ඉහළම රාජ්‍ය නිලධාරීන් ට දැන්
ජනාධිපතිවරයාගේ ‘සත්තම්’ ද,
කැබිනට් අමාත්‍යවරුන්ගේ ‘නගරං’ ද,
‘කෝප් - කෝපා - සංවර්ධන කමිටු මන්ත්‍රීවරුගෙන් ‘හයිරං’ ද නොඅඩුව ලැබේ.
දේශපාලනඥයින්ට එල්ල වෙමින් තිබූ දුෂණ, වංචා හා අල්ලස් චෝදනා, දැන් දිනපතා රාජ්‍ය නිලධාරීන් වෙත එල්ලකරමින් ඇත. සෑම දිනකම පුවත් සිරස්තල මවන්නේ පරිපාලන, ගණාකාධිකරණ සේවා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් අත්අඩංගුවට ගැනීම්, ඇපදීම, රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම, අල්ලස් කොමිසමට, රහස් පොලීසියට කට උත්තර ලබාදීම් ගැනය.

අමාත්‍යාංශ ගණන් දීමේ නිලධාරියා හෝ ගණකාධිකාරීවරයා ලෙස කටයුතු කිරීම, ටෙන්ඩර් ක්‍රියාවලියට සම්බන්ධවීම, තාක්ෂණික ඇඟයීම් කමිටුවට සමාජිකයෙකුවීම, (නිල බලයෙන්ම) ප්‍රතිපත්ත තීරණ ගන්නා කමිටුව සේවය කිරීම මෙයට හේතුවයි.
මසකට වරක් වැටුප් දිනයට තම සහෝදර නිලධාරීන්ගේ නීතිඥ ගාස්තුව ආධාර ලැයිස්තු දමා සම්මාදම් රැස් කිරීමට සිදුව ඇත.
ආසන්නතම උදාහරණය ඌව ප්‍රධාන ලේකම් මහේෂ් ගම්මන්පිල ය. අශුචි පොහොර නැව විමර්ශන සිදු විය යුතුය. චීන - ලංකා ව්‍යාපරික සබඳතා දැවැන්ත රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් දක්වා වර්ධනය වීම වලක්වාගත්තේ මහේෂ් ය! ඔහු එදා එය සිදු නොකළා නම්, සිදු විය හැකි තත්වය අද ලිපිගොණු පරීක්ෂා කර අනුමාන කිරීමට හෝ නොහැකිය.
මහේෂ් ගම්මන්පිල
විමර්ශන සිදුවන්නේ දේශපාලනඥයින් පිළිබඳවය. සාක්ෂිකරුවන්, තොරතුරු සම්පාදකයින් බවට පත් වන්නේ රාජ්‍ය නිලධාරීන්ය.
රාජ්‍ය සේවකයින් වෙත එල්ල වී අති මහත් පීඩනය ඔවුන් අතිරේක රාජකාරි පැහැර හැරීම, මිලදී ගැනීම්, ඉහළ නියෝගයක් නොමැතිව කිසිවක් සිදු නොකිරීමට ප්‍රවේශම් සහගත කර ඇත.
ඇමති හඳුන්නෙත්ති මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ප්‍රමුඛ භාණ්ඩාගාරයේ නිලධාරීන්ට කෙළින්ම ‘අරක්කු මුදලාලිලාගෙන් අල්ලස් ගැනීමේ චෝදනා’ එල්ල කරයි.
දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් ඉහළම රාජ්‍ය නිලධාරීන්ට, ආයතන ප්‍රධානීන්ට සංවර්ධක කමිටුවල ලැබෙන්නේ ‘නගරං’ හා ‘හයිරං’ ය. හේතු ඇතිව හෝ නැතිව, පාර්ලිමේන්තු කමිටු තුල ද ‘හයිරං’ පිරී ඇත.
කෘෂිකර්ම, සෞඛ්‍ය, පශු සම්පත්, රාජ්‍ය පරිපාලන, වෙළඳ, පළාත් සභා නවය තුල ‘තාක්ෂණික ඇඟයීම් කමිටු’ පත් කර ගැනීමට ඇති නොහැකියාව (නිලධාරීන් ඉදිරිපත් නොවීම) මේ ‘නගරං - හයිරං - සත්තම්’ සංස්කෘතියේ ප්‍රතිඑලය යි. කමිටුවකට සභාපති ධූරය දරන්නට පරිපාලන සේවයේ නිලධාරියෙකු සොයා ගැනීම පමණක් නොව තාක්ෂණි සේවා ප්‍රවීනයින් සමාජිකත්වය ගැනීම ම දැන් ප්‍රශ්නයකි.
ඖෂධ හිඟයට ප්‍රධානතම හේතුව වසරකට සිදු කළ යුතු 450 කට වඩා වන ප්‍රධානතම ප්‍රසම්පාදන ක්‍රියාවලිය බිඳ වැටීමයි.
‘දුෂණය’ යන ඉතා පුළුල් අර්ථ දැක්වීමක් සිදු කළ හැකි විෂය පථයක අමාත්‍යාංශ ලේකම්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් විස්සකට වැඩි ප්‍රමාණයකගේ ප්‍රකාශ මේ වන විටත් සටහන් කර ගෙන ඇත. අපරාධ පරීක්ෂණ, අල්ලස් චෝදනා එල්ලවීමේ බිය සැක තීව්ර වූයේ කෝපා, කෝප් හා මුදල් කමිටුවල, දිස්ත්‍රීක්ක හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු ප්‍රශ්න කිරීමේ විනාශය නිසාමය.

දැන් ටෙන්ඩර් තබා විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීම නිලධාරියෙකු සොයා ගැනීම දැන් පහසු නැත. රාජ්‍ය නිලධාරීන් වැඩ කරනවාට වඩා, වැඩ පිළිබඳ සටහන් තැබීම, ඡායාරූප ගැනීම හා ලිපිගොනු ඡායා පිටපත් කර තබා ගැනීමට උනන්දු වේ.
ඉහළ නිලධාරීන් නියෝග සටහන් කිරීමට පසුබාති. ලිඛිත නියෝග නොමැතිව පහළ නිලධාරීන් වැඩ කරන්ම නැත. පළාත් අධ්‍යාපන, සෞඛ්‍ය, පශු සම්පත්, කෘෂිකර්ම මිලදී ගැනීම් සම්බන්ධ තත්වය අතිශයින්ම දුක්ඛදායකය. සෞඛ්‍ය මිලදී ගැනීම් වගකීම පළාත් සභාවට පැවරීමට දැරූ උත්සාහය බිඳවැටුණේ කිසිදු නිලධාරියෙකු එහි වගකීම බාර නොගත් නිසාය.
ජනාධිපති අරමුදලේ අරමුදල් නිදහස් කිරීම සඳහා 2024 දී අයඳුම්පතකට සාමාන්‍ය කාලය දින 3-5 ක් වූ අතර අද එය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක දින 30 – 45 දක්වා ගතවන්නේය. ප්‍රාදේශීය ලේකම්වරුන් රෝගීන්ගේ අතටම චෙක්පත් නිකුත් කරන්නේ ඡායාරූපයක් ලබාගෙන එය දැන්වීම් පුරවරුවේ නැතිනම් සමාජ මාධ්‍යයේ පළ කරන්නේ සියළු ආචාර ධර්ම නොතකමින් නමුත් සිය ආරක්ෂාව උදෙසාය.
දැනටම ජනාධිපතිවරයෙකු, ජනාධිපති ලේකම්වරු, අරමුදල් ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කරමින් අපරාධකරුවන් ලෙස ලේබල් කරන තත්වයක, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නිලධාරීන් ‘අරමුදලේ අතිරේක වගකීම්’ දකින්නේ බෝලය පාස් කිරීමක් ලෙස ය.

ඉහළ තනතුරු සඳහා පත් කිරීම සම්බන්ධයෙන් අශෝක පීරිස්, ගුණසේකර ඇතුළු පිරිසක් රජයට විශිෂ්ඨ යෝජනා මාලාවක් ඉදිරිපත් කළේය. අවසනාවකට එම යෝජනා බහුතරයක මාසයක් තුල විසිවී ගියේය.
ඇඟයීමක් සිදු නොකර, දක්ෂතා - කුසලතා නොතකා පාක්ෂිකත්වය පමණක් සලකා පත්වීම් සිදු කිරීමේ ව්‍යවහාරය දැන් ස්ථාපනය වී ඇත. පළාත්/ප්‍රාදේශීය පාලනයේ සලකුණු තැබූ වයඹ හිටපු ප්‍රධාන ලේකම්වරිය දැන්, සෙවනගල සීනි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනියයි. ඇයගේ ප්‍රාදේශීය පාලනයේ විශිෂ්ඨත්වයෙන් දැන් රටට වැඩක් නැත. දිපිකාගෙන් උක් ගොවියාට වැඩක් ද නැත.
රාජ්‍ය සේවයේ මේ පසුගාමී තත්වයට (අසාධාරණ ලෙස) චෝදනා එල්ල වී ඇත්තේ පරිපාලන සේවයට ය. රාජ්‍ය සේවයේ ඉහළම ඇවරියට, නිසි දේශපාලන මඟපෙන්වීමක් ලබාදීමට අසමත්වීමේ පීඩණය ‘පරිපාලන සේවයට’ දැරිය නොහැකිය. එය දැන් ඒකාබද්ධ සේවාවන් අතර සීතල යුද්ධයක් බවට පත්ව ඇත.

අප අමතක නොකළ යුත්තේ බංකොලොත් රටක් මාස 6 ක් තුල ඇවිද්දවන්නට, සල්ලි බෙදන්නට, අස්වැසුම දෙන්නට, උරුමය ඔප්පු දෙන්නට පමණක් නොව හාල් බෙදන්නට ද මේ පිරිසම සමත් වූ බවය.
රාජ්‍ය නිලධාරීන්ට සිය කටයුතු කර ගැනීමට නිදහසේ විධායකයේ රැකවරණය අවශ්‍යය. අද රාජ්‍ය නිලධාරීන් කිසිවෙකුත් දේශපාලන රැකවරණය විශ්වාස කරන්නේ නැත. රැකවරණය අත් දකින්නේ නැත.
ගෝඨාභය පාලනය යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් පුෂ්ප කුමාර ඉවත් කිරීම මගින් ඇතිකල කම්පනයම, බස්නාහිර පලාත් ප්‍රධාන ලේකම් ධූරයන් ධම්මිකා විජේසිංහ ඉවත් කිරීමෙන් මතුවිය. ආණ්ඩුවේ දුෂණ විරෝධී සටන පාඨය ධම්මිකා ඉවත් කිරීම එකට පෑහෙන්නේ නැත.
අනෙක් අතට, අයාලේ යමින් තිබූ රජයේ මුද්‍රණාලය නිසි මඟට ගැනීමට ප්‍රදීප් පුෂ්පකුමාරට මාස කිහිපයකින් හැකිවී තිබුණි. පලාත් පාලන ඡන්දයේ දී රජයේ මුද්‍රණාලය යුග ගණනක් තිබූ නාස්තිය, විනාශය නැවැත්වූයේ ප්‍රදීප් ට හැකි විය. තව පොඩි කාලයක් ලැබුණේ නම්, වෘත්තීය සමිති ඒකාධිකාරයක ගොදුරක් බවට පත් ව තිබූ රජයේ මුද්‍රණාලය ගොඩනැගූ නිලධාරියා ලෙස ඔහු ඉතිහාසය ගත වන්නට තිබුණි. ධම්මිකා ඉවත් කිරීම ද, ප්‍රදීප් පත් කිරීම ද කිසිදු පරිපාලන න්‍යයාකට ගැලපෙන්නේ නැත. කිසිදු නගරමකට, හයිරමකට, සත්තමකට සමපාත නැත.
අනෙක් අතට, මෙම ආණ්ඩුව බලයට පත් කිරිම සඳහා ඉමහත් කැපවීම් කළ ‘ආණ්ඩුවට ආදරේ’ රාජ්‍ය නිලධාරීන් බහුතරයකට කිසිදු බලපෑම්කාරී වගකීමක් පවරා දී නැත. ඔවුන්ගෙන් රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරු මෙයට වඩා වැඩ ගත්තේය. සරළව, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා වැනි දෙතුන් දෙනෙකු හැර රාජ්‍ය සේවයේ බහුතරයක් ආණ්ඩුව කර තබා ඔසවාගන්න සුදානම් නැත.
විදේශ අරමුදල් සම්පාදනය කලමනාකරණය කර ගත නොහැකිවීම, රාජ්‍ය සේවය මගින් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ අඩු කිරීමට ප්‍රමුඛ හේතුවක් බවට ඉදිරි මාස හය තුල පත්වනු ඇත. විදේශ ආධාර, කෘෂිකර්ම නවීකරණ, ග්‍රාමීය සංවර්ධනය ව්‍යාපෘති ඇරඹීමට ‘බංකොලොත් රාජ්‍ය සමයේ අත ගැසූ නිලධාරීන් සියල්ලම පාහේ රාජ්‍ය සේවයේ අහුමුළුවලට ගාල් කර ඇත.

ගුවන්විදුලිය, රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය ඇතුළු රාජ්‍ය ව්‍යවසාය රැසක් වැටුප් ගෙවා ගත නොහැකි තත්වයට පත්ව ඇත. ශ්‍රී ලංකන්, ජලසම්පාදන පමණක් නොව බලශක්තිය ද රාජ්‍ය බදු මුදල් ගිළින තැනට පත්වෙමින් ඇත. ගෝඨාභය රජයේ ආර්ථිකයේ බැඳ වැටීමේ ඇරඹුම ද මෙයයි.
වහා ඉවත් කිරීමට හඳුනාගෙන ඇති රාජ්‍ය නිලධාරීන්, ඉවත් කර ගැනීමට නොහැකිවී ඇත. දුම්රිය වර්ජනයේ දී සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීමට ආණ්ඩුවට හිතවත් කණ්ඩායමක් පිකටිං ව්‍යාපායක් සැලසුම් කළේය. සති දෙකක් දුම්රිය වැහුනේ ද, සාමාන්‍යාධිකාරි ඉවත් කළේ ද, ප්‍රශ්නය විසඳුනේ ද නැත.
‘ජාතික අභිලාෂයක් කෙසේ වෙතත්’ ජනාධිපතිවරයාගේ අවංක පොරොන්දු ක්‍රියාත්මක කළ හැකි පිරිසක් දැන්වත් ආණ්ඩුකරණයේ සුක්කානම අතට ගත යුතුය. දේශපාලන පක්ෂපාතීත්තවය පමණක් ආණ්ඩුකරණයේ සාර්ථකත්වයට කිසිම විටෙක ප්‍රමාණවත් නැත!
(සටහන | රජිත් කීර්ති තෙන්නකෝන්)
rajith_tennakoon@yahoo.com



