The Leader News
BREAKING
Top Ad
Opinion

භික්ෂුවගේ අලජ්ජී නිවටකම තමා විනිවිද දකින බව අනුර විසින් පෙන්වනු ලැබීම හොඳ දෙයකි | එරන්ද ගිනිගේ

T

The Leader Desk

June 12, 2025 • 7:38 AM

භික්ෂුවගේ අලජ්ජී නිවටකම තමා විනිවිද දකින බව අනුර විසින් පෙන්වනු ලැබීම හොඳ දෙයකි | එරන්ද ගිනිගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වලවාහැංගුණවැවේ ධම්මරතන කාලයක් අනුර කුමාරට පිළිකුල් සහගත අශිෂ්ට වචනයෙන් ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවේ බැන වැදුණේ ය.
  • මිහිඳු මාහිමියන්ගේ පාද ස්පර්ශය ලද මිහින්තලය පුද බිම තම බූදලයක් ලෙස සිතා අධිමානයෙන් හැසිරෙන මෙම භික්ෂුව දෙස බලන්න.
  • මාගේ ශාසනය ලක්දිව්හි පිහිටන බවට බුදුන් වහන්සේ කළා ය කියන මහාවංශ ප්‍රකාශයේ කියැවෙන්නේ එම දේශපාලන පරමාර්ථය යි.
  • මහා මහේන්ද්‍ර රහතන් වහන්සේ ලක්දිවට වැඩම කරන්නේ එදා විජයගෙන් ඇරඹි එම ව්‍යාපෘතියේ ම දිගුවක් ලෙසට ය.
අකුරු ප්‍රමාණය (Font Size):

වලවාහැංගුණවැවේ ධම්මරතන කාලයක් අනුර කුමාරට පිළිකුල් සහගත අශිෂ්ට වචනයෙන් ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවේ බැන වැදුණේ ය. දළදා වහන්සේට බෝම්බ ගැසූ කල්ලතෝනියෙක් කියා අපහාස කළේ ය. ඒ සියල්ලෙන් පසුව ඊයේ දිනයේ අනුර කුමාරව ගෙන්වා සිප වැළඳ, ලක්දිව බුදු දහම ස්ථාපිත කළ මහා මහේන්ද්‍ර රහතන් වහන්සේගේ නමින් ගෞරව නාමයක් පුද කළේ ය. පුරුෂයෙකුට මෙයට වඩා නිවටකමක් තවත් තිබිය හැකි ද?

 

මිහිඳු මාහිමියන්ගේ පාද ස්පර්ශය ලද මිහින්තලය පුද බිම තම බූදලයක් ලෙස සිතා අධිමානයෙන් හැසිරෙන මෙම භික්ෂුව දෙස බලන්න. ඔහුට කාය සංවරයක් නැත. වචී සංවරයක් නැත. “පෙරහැර කරගන්න බැහැ… සල්ලි නැහැ… රාජ්‍ය අනුග්‍රහය දියව්…” ආදි වශයෙන් මැසිවිලි නගමින් ප්‍රසිද්ධ මාධ්‍යයේ සිඟමන් අයැදීම බුද්ධ චීවරයට නිගාවකි. භික්ෂුවක් වීමට නම් පළමුව නොසැලෙන ගුණය තිබිය යුතුය. ඉවසීමේ ගුණය තිබිය යුතුය. දරාගැනීමේ ගුණය තිබිය යුතු ය. නැතිබැරිකම් කියමින් විටෙක කඳුළු සලමින් ද විටෙක තර්ජනය කරමින් ද හැසිරෙන්නා සිහි මද ඕලමොට්ටලයෙකි.



භික්ෂුවට දේශපාලනය කිරීමට අයිතියක් තිබේ. ලංකාව නමැති රාජ්‍යය ආරම්භයේ සිට ම බෞද්ධ ධර්ම රාජ්‍යයකි. ලංකාවේ රාජ්‍ය පාලනය සහ භික්ෂුව කිසිසේත් ම වෙන් කළ නොහැකි ය. ලංකාවේ කොහේ හෑරුවත් හමුවන්නේ ඉපැරණි වෙහෙර විහාර නටබුන් ය. ලංකාව නමැති රාජ්‍යය නිර්මාණය කිරීමේ පරමාර්ථය වන්නේ බුද්ධ ධර්මය ආරක්ෂා කිරීම සහ ආරක්ෂා කිරීම පමණී. මාගේ ශාසනය ලක්දිව්හි පිහිටන බවට බුදුන් වහන්සේ කළා ය කියන මහාවංශ ප්‍රකාශයේ කියැවෙන්නේ එම දේශපාලන පරමාර්ථය යි. මහා මහේන්ද්‍ර රහතන් වහන්සේ ලක්දිවට වැඩම කරන්නේ එදා විජයගෙන් ඇරඹි එම ව්‍යාපෘතියේ ම දිගුවක් ලෙසට ය. එදා පටන් ගැමුණු පැරකුම් නරනිඳුවන්ගේ සිට මහින්ද ගෝඨාභය ජනපතිවරුන් දක්වා ක්‍රියාත්මක වූයේ එම පරමාර්ථය ම ය.

මිහිඳු මහා රහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජු ඉදිරියේ දණින් වැටුණා ද? කඳුළු සැලුවා ද? කිසිවක් ඉල්ලුවා ද? නැත. වෙනකක් තබා මහා රජුට කතා කළේ “තිස්ස” යනුවෙන් නමිනි. එයින් පෙන්වන්නේ එම භික්ෂුවගේ තේජස නොවේ ද? බලය නොවේ ද? අද භික්ෂූන් මෙන් රජුන් සමග ඕනෑවට වඩා අල්ලාප සල්ලාපයට මිහිඳු හිමියන් ගොස් නැත. කථා කර ඇත්තේ සුදුසු දෙස සහ අත්‍යවශ්‍ය දෙය පමණී. බුදු රජාණන් වහන්සේ විසින් පැනවූ විනය ශික්ෂා ඒ අයුරින්ම රකිමින් බෞද්ධ භික්ෂුව යනු මෙවැන්නෙක් ය යන ආදර්ශය එදා රජුට සහ වැසියන්ට උන්වහන්සේ දී තිබේ. රජුගේ සහ වැසියන්ගේ පූජනීය ගෞරවය ලැබෙන්නේ එවිට ය. නැතුව වලවාහැංගුණවැවේ භික්ෂුව මෙන් බාල ලෙස හැසිරීමෙන් නොවේ. බෞද්ධ භික්ෂුව යනු ව්‍යක්ත ප්‍රතිබල පුරුෂයෙකි.

මෑතක සිට ඇතැම් භික්ෂූන් දේශපාලකයන්ගේ අත් අල්ලාගෙන බදාගෙන ඇවිදින පුරුද්දක් තිබේ. එය දකින අපට පෙනෙන්නේ නාඹර වියේ කොල්ලෙක් සහ කෙල්ලෙක් ප්‍රේමයෙන් වෙළී අත් අල්ලාගෙන ඇවිදින්නාක් මෙනි. එය බෞද්ධ භික්ෂුවකට තරම් නොවේ. දේශපාලකයන් ද එවැනි හැසිරීම් ප්‍රතික්ෂේප කිරීමට පරිණත විය යුතු ය. භික්ෂුවට ගෞරව කළ යුත්තේ නිසි තැන තබා මිස අතේ බඩේ පැටලී නොවේ. ඒවා බොරු රඟපෑම් ය.

අර තරම් පරුෂ වචනයෙන් බැන වැදුණු වලවාහැංගුණවැවේ භික්ෂුව දැන් අනුරගේ අත් අල්ලාගෙන කරන්නේ බොරු රඟපෑමක් බව ඕනෑම අයෙකුට පෙනේ. අනුර පවා එය දනී. ධම්මරතන උදේ ගැට ගැසූ පිරිත් නූල එදා හවස ම කපා දැමුවේ ඒ නිසා ය. එය නිවැරදි ය. එම භික්ෂුවගේ අලජ්ජී නිවටකම තමා විනිවිද දකින බව අනුර විසින් පෙන්වනු ලැබීම හොඳ දෙයකි.

 



භික්ෂුවක් යනු ධර්මය යම් පමණකට හෝ උගත් අයෙකි. සාමාන්‍ය මනුෂ්‍යයන්ට වඩා තරමක් හෝ ලෝකය පිළිබඳව යථා අවබෝධයක් ඇති අයෙකි. මේ දුක් සහිත පෙරළෙන ලෝකයේ තමාට පෙරහැරක් කරගන්න බැහැ කියා කැමරා ඉස්සරහා හඬන්නේ භික්ෂුවක් නොවේ. මෝහයෙන් මුලා වූ බාලයෙකි. එය මිහිඳු මාහිමියන් විසින් ස්ථාපිත කළ ලක්දිව සංඝ පරම්පරාවට ම කරන අපහාසයකි. භික්ෂුව සිල්වත් විය යුතුය. ශ්‍රී සද්ධර්මය ම දේශනා කළ යුතු ය. වැසියන් මෙන් ම රජවරුන් ද පැහැදෙන්නේ එවිට ය. එවිට කිසිවක් ඉල්විය යුතු නැත. අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට ලැබෙනු ඇත. එසේ නොලැබෙන්නේ මිසදුටු පාපිෂ්ට අධමයන්ට ය. සිල්වත් ගුණවත් නැණවත් භික්ෂූන් වහන්සේලා ද අද බිහිවෙමින් තිබේ. පිදිය යුතු උන්වහන්සේලාට අපගේ නොමද ගෞරව නමස්කාරය පිරිනමමු. ධර්මය අපට මග වේවා!

ජනතාවාදයේ මධුසමය - (එරන්ද ගිනිගේ)(සටහන |එරන්ද ගිනිගේ)

BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.

සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක

උපුටා ගැනීම : ගිනිහුළ
2025 ජූනි 11
eranda.ginige@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...