The Leader News
BREAKING
Top Ad
Opinion

ඒක කේන්ද්‍රීය ඡන්දදායක ආකර්ෂණය තවම ජාතික ජන බලවේගයටයි - නිර්මාල් රංජිත් දේවසිරි

T

The Leader Desk

May 10, 2025 • 7:45 AM

ඒක කේන්ද්‍රීය ඡන්දදායක ආකර්ෂණය තවම ජාතික ජන බලවේගයටයි - නිර්මාල් රංජිත් දේවසිරි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ කියන්නේ ඒ අය එකිනෙකා තම තමන් යම් කිසි ජයග්‍රහණයක් ලැබූ බවක් පෙන්නුම් කිරීමට උත්සාහ කරනවා.
  • එහිදී ජාතික ජන බලවේගයට ඡන්ද ප්‍රමාණයක් අඩු වූවාට මැතිවරණ සිතියම ලෙස ගත හොත් සම්පූර්ණයෙන්ම පාහේ මැතිවරණ සිතියම ජාතික ජන බලවේගයේ වර්ණයෙන් තමයි පෙන්නුම් කරන්නේ.
  • තැන් කිහිපයකයි කොළ පාට ඇතුළු වෙනත් වර්ණ දකින්න ලැබෙන්නේ.
  • උදාහරණයක් ලෙස: කොළඹ මහ නගර සභාව සඳහන් කළ හැකියි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ කියන්නේ ඒ අය එකිනෙකා තම තමන් යම් කිසි ජයග්‍රහණයක් ලැබූ බවක් පෙන්නුම් කිරීමට උත්සාහ කරනවා. එහිදී ජාතික ජන බලවේගයට ඡන්ද ප්‍රමාණයක් අඩු වූවාට මැතිවරණ සිතියම ලෙස ගත හොත් සම්පූර්ණයෙන්ම පාහේ මැතිවරණ සිතියම ජාතික ජන බලවේගයේ වර්ණයෙන් තමයි පෙන්නුම් කරන්නේ. තැන් කිහිපයකයි කොළ පාට ඇතුළු වෙනත් වර්ණ දකින්න ලැබෙන්නේ.

ඒ වගේම විපක්ෂය කියනවා, ඔවුන්ගේ බලය වැඩි වෙලා කියලා. ඒ කියන්නේ බොහෝ පළාත් පාලන ආයතනවල ජාතික ජන බලවේගයේ සභික ප්‍රමාණයට වැඩි සභිකයන් ප්‍රමාණයක් වෙනත් පක්ෂවලට ලැබී තිබෙනවා. උදාහරණයක් ලෙස: කොළඹ මහ නගර සභාව සඳහන් කළ හැකියි. ඒ අනුව එවැනි ජයග්‍රහණ ලැබූ පක්ෂත් එය තම පක්ෂය ලැබූ ජයග්‍රහණයක් ලෙස සඳහන් කරනවා. එසේම පෙරටුගාමි, ජන අරගල සන්ධාන වැනි අයටත් සභික ධුර ලැබී තිබෙනවා. එතකොට පොදුජන පෙරමුණත් 2.5%ක වගේ තිබුණ ඡන්ද ප්‍රමාණය 9%කට වගේ වැඩි කරගෙන තිබෙනවා. සර්වජන බලය පක්ෂයටත් යම්කිසි ඡන්ද ප්‍රමාණයක් වැඩි වී තිබෙනවා.

15 1

 

ඒ කෙසේ වෙතත්, මම මේ මැතිවරණ ප්‍රතිඵලය දෙස බලන්නේ ශ්‍රී ලංකාවේ මෑතකාලීන දේශපාලන ඉතිහාසයේ සිදු වූ පරිවර්තන ක්‍රියාදාමයක් ලෙසයි. ඒක කොහොමද කිවුවොත්: අප සැවොම දන්නවා, නිදහසින් පසු 1950 ගණන්වල මැද භාගයේ පමණ සිට මෙරට මැතිවරණ දේශපාලනය තුළ කේන්ද්‍ර දෙකක් මුල් කරගත් දේශපාලනයක් බිහි වුණා; නැති නම් ඡන්දදායක ආකර්ෂණය පක්ෂ දෙකක් වටා ගොනු වුණා. ඒ, ‘යූඑන්පී’ සහ ‘ශ්‍රීලංකා’ විදිහට. ඊට අමතරව, තුන්වැනි පක්ෂ ලෙස සම සමාජ වගේ තව පක්ෂ තිබුණා. එහෙත් ඒ සියලු පක්ෂ ප්‍රධාන පක්ෂ දෙක වටා මැතිවරණවලදී එක්රොක් වුණා. යම් යම් සුළු වෙනස්කම් සිදු වූවාට 60 සහ 70 ගණන්වල මේ තත්ත්වය තමයි දක්නට තිබුණේ. එය තව තවත් විහිදිලා, 90 දසකයට එන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණේ සිට පුටුව, බුලත් කොළය සහ වර්තමානයේ පොහොට්ටුව වැනි ලකුණුවලට පරිවර්තනය වෙලා වෙනත් පෙරමුණු, සන්ධාන බිහි වුණත් මූලික ලෙසටම පැවතුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කරගත් ඡන්ද පදනමයි.

එහි අනෙත් පැත්ත වශයෙන් එජාපයද එලෙසමයි. අලියා, හංසයා වර්තමානයේ ටෙලිෆෝනය දක්වා විහිදී තිබෙනවා. ‘අලියා’ තිබුණත් එය වර්තමානය වන විට පැත්තකට විසි වී තිබෙනවා. මූලික ලෙසම ‘ටෙලිෆෝනය’ කියන්නේ එජාපයයි.

e5cad000 a6ff 11ef a4fe a3e9a6c5d640.jpg

මේ ජනතාවගේ ඡන්දය දීමේ දේශපාලනයේ තීරණාත්මක මූලික පරිවර්තනයක් 2024 සැප්තැම්බර් පැවති ජනාධිපතිවරණයත් සමඟ සිදු වනවා. ශාස්ත්‍රීය කතිකාව තුළ අප ඊට සුසමාදර්ශ තැන් මාරු නැතිනම් paradise shift කියා කියනවා. මොකද්ද ඒ සුසමාදර්ශ තැන් මාරු ක්‍රමය? මැතිවරණ දේශපාලන ක්‍රියාවලියේ අයිනක (margin) සිටි බලවේගයක් ප්‍රධාන ඡන්දදායක ආකර්ෂණ කේන්ද්‍රය බවට පත් වනවා. ඒ තමයි ජවිපෙ මූලිකත්වයෙන් බිහි වූ ජාතික ජන බලවේගය.

මේ ජවිපෙ මූලික කණ්ඩායම 1977 සිට මැතිවරණවලට ඉදිරිපත් වෙමින්, 81 සංවර්ධන සභා මැතිවරණයෙන් සභික ධුර කිහිපයක් දිනාගත්තා. පසුව, 82 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඡන්ද දෙලක්ෂ හැත්තෑතුන් දහසක ප්‍රමාණයක් ගත්තා. ඉන් පසුව, 1994දී ජවිපෙ නැවත මැතිවරණයකට ඉදිරිපත් වුණා. එදා නිහාල් ගලප්පත්ති හම්බන්තොටින් එක් පාර්ලිමේන්තු අසුනක් දිනාගත්තා. එලෙස මැතිවරණවලදී නැඟී සිටි ජවිපෙන් 2001දී මන්ත්‍රීන් 16ක් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. මේ අන්දමින් පැමිණි ගමනේ උච්චතම අවස්ථාවකට ඔවුන් 2004 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයේදී පැමිණියා. එදා ශ්‍රීලනිපයත් සමඟ සන්ධානගත වුණ ජවිපෙ මන්ත්‍රී සංඛ්‍යාව 39 දක්වා වැඩි වුණා. එහිදී මනාපවලින් ජවිපෙ මන්ත්‍රීවරුන් ඡන්දදායකයන්ගේ ඉහළ ආකර්ෂණයක් දිනාගත්තා.

 

anura kumara pic 5 696x522 1 696x445

මේ සන්ධානය බිඳවැටීමත් සමඟ ජවිපෙ ඡන්ද පදනම නැවත අඩු වීමක් සිදු වුණා. ඒ සමඟම පක්ෂයේ අභ්‍යන්තර ඝට්ටනත් සමඟ විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමක් ඉවත් වුණා. පෙරටුගාමි කණ්ඩායම ජවිපෙන් ඉවත්ව යෑමත් සමඟ තවත් කඩාවැටීමක් සිදු වුණා. ඒ සමඟම 2019 දක්වාම ජවිපෙ යම් ආකාරයක මෙරට දේශපාලන පක්ෂ කණ්ඩායම් අතර ‘අයිනකට විසි වූ’ පක්ෂයක් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස, 2019දී පැවති ජනාධිපති සහ පාර්ලිමේන්තු මැතිවරණවලදී ජවිපෙ ඡන්ද පදනම 3% දක්වා අඩු වුණා. අන්න එහෙම තත්ත්වයක් තිබියදී එක්වරම 2024 තිබූ ජනපතිවරණයේදී ජන්ද පදනම සම්පූර්ණයෙන් වෙනස් වී ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ අනුර කුමාර දිසානායක ජනපති බවට පත් වුණා. මේ ජයග්‍රහණය කිසිවකුත් බලාපොරොත්තු නොවූ ලෙස තීව්‍ර කරමින් පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය 60%කට එහා ගිය ඡන්ද ප්‍රතිශතයකින් ජය ගත්තා; මන්ත්‍රීවරු තුනෙන් දෙකකට වඩා සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

මේ සිදු වූ දෙය සම්පූර්ණයෙන්ම වෙනස් තත්ත්වයක්. සාමාන්‍යයෙන් අපට කිව හැකියි, ශ්‍රීලනිපයට තිබූ ඡන්ද පදනමයි වැඩිපුර ජාතික ජන බලවේගය වටා රොක් වුණේ කියා. ඊට වඩා සංකීර්ණව පැවසුවොත්, ලංකාවේ දේශපාලනයේ ‘බයිපෝලර් සිස්ටම්’ (bipolar system) නැති නම් කේන්ද්‍ර දෙකක් වටා රොක් වෙලා හිටපු ඡන්දදායකයන් එක් කේන්ද්‍රයක් (unipolar) වටා රොක් වනවා වැනි තත්ත්වයක් ඇති වුණා.


457441

එය ලෝක දේශපාලනයෙන් කිව හොත්, 1989ට පෙර කේන්ද්‍ර දෙකක් තිබුණා. ඒ, සෝවියට් සංගමය සහ අමෙරිකා එක්සත් ජනපදයයි. පසුව සෝවියට් සංගමය බිඳවැටුණා. අනතුරුව අමෙරිකාව එක් කේන්ද්‍රයක් ලෙස ශක්තිමත් වුණා. අන්න ඒ වගේ තත්ත්වයක් ඇති වෙනවා වගේ පේනවා. හැබැයි, ඒ ‘යුනි පෝලර්’ තත්ත්වය ලෝක දේශපාලනයේ නැවත ක්‍රමානුකූලව මෑතක සිට බහු කේන්ද්‍රිය නැතිනම් ‘මල්ටි පෝලර්’ (multy polar) තත්ත්වයක් දක්වා වර්ධනය වනවා. ඒ, අමෙරිකාව, රුසියාව, චීනය, යුරෝපා සංගමය, ඉන්දියාව වගේ රටවල් එලෙස බහු කේන්ද්‍රීයය තත්ත්වයකට පත් වෙමින් තිබෙනවා.

මං හිතන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලනයේ බයිපොලර් ක්‍රමය එක්වරම බිඳවැටී, තාවකාලිකව එක් කේන්ද්‍රයක් හෙවත් ‘යුනිපෝලර්’ ක්‍රමයක් ඇති වන තත්ත්වයක් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී පෙනෙන්න තිබුණා. සාමාන්‍යයෙන් මෙවැනි ‘යුනිපෝලර්’ ක්‍රමයක් පැවැතිය නොහැකියි. විශේෂයෙන්ම තරගකාරි රටාවක් තුළ එක් කේන්ද්‍රයක් සහිත බලවේගයක් තිබෙන්න හැකියාවක් නැහැ. එය ලෝක දේශපාලනයේත් එසේයි.

ඊට හේතු කාරණා කිහිපයක්ම බලපානවා. විශේෂයෙන්ම තරගකාරි රටාවක් තුළ ඡන්දදායකයාගේ අතෘප්තියයි. ඡන්දදායකයාගේ අපේක්ෂා නැති නම් තමන් පත් කරන ආණ්ඩුවෙන් ඉටු කර ගත යුතු බලාපොරොත්තු තිබෙනවා. හැබැයි ඡන්දදායකයාගේ ඒ බලාපොරොත්තු වන මට්ටම ඉටු කිරීමට සාමාන්‍යයෙන් ආණ්ඩුවලට තිබෙන හැකියාව අතිශයින් අඩුයි. විශේෂයෙන්ම ආර්ථික අර්බුද පවතින කාලවලදී ඒ තත්ත්වය අධිකයි.

 

image 6277c03766

ලංකා ඉතිහාසය තුළ දරුණුම ආර්ථික අර්බුදකාරි තත්ත්වයකට තමයි වර්තමානයේ රට පත් වෙලා තියෙන්නේ. අධික ණය බරක් තිබෙනවා. 2028 වන විට ණය ගෙවන්න ආරම්භ කළ විට මොන තත්ත්වයක් උදා වේද කියා කාටවත් කියන්න බැහැ. ඒ නිසා ජනතාවගේ ආර්ථිකයට සම්බන්ධ බලාපොරොත්තු ඉටු කිරීමට නම් මුදල් අවශ්‍ය වනවා. ආර්ථික අර්බුදකාරි තත්ත්වයකදී ජනතාවගේ ඒ බලාපොරොත්තු ඉටු කිරීමට ආණ්ඩුවලට තිබෙන හැකියාව අවමයි. අන්න ඒ කරුණ ඔස්සේ ආණ්ඩුවලට තිබෙන ජනතා ආකර්ෂණය අඩු වීමක් සිදු වනවා. ඒ ජනතා ආකර්ෂණය අඩු වන විට ආණ්ඩුවට විරුද්ධව සිටින කණ්ඩායම්වලට යම් වාසියක් ලැබෙනවා මැතිවරණවලදී. ඒ ඔස්සේ ජනයා ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දීමට පොලඹවනවා.

මේ තත්ත්වය සාමාන්‍ය මැතිවරණ වේදිකාවල, ප්‍රචාරක රැලිවල කියන තරම් සරල දේවල් නෙවෙයි. මේක තමයි දේශපාලන ක්‍රමයේ යථාර්ථය. ඔය තත්ත්වය මේ මැතිවරණයේදීද පිළිබිඹු වුණා. එහෙත් තවම මා සඳහන් කළ බයිපෝලර් ක්‍රමය එළඹිලා නෑ. තවම පවතින්නේ ‘යුනිපෝලර්’ ක්‍රමය: එක් කේන්ද්‍රයක්. ඒක තමයි ජාතික ජන බලවේගය. ඔවුන් තමයි ප්‍රධානතම ඡන්දදායක ආකර්ෂණය. යම්කිසි ආකාරයක සුළු වෙනසක් සිදු වුණත් ඒක කේන්ද්‍රිය ආකර්ෂණය ජාතික ජන බලවේගයයි.

හැබැයි, ජාතික ජන බලවේගයට වෙනස්ව කිසියම් ආකාරයක කේන්ද්‍ර ගණනාවක් සෑදී තිබෙනවා. සමඟි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එජාපය, සර්වජන බලය, ජන අරගල සන්ධානය සහ දෙමළ පක්ෂ වගේ සුළු කේන්ද්‍ර කණ්ඩායම් ඉදිරියට පැමිණ තියෙනවා. මේ කණ්ඩායම්වල තිබෙන ලක්ෂණය තමයි එකිනෙකට පරස්පර අදහස් තිබෙන කණ්ඩායම්. උදාහරණයක් ලෙස කීවොත්: සමගි ජන බලවේගයයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි කියන්නේ එකිනෙකට සම්පූර්ණයෙන්ම පරස්පරතා සහිත කේන්ද්‍ර දෙකක්. මේ දෙක අතර විශාල වශයෙන් නායකත්වයේ පරස්පරතා තියෙනවා.

Sajith Namal Deal 800x445

සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂ දෙදෙනාම ජනාධිපති අභිලාෂ සහිත දෙදෙනෙක්. එතකොට මේ දෙදෙනාට එක් සන්ධානයකට ඒමට හැකියාවක් නැහැ. හැබැයි ඉතා කෙටිකාලීන උපක්‍රමික සන්ධානවලට ඒමට පුළුවන් වෙයි. දිගුකාලීන හෝ මධ්‍යකාලීන සන්ධානවලට ඒමට අවස්ථාවක් නෑ. මොකද: එහෙම වුව හොත් එක් අයකුට අවාසියක් විය හැකි බව ඒ දෙදෙනාම දන්නවා.

මේ මැතිවරණයෙන් පිළිබිඹු වන තවත් කරුණක් තමයි, ජාතික දේශපාලන අනාගත ගමන් පථය පිළිබඳ අදහසක් මතු වීම. ඒ වගේම තවත් දෙයක් ජාතික මට්ටමේ ඡන්දදායක ගතිකයන්ට වඩා ප්‍රාදේශීය මට්ටමේ ඡන්දදායකයන් වැදගත් කාර්යභාරයක් ඉටු කළ බව මගේ අදහසයි. අප දන්නවා සාමාන්‍යයෙන් පළාත් පාලන මැතිවරණවලදී විශේෂයෙන්ම දැන් ඇති වෙලා තියෙන කොට්ඨාස ක්‍රමය අනුව සිදු වන දෙයක් තමයි, අපේක්ෂකයා සහ ඡන්දදායකයා අතර අතිශය සමීප සබඳතාවක් තිබීම.

විශේෂයෙන් ග්‍රාමීය පෙදෙස්වල අපේක්ෂකයන් ඡන්දදායකයා හඳුනනවා. එලෙස ඡන්ද අපේක්ෂකයා, ඡන්දදායකයා හඳුනාගැනීම සහ හඳුනා නොගැනීම පළාත් පාලන ඡන්දය භාවිත කිරීමේදී විශාල බලපෑමක් සිදු කරනවා. ඒ නිසා මේ ප්‍රාදේශීය දේශපාලනඥයන් තමයි ඡන්දදායකයා සමඟ ඍජුවම ගනුදෙනු කරන්නේ.

 

GXNbEfEXwAAns9p

ඒ ආකාරයෙන්, පසුගිය කාලයේ ප්‍රාදේශීය දේශපාලනයේ ආධිපත්‍යය දරපු කොට්ඨාසයකුත් මෙදා පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද අපේක්ෂකයන් වුණා. ඒ කණ්ඩායම් විශාල ලෙස පසුබෑමකට ලක් වුණත් ඔවුන්ගේ සබඳතාව නැති නම් ජාලය පැවතියා. අන්න ඒ නිසා තමයි මෙදා පුටුව ලකුණින් තරග කරපු ඇතැම් අපේක්ෂකයනුත් සභික ධුර ලබාගත්තේ. මම ඒකට කියනවා ඒ සබඳතා ‘රීඇක්ටිවේට්’ වුණා කියලා. ඒ ‘රීඇක්ටිවේට්’ වීම පොහොට්ටුවේ අපේක්ෂකයන්ටත් සිදු වුණා. එය ඍජුවම මෙවර සමස්ත පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයට බලපෑවා.

එමඟින් අවාසිසහගත තත්ත්වයක් ඇති වුණේ ජාතික ජන බලවේගයටයි. ඊට තවත් බලපෑමක් වුණේ ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය නායකයන් සෙසු කණ්ඩායම්වල ප්‍රාදේශීය නායකයන් තරම් ඡන්දදායකයා හඳුනන්නේ නැතිකමයි.

පොහොට්ටුව වැනි පක්ෂවල යම් ඡන්ද ප්‍රමාණයක් ඉහළ යාමට ඍජු ලෙසම බලපෑවේ ඒ පක්ෂවල ප්‍රාදේශීය දේශපාලනඥයන් කලක් පුරා දේශපාලනයේ නිරත වීමෙන් ඡන්දදායකයන් සමඟ ළඟ ඇසුරක් පවත්වාගෙන යෑමයි. එය මේ ඡන්දයේදී ‘රීඇක්ටිවේට්’ වුණා කියා මම හිතනවා. එය මෙවර මැතිවරණයේ ප්‍රතිඵලවලට බලපෑ ප්‍රධාන සාධකයක් වුණා.


| නිර්මාල් රංජිත් දේවසිරි
කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය

(සටහන | අමිල මලවිසූරිය)

උපුටා ගැනීම - silumina

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...