මා අසා ඇති ආකාරයට ජවිපෙ තුළ පවා ඔහුට සිය පැවැත්ම පහසු වී නැත. නමුත් කෙසේ හෝ ඔහු ඒ සෑම අවස්ථාවක් ම අවසානයේ නොනැසී බේරුණේ ය. ජවිපෙ නායකයා වීමටත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ මන්ත්‍රීවරයෙකු ලෙස වසර 25 ක් රැඳී සිටීමටත්, මාලිමාවේ නායකයා වීමටත්, අවසානයේ රටේ ජනාධිපතිවරයා වීමටත් ඔහුට හැකි වන්නේ ඒ පරිණාමීය බලය නිසා ය.

අනුරට ඕනෑම අවස්ථාවකට ගැලපෙන ආකාරයට අනුවර්තනය විය හැකි ය. උදාහරණයක් ලෙස කාලයක් මෙරට බෞද්ධ සංස්ථාවට එරෙහිව කථා කළ අනුර දැන් හැසිරෙන්නේ සැදැහැවත් බෞද්ධයෙකු විලසිණි. එකල ඔහු සිටියේ ජවිපෙ නමැති ආගම් විරෝධී පරිසරය තුළ ය. එතුළ නොනැසී බේරෙන්නට නම් ඔහු බෞද්ධ විරෝධී ලෙස හැසිරිය යුතු ය. දැන් ඔහු ජනපති ය. දැන් ඔහුට නොනැසී බේරෙන්නට නම් ඔහු බෞද්ධ නායකයෙකු ලෙස හැසිරිය යුතු ය. පන්සලට ගිය විට පිරිත් නූල ගැට ගසා ගන්නා අනුර පන්සලෙන් පිට වූ පසු එය කපා දමයි. පන්සල තුළ ඔහු බෞද්ධයෙකු ලෙස පෙනී සිටියි. ඉන් පිටත ඔහු එලෙස පෙනී නොසිටියි. මේ ආකාරයට වේගයෙන් වෙනස් වීමට බොහෝ අයට නොහැකි ය.
අනුර කාලයක් මෙරට සහල් මාෆියාවට එරෙහිව කථා කළේ ය. දැන් ඔහු සහල් මාෆියාවේ සුරතලා ය. අනුර කාලයක් විදුලි මාෆියාවට එරෙහිව පෙනී සිටියේ ය. දැන් ඔහු එහි අනුග්‍රාහකයා ය. අනුර කාලයක් ත්‍රස්ත විරෝධී පනතට විරුද්ධව සටන් කළේ ය. දැන් ඔහු එම පනත බෙහෙවින් ප්‍රයෝජනයට ගනී. අනුර කාලයක් රාජ්‍ය දේපල පුද්ගලීකරණයට එරෙහි විය. දැන් ඔහු ගෙඩිය පිටින් රාජ්‍ය දේපල විකුණා දමයි. අනුර කාලයක් IMF එකට විරුද්ධව සිටියේ ය. දැන් ඔහු IMF එකේ නිල් ඇස් ඇති කොලුවා ය. කීර්ති ශ්‍රී අබේසිංහ කී ආකාරයට IMF සුද්දන් අනුරට කියන්නේ “බ්‍රාවෝ” කියා ය. කාලයක් අනුර කාඩිනල් ඉල්ලන හැම දෙයකට ම එකඟ විය. දැන් ඔහු කාඩිනල්ව සත පහකට ගණන් ගන්නේ නැත. නැවත පාස්කු ප්‍රහාරය පිළිබඳව සමාජයේ කතිකාවක් ඇති වුණොත් අනුර නැවතත් කාඩිනල් කියන දෙයට එකඟ වනු ඇත. එය යටපත් වන විට නැවත අමතක කරනු ඇත. මේ ආකාරයට අනුරගේ තව බොහෝ ආවස්ථික වෙනස්වීම් හඳුනා ගත හැකි ය.

මෙම හැකියාව මෙරට වෙනත් කිසිදු ජන සම්මත ජනපතිවරයෙකුට තිබුණේ නැත. වේගයෙන් වෙනස් වන තත්ත්වයන්ට ඒ වේගයෙන් ම වෙනස් වීමට නම් එම පුද්ගලයාට සදාචාරය පිළිබඳ හැඟීමක් තිබිය නොහැකි ය. මූලධර්ම සහ ප්‍රතිපත්ති වැනි දෑ තිබිය නොහැකි ය. එවැන්නෙකු බලන්නේ මේ මොහොතේ, මේ අවස්ථාවේ තමා ඉදිරියේ ඇති අභියෝගයෙන් නොනැසී බේරෙන්නේ කෙසේද කියා පමණී. ඒ අනුව සිය බාහිර සහ අභ්‍යන්තර රූපය වහාම වෙනස් කර ගැනීමට අනුර කුමාරට මහා පුදුම හැකියාවක් තිබේ. හැරෙන හැරෙන පැත්තට බොරු කීම අප විවේචනය කළත් එය අනුරට අතිශය වැදගත් පරිණාමීය අවියකි.

පරිණාමීය අර්ථයෙන් නායකයෙකු වීම සඳහා අවශ්‍ය ලක්ෂණ කිසිවක් අනුරට නැත. ඔහුට ආරෝහපරිණාහ දේහයක් නැත. ශක්ති සම්පන්න නැත. ආකර්ශනීය මුහුණක් නැත. විෂයානුබද්ධ දැනුමක් නැත. බුද්ධිමය විභවයක් නැත. නමුත් ඔහුට ඒ සියල්ලටම වඩා පරිණාමීයව වැදගත් “නොනැසී බේරීමේ” හැකියාව ඇත. වැඩිපුර ඇහැට කණට පෙනෙන එකා සමහර විට පහසුවෙන් සහ පළමුවෙන් ගොදුරක් බවට පත් වේ. මිටියට කැතට ඉන්න එකා වැඩිය ඉලක්ක වෙන්නේ නැත. ඒ නිසා ඇතැමුන් විහිළුවට ගත්තත් අනුරගේ මිටි බව ඔහුට ආශීර්වාදයකි. අනෙක් සියලු ප්‍රතිවාදීන් නැසී ගිය පසු ඉතිරි වන්නේ තමන් පමණක් බව අනුර දනී. එබැවින් කළ යුත්තේ “කෙසේ හෝ” නොනැසී සිටීම ය. දිස් ඉස් පොලිටික්ස්.
(සටහන |එරන්ද ගිනිගේ)
BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
උපුටා ගැනීම : ගිනිහුළ
2025 ජූනි 13
eranda.ginige@gmail.com



