The Leader News
BREAKING
Top Ad
Opinion

පළාත් පාලන මැතිවරණයේ සැබෑ අවුල ප්‍රතිපලවල නැහැ | කුසල් පෙරේරා

T

The Leader Desk

May 16, 2025 • 7:48 AM

පළාත් පාලන මැතිවරණයේ සැබෑ අවුල ප්‍රතිපලවල නැහැ | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පළාත් පාලන ආයතන 339 ක් අතුරින් හවුල් කිසිවක් නොමැතිව තමන් ලබා ගත් ස්ථිර බහුතරයක් සමග පළාත් පාලන සභා 116 ක් ජ.වි.පෙ/ජා.ජ.බට පිහිටුවා ගත හැකිය.
  • ජාතික දේශපාලනයේ වෙනත් කිසිදු ප්‍රධාන පක්ෂයකට බහුතර බලයක් සමග පළාත් පාලන සභා පිහිටුවා ගැනීමට සියයට 50 ට වැඩි ආසන සංඛ්‍යා ලැබී නැත.
  • ඉතිරි පළාත් පාලන ආයතන 220 ක පාලන බලය තීන්දු වනු ඇත්තේ පක්ෂ/කණ්ඩායම් අතර හැදෙන හවුල් වශයෙනි.
  • ඒවා කෙතරම් ස්ථාවර සභා වනු ඇතිද යන්න කිව නොහැක.
අකුරු ප්‍රමාණය (Font Size):


පළාත් පාලන ආයතන 339 ක් අතුරින් හවුල් කිසිවක් නොමැතිව තමන් ලබා ගත් ස්ථිර බහුතරයක් සමග පළාත් පාලන සභා 116 ක් ජ.වි.පෙ/ජා.ජ.බට පිහිටුවා ගත හැකිය. ජාතික දේශපාලනයේ වෙනත් කිසිදු ප්‍රධාන පක්ෂයකට බහුතර බලයක් සමග පළාත් පාලන සභා පිහිටුවා ගැනීමට සියයට 50 ට වැඩි ආසන සංඛ්‍යා ලැබී නැත. උතුරු නැගෙනහිර ඉලංකෙයි තමිල් අරසු කච්චිට (ITAK) පළාත් පාලන සභා දෙකක් හා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයට එක සභාවක් පිහිටුවා ගත හැකිය. ඉතිරි පළාත් පාලන ආයතන 220 ක පාලන බලය තීන්දු වනු ඇත්තේ පක්ෂ/කණ්ඩායම් අතර හැදෙන හවුල් වශයෙනි. ඒවා කෙතරම් ස්ථාවර සභා වනු ඇතිද යන්න කිව නොහැක. කොළඹ මහ නගර සභාව පත්ව ඇත්තේද එවැනි ඉරණමකට ය.

 

colombo 250510

ඒ අතර වාරයේ ප්‍රධාන දේශපාලන පක්ෂ මෙවර ලබා ගත් ඡන්ද ප්‍රතිශත, ඒවා පෙර මැතිවරණ හා සැසඳීමේදී අඩු වැඩිවී ඇති සැටි, පක්ෂ හැටියට ලබා ඇති ප්‍රගතිය හෝ පසුබෑම සම්බන්ධයෙන්ද මැතිවරණ උනන්දුවක් ඇති අය ගණන් හිලව් හදා තිබිණ. ඒ හැමකක්ම ගත් විට, පොදු නිගමනය වී තිබුණේ ජ.වි.පෙ/ජා.ජ.බට ඔවුන් 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ලැබූ ඡන්ද හා බලන විට අඩ වසරක් තුල ඔවුන්ගේ ජනතා ප්‍රසාදය, සියයට 18 කින් අඩුව ඇති බවය. උතුරු-නැගෙනහිර ජනතාව ඔවුන් වෙත තැබූ බලාපොරොත්තු මුළුමනින් මෙන් අත හැර ඇති බවත් කියැවෙන්නකි. එහි විලෝමය ලෙස දැකිය හැක්කේ ස.ජ.බ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටු පක්ෂය) හා එ.ජා.පය ඔවුන් වැටී සිටි අසරණ තත්ත්වයෙන් යම් ගොඩ යෑමක් ලබා ඇති බවය. එනමුත් ඔවුන් අතරින් ඊළඟ ආණ්ඩුව හදන්නට තරම් ජනතා ප්‍රසාදයක් දිනාගත හැකි ආකර්ශනීය නායකත්වයක් දැකිය නොහැකි යැයිද මැසිවිලි ඇත.

පළාත් පාලන මැතිවරණයක ප්‍රතිපල මත ජාතික දේශපාලනයේ අනාගත පෙළ ගැසීම් ගැන එවැනි අනුමාන, එවැනි අනාවැකි විශ්වාසයක් ඇතිව ප්‍රකාශ කළ හැකිද? මා දකින අයුරු දැනුවත් යැයි පිළිගැනෙන දේශපාලන විචාරකයින්, විශ්ලේෂකයින් සතු නොදැනුවත්කම් ප්‍රකාශ වන්නේ අපගේ මැතිවරණ ප්‍රතිපල විශ්ලේශනයෙනි. පළාත් පාලන මැතිවරණ පැවැත්වෙන්නේ කුමක් සඳහාද යන කාරණාව ගැන කිසිදු අවධානයක් නොමැතිව, පක්ෂ වලට ලැබී ඇති ඡන්ද ගොඩවල් සැසඳීම මෝඩකමකි.

අපගේ ආණ්ඩු පාලන ව්‍යුහය (1) පාර්ලිමේන්තුව ජාතික නියෝජනයක් සඳහාද, (2) පළාත් සභා ව්‍යවස්ථාගත පළාත් සංවර්ධනය වෙනුවෙන් නියෝජන සභා 09 ක් ලෙසින්ද ඊටත් පහළින් (3) පළාත් පාලන නියෝජන ආයතන 340 ක් පමණද තල 03 ට සංවිධානය කර ඇති බැව් හෝ මේ විචාරකයින්, විශ්ලේෂකයින් නොදන්නා සෙයකි.

 

Vote
මේ නියෝජන ආයතන තෙවර්ගය සඳහා ඒවාට විශේෂිත වූ අධිකාර බලයක් සමගම ඒවාට වෙන් වෙන් වශයෙන් බාර කෙරුණු වගකීම් ප්‍රමාණයන් ඇති බවද මැතිවරණ ප්‍රතිපල විශ්ලේෂණයෙදී ඔවුන් ගණන් නොහදන නමුත් ඒ වගකීම් බෙදීම, ඉතා වැදගත් දේශපාලන සාධකයකි. ඒ සියල්ල පාර්ලිමේන්තු පනත් මගින් නීතිගත කෙරුණු බලතල හා වගකීම් ය. එබැවින් පළාත් සභා සහ පළාත් පාලන ආයතන සඳහාවන මැතිවරණ වලදී අප ඡන්දය දිය යුත්තේ ඒවා මගින් ඉටුකර ගත යුතු ඉදිරි සංවර්ධනය සළකා බලමින් මිස පාර්ලිමේන්තු මැතිවරණයකදී කතාවන ජාතික තලයේ ආණ්ඩු පක්ෂ - විපක්ෂ දේශපාලන වාද විවාද වෙනුවෙන් නොවේ. මේ විශ්ලේශන මගින් කියන්නේ ඡන්දය දීමේදී ඒවා වැඩක් නැතැයි කියා ය.

පළාත් සභා මැතිවරණයකදී අප ඡන්දය දිය යුත්තේ අපගේ පළාතේ දියුණුව වෙනුවෙන් සැළසුම් ඉදිරිපත් කරන්නාවූ දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක නියෝජිතයින්ට ය. පළාත් සභා මැතිවරණයකට පාර්ලිමේන්තු දේශපාලනයේ ජාතික බෙදීම් අදාල නොවන්නේ එනිසා ය. පළාත් සභාවක වගවීම් හා විමධ්‍යගත බලය පැහැදිලිව අර්ථ ගැන්වූ විෂය ලේඛන සමග 1987 අංක 42 නමැති පළාත් සභා පනත බලාත්මකව ඇත. පළාත් සභා මැතිවරණයකදී අප ඡන්දය දිය යුත්තේ ඒ පනතේ සීමාවන්ට අදාලව පළාත් සංවර්ධනය සඳහා මහජන නියෝජන සභා පත්කර ගැනීමට ය. එය උතුරු පළාත් සභාවට වාගේම දකුණු පළාත් සභාවටද, එවගේම අනෙක් පළාත් සභා සියල්ලටද විශේෂිත වූ තේරීම් අනුව සිදුවිය යුත්තකි.

1548953009348

පළාත් පාලන මැතිවරණයද එළෙසින්ම ඒ මැතිවරණ දෙකටම අදාල නොවන, වෙනත්ම වගකීම් සමූහයක් වෙනුවෙන් තෝරා පත්කර ගත යුතු ප්‍රාදේශීය, නගර හා මහ නගර සභා වෙනුවෙන් පැවැත් වෙන්නකි. ඒ වෙනුවෙන්ද ප්‍රාදේශීය, නගර හා මහ නගර සභා පනත් යැයි පනත් 03 ක් ඇත. 1939 අංක 61 දරණ (1955 වනවිට සංශෝධන 19 ක් සිදුකරනු ලැබ ඇති) “නගර සභා ආඥා පනතට” අනුව, නගර සභා පත් කරනු ලබන්නේ නගර හා ඒ අවට නාගරික වූ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය, පොදු පහසුකම්, ප්‍රසිද්ධ මං මාවත් ඇතුළු ප්‍රදේශවාසීන්ගේ සුව පහසුව හා සුභසාධනය සුරක්ෂා කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට ය (ආඥා පනතෙහි අංක 04 වගන්තිය). එබැවින් නගර සභා පත්කර ගත යුත්තේ අදාල නගර සභාවට අයත් නගරය හා ඒ අවට නාගරික වූ ප්‍රදේශයේ ජනතාවගේ සුව පහසුව හා සුභසාධනය සුරක්ෂා කිරීමට හා ප්‍රවර්ධනය කිරීමටය. එයට පාර්ලිමේන්තු කතා අවශ්‍ය නැත.

ප්‍රාදේශීය සභා සඳහාද එවැනි සීමා සහ වගකීම් ඇත. 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 02(1) වගන්තියට අනුව, ප්‍රාදේශීය සභා පත්කර ගැනීමේ මුඛ්‍ය අරමුණ වන්නේ “පළාත් පාලන සහ සංවර්ධන කාර්ය වලට පලදායි ලෙස ජනතාවගේ සහභාගි වීම පහසු කරලීමටය”. එවැනි ජන සහභාගිත්වයක් ඇතිව ප්‍රාදේශීය සභාවකට පැවරෙන වගකීම් එම පනතෙහි 19(1)vii අනු වගන්තියේ සිට 19(1)xxiii අනු වගන්තිය දක්වා පැහැදිලි කෙරෙන්නේ ය.

මහ නගර සභා 29 වෙත ප්‍රාදේශීය හා නගර සභා වෙත පවරා ඇති බලතල වලට හා වගකීම් වලට වැඩි පරාසයක බලයක් හා වගකීම් ප්‍රමාණයක් “මහ නගර සභා ආඥා පනත” මගින් ලබා දී ඇත. එහෙත් ඒ කිසිත් පළාත් සභාවල හා මහ ආණ්ඩුවේ බල සීමා වලට ඇතුලු නොවේ.

ඒ හැමකින්ම මා අවධාරණය කරන්නට උත්සාහ කෙරුවේ, ජනාධිපතිවරණයේ සිට ප්‍රාදේශීය සභා මැතිවරණ දක්වා හැම මැතිවරණයකදීම අප කතා කරන්නේ මැතිවරණයට අදාල ධූරයට හා නියෝජන ආයතනයට සම්බන්ධ කාරණා ගැන නොවේ යැයි කීමට ය. ඉතිහාසය පුරා අවුරුදු 94 ක් අප සර්වජන ඡන්දය භාවිත කර ඇත්තේ මැතිවරණයට අදාලව නොවේ. තවමත් එසේම ය.

Elections 2024 Photo 1

හැම මැතිවරණයකම තෝරා පත් කළ යුතු ජනතා නියෝජන සභාවට බාර කළ යුතු “සංවර්ධන” කාර්යන් ගැන දේශපාලන නායකයින් අපේක්ෂකයින් හා ඡන්දදායකයින් කිසිදු සැළකිල්ලක් දක්වන්නේ නැත. පක්ෂ නායකයින් පළාත් පාලන ආයතන සඳහා තම අපේක්ෂක ලේඛන තීන්දු කරන්නේ කුමන සුදුසුකම් මතදැයි ඇසුවහොත් ඒ වැඩි ඡන්ද ප්‍රමාණයක් ගත හැකි ජාතිය, ආගම, කුලය සහ වත්පොහොසත්කම, පක්ෂ නායකත්වයට ඇති විශ්වාසය වැනි කාරණා ය. ඒ කිසිවක් පළාත් පාලනයට අදාල නැති වග පක්ෂ නායකයින් සළකන්නේ නැත. දේශපාලන පක්ෂවල එවැනි අපේක්ෂකයින් නිවෙස් වෙත බෙදා ගෙන යන ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශනවල ඇති පොරොන්දු මතින් ඔවුන් තරග කරන මැතිවරණය කුමක්දැයි හෝ නොදන්නා බව මොනවට පැහැදිලි කෙරෙන්නකි. පළාත් පාලන ආයතනයකට අදාල ප්‍රදේශයේ අනාගත සංවර්ධනය ගැන මැතිවරණයකදී හෝ කතා නොකරන සමාජයක බහුතර ඡන්දදායක තේරීම් පුද්ගලවාදී තේරීම් වන්නේය. එනිසාම ඉතා තරගකාරී පාරිභෝගික සමාජයක ඒ තේරීම් ආත්මාර්ථකාමී, කුහක තේරීම් වීම අනිවාර්ය වන්නකි.

එවැනි ඡන්ද ගොඩවල් සැසඳීම, ඒවායෙන් අනාගත ජාතික පෙළගැසීම් පිළිබඳ අනාවැකි කීම, දැනුවත් සමාජ ක්‍රියාකාරීන්ගේ කාර්යක් නොවිය යුතුය. දැනුවත් සමාජ ක්‍රියාකාරීන්ගේ වගකීම විය යුත්තේ මැතිවරණයට අදාලව ඡන්දයක ඇති සමාජ වගකීම ගැන කතා කිරීම ය.

මහා මැතිවරණය කල් යයි ද? - (රජිත් කීර්ති තෙන්නකෝන්)

ජනතාවගේ යහපත සඳහා මැතිවරණ පැවැත්වෙන ඒ ආත්මාර්ථකාමී, කුහක සමාජය වහා වෙනස් කළ යුතුව ඇත. වෙනස් කිරීමට නම්, “ඡන්දය දීම” පුරවැසි වගකීමක් යැයි කියන කතාවට අප උත්තර දිය යුත්තේ “ඡන්දය දිය යුත්තේ කුමක් සඳහාද?” යැයි ඇසීමෙනි. බොහෝවිට ලබන වසර ආරම්භයේ පැවැත් විය හැකි පළාත් සභා මැතිවරණයේදී ඡන්දය දිය යුත්තේ කුමක් සඳහාද යන්න දැන්ම සාකච්ඡාවට තැබිය යුත්තකි. ඒ සාකච්ඡා තුල පළාත් සභා සතු බලතල හා වගකීම්ද සාකච්ඡාවට ගත යුතු වන්නේය. මේ ජනතා නියෝජන ආයතන සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදී ජන සභා ලෙස පවත්වා ගැනීමේ සංශෝධන ගැන සාකච්ඡා වලංගු වන්නේද පළාත් සභා සතු බලතල හා වගකීම් සම්බන්ධ කතාවේදී ය. දැන් ඒ කතාව පටන් ගන්නේ නම්, ඒ සඳහා පළමු ප්‍රශ්නය “ඡන්දය දිය යුත්තේ කුමක් සඳහාද?” යන්නයි.


kusal perera
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2025 මැයි 15

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...