එහි කියා තිබුණේ “දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් විමර්ශනයකර වාර්තා කිරීම සඳහා කතානායක වික්‍රමරත්න මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇත” යන්න ය.
එළෙස විමර්ශන කමිටුවක් පත් කිරීමට හේතු වන්නේ ඉකුත් 20 වන දින තමන් වෙත බාර දෙන ලද පැමිණිල්ලක් යැයි කතානායක පාර්ලිමේන්තුවට වාර්තාකර ඇත.
එම ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවට විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු වන ස.ජ.බ ගයන්ත කරුණාතිලකද ඇතුළත් ය. ඉන් කියැවෙන්නේ, විපක්ෂ මන්ත්‍රීවරයෙකු නිහඬ කරවීමට ආණ්ඩුවේ ප්‍රබලයින්ට අවශ්‍ය වන විට, ඔහුට එරෙහිව විනය පියවර නිර්දේශ කිරීම වෙනුවෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට “විපක්ෂ” නායක සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාද හවුල් වූ බව ය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ පියා, රණසිංහ ප්‍රේමදාස එ.ජා.ප ආණ්ඩුවේ අගමැති වශයෙන් විපක්ෂයේ තරුණ මන්ත්‍රී අනුර බණ්ඩාරනායක සමග හුවමාරු කරගත් දෙබස් අසා තිබේ නම්, පාර්ලිමේන්තුවේදී දයාසිරි ජයසේකර මන්ත්‍රී කෙතරම් ශිෂ්ඨ සම්පන්නදැයි තේරුම් ගනු ඇත. ඒ පාර්ලිමේන්තුවේ කතානායක, වත්මන් කතානායක වූවා නම්, විමර්ශන කමිටු කෙතරම් පත් කරනු ඇතැයිද සිතිය නොහැක.
ඊටත් බොහෝ කලකට පෙර 50 දසකයේ මුල් කාලයේදී විපක්ෂයේ මන්තීවරුන් වූ පිලිප් හා රොබට් ගුණවර්ධන සොයුරන් දෙපළ කෙතරම් ප්‍රචණ්ඩ ලෙස එ.ජා.ප ආණ්ඩුවට උත්තර දුන්නේදැයි පාර්ලිමේන්තු “හැන්සාඩ්” වාර්තා වලින් කියවා ගත හැක. එහෙත් ඒ කිසිවකුට එරෙහිව කතානායක විසින් පැමිණිලි බාර ගත් “විමර්ශන කමිටු” පත් කළ පාර්ලිමේන්තු ඉතිහාසයක් අපට නැත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපයේ හරි වැරදි, හොඳ නරක හා ඔවුන්ගේ වගකීම් තීන්දු කෙරෙන්නේ
(1) පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව සහ
(2) 2018 අප්‍රේල් 15 වන දින සිට බලාත්මකවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සඳහාවන “චර්යා ධර්ම සංග්‍රහය” මගින් ය.
ඒ කිසිවක කිසි තැනක, මෙවැනි කමිටු පත් කිරීමක් ගැන සඳහන් කිරීමක් නැත.
පාර්ලිමේන්තු සභා ගැබෙහි මන්ත්‍රීවරයෙකු හෝ මන්ත්‍රීවරියකගේ ක්‍රියාකලාපය සම්බන්ධව නිශ්චිත ලෙස කරුණු දැක්වෙන්නේ ස්ථාවර නියෝගවල “පාර්ලිමේන්තුව තුල විනය” මැයෙන් වන පරිච්ඡේදයෙහි 77.1 වගන්තියේ සිට 82.2(ආ) දක්වා වන වගන්ති සතු ප්‍රතිපාදන මගින්ය. එම ප්‍රතිපාදන අනුව මන්ත්‍රීවරයෙකුගේ හෝ මන්ත්‍රීවරියකගේ ක්‍රියාකලාපයක් අයෝග්‍ය, අවිනීත හෝ අනුචිත යැයි තීන්දු කළ යුත්තේ කතානායක ය.
ඉතා පැහැදිලිව 82.2 (අ) වගන්තියෙන් කියන්නේ, “යම් මන්ත්‍රීවරයෙකු විසින් දිගින් දිගටම අයෝග්‍ය ලෙස හැසිරෙන බව හෝ ස්ථාවර නියෝග උල්ලංඝණය කරමින් කටයුතු කරනු ලබන බව කතානායකවරයාගේ මතය වන්නේ නම්,” කියා ය.
මෙහි වැදගත්ම කාරණාව නම්, මන්ත්‍රීවරයෙකු දිගින් දිගටම අයෝග්‍ය ලෙස හැසිරෙනවාද නැද්ද යැයි තීන්දු කළ යුත්තේ කතානායකගේ මතය අනුව මිස, වෙනත් කමිටු පත් කිරීමෙන් නොවීම ය.
පාර්ලිමේන්තු සම්ප්‍රදායන් හා ස්ථාවර නියෝග සැළකීමේදී කිසිදු පදනමක් නොමැති මේ ත්‍රිපුද්ගල විමර්ශන කමිටුව පත්කර ඇත්තේ දයාසිරි ජයසේකර මන්ත්‍රීගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කතානායක වෙත බාර දෙනු ලැබූ පැමිණිල්ලක් අනුව විමර්ශනය කිරීමට ය. එවැනි පැමිණිලි බාර ගැනීමට කතානායක බැඳී නැත.
දයාසිරිගේ දේශපාලන බල්ටි ගැසීම් අපි දනිමු. මේ රාජ්‍ය බලය වෙනුවෙන් පිල් මාරු කිරීම සම්මතයක් බවට පත්ව ඇති අවාසනාවන්ත යුගයකි. ඒ කවරක් වූවත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා 2004 අප්‍රේල් මැතිවරණයේ සිට ඔහුගේ මන්ත්‍රී ධූර කාලයේ පාර්ලිමේන්තුවෙහි දිගින් දිගටම ස්ථාවර නියෝග උල්ලංඝණය කරමින් අයෝග්‍ය ලෙස හැසිරෙන හෝ ස්ථාවර නියෝග උල්ලංඝණය කරමින් කටයුතු කළ මන්ත්‍රීවරයෙකු නොවුනි. එවගේම සිංහලෙන් කියනවා නම්, “කුණුහරුප” කියූ මන්ත්‍රීවරයෙකුද නොවීය.
එබැවින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට එරෙහිව ඉදිරිපත් කළ හැකි එකම චෝදනාව වන්නේ මාලිමා ආණ්ඩුව දැඩි විවේචනයට ලක් කරමින් මේ ආණ්ඩුවේ පාරිශුද්ධ භාවය අභියෝග කිරීම ය. පාර්ලිමේන්තුවෙහි මේ ආණ්ඩුව අභියෝග කරන විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙන අතුරින් ඔහු නියත වශයෙන්ම ලොකු හඬකි. මේ මාලිමා ආණ්ඩුව අසාර්ථක යැයි සමාජ මතයක් කැටිවන පසුබිමක, ආණ්ඩුව දැඩිව ප්‍රශ්න කරන දයාසිරි වැනි විපක්ෂ මන්ත්‍රීවරුන් ඉලක්ක කෙරෙන මර්දනයක් දැන් දකින්නට ඇත. පාර්ලිමේන්තුවෙහි එය දැකිය හැක්කේ කතානායකට පවා උවදෙස් දෙන සභානායක, ඇමති බිමල් රත්නායකගේ හැසිරීමෙහි ය.
තමන්ගේ භූමිකාව නිසියාකාරව මායිම්කර ගැනීමට අපොහොසත් කතානායකවරයෙකු විසින් විපක්ෂ මන්ත්‍රීවරුන් දඩයම් කිරීමේ අලුත් මෙවලම් ලෙස විමර්ශන කමිටු හැදීමට විපක්ෂ මන්ත්‍රී ගයන්ත කරුණාතිලක හවුල්වීමෙන් ඒවාට අනවශ්‍ය සුජාත බවක් ලබා දෙන්නේය. විපක්ෂ මන්ත්‍රී ගයන්ත කරුණාතිලක එහි අසුන් ගනු ලබන්නේ නිසැකවම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ එකඟත්වය ඇතිව ය. එසේ නොවේ නම්, විපක්ෂ නායක ලෙස ඔහු කතානායකගේ විමර්ශන කමිටුව ප්‍රතික්ෂේප කරමින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් වහා නිකුත් කළ යුතුය. පාර්ලිමේන්තු සම්ප්‍රදායට සම්බන්ධයක් නොමැති එම කමිටුවෙන් ගයන්ත කරුණාතිලක වහා ඉල්ලා අස්විය යුතුය.
මේ පාර්ලිමේන්තුවෙහි ආණ්ඩුවේ ක්‍රියාකලාපය නියාමනය කිරීමේ හා ජනතාව වෙනුවෙන් ආණ්ඩුව හසුරුවා ගැනීමේ විපක්ෂ කාර්යභාරය මේ විපක්ෂ නායකගෙන් මෙතෙක් සිදුව නැත. රේගුව විසින් අනිවාර්යෙන් පරීක්ෂා කළ යුතු “රතු ලේඛනයට” ඇතුලු කළ, රුපියල් කෝටි ගණනක පරීක්ෂා නොකෙරුණු භාණ්ඩ සහිත බහළුම් 323 ක් නීති විරෝධී ලෙස එක රැයකින් මුදා හැරීම ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කළ කී දෙයක් අපි නොදනිමු. අවම තරමින් ඒ බහළුම් ගෙන්වූ පුද්ගලයා හෝ පුද්ගලයින්ගේ නාම ලේඛනය පාර්ලිමේන්තුවේ සභාගත කරවා ගැනීමට හෝ ඔහු උනන්දු වූයේ නැත. තමන්ට හිමි නැති ගෞරව නාම යොදා ගෙන පාර්ලිමේන්තු පැමිණි මන්ත්‍රීවරුන් ගැන විශාල ආන්දෝලනයක් සමාජයේද ඇති වූ විට, ඒ වෙනුවෙන් විශේෂ තේරීම් කමිටුවක් ඉල්ලා සිටිනු වෙනුවට තමන්ගේ බාලාංශ කෙරුවාවන් සභාගත කිරීමේ මාන්නාධික කතාවකින් නතර වූ සජිත් ප්‍රේමදාසගේ දේශපාලනය, බොල් දේශපාලනයක් යැයි ප්‍රදර්ශනය කෙරුවකි.
ඡන්දදායකයින්ට තව දුරටත් මේ පාර්ලිමේන්තුවේ වගකීම්, ස්වයං පම්පෝරි වලට ඇබ්බැහිවූ විපක්ෂ නායකයෙකු සමගින් ඉටුකරවා ගත නොහැකි යැයි මම කියමි. එබැවින් අලුත් සම්ප්‍රදායකට මුල පුරමින්, විපක්ෂයේ වැඩි ආසන සංඛ්‍යාවක් ඇති පක්ෂ නායකයා නොව, සමස්ථ විපක්ෂයේ විශ්වාසය දිනාගත හැකි මන්ත්‍රීවරයෙකු විපක්ෂ නායක ලෙස බහුතර තීන්දුවකින් පත්කර ගැනීම දැන් ආරම්භ කළ යුතු යැයි මම කියමි. පාර්ලිමේන්තු දේශපාලනයේ වෙනසකට මුල පිරීම ඇත්තේ විපක්ෂය, තම වගකීම් ගැන අවබෝධයක් ඇති විමසිලිවන්ත විපක්ෂයක් ලෙස තහවුරු කර ගැනීමෙහි ය. (සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2025 මැයි 24 වන දින



