තේරී පත් වූ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කළ අශෝක රන්වල ( අසෝක සපුමල් රන්වල ) මහතාගේ නම ගරු අග්‍රාමාත්‍යතුමිය වූ ආචාර්ය හරිණි අමරසූරිය මෙනවිය විසින් ම යෝජනා කරනු ලැබුවේ ආචාර්ය අසෝක රන්වල යන නාමය භාවිත කරමින් ය.
ආණ්ඩුවේ විනිවිද භාවය සහ පාරිශුද්ධත්වය...?
මෙම යෝජනාව ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු විජිත හේරත් මහතා විසින් ස්ථීර කරනු ලැබූ අතර ඒ අනුව වෙනත් කිසිදු කථානායක පදවි අපේක්ෂකයෙකුගේ නමක් යෝජනා නොවී නිතරගයෙන්ම ශ්‍රී ලංකාවේ 22වන කථානායකවරයා ලෙස සිය අසුනේ වැඩ භාර ගැනීමට අශෝක රන්වල මහතා කටයුතු කළේ ය.


ඒ අනුව එතුමාගේ කතානායක ධුරය සහ ආචාර්ය පදවිය තහවුරු කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් එහි වැඩ බලන ව්‍යවස්ථාදායක සේවා /අධ්‍යක්ෂ සන්නිවේදන තනතුර හෙබවූ එම්. ජයලත් පෙරේරා යන අයගේ අත්සනින් යුතුව නිල වශයෙන් ලිඛිත මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රසිද්ධ කිරීමට ද කටයුතු කරන ලදි.
කෙසේ වුවත් දින කිහිපයක් යන්නටත් මත්තෙන් අභිනව කථානායකවරයාගේ ආචාර්ය පදවිය සත්‍යයක්ද ? අසත්‍යක්ද යන්න පිළිබඳ සමාජ මාධ්‍ය තුළත්, ජාතික මාධ්‍ය තුළත් විවිධාකාරයෙන් විශාල අවධානයකට ලක් වූ අතර මේ නිසා මහජනතාව තුළ ද හට ගත්තේ දැඩි කුතුහලයකි. එමෙන්ම ආණ්ඩුවේ විනිවිද භාවය සහ පාරිශුද්ධත්වය පිළිබඳව ද ජනතාව ඉදිරියේ අභියෝගයට ලක්වූ මුල් ම අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.
ජනතාවට, සැබෑ තොරතුරු දැනගැනීමේ අයිතිය අහිමි වීම

මින් අනතුරුව සමාජය තුළ ඇති වූ කතා බහ අනුව සහ සිය අධ්‍යාපනික මට්ටම පිළිබඳ සත්‍යතාවය සාක්ෂි සහිතව ඔප්පු කිරීමට එම අවස්ථාව වන විට රන්වල මහතාට නොහැකි තත්ත්වයක් උදාවී තිබූ බැවින් ඔහු විසින් සිය කැමැත්තෙන් ම පාර්ලිමේන්තුව වෙත ලිපියක් නිකුත් කරමින් කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කළේ ය. එමෙන්ම ඒ අතරතුර පාර්ලිමේන්තු විසින් කථානායක ධුරය තහවුරු කරමින් නිකුත් කරන ලද ආචාර්ය අශෝක රන්වල ලෙස හැඳින්වූ පූර්ව ලිපිය ද පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ඉවත් කර ගැනීමට කටයුතු යොදා තිබිණි.
එතැන් සිට මේ වනතුරුත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් නිශ්චිතවම සිදු වූයේ කුමක් ද, එම ආචාර්ය උපාධියේ සැබෑ තත්ත්වය කුමක් ද, ආචාර්ය උපාධි අසත්‍යයක් නම් එසේ නෛතික පිළිගැනීමක් සහිතව ඒ පාර්ලිමේන්තු විසින් පිළිගැනීමට ලක් කළේ ඇයි ද? යනා කාරණා කිසිවකට රජය සාර්ථක පිළිතුරු ලබාදී නැත. මේ හේතුව නිසා ජනතාව විසින් පත් කරගන්නා ලද මහජන නියෝජිතයන්ගේ අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් පිළිබඳ සැබෑ තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවට අහිමි වී තිබේ.
අහම්බෙන් ලද ජයග්‍රහණය
මේ උද්ගත වූ තත්ත්වය තුළ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ RTI සංසදයේ සාමාජිකයකු ලෙසින් උක්ත ගැටලු ඇතිවූ දෙසැම්බර් මාසයේ දී ම පාර්ලිමේන්තුවට තොරතුරු දැන ගැනීමේ අයදුම් පත්‍රයක් යොමු කළ අතර එයින් විමසා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සැබෑ අධ්‍යාපනය සහ වෘත්තීය සුදුසුකම් පිළිබඳ තොරතුරු ය. නමුත් මෙම තොරතුරු පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය වූ The Parliament of Sri Lanka තුළ ප්‍රසිද්ධ කර ඇති බවට වූ පිළිතුරු ලබා දෙමින් ඉන් ඔබ්බට එම දත්ත සහ තොරතුරු පිළිබඳ තහවුරු කිරීමක් සිදු කිරීමට එහි තොරතුරු නිලධාරී හෝ නම් කළ නිලධාරී ක්‍රියා කර තිබුණේ නැත.

පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියේ පවතින තොරතුරුවල සත්‍ය අසත්‍යතාව සහ යාවත්කාලීන පිළිබඳ දැඩි ගැටලුවක් පැවති හෙයින් තොරතුරු ඉල්ලුම්කරු තොරතුරු ඉල්ලීමෙන් අතෘප්තියට පත්වී මේ පිළිබඳව තොරතුරු කොමිසම ඉදිරියේ අභියාචනය කළේ ය. මේ නිසා එකී අභියාචනා විමර්ශනයේ දී පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියේ පවතින තොරතුරුවල අසම්පූර්ණ සහ අවිධිමත් ස්වභාවයත්, ඒවා නිසි පරිදි යාවත්කාලීන නොකර ඇති බවත් කොමිසම ඉදිරියේ පෙන්වා දීමට තොරතුරු ඉල්ලුම්කරුට සිදුවිය.

ඉන් අනතුරුව ඉකුත් ජූනි මස මුල් සතියේ දී, අදාළ පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය තුළ වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දත්ත සහ තොරතුරු ඉදිරිපත් කරන මෙනුව නිවැරදිව යාවත්කාලීන කිරීම සිදුකර ඒ පිළිබඳව කොමිසමට තහවුරු කරමින් පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය විසින් ලිඛිතව සනාථ කිරීම නිසා මෙම විමර්ශනය අවසන් කිරීමට කොමිසම ඉදිරියේ තීරණය කෙරිණ. ඒ වන විටත් මෙම ගැටලුව සඳහා ජනතාවට තොරතුරු ලබා ගැනීමට තිබූ අවස්ථාව මාස 06කින් ප්‍රමාද වී තිබිණි නමුත් තොරතුරු පනතේ ඇති ශක්තිමත් භාවය හේතුවෙන් පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමට හෝ හැකිවීම එක්තරා ජයග්‍රහණයකි. නොඑසේ නම් එය තවත් දීර්ඝ කාලයකට යාවත්කාලීන නොවී එලෙසම පවතිනු ඇත.

තොරතුරු අනුව මතුවූ උභතෝකෝටිකය

කෙනෙකුගේ අධ්‍යාපන මට්ටම ඇතැම් විට එම තොරතුරු හෙළිකිරීමට ඔහුගේ හෝ ඇයගේ ඇති කැමැත්ත , අකමැත්ත අනුව පෞද්ගලික තොරතුරක් විය හැකි ය. නමුත් ජනතා ඡන්දයෙන් තේරි පත්වන මහජන නියෝජිතයකුගේ සැබෑ අධ්‍යාපන මට්ටම දැනගැනීමට ජනතාවට ඇති අයිතිය ඉතා සාධාරණ එකකි.
ඒ කෙසේ වෙතත් පාර්ලිමේන්තුවට පැමිණිය යුත්තේ මනා අධ්‍යාපනයක් සහ හික්මීමක් සහිත පුද්ගලයින් යැයි ජනතාවට ප්‍රකාශ කරමින්, ජන මතයට ප්‍රබල බලපෑමක් එල්ල කරමින් ඔවුන්ගේ ඡන්දය ලබා ගැනීමට දේශපාලනඥයන් ක්‍රියා කරන්නේ නම් කිසිදු පක්ෂ බේදයකින් තොරව, තම තමන්ගේ අධ්‍යාපන සහ වෘත්තීය මට්ටම් නිවැරැදිව හෙළිදරව් කිරීම, එම තනතුර දරන ඕනෑම දේශපාලඥයෙකුගේ, පක්ෂයක හෝ පත්වන ආණ්ඩුවක සැබෑ වගකීමක් වනු ඇත.

ඒ අනුව කතානායකවරයාගේ සැබෑ අධ්‍යාපන මට්ටම පිළිබඳව පොදු සමාජය තුළ ඇතිවූ කුතුහලය නිසා යොමු කළ මෙම තොරතුරු ඉල්ලීමට අදාළ නිශ්චිත කාරණයට පාර්ලිමේන්තුව විසින් ලබා දී ඇති තොරතුර වන්නේ අශෝක රන්වල මහතා විසින් පාර්ලිමේන්තුව වෙත ඔහුගේ අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් පිළිබඳ තොරතුරු ලබාදී නොමැති බවයි. ඒ අනුව එකී තොරතුරු අනාවරණය මත පදනම්ව පහත ගැටලු අප ඉදිරියේ නිර්මාණය වේ.
* තමාගේ අධ්‍යාපනා වෘත්තීය සුදුසුකම් පිළිබඳව නිවැරදි තොරතුරු අසෝක මහතා විසින් ලබා නොදුන් පසුබිමක , ඔහු ආචාර්යවරයෙකු ලෙස පාර්ලිමේන්තුව විසින් නිල වශයෙන් ප්‍රසිද්ධ කිරීමට කටයුතු කළේ කෙලෙස ද?
* පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය බඳු ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා නිල වෙබ් අඩවියක් තුළ කිසියම් දෝෂයකින් හෝ වැරදීමකින් නිල පණිවිඩයක් නිකුත් කළේ නම් එය ඉවත් කර ගැනීමට පමණක් කටයුතු සිදු කිරීම සහ ඊට නිල වශයෙන් හේතු හෝ සාධාරණ කරුණු දැක්වීමේ නිල නිවේදනයක් වෙබ් පිටුව පරිශීලකයින් සහ මහජනතාව දැනුවත් කිරීමට හෝ පාර්ලිමේන්තුව වැනි වැදගත් ආයතනයක් ක්‍රියා නොකළේ ඇයි ?
* වර්තමානයේදී අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීමෙන් පසුව ඔවුන්ගේ තොරතුරු ලබාගැනීම සඳහා නිල තොරතුරු පත්‍රිකාවක් හඳුන්වා දී ඇති අතර, එම තොරතුරු පත්‍රිකාව තුළ අදාළ පාර්ලිමේන්තු මහජන නියෝජිතයින්ගේ අධ්‍යාපන හා වෘත්තීය මට්ටම පිළිබඳ තොරතුරුද එක් රැස් කෙරේ. එසේ තොරතුරු එක්රැස් කරගන්නා අයදුම් පත්‍රයට අශෝක රන්වල මහතා විසින් තම තොරතුරු ඉදිරිපත් කර නොමැති නම්, පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලය විසින් ඒ පිළිබඳව නොසැලකිලිමත් වී ජනතාවට සත්‍ය අනාවරණය කිරීමට ප්‍රමාද කිරීම සහ එසේ විනිවිදභාවයකින් කටයුතු නොකළේ ඇයි?
යන උභතෝකෝටික අප ඉදිරියේ නිරායාසයෙන් මතුවේ.

එසේ තමා විටින් එම තොරතුරු පත්‍රයට තමාගේ අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් පිළිබඳව දැනුම් දී නොතිබියදීත් මේ ගැටලුවලට පාදක වූ අධ්‍යාපන සුදුසුකම් හිටපු කතානායක අශෝක සපුමාල් රන්වල මහතාගේ නමට ඈඳා මහජනතාවට ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව මුහුණ දීමට සිදු වූ සිදු වූ අගතිදායක තත්ත්වය සහ සිය කථානායක ධුරයෙන් පවා අනපේක්ෂිත ආකාරයට ඉවත්වීමට සිදුවීම මගින් එම මහතාගේ මූලික අයිතිවාසිකම් පාර්ලිමේන්තු නිලධාරීන්ගේ ක්‍රියාවන් අනුව කඩවී ගියේ ද යන්නත්, එසේ යම් අගතියක් සිදුවී නම් එම පාර්ලිමේන්තුවේම වර්තමානයේ දී කැබිනට් මණ්ඩලය නියෝජනය කරන අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මැතිතුමාගේ නමට ආචාර්ය නාමය ඇඳා ප්‍රසිද්ධ කිරීම නිසා මතු වූ ගැටලුවේ දී , එතුමා විසින් ඊට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ක්‍රියා කරන ලද ආකාරයට හෝ වෙනත් ආකාරයකට අශෝක සපුමල් රන්වල මහතා ක්‍රියා නොකළේ ඇයි ද යන්නත් අවධානය යොමු කළ යුතු ය.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද මෙම තොරතුරුවල ද සත්‍ය අසත්‍යතාව නිවැරදිව පරීක්ෂා කර ගැනීමට, මේවන විටත් තොරතුරු පනත අනුව තවදුරටත් ක්‍රියාකරගෙන යන අතර ජනතාවගේ තොරතුරු අයිතිය රැක ගැනීමට සහ සත්‍ය දැනගැනීමේ අයිතියට ලබා දිය හැකි උපරිම සාධාරණය ඉටු කිරීමට අප නිරන්තරයෙන් වෙහෙසෙන බව සිහිපත් කරන්නෙමු.
(සටහන | ජනක බෝකුඹුර )
නිදහස් මාධ්‍යවේදී
rbjsofficial@gmail.com



