීම ය. එවිට ඔවුන් අනුරගේ මුදල් පාලන බලය යටතට පැමිණේ. කළ යුත්තේ මුදල් දීම හෝ නොදීම හෝ නොවේ. මුදල් දීම යොදාගෙන ඔවුන් තමන්ගේ අණට යටත් කර ගැනීම ය. දේශපාලනය යනු එයයි. රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවේ ඇමතිවරුන්ට කළේ එයයි. ඔහුගේ අතින් ඉඳුල් කන තරමට හීලෑ කර ගැනීමයි. නමුත් ඔවුන්ට දුවන්නට හැක්කේ රනිල්ගේ අනෙක් අතේ තියෙන පටියේ දිගට පමණී.

අනුරගේ කාලයෙන් 1/10 ක් අවසන් ය. තව මාස පහකින් 1/5 ක් අවසන් වේ. දැනට මෙලෝ වැඩක් කර නැත. කරපු වැඩත් චාටර් විය. වැඩ කිරීමට ඉතිරිව ඇති කාලය වේගයෙන් ගෙවේ. ඒ කාලය ගමේ අපේක්ෂකයන් වෙනුවෙන් වේදිකා ගානේ කථා කිරීමටත් හෑවගේ සහ කොට්ටආච්චි වැනි අයගේ අතාර්කික පච ගැසීම් සාධාරණය කිරීමටත් වටිනා ටෙලිවිෂන් කාලය වැය කිරීම දක්ෂ නායකයෙකු විසින් නොකළ යුතු බොළඳ ක්‍රියාවකි. නායකයා සෑම විටම උපායමාර්ගික (strategic) විය යුතු ය. ගම සමග පිළිසඳර කරමින් ගමේ මෝඩයන් සමග කථා කරන්නට යෑමෙන් ගෝඨාභය සවුත්තු විය. ග්‍රාම්‍ය වැසියා සමග කථා කළ යුත්තේ සභාවේ මන්ත්‍රී ය. ධුරාවලිය අවුල් කර ගත් විට පාලනය බිඳ වැටේ.
අනුර හැම තත්පරයක්ම වැය කළ යුත්තේ IMF මර උගුලෙන් ගැලවීම සඳහා පමණී. ඔහුගේ අංක එකේ ප්‍රමුඛතාවය එය පමණී. ඒ සඳහා ඔහු කළ යුත්තේ පුළුවන් තරම් විදේශ ආයෝජන ගෙන එමින් රට ඇතුළට මුදල් පොම්ප කිරීම ය. ඔහුගේ කාලය වැය විය යුත්තේ ඇමරිකාව සමග අලුත් ඩීල් එකක් හදා ගැනීමට මිස පිටිසර ගැමියාට ආතල් දීමට නොවේ. මන්ද ලබන වසර අග වන විට එනම් සිය කාලයෙන් බාගයක් ගෙවා අවසන් වන විටත් රටේ ජීවන බර දරා ගැනීමට නොහැකි වුවහොත් ඔය ගැමියන් අනුරගේ කථාවලට උත්තර දෙන ආකාරය බිහිසුණු විය හැකි නිසා ය.

“You can fool some of the people all of the time, and all of the people some of the time, but you can not fool all of the people all of the time.” - Abraham Lincoln
දිස් ඉස් පොලිටික්ස්.
(සටහන |එරන්ද ගිනිගේ)
BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
උපුටා ගැනීම : ගිනිහුළ
2025 මැයි 4
eranda.ginige@gmail.com



