The Leader News
BREAKING
Top Ad
Opinion

මාලනී ෆොන්සේකා : ස්ත්‍රීවාදය සහ ජාතිවාදය අතර දෝලනය | දීප්ති ගුණරත්න

T

The Leader Desk

May 26, 2025 • 4:20 PM

මාලනී ෆොන්සේකා : ස්ත්‍රීවාදය සහ ජාතිවාදය අතර දෝලනය | දීප්ති ගුණරත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මිනිසාට අවිඥානික ආශාව යනුවෙන් දෙයක් නැති නම් ධනවාදයට සහ ස්ත්‍රීත්වයට පැවැත්මක් නොමැත.
  • බොහෝ කාලයක් පිරිමියාගේ ෆැන්ටසි භූමිකාව ලෙස ස්ත්‍රීයට පැවැත්මක් තිබුණි.
  • ක්වීන්ටීන් ටැරන්ටීනෝගේ Kill Bill සහ ලාස් වොන් ට්‍රියර්ගේ බොහෝ චිත්‍රපට මඟින් අපට නිදර්ශනය වන්නේ ස්ත්‍රීය තවදුරටත් පිරිමි ෆැන්ටසිය රඟ නොදක්වන බවයි.
  • අද දවසේ පිරිමියකුගේ ආධාරයකින් තොරව ස්ත්‍රීයට ප්‍රමෝදය කරා ඍජු ලෙස ගමන් කළ හැකියි.
අකුරු ප්‍රමාණය (Font Size):

මිනිසාට අවිඥානික ආශාව යනුවෙන් දෙයක් නැති නම් ධනවාදයට සහ ස්ත්‍රීත්වයට පැවැත්මක් නොමැත.

බොහෝ කාලයක් පිරිමියාගේ ෆැන්ටසි භූමිකාව ලෙස ස්ත්‍රීයට පැවැත්මක් තිබුණි. පවුල් අවකාශයක සිට ශ්‍රමිකයාගේ තැනට තල්ලූ වීමත්, හුවමාරු වටිනාකම් ක්ෂේත‍්‍රයට අවතීර්ණ වීමත් නිසා ස්ත්‍රීය මේ වන විට පුරුෂ ෆැන්ටසි රාමුවෙන් ඉවතට ගමන් කරමින් සිටියි.

ක්වීන්ටීන් ටැරන්ටීනෝගේ Kill Bill සහ ලාස් වොන් ට්‍රියර්ගේ බොහෝ චිත්‍රපට මඟින් අපට නිදර්ශනය වන්නේ ස්ත්‍රීය තවදුරටත් පිරිමි ෆැන්ටසිය රඟ නොදක්වන බවයි. අද දවසේ පිරිමියකුගේ ආධාරයකින් තොරව ස්ත්‍රීයට ප්‍රමෝදය කරා ඍජු ලෙස ගමන් කළ හැකියි.

xbgrff
අප අපගේ මාතෘකාව වන මාලිනී ෆොන්සේකා වෙතට කෙලින්ම ප්‍රවේශ වන්නේ නම් එය එක අන්තයකින් අතීත වේදනාවකි. මාලිනී යනු 70 දශකයේ ලාංකේය සිංහල සිනමාවේ බහුජනයාගේ ජාතික සංකේතයකි. ආදරය සහ රාගය පිළිබඳ සමූහ විඥානය තුළ තැන්පත් වු ඇගේ ප්‍රතිරූපය මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව වෙනත් අරමුණක් කරා ද යොමු කරන ලදී.


අධික ලෙස දේවල් වෙනස් වෙමින් යන යුගයක අපගේ විඥානය වෙනස් නොවන දෙයක්, එනම් සාරයක් ගවේශනය කිරීම අහම්බයක් හෝ අත්වැරැද්දක් නොවේ. ස්ත්‍රීවාදියා සහ ජාතිවාදියා සමීපයට පැමිණෙන්නේ සාරය පිළිබඳ ප්‍රශ්නයේදීය. එක අතකින් ‘මාලිනී’ සිංහල පිරිමියාගේ දවල් හීනයක් බවට පත් වන විට අනෙක් පසින් සිංහල ජාතිවාදියාට ද අප නොවිඳින නමුත් ඔවුන් විඳින ප්‍රමෝදයක් සහිත දෙමළකු අවශ්‍යය. සාරය ඇත්තටම පවතින්නක් නොව පසු ආවර්තිතව අප විසින් එය ගොඩනංවන දෙයකි. මේ හේතුව නිසා ස්ත්‍රීවාදයත්, ජාතිකවාදයත් යන දෙකම අනන්‍යතා දේශපාලනයට අයිතිය.

සමකාලීන මිනිස් ජීවිතය සහ සාමාන්‍ය අවබෝධය විසින් අපට අද දවසේ උගන්වන්නේ කුමක්ද? බොහෝ උත්තරීතර හැඟවුම්කාරකවලට සිදු වූ දෙය [උද – සාමය, ප්‍රජාතන්ත්‍රවාදය, සමාජවාදය, ඡන්දය, පක්ෂය] ධනවාදී හුවමාරු වටිනාකම් ලෝකය තුළ ස්ත්‍රීයට ද සිදු වී ඇත.

පිරිමින්ට හිමි ව තිබූ පිරිමිකම වෙළෙඳපොළ යථාර්ථය තුළ දිය වී ගොස් දැන් බොහෝ කල් ගත වී ඇත. මෙය දැන් ස්ත්‍රීය සම්බන්ධයෙන් ද අදාළය.


අතීතයේ දී අර්ථවත් ව පැවැති හැඟවුම්කාරකවල පිරී ගිය අවකාශය මේ වන විට හිස් වෙමින් ගමන් කරයි. නූතන ලිබරල් ධනවාදය විසින් සිංහල සිනමාව එක පැත්තකින් වාෂ්ප කළ පරිදිම නූතන සිංහල ජාතිවාදය විසින් සිංහල සිනමාවේ අධෝව්‍යුහය විනාශ කරන ලදී. අද දවසේ අප සිනමා නිළියන්ව දකින්නේ අපගේ අශ්ලීල ආශාවන් අවුස්සන්නන් ලෙස මිස කලා ශිල්පීන් ලෙස නොවේ. අද ‘නිළියක්’ යනු අර්ථසම්පාදකයකු නොවේ. ඒ වෙනුවට නිළියන් කරන්නේ අපගේ අශ්ලීල හැඟීම්වලට අමැතීම පමණි.


හැඟවුම්කාරක ක්ෂේත්‍රයෙන්, එසේත් නැතිනම් අර්ථයට හෝ වචනයට හිමි අවකාශයෙන් ස්ත්‍රීය වෙළෙඳපොළ හරහා ඉවත් වෙමින් පවතියි. මේ හේතු – සාධකය නිසා ස්ත්‍රීය පිළිබඳ නව කතන්දරයක් යථාර්ථය ඉල්ලා සිටියි.

Judith Butler| ජූඞීත් බට්ලර් (Judith Butler)
මෙම නව යථාර්ථයට ගැළපෙන ප්‍රවාදය ඉදිරිපත් කර ඇත්තේ ජූඞීත් බට්ලර් නම් දාර්ශනික ස්ත්‍රීයයි. ඇයට අනුව ලිංගික භූමිකාවක් යනු පූර්වයෙන් තීරණයකට ලක් නොවූ මොඩලයකට අනුව කරන අනුකරණයයි. ඇයට අනුව ලිංගය (Sex) යනු රඟපෑමකි. නිශ්චිත සම්මතයකට වග නොකියා කරන රංගනය ලිංගයයි. ‘සාරය’ පිළිබඳ පැරණි අදහස වාණිජකරණය සහ හුවමාරු වටිනාකම් ලෝකය තුළ අතුරුදන් වෙමින් යයි. ඒ වෙනුවට ‘සාරය’ පිළිබඳ පසුආවර්තී යාන්ත‍්‍රණයක් ආදේශ වී ඇත. මෙම සන්දර්භය තුළ ‘සාරය’ අතීතයට අයිති දෙයක් නොවේ. එය වර්තමානයෙන් අතීතයට ප්‍රක්ෂේපණය කරන්නකි.


මාලනී ෆොන්සේකා නම් ස්ත්‍රී වෙස්මුහුණ යට තිබෙන රහස කුමක්ද? මේ රහස සොයන්නට යන විට අපට එකිනෙකට පරස්පර කතිකාවත් දෙකක් ප්‍රතීයමාන වෙයි. එකක් වන්නේ වාගිශ්වර [Phallocentric] තලයේ ඇති සාරය පිළිබඳ අදහසයි. දෙවැන්න වන්නේ මේ වාගීශ්වර තලය ඉක්මවා යන ‘සාරය’ [Essence] පිළිබඳ අදහසයි. මෙම විරුද්ධභාසය විසඳන්නේ කෙසේද?


ඇත්ත වශනේම නියෝජනාත්මක තලයේ දී පිරිමියා සහ ස්ත්‍රී යනු හිස් අවකාශ දෙකකි. මින් ස්ත්‍රීය පුරුෂයාට වඩා බලවත් ලෙස නිශේධනාත්මකය. මෙම හේතුව නිසා පුරුෂයා සහ ස්ත්‍රීය තමන්ව හැඟවුම්කාරක මඟින් නියෝජනය කර ගැනීම අරබයා ස්ථාවර දෙකක පැටලී සිටිති. ස්ත්‍රීයට  තමන්ගේ නියම ස්වභාවය වචන මඟින් ප්‍රකාශ කර ගන්නට අවශ්‍ය නැත. නමුත් පිරිමින් මෙය පුරුද්දක් ලෙස කරයි. මේ හේතුව නිසා ස්ත්‍රීය අරබයා මේ ලෝකයේ කතිකා දෙකක් පවතියි. එකක් ස්ත්‍රීය පිළිබඳ සාරාත්මක කතිකාවයි. අනෙක ස්ත්‍රීය පිළිබඳ ප්‍රතිසාරාත්මක කතිකාවකි. එකක් ස්ත්‍රීය චපල ලෙස හංවඩු ගසන අතර අනෙක ඇයව ගෲංගාරකරණය කරයි.

පිරිමියකු තමාට හිමි ශෛලිය හෝ විලාසිතාව (Style) සොයාගෙන යනවා යනු ඉහත කතිකා දෙක අතර පැවැත්මක් නිර්මාණය කර ගැනීමට දරන උත්සාහයයි. මෙම අදහස තවදුරටත් විකාශය කරන්නේ නම් පිරිමියකුට එක අතකින් ස්ත්‍රී ආත්මය හිස්ව (Empty) පැවැතිය යුතුය. අනෙක් අතට මෙම හිස් බව ප්‍රතිජනනාත්මක නිසා එමඟින් යම් නිර්මාණයක් [නිර්මාණයේ ආරම්භයද?] ද කළ හැකිය. මේ නිසා සිදු වන්නේ පිරිමියකුගේ දර්ශනය, කලාව, ආගම, දේශපාලනය තුළ ස්ත්‍රීය තේමාවක් හෝ මාතෘකාවක් ලෙස ඉදිරිපත් වෙයි. මෙවන්නක් පිරිමියකු ප්‍රතිනිර්මාණය කළ පසු එය ඔහුගේ අදහසක් (Idea) ලෙස සමාජයේ විලාසිතාවක් බවට පත් වෙයි. මාලිනී ෆොන්සේකා ස්ත්‍රීයක් ලෙස ගත් විට හිස්ය. මේ හේතුව නිසාම විවිධ පිරිමින් ඇයව තේමාවක් හෝ මාතෘකාවක් ලෙස තෝරාගෙන ඇත. එය දැන් මේ නිසාම බෙල්බොටම්, මිනී ස්කර්ට්, පච්ච සේම විලාසිතාවක් බවට පරිණාමය වී ඇත.


පිරිමියකු විසින් ස්ත්‍රීයව පොදුවේ හෝ සුවිශේෂව මාතෘකාවක් (Theme) බවට පත් කිරීම දේශපාලනික නොවන අහිංසක, ප්‍රගතිශීලී, මිථ්‍යාහරණ, අභිරහස් හෝ ප්‍රහේලිකා බිඳ දමන හුදු විමුක්තිය උදෙසා පමණක් කරන්නක් ද? ස්ත්‍රීයව තේමාවක් කිරීම පිළිබඳ පිරිමි උවමනාව යට ඇති විලාසිතාව කුමක්ද යන්න ගැන අපි ඉහත දී සාකච්ඡු කළෙමු. එය මඟින් සමාජ බලය, ආත්ම රාගය සහ පිළිගැනීම සංකේතවත් වෙයි. නමුත් මෙම තත්ත්වයේ සංකීර්ණ උපමානයක් ද ඇත.


ජීන් පෝල් සාත්‍රේ විසින්  රචිත ‘ජාතිවාදියා සහ යුදෙව්වා’ නම් ලේඛනය හරහා අපට බැස ගත හැකි රැඩිකල් නිගමනයක් ඇත. එනම් සුළුජාතික පිරිමියාව ස්ත්‍රීයකරණය කිරීමේ මහජාතියේ පිරිමි උවමනාව ස්ත්‍රීවාදයේ අනෙක් පැත්ත බවයි. සරලව කිවහොත්  ඕනෑම ස්ත්‍රීවාදියකුගේ අනෙක් පැත්ත ජාතිවාදය බවයි. මේ බව න්‍යායිකව ඔප්පු කළ හැක්කේ කෙසේද? ජාතිවාදියකුට කිසිදු ව්‍යුහාත්මක බාධාවක් නිසා කොමියුනිස්ට්වාදියෙක් විය නොහැකිය.

ස්ත්‍රීවාදය විසින් ඉදිරිපත් කරණ බාධා විරහිත නිදහස (Unrestricted Freedom)යන ප්‍රවාදය මඟින් සංකේතවත් වන පාරභෞතික කළාපය [මනෝරාජිකව ගොඩනඟන අලූත් ලෝකය පිළිබඳ අදහස] මඟින් අවසානයේ සනිටුවහන් වන්නේ නොනිදහසයි. මෙය නිදහස පිළිබඳ විරුද්ධාභාෂයයි. ඔබ ‘නිදහස’ යෝජනා කරන විටම එහි අනෙක් පැත්ත එනම් ‘බලය’ [Power] හරහා වෙනත් මිනිස් කණ්ඩායමක නිදහස සීමා කරයි. ඔබට බලයේ යම් යම් අංග විනාශ කළ හැකියි. නමුත් ඒ සමඟ සමාජය තුළ අලූත් බල සබඳතා ද ගොඩනැඟේයි.

ඒ අනුව බාධා විරහිත නිදහස ෆැන්ටසිකරණය කරණ අය අනෙක් පැත්තෙන් නොනිදහසේ අක්ෂර වින්‍යාසයද ගොඩනඟයි. හොඳම උදාහරණය FB ය. පුද්ගලික බාධා විරහිතේ නිදහස් සංකේතය FBය. නමුත් පුද්ගලික නිදහස වඩාත්ම නැත්තේද FB තුළය. ඔබට ස්ත්‍රීන්ව මර්දනයෙන් ගලවා ගත හැකිය. නමුත් එක්තරා ලක්ෂයකට පසු ස්ත්‍රීයට යළි හමු වන්නේ ද වෙනත් ආකාරයක සමාජ මර්දනයකි.


ස්ත්‍රීවාදියෙකු යනු පිරිමි විලාසිතාකාරයකු හෝ පිරිමි ජේත්තුකාරයකු [හුවමාරු වටිනාකම් තුළ මණිබඩු වෙළෙන්දෙකු වීම] යැයි අප කියන්නේ නිදහස් චින්තකයන් ලෙස ද? ස්ත්‍රීවාදය නම් විලාසිතාව හරහා පිරිමියකුට ලැබෙන සමාජීය බලය කුමක්ද? අශ්වයා පිට නැඟී ගමන් කරන ජොකියා අශ්වයා වේගයෙන් දිවීම සඳහා උසිගන්වන්නේ ආයුධයකිනි. එය සත්කටුව (Spur)  නමින් හැඳින්වෙයි.

Friedrich Nietzsche| ෆ්‍රෙඞ්රික් නීට්ෂේ (Friedrich Nietzsche)
ෆ්‍රෙඞ්රික් නීට්ෂේගේ දර්ශනයට හිමි පිරිමි විලාසිතාව ජාක් ඩෙරීඩා නම් ප්‍රංශ දාර්ශනිකයා විසංයෝජනය කරමින් පවසන්නේ නීට්ෂේගේ දර්ශනය අශ්වයා දක්කන පොල්ලට සමපාත බවයි. ස්ත්‍රීවාදය විසංයෝජනය කරමින් ඩෙරීඩා පවසන්නේ එක අතකින් ස්ත්‍රීවාදීන් ස්ත්‍රී ත්වය ඇති හිස්තැන වචනවලින් පුරවන බවයි. එවිට ස්ත්‍රීවාදය ඖෂධයකි. අනෙක් අතට මෙම පුරවන වචන හරහා වාගිශ්වර වන්නේ ද ස්ත්‍රීය නොව පිරිමියාය. එබැවින් ස්ත්‍රීවාදය ප්‍රතිවිරුද්ධ අර්ථයෙන් විෂකි. (Poison) පිරිමියා ස්ත්‍රීවාදී විලාසිතාව හරහා එකතු වන බලය පොර කුකුළාගේ ‘පොර කටුව’ මෙන් සංවාදයෙදී භාවිතා කරයි. එබැවින්  විලාසිතාව (Style) හෝ ශෛලිය මඟින් උභයාර්ථයන් ජනිත වෙයි. විලාසිතාව එක අතකට අවධානය දිනා ගැනීමට ඉදිරියට දමන අහිංසක ප්‍රේක්ෂාවකි. අනෙක් අතට එය අන්‍යයන්ට පහර දිය හැකි ආයුධයකි.

සාර ගවේශනයන්ට අදාළ තාර්කික ගැටලූවක් අපට දැන් විශ්ලේෂණය කළ හැකිය.

යම්කිසි පිරිමියකු ස්ත්‍රීයක් සඳහා සාරාත්මක අදහසක් ගොඩනංවන විට එය පිරිමියාට විලාසිතාවකි. අනෙක් පසින් එම විලාසිතාව අනුගමනය කිරීමට ස්ත්‍රීයට සිදු වෙයි.  එය ඇයගේ පැත්තෙන් හිංසනයකි. නමුත් පිරිමියාට ස්ත්‍රීයව මෙවන් විලාසිතාවක් තුළ කොටු නොකොට ‘සත්‍යය’ ගැන අදහසක් නිර්මාණය කර ගත නොහැකිය.

ස්ත්‍රීයගේ පැත්තෙන් ගත් විට වෙස් මුහුණ යට කිසිදු රහසක් නැත්තේ මේ නිසාය.


පිරිමියාට තමන්ගේ මවූ ශෛලියක් ගොඩනැංවීමට ස්ත්‍රීය පිළිබඳ ආත්මරාගී ෆැන්ටසියක් අත්‍යවශ්‍යය. නමුත් එම ෆැන්ටසිය සඳහා ස්ත්‍රීයකගෙන් ස්ථිර සහතිකයක් ලැබෙන්නේ නැත. මෙම සහතික කිරීම තමාට පවරා ගැනීමට පිරිමියාට සිදු වී ඇත. ඒ සඳහා පිරිමින්ට ගෙවීමට ඇති මිල සඳහා මනෝවිශ්ලේෂණ වචනය වන්නේ ස්වපීඩාකාමුකත්වයයි. ස්ත්‍රීය ඇත්ත වශයෙන්ම සාරාත්මක නැති නිසා හූනාගේ වලිගය සේ ස්ත්‍රීය පිළිබඳ සාරාත්මක කතිකාව හදිසි කැඞී යාම් පොරොත්තු විය යුතුය.


අනෙක් පැත්තට ප්‍රතිසාරාත්මක කතිකාවට ද සීමාවක් ඇත. එය හිස් බවයි. එබැවින් නිශේධනාත්මක කතිකාව හිස් බවට වඩා අඩු තත්ත්වයක් [රින තත්ත්වයක්] කරා යොමු විය යුතුය. ඒ වනාහී අපගේ අවිඥානයයි. විනෝදය නම් සාධකය අපගේ විග්‍රහය සඳහා අවශ්‍ය වන්නේ මේ මංසන්ධියේ දීය.

අපි මෙතැන දී ‘විනෝදය’ පිළිබඳව ඉතාම කෙටි නිර්වචනයකට යමු. විනෝදය යන්න පිටමං කිරීම හා සම්බන්ධ සංජානනයකි. උදාහරණයක් ලෙස ඔබ ඉතා බරපතළ ලෙස අවදානම් තත්ත්වයකට වැටුණු විට, එසේ ඔබට වූයේ සුවිශේෂ අනෙකෙක් නිසා යනුවෙන් කල්පිතකරණය කරන්නේ නම් එවිට ඔබට යම් සහනයක් හිමි වෙයි. මන්දයත් තමන්ගේ අවදානම් තත්ත්වයට අදාළ තල දර්පනය බවට අනෙකා පත් වන නිසාය. මගේ බලවත් අසරණකමට පාදක වන බාහිර අනෙකක්ව [දෙමළ, මුසල්මානුවා] සමපේක්ෂණය කිරීම හරහා ඒ අනුව යම් පිටවීමක් ද තනා ගත හැකිය.

එම තර්කයටම අනුව ඉදිරි පියවර තැබුවහොත් මගේ අවදානම නැති කිරීමට අවශ්‍ය නම් කළ යුත්තේ මෙම තර්ජනාත්මක ආගන්තුකයාගේ පැවැත්ම විනාශ කිරීමයි. ජාතිවාදයේ මූලය එන්නේ එතැනිනි. ‘විනෝදය’ යනුවෙන් න්‍යායගත වන්නේ මට අහිමි  වී ගිය යම් සහනදායික තත්ත්වයක් වෙන අයකු හොරකම් කර ඇතැයි නියමනය කර ඇති විටය. ඒ අනුව ‘විනෝදය’ යනු මා නොවිඳින වෙනත් කෙනෙකු විඳින දේශපාලන නිදහසයි. මාගේ සීමාව සමාජ – ක්‍රමය විසින් තනා ඇති බව ප්‍රතික්ෂේප කර එය වෙනත් මිනිසකු හෝ මිනිස් කණ්ඩායමක් විසින් නිර්මාණය කොට ඇතැයි අනුමාන කරන විට අප පසමිතුරුභාවය බාහිර අනෙකෙකු වෙතට තල්ලූ කරයි.


දැන් අපට මාලිනී ෆොන්සේකා ගැන අලූත් අදහසකට ගමන් කළ හැකිය. ඇය එක පැත්කකින් සමාජ ප්‍රතිරූපයකි. අනෙක් පැත්තෙන් මහින්ද රාජපක්ෂ ජනඝාතක ආණ්ඩුවේ නිර්ලජ්ජිත සංකේතයකි. මේ තත්ත්වයන් දෙක එක විට ගත් විට පරස්පරය. සිංහල ජාතිවාදියාගේ දාර්ශනික අන්තය අවසන් වන්නේ ‘දෙමළාව’ එක විටම ප්‍රබල සහ දුබල කිරීමෙනි. සිංහල ජාතිවාදියා දෙමළාව ස්ත්‍රී සාරයක් කරන්නේ ඇය විඳිතැයි අනුමාන කරන අශ්ලීල විනෝදය නිසාය. ප්‍රභාරකරන්ව ෆොන්සේකා නිරුවත් කළේ ඔහු විඳි විනෝදයේ ඇතුළ බැලීමටය.



Deepthii 2021(සටහන | දීප්ති කුමාර ගුණරත්න)
සමබිම පක්ෂයේ නායක
kmgunarathne@gmail.com

(3mana.com)

 

WhatsApp Image 2025 05 26 at 9.54.20 PM

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...