The Leader News
BREAKING
Top Ad
Opinion

නසසප තෙල් සල්ලි ගැනීම ගැන ලයනල් බෝපගේ (හිටපු) සහෝදරයාට විවෘත ලිපියක් | ඥානසිරි කොත්තිගොඩ

T

The Leader Desk

July 4, 2025 • 6:21 AM

නසසප තෙල් සල්ලි ගැනීම ගැන ලයනල් බෝපගේ (හිටපු) සහෝදරයාට විවෘත ලිපියක් | ඥානසිරි කොත්තිගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත් අඩංගුවේදී තමයි වාස් තිලකරත්න ඔය පාපොච්චාරණය කරලා තියෙන්නේ.
  • වඩාත්ම හේතුව වුණේ බාහු ඉරාක මුදල් ගත්තා කියන්නා වූ 80 දශකයේ අපට හොරා නායකයන්ට මොනවත් කරන්න බැරි කාලයක්.
  • එහෙම තිබියදීත් අපි නොදන්නා ඒත් බෝපගේ දන්නා මේ අබිරහස හෙළිදරව් කරගැනීමට පහත සඳහන් ප්‍රශ්න කීපයට පිළීතුරක් දෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටිනවා.
  • (1) ලයනල් බෝපගේ වන ඔබේ නම සඳහන් කරමින් උවිඳු කුරුකුලසූරිය ලියා ඇති බාහු සම්බන්ධ චෝදනාව සත්‍යද?
අකුරු ප්‍රමාණය (Font Size):

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත් අඩංගුවේදී තමයි වාස් තිලකරත්න ඔය පාපොච්චාරණය කරලා තියෙන්නේ. නමුත් දේශපාලන ලෝකයේ ඉරාක මුදල් කතාව ඊට පෙර සිටම ප්‍රසිද්ධ රහසක්.

ඒ කාලේ සමාජ මාධ්‍ය නොතිබුණු නිසා අද වගේ ක්ෂණයෙන් ඒවා ලොව පුරා ප්‍රචාරය වුණේ නැහැ. මාක්ස්වාදීන්ට අනුවනම් ජවිපෙ වැනි බලවේගයක් එවැනි මුදල් ගැනීමක් ප්‍රතික්ෂේප කරානම් තමයි ප්‍රශ්නයක් මතුවෙන්නේ. ඉරාකයේ සදාම් හුසේන් ඒ කාලයේ හිටියේ ඇමරිකාව එක්ක කියන එකත් අපි මතක තියා ගන්න ඕන. ඉරානය හිටියේ මොස්කව් කඳවුරේ.

WhatsApp Image 2025 07 04 at 11.30.43 AM

ජවිපෙ මුදල් ගත්ත කතාවට කුරුකුලසූරිය තවත් පක්ෂ කීපයක් අලුතෙන් සම්බන්ධ කරනවා. ඒ පක්ෂ අතරේ නව සම සමාජ පක්ෂයත් (නසසප) ඉන්නවා. මේ කතාව කුරුකුලසූරිය ලිව්වා නම්, කිව්වා නම් අපි ගණන් ගන්නේම නැහැ. මොකද ලංකා සම සමාජ පක්ෂයට (ලසසප) , බැටී වීරකෝන් අන්කල්ලාට පෙම් බඳින කවුරු කවුරුත් බාහු එක්ක, නසසප එක්ක මාරාන්තික වෛරයි. පුරවාගත නොහැකි ඇරියස්. නමුත් බාහුට ඉරාක මුදල් දුන්නා කියලා කුරුකුලසූරියට කියලා තිබෙන්නේ ජවිපෙ හිටපු මහලේකම් ලයනල් බෝපගේ.

bopage

 

ලයනල් බෝපගේ විවිධ අවස්ථාවල නසසප කාර්යාලයට ඇවිත් ඉන්නවා මම දැකලා තිබෙනවා. බාහු එක්ක හා පක්ෂයේ අනෙක් අය එක්ක සුහද කතාබහේ යෙදිලා හිටියත් මම නම් ඔහු එක්ක එහෙම පයුරුපාසානම් පවත්වන්න ගිහින් නැහැ. ඒත් පක්ෂයේ වැඩවලට මුදලින් ආධාර කළා කියලත් මම දන්නවා. එවන් වූ කිසිම වෙලාවක ඔහු අපේ සාමාජිකයකුට, පාක්ෂිකයකුට හෝ අපේ හිතවතකුට හෝ මෙවැන්නක් කියා නැහැ. මෙහෙම කතාවක් මමත් අහපු පළමු අවස්ථාව මේක. ඒනිසා බෝපගේ ගෙන් මේගැන විමසා බලන්න ඕන කියලා හිතුනා.

වඩාත්ම හේතුව වුණේ බාහු ඉරාක මුදල් ගත්තා කියන්නා වූ 80 දශකයේ අපට හොරා නායකයන්ට මොනවත් කරන්න බැරි කාලයක්. ඒත් නායකයන්ට හොරෙන් අපට නම් ඕන දෙයක් කරන්න පුලුවන්කම තිබුණා. එහෙම තිබියදීත් අපි නොදන්නා ඒත් බෝපගේ දන්නා මේ අබිරහස හෙළිදරව් කරගැනීමට පහත සඳහන් ප්‍රශ්න කීපයට පිළීතුරක් දෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටිනවා.

 

1652242058032 01 1536x889
(1) ලයනල් බෝපගේ වන ඔබේ නම සඳහන් කරමින් උවිඳු කුරුකුලසූරිය ලියා ඇති බාහු සම්බන්ධ චෝදනාව සත්‍යද? අසත්‍යද?

(2)  නසසප බාහුට ඉරාක රජයෙන් මුදල් දුන්නා යැයි ඔබ කුරුකුලසූරියට කීවාද? නැද්ද?

(3) ඔබ එවැන්නක් කීවානම් එය ඔප්පු කිරීමට ඔබ සතුව තිබෙන සාක්කි මොනවාද? ඉදිරිපත් කරන්න.

බාහුගේ මුදල් ප්‍රශ්නය බෝපගේ ගෙන් මෙලෙසින් විමසන්න ප්‍රධාන කරුණු 2 ක් බලපෑවා. එකක් තමයි බාහු මේවනවිට ජීවතුන් අතර නැහැ. ඔහු ජීවත්ව සිටියදී කිසිම දිනක මුල්‍ය වංචා චෝදනාවක් එල්ල වෙලාත් නැහැ. කුරුකුලසූරියලා වගේ දෙතුන් දෙනෙක් හැර අනෙක් ඕනෑම ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂයක කෙනෙක් වුනත් ඒගැන සාක්කි කියයි. කොටින්ගෙන් සල්ලි ගත්තා, පිටරටින් ඩොලර් ලැබෙනවා කිව්වාට එහෙම කියපු ජාතිවාදීන් පවා දන්නවා ඒක මඩයක් කියලා.

බෝපගේට මෙලෙස අභියෝග කරන්නේ නසසයට මුදල් ආධාර ගැනීමේ ප්‍රතිපත්තියක් තිබෙන නිසා. ධනපතියන් වූවත් පුද්ගලිකව ආධාර කරන්නේ නම් එය ගැනීම පිළිබඳව නසපයට කිසිදු කිල්ලක් නැහැ. විශේෂයෙන් මැයි දිනයට, පක්ෂ සංවත්සරයට ටිකට් එකක් ගහලා රටපුරාම මුදල් එකතු කරනවා. 4 වැනි හරස් වීදියේ මුදලාලිලාගේ සිට රත්නපුරේ මැණික් මුදලාලිලා දක්වා මුදල් ආධාර ගන්නවා.

 

Mahinda 1988
මහින්ද රාජපක්ෂ විරුද්ධ පක්ෂ නායකයා වෙලා ඉන්න කාලයේ "හරය' පත්තරේට මුදල් ආධා‍රයක් දුන්නාම අපි ගත්තා. හැබැයි ඔහු ජවිපෙ එක්ක සෙට් වෙලා ජාතිවාදී ගමනක් ආරම්භ කළාම සියළුම සබඳතා අත් හැරියා.

මැයි දින සැරසිලිවලට නවලෝක මුදලාලි හැම පක්ෂයකටම වාගේ පොලිතීන් දෙනවා. නමුත් නසසපයට පොලිතින් දෙන එක වික්ටර් අයිවන්ගේ "රාවය" පත්තරේටත් මුල් පිටුවේ යන ප්‍රවෘත්තියක් වුණා. ලියපු ඇත්තගේ/ ඇත්තිගේ නමක් තිබුණු වගක් මතක නැති නිසා ඒක ලිව්වේ එවක ඒ පත්තරේ වැඩ කරපු කුරුකුලසුරියද කියලා ටක්කෙටම කියන්න බෑ. ගුරා හිටගෙන කරන කොට ගෝලයෝ දුව දුව කරනවා කියලනේ කියන්නේ.

නසසප මෙහෙම පුද්ගලයන්ගෙන් මුදල් ආධාර ගත්තාට ආණ්ඩුවකින්, රාජ්‍යයකින්, හතුරු දේශපාලන සංවිධානයකින් මුදල් ආධාර නොගැනීමේ ප්‍රතිපත්තියක පිහිටා වැඩකළ පක්ෂයක්. එනිසාමයි බාහු එකී ප්‍රතිපත්තිය කඩා බිඳ දමා වැඩ කළාද කියන එක ලයනල් බෝපගේගෙන් අහන්නේ.

ජීවත්ව සිටියදී නොකර තිබූ චෝදනාවක් ඒ පුද්ගලයා මියගිය පසු නොකරන සම්ප්‍රදායක් ශිෂ්ඨ සම්පන්න මිනිසුන් අතර තිබෙනවා. කේළමක් ලෙස හෝ එහෙම ලියන්නේ නැහැ. මොකද මියගිය එවුන්ට ඒවාට උත්තර දෙන්න බැරි නිසා. ජීවතුන් අතර නැතත් කෙනෙක් ජීවත්ව සිටියදී කරපු ලිඛිත හෝ වාචික ප්‍රකාශයක් නැතිනම් දේශපාලන තීන්දුවක් අරභයා අපට ඕනෑම කාලයක ඕනෑම විවේචනයක්, ඕනෑම සාකච්ඡාවක් කරන්න පුළුවන්.

cw45g4

ශිෂ්ඨ සම්පන්නයන් ඒ විදියට වැඩ කළත් වැදි බණ දෙසන අශිෂ්ඨයන්ට ඒ රීති සම්ප්‍රදායන් අදාලම නෑ. ඌරන්ට මොන සෞඛ්‍යද ඇහුවලු. අනෙකාගේ කිරිපල්ල අතගගා ඔහොම ඉන්නකොට "මචං, උඹ" කියන ලෙවල් එකේ හැතැප්ම දාස් ගණන් දුරට මුංකැවිලි ගෙනත් දෙන රජෙක් ලැබුණාම වදුරන්ට දැලි පිහිය අහුවුනා වගේ තමයි. නඩුහබවල පැටලේවිද, කෙනෙක් චෝදනාවක් කළත් චෝදනාවන්ට ලක්වන්නාගෙන් හෝ ඔහුට සමීප පාර්ශවයකින් හෝ ඒවා තහවුරු කරගෙන නේද ලියන්න, කියන්න ඕන කියන ඒවා නතිං. අන්දෝ සංසාරයක් නෑ. රජාට ප්‍රශස්ති ගැයීමේ, රජාගේ ප්‍රතිරූපය ගොඩනැගීමේ තරගයේ, "ළදරු සෝවියට් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ" වීරයා වීමේ තරගයේ හැල්මේ දුවනවා.

ඒ හඩ්සන්ලා වෙනුවට මේ හඩ්සන්ලා. පෙර දින ඒ හඩ්සන්ලාගේ ජනමාධ්‍ය භාවිතාවන් විවේචනය කරමින් මේ හඩ්සන්ලා රටවටා යමින් "මහජන සේවා ජනමාධ්‍ය" කියලා එකක් ඉගැන්නුවේ නිකං නොවේ.

ආර් ප්‍රේමදාසගේ සිට අනුර කුමාර දිසානායක දක්වා…
දැන් මේ වසර 40 ක් විතර පැරණි පාපොච්චාරණයක් උස්සාගෙන දුවන්නෙත් අනුර කුමාර ජනාධිපතිගේ ප්‍රතිරූපය ගොඬනැගීමේ හඩ්සන් කොන්ත්‍රාත්තුවක් නේ. ඒක හැබැයි රජාට ආදරේ වැඩිකමට මැස්සාට කඩුවෙන් කෙටුවා වගෙ වැඩක්. පසුගිය මැයි දිනයේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කිව්වා අපට දැන් එළියෙන් අභියෝගයක් නෑ. අපට අභියෝගය තිබෙන්නේ ඇතුළෙන්මයි කියලා. මේ ඇතුළේ අභියෝගය මොකක්ද කියලා මීට කලින් මම පෙන්වා දුන්නා. දිසානායක ජනාධිපතිවරයා අද ගෙනියන නව ලිබරල්වාදී දේශපාලන, ආර්ථික වැඩ පිළිවෙල නිසා ඔවුන්ගේ දේශපාලන කේඩරය අර්බූදයට ගිහින් තිබෙන්නේ.    

ව්‍යාජ වමෙන් ආ ජවිපෙ නායකයා ජනාධිපති වෙලා තවත් දකුණට ගමන් කළා. මාස 06 ක් යද්දී දකුණට කැපූ වේගය කොතරම්ද කියනවානම් ජනාධිපතිවරයාම කියන විදියට අද විපක්ෂය කියන්නේ සුන්බුන් ගොඩක්. දකුණට යනඑන මං නැතිවෙලා ඉන්නේ. මොකද දකුණේ දේශපාලන, ආර්ථික න්‍යාය පත්‍රය කිසිදු අඩුවකින් තොරව මාලිමා ආණ්ඩුව හොඳට කරගෙන යනවා. ශ්‍රී ලංකාවේ ආයෝජනයට තියෙන ඉඩකඩ විපරම් කරලා බලන්න ඉන්දීය කොම්පැනි කාරයන් රොත්තක් මේ ලියන දවස්වල රටේ කරක් ගහනවා. මේ කොපැණිකාරයන් ආණ්ඩුව තොරොම්බල් කරන විදිය තමයි ඒකට තියෙන ආසන්නම උදාහරණය.

WhatsApp Image 2025 07 04 at 7.00.46 AM
මාලිමාව එහෙම වුනත් ජවිපෙ කේඩරය ගොඩනැගුවේ රතු කමිස හා රතු හැට්ටකාර දේශපාලනයක් මුල් කරගෙන. ඒක අද ක්‍රියාතමක කරන මාලිමාවේ නව ලිබරල්වාදයට විරුද්ධයි. ධනපති ක්‍රමයට විකල්පව "සමාජවාදය", "මව්බිමට නිදහස නැතිනම් මරණය", “දණින් වැටී ජීවත්වනවාට වඩා දෙපයින් සිට මියයාම උතුම්ය", “අධිරාජ්‍යවාදයට විනාසය, මව්බිමට විමුක්තිය" වගේ සටන් පාඨ වලින් තමයි 88 - 89 කාලේ ජවිපෙ කේඩරයේ ලේ රත් කළේ.

ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක, ශාන්ත බණ්ඩාර වැනි ප්‍රමුඛ පෙළේ නායකයන් ආරක්ෂක අංශවල අනේකවිද වදවේදනාවන්ට ලක්වුවත් පාවා නොදී අවසන් හුස්ම පොද හෙළුවා. අවසන් හුස්ම පොද වාතලයට එක්කළේ සමාජවාදී සිහිනය තුරුළු කරගෙන කියලා තමයි අනුරකුමාරලා, ටිල්වින්ලා, ලාල්කාන්තලා ආණ්ඩු බලය ගන්නට පෙර කළ සැමරුම් උත්සව වලදී දෑස් තෙත් කරමින් කිව්වේ.

 

ජාජබ vs ජවිපෙ - (එරන්ද ගිනිගේ)

1993 වෙද්දී නැවත ජවිපෙ ගොඩ නගන්නෙත්, වර්තමාන නායකයන් පක්ෂ නිලතලවලට පත්වෙන්නෙත් එලෙසින් මරා දැමූ නායකයන්ගේ හා තවත් මරා දැමූ 40,000 කගේ පමණ  ආත්මය මතින්. එසේ සිදු වෙන්න විශේෂයෙන්ම බලපෑ හේතුව වුණේ ටිල්වින් සිල්වාගේ හැර අනෙක් වර්තමාන නායකයන්ගේ නම්ගම් 88 - 89 වකවානුවේ නොකියවෙන නිසයි. ඕනෑම දුෂ්කර මොහොතකට මුහුණ දෙන්න ජවිපෙට 4% ක් හිටියේ මේ මරා දැමූවන්ගේ ඥාති මිත්‍රාදීන්. නමුත් අද ඒ රතුපාට රෝස වෙලා, සමාජවාදය නව ලිබරල්වාදය වෙලා. එමනිසා "යාදෙක නොරත රත සමඟ පෑහීමක් නැත" කිව්වා වාගේ රතු එක්ක රෝස පාහන්න බැරිවෙලා.

කරන්න බැරි වුණත් ලේන් අම්මා කෙනෙක් දරුවා බේරාගන්න වල්ගේ තෙමාගෙන මහසයුර හිස් කරන්න වීරිය කළාලු. අන්න ඒ වාගේ මේ කළ නොහැකි පෑහීම පාස්සන්න මහාචාර්ය නිර්මාල් දේවසිරිත් අත්නොහරින උත්සාහයක් ගන්නවා. ඒ ජවය ලැබෙන්නේ කොහෙන්ද කියලා දැන්ම කියන්න අමාරුයි. ඔහු ඒ උත්සාහය ගන්නේ බොහොම නම්‍යශීලීව, යම් විනයකට යටත්ව කියලයි පෙනෙන්නේ. සුනිල් හඳුන්නෙත්ති ඇමැතිවරයා ජාත්‍යන්තර ආර්ථික සමුළුවකදී කළ ඉංග්‍රීසි කතාවක් වෙනුවෙන් නම් මහාචාර්යවරයා මේ ළගකදී ටිකක් සැරෙන් දොස් කියලා තිබුණා.

නමුත් ලිබරල් අනුරට ජවිපෙ කේඩරය පූට්ටු කිරීම සඳහා කුරුකුලසූරියගේ උපාය කුමක්ද? වාස් උපුටා දක්වමින් කුරුකුලසූරිය පෙන්වා දෙන්නේ උඹලා පූජනීයත්වයෙන් අදහන ඔය විජේවීර, ගමනායක, ශාන්ත බණ්ඩාර, සෝමවංශ අමරසිංහ, දයා වන්නි ආරච්චි වාගේ පැරණි නායකයන් බොරුකාර, වංචාකාරී, උඹලාව විකුණාගෙන කාපු මඩ ගොහොරුවක ළැගපු තක්කඩි රැළක් කියලා.

එබඳු මඩ ගොහොරුවකින් ඉහළට එසැවී සුපිපි නිර්මල, නිකැළැල් අරවින්ද ය - "ඒත් ඉතිං අනුරවාදය වෙනස්නෙ" - කියලා තමයි වික්‍රමබාහු කරුණාරත්නවත් මඩගොහොරුවට තල්ලු කරමින් උවිඳු කුරුකුලසූරිය තමන්ගේ කොන්ත්‍රාත්තුව අවසන් කරන්නේ.

බාහු ගැන කර ඇති නව සොයා ගැනීම ගැන කුරුකුලසූරියානන්ට කෙටියෙන් කියන්න තියෙන්නේ ප්‍රෙඩී සිල්වා ගේ "පාන්කිරිත්තා ගීතයෙන්" කළු කෑදැත්තාට දීපු උපදේශය තමයි. රඟන තරමට චරිතයක් වෙනවා නම් මොණරා ඉන්දදී වළි කුකුලා ජාතික පක්ෂියා වෙන්නේ නැහැනේ.

මහින්දත්, රනිලුත් එකඟනම් යුක්තිය මඟහැර යන තවත් කොමිසන් මක්කටෙයි -(ඥානසිරි  කොත්තිගොඩ)(සටහන | ඥානසිරි කොත්තිගොඩ)
BBC සිංහල සේවයේ හිටපු මාධ්‍යවේදී
(නිදහස් ලේඛක)
koththigoda@gmail.com

සබැඳි ලිපියක් :

ජවිපෙට ලැබුණ ඉරාක සල්ලි: ඉරාකය-ඉරානය-ඊශ්‍රයලය සහ විජේවීර ජවිපෙ හා අනුරගේ ජවිපෙ | Uvindu Kurukulasuriya


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...