ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන ජනාධිපති දිසානායක මහතාට ශ්‍රී ලංකාවේ රණවිරුවන්ට ගෞරව කිරීමට සිදුවීම යනු ඉතා දුෂ්කර තීරණයක් ගැනීමට සිදුවූ අවස්ථාවක් විය හැකි ය. ඒ, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචණ්ඩ නැගිටීම් දෙකම (1971, 1987-1989) මර්දනය කරන ලද්දේ එම ගෞරව දැක්වීමට නියමිත ශ්‍රී ලාංකික ආරක්ෂක හමුදා විසින් වූ බැවිනි.
ජවිපෙ ප්‍රතිසංස්කරණය
ජනතා විමුක්ති පෙරමුණ විප්ලවවාදී පක්ෂයක සිට ප්‍රධාන ධාරාවේ පක්ෂයක් බවට ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන්, ජනාධිපති දිසානායක සහ ඔහුගේ සගයින් ඇත්තෙන් ම ඇගයීමට/පිළිගැනීමට ලක්විය යුතු ය.
2025 මැයි 19 වන දින පැවති රණවිරු අනුස්මරණයට ජනාධිපති දිසානායකගේ පැමිණීමෙන් ම පෙන්නුම් කරන්නේ ඔහු සැබවින්ම ආරක්ෂක හමුදාවලට අණ දෙන නිලධාරියා බවත්, ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සහ ආරක්ෂාව යථා තත්ත්වයට පත් කළ ආයතනවල සියලු දෙනා හට අණ දෙන බවත් ය.
එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා මියගිය ආරක්ෂක හමුදා සාමාජිකයින් 28,708 දෙනකු, ස්ථිර ආබාධිතයන් 40,107 දෙනකු සහ තුවාල ලැබූ 111,655 දෙනකු හට ඔහු ගෞරව කළේ ය.

ජනාධිපති දිසානායක සමග වත්මන් සන්නද්ධ හමුදාපතිවරුන් තිදෙනා වන ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ, වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, එයාර් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය එක්ව සිටියහ. ජනාධිපති දිසානායක අසල ම ත්‍රිවිධ හමුදාපතිවරුන් වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන අය සිටියහ. අවසන් සටනට ඔවුහු නායකත්වය දුන්හ.
ශ්‍රී ලාංකික අනුකම්පාවේ සහ සමාව දීමේ ආත්මය
රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුභසාධනය ආරක්ෂා කිරීම සඳහා පැවරී ඇති රාජ්‍ය ආයතනයක් වන රණවිරු සේවා අධිකාරිය විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදී. නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික), ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), මහජන ආරක්ෂක ලේකම් රවී සෙනෙවිරත්න, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් කේ. එච්. පී. පාලිත ප්‍රනාන්දු (විශ්‍රාමික) සහ ජාතික කැඩෙට් බළකායේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රජිත ප්‍රේමතිලක යන මහත්වරු සහභාගී වූහ.
මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් ගැඹුරු ගෞරවයෙන් යුතුව තම ආදරණීයයන් හට පුෂ්පෝපහාර දැක්වීය. ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය පවත්වා ගැනීම සඳහා ඔවුන් එල්ටීටීඊයට සහ අනෙකුත් දෙමළ බෙදුම්වාදී කණ්ඩායම්වලට පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණට ද එරෙහිව සටන් කළහ. ශ්‍රී ලාංකික අනුකම්පාවේ සහ සමාව දීමේ ආත්මය ප්‍රචණ්ඩත්වය අතහැර දේශපාලනය වැලඳගත් කණ්ඩායම්වලට අනුගත විය. නායකත්වයේ පරිවර්තනය ඉතා වැදගත් වේ.
මාක්ස්වාදය, ලෙනින්වාදය සහ මාඕවාදයට එරෙහි සටන
ජේවීපී නායකයින් එහිම ඉතිහාසය සැලකිල්ලට ගෙන, අරගල කර තම ජීවිත පූජා කළ පිරිමින් සහ කාන්තාවන් මවුබිම වෙනුවෙන් දිවි පිදූ සැබෑ රණවිරුවන් ලෙස හැඳින්වීමට උත්සාහ දරන නමුත් ඔවුන් සොල්දාදුවන් එලෙසින් හැඳින්වීමට එතරම් උත්සාහයක් ගන්නේ නැත. එවැනි මානසිකත්වයකින් මිදී ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව, ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය පවත්වා ගැනීම සඳහා තම ජීවිත පරිත්‍යාග කළ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සියල්ලන් හඳුනා ගැනීම වැදගත් වේ.
රණවිරුවන් සටන් කළේ තමිල්නාඩුවෙන් හඳුන්වා දුන් විදේශීය දෘෂ්ටිවාදයක් වන අන්ත දෙමළ ජාතිකවාදයේ බෙදුම්වාදී දෘෂ්ටිවාදයට එරෙහිව ය. ඒ හා සමානව, අප ත්‍රිවිධ හමුදා සහ පොලීසියේ රණවිරුවන් සටන් කළේ මාක්ස්වාදය, ලෙනින්වාදය සහ මාඕවාදයට එරෙහිව ය, එය ද විදේශීය දෘෂ්ටිවාදයකි.
ශ්‍රී ලංකාවේ ජාතික අනන්‍යතාවය සහ එහි අභිමානවත් උරුමය ආරක්ෂා කිරීමට ආරක්ෂක හමුදා සටන් කරන විට, ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරන ලද සිවිල් වැසියන් ඇතුළු දේශපාලන නායකයින් ද ජාතිය අභිමානයෙන් සිහිපත් කළ යුතු ය.
ආන්තික පක්ෂයක සිට ප්‍රධාන ධාරාවේ පක්ෂයක් දක්වා
එල්ටීටීඊ හෝ ජවිපෙ වේවා, ත්‍රස්තවාදී ක්‍රියා කළ කිසිවෙක් උත්කර්ෂයට නැංවීමට කිසිදු බුද්ධිමත් රජයක් ඉඩ නොදිය යුතුය. එය ඊළඟ පරම්පරාව රැඩිකල්කරණය වීමට තුඩු දෙන හේතුවක් වන බැවින්ය. මරාගෙන මැරෙන බෝම්බකරුවන් උත්කර්ෂයට නැංවුවහොත්, රැඩිකල්කරණය නොවැළැක්විය හැකි ය. මේ සියල්ල අලුතින් සකස් කරන ලද දේශපාලන පක්ෂයකට අභියෝග වේ.

මැතිවරණ මාලාවක දී, NPP සිය ඡන්ද පදනම 2015 දී 4.87% සිට 2020 දී 3.84% දක්වා 2024 දී 42.31% දක්වා, 2024 දී 61.56% සහ 2025 දී 43.3% දක්වා ඉහළ නැංවීමත් සමග JVP සාර්ථකව නැවත ප්‍රතිනිර්මාණය කර ඇත.
JVP හි සාර්ථකත්වය වූයේ ජනතාවගේ චින්තනය තේරුම් ගැනීමට, ඔවුන්ගේ කෝපය උපයෝගී කර ගැනීමට සහ සාම්ප්‍රදායික පක්ෂවල අසාර්ථකත්වබවින් උපරිම ප්‍රයෝජන ගැනීමට ඇති හැකියාවයි. ආන්තික පක්ෂයක සිට ප්‍රධාන ධාරාවේ පක්ෂයක් දක්වා පරිණාමය වීමෙන් පසු, එය දැන් ගාමක අසුනේ සිටී. ජනාධිපති දිසානායක, ජනතා විමුක්ති පෙරමුණේ කේඩරය නියෝජනය කරනවාට වඩා වැඩියෙන් රජය නියෝජනය කළ යුතු බව මේ මොහොතේ තේරුම් ගෙන ඇත.
ජවිපෙ ඉංග්‍රීසි භාෂාවෙන් සන්නිවේදනය කිරීමට කරන අරගලය
යල් පැන ගිය දෘෂ්ටිවාදයක් සහිත පක්ෂයක ස්වරූපය, ස්වභාවය හෝ පෙනුමෙහි කැපී පෙනෙන වෙනසක් කිරීම සඳහා, නායකත්වය දී එහි සාමාජිකයින් දැනුවත් කිරීම සහ වෙනසකට භාජනය කිරීම සඳහා යම් ආකාරයක ආයෝජනයක් කළ යුතු ය.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන භාෂාව සිංහල වන අතර එය සහශ්‍ර දෙකහමාරක වාර්තාගත ඉතිහාසයක් ඇති ශ්‍රේෂ්ඨ භාෂාවකි. කෙසේ වෙතත්, සිංහල දැන ගැනීමෙන් පමණක්, ලෝක සාහිත්‍යයෙන් 1% කටත් වඩා අඩු ප්‍රමාණයක් විතර කියවා තේරුම් ගත හැකිය. විශ්වීය භාෂාවක් වන ඉංග්‍රීසි ඉගෙනීම, ජවිපෙ නායකයින්ගේ ඊළඟ පරම්පරාව හැඩගැස්වීම සඳහා දිසානායක ජනාධිපතිවරයාට කළ හැකි විශාලතම තනි ආයෝජනය වනු ඇත.

මේ අවස්ථාවේ දී, ජවිපෙ දේශපාලනඥයින් සහ නිලධාරීන් ඉංග්‍රීසි භාෂාවෙන් සන්නිවේදනය කිරීමට අරගල කරති. දිගු ක්‍රියාවලියක් වන එවැනි හැකියාවක් සහ ධාරිතා සංවර්ධනයක් මගින් වැඩි වැඩියෙන් මහා බලවතුන් අතර බලය බෙදා හරින පද්ධතියකින් යුත් ලෝකයක ජාතියක් පාලනය කිරීමට අවශ්‍ය නායකයින් බිහි කරනු ඇත. එතෙක්, විදේශ ප්‍රතිපත්ති, ආර්ථික විද්‍යාව, මූල්‍ය, නීතිය සහ අනෙකුත් විෂයයන් පිළිබඳ කාරණා සම්බන්ධයෙන් පාලක පක්ෂය පාර්ලිමේන්තු විපක්ෂයෙන් සහ අනෙකුත් පක්ෂවලින් උපදෙස් ලබා ගත යුතුය.
මෑත කාලීන රජයන් විසින් සිදු කරන ලද අතීත වැරදිවලින්, විශේෂයෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණාවල දී ද්විපාර්ශ්විකත්වය වර්ධනය කිරීමට අපොහොසත් වීමෙන් වූ සිදුධීන් ගැන විශේෂයෙන් ඉගෙන ගැනීමක් අත්‍යවශ්‍ය නොවේ. එහි යල් පැන ගිය දෘෂ්ටිවාදයෙහි කැපී පෙනෙන වෙනසක් කිරීමෙන්, නව ජනතා විමුක්ති පෙරමුණ, එය ප්‍රධාන ධාරාවේ පක්ෂයක් බවට පත් කර ඇත.
මාක්ස්, ලෙනින්, මාඕ සහ විජේවීරගේ ඉගැන්වීම්වලින් ඈත් වීම
වසර 60ක අරගලයකින් පසු, ජනතා විමුක්ති පෙරමුණ මාක්ස්, ලෙනින්, මාඕ සහ විජේවීරගේ ඉගැන්වීම්වලින් ඈත් වී ඇත. චාල්ස් ඩාවින්ගේ Origin of Species ට අනුව, දිවි ගලවා ගන්නේ විශේෂ අතරින් වඩාත්ම බුද්ධිමය විශේෂය නොවේ; එය දිවි ගලවා ගන්නේ ශක්තිමත්ම විශේෂයත් නොවේ; නමුත් නොනැසී පවතින විශේෂය වන්නේ වෙනස් වන පරිසරයට අනුවර්තනය වීමට සහ හැඩගැසීමට හොඳම හැකියාව ඇති විශේෂය යි. යථාර්ථයේ ජීවත් වන්න යනු වර්තමාන සහ නැගී එන නායක පරම්පරාවට ඉතිහාසයෙන් ලබා දෙන හොඳ ම පණිවිඩය යි.

මෙම ලිපිය 2025 මැයි 23වන දින CEYLON TODAY පුවත්පතෙහි පළ වූවකි; සිංහල පරිවර්තනය චානක තිලකරත්න විසිනි.
චානක තිලකරත්නමහාචාර්ය රොහාන් ගුණරත්න ''SRI LANKA A LOST REVOLUTION? THE INSIDE STORY OF JVP'' ("ශ්‍රී ලංකාවේ අහිමි විප්ලවය? ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර කතාව") හි කතුවරයා වේ. ජවිපෙ නායකත්වය, සාමාජිකත්වය සහ ආධාර පදනම පිළිබඳ සම්මුඛ සාකච්ඡා මත පදනම් වූ පොතේ යාවත්කාලීන කරන ලද සිංහල සංස්කරණයක් ළඟදී ම නිකුත් කෙරේ.




