දූෂණ වංචා, කොන්තරාත් මිනී මැරීම්, අන්තරායකර මත්ද්‍රව්‍ය වර්ග අලෙවිය , ස්ත්‍රී හා බාල වයස්කාර දැරිවියන් දූෂණය, ළමා ලිංගික අපරාධ ගැන දැන් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන්හි පවා නිතර අසන්නට, දකින්නට, කියවන්නට ලැබෙන ප්‍රවෘත්තීන් ය. නාගරික හා අර්ධ නාගරික මැදපංතියේ ඒ සමග ඇසෙන කතාවක් වන්නේ, “ළමයි හරියට හදන්නෙ නැතුව රට ගොඩ දාන්න බැහැ” යන කතාව ය.
සැබෑ ය. සියල්ල මුදලට යට කර ඇති වෙළදපල ආර්ථිකයක, මුදල් සොයන්නට දෙමාපියන්ට බල කෙරෙන සමාජයක, “ළමයි කරන්නේ මොනවද, යන්නෙ කොහෙද, ආශ්‍රය කරන්නෙ කවුද කියා” සොයා බලන්නට වෙලාවක්, අති බහුතරයක් දෙමාපියන්ට ඉතිරි වන්නේ නැත.
අද ඉපදෙන එකාගේ ඛේදවාචකය

යටත් විජිත පාලන සමයේ “ද සොයිසා” ළමා රෝහලේ 1881 දී ප්‍රාථමික වින්නඹු පුහුණුවීම් පටන් ගැණුනු පසු 40 - 50 දසකයේ වින්නඹු අම්මලා දෝතට ගත් පළමු හුස්ම හෙළු බිළි`දාත් අද මේ නව සහශ්‍රයේ දියුණු, විධිමත් විද්‍යාත්මක පුහුණුවක් ලබා දී ඇති පවුල් සෞඛ්‍ය වින්නඹු සේවිකාවක් දෝතට ගන්නා බිළි`දාත් අතර කිව හැකි වෙනසක් නැත. ඒ බිළිඳුන් දෙන්නාම, ඉපදෙන මොහොතේ පමණක් නොව, පළමු අවුරුදු දෙක තුනක කාලයේදීත් දෙමාපියන්ගේ ආර්ථික අඩුපාඩු ඇතිව හෝ නැතිව හැදී වැඩෙන්නේ, මේ සමාජයේ කිසිදු විෂමතාවක් පිරිහීමක් ගැන නොදැනය. නොදැනී ය.
එහෙත් නිදහසින් පසු පළමු අවුරුදු 30 හි සහ ඉන්පසු 1978 සිට මෙතෙක් අවුරුදු 45 ක් පමණ වන මේ දෙවන යුගයෙහි තරුණන් ලෙස හැදෙන දරුවන් දෙආකාරයක තරුණන් වන්නේ කෙසේද යන්න විමසිය යුත්තකි. ඒ මන්දැයි ඇසූ විට, ඇතැමුන් මඳක් කල්පනාකර නිහඬ වෙති. අනෙක් අය “අම්මලා හදන හැටි තමයි” කියති.
ආර්ථිකය විවෘත කිරීමට පෙර අපේ මනුෂ්‍යත්වය

නිදහසින් පසු පළමු දසක 03 හි පැවති සමාජයේ වූ වටිනාකම්, ආකල්ප හා පුද්ගල සම්බන්ධතා පොදු සමාජ පැවැත්මක් සඳහා වර්ධනය වූ සමාජීය ලක්ෂණ වූහ. ඒ පැරණි ආර්ථිකයෙහිද එනමුත් වෙළඳපල සඳහා ආනයනය කෙරිණ. ඒ වෙළඳපලෙහි වෙනස වූයේ එය රාජ්‍යවාදී සුභසාධනයක් සමග නියාමනය වීම ය. රාජ්‍යවාදී සුභසාධනය විසින් නාගරික හා ග්‍රාමීය යැයි වෙනසක් නොමැතිව සහල් සළාකය ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක් සමූපාකාර සමිති ඔස්සේ අලෙවි කෙරුණි. දෛනික අවශ්‍යතා වෙනුවෙන් සමූපාකාර එළෙස ක්‍රියාත්මකව පවත්වා ගැනීම නිසා, පොදු හැඟීමක් සමග සමාජ හවුලක් නඩත්තු වුනි.
ජනාධිපති ජයවර්ධන විවෘත ආර්ථිකය හඳුන්වා දෙන තෙක් ආර්ථික හා සමාජ විෂමතාවයන්ද රාජ්‍ය සුභසාධනය විසින් සැළකිය යුතු ආකාරයකට තුනී කර තිබූයෙන් වෙළඳපල තරගයක් නොමැති ස්ථාවර පාරිභෝගික සංස්කෘතීන් දෙකක් එකල පැවතින. නාගරික ඉහළ මැදපංතික සංස්කෘතියෙහි පීක්ෆ්‍රීන් බිස්කට්, මිල්ක් මේඩ් ටින් කිරි, අයි.එක්ස්.එල් ජෑම් වැනි විදේශ ආහාර වර්ග සහ ලැක්ටො කැලමයින්, බි්‍රල්ක්‍රීම්, හැරඩ්ස් සුවඳ විලවුන් වැනි රූපලාවන්‍ය ආලේපන පරිභෝජනය වූ නමුත් ඒවා මිලට ගැනීමේ තරගකාරිත්වයක් නාගරික පහළ මැද පංතික හෝ ග්‍රාමීය සමාජයේ වර්ධනය නොවුනි.
ත්‍රීරෝද රථ නොදත් සමාජයේ දෛනික ගමනාගමනය සදහා නාගරික ඉහළ මැදපංතිය සහ ග්‍රාමීය ප්‍රභූ අතළොස්ස පෞද්ගලික වාහනයක් තබා ගත්තද, සමාජයේ අති බහුතරය ගමන් ගියේ පොදු මගී ප්‍රවාහන සේවාවන් වූ බස් වලින් සහ දුම්රියෙනි. ඒ මගී සේවා, දියුණු උපරිම සේවයක් ලබා දිය හැකි සේවා නොවුනි. නමුත් එකිනෙකා අතර තරගයක් නොමැතිවූ සමාජයක් වූයෙන් ඒ සඳහා මගීන් අතර පොර බැදීම් නොවුනි. තමන්ගේ වාරය සඳහා හික්මීමක්, ඉවසීමක් ඇතිව පෝලිමේ ඉන්නා පුරුද්දක් සමාජයෙහි වගා වී තිබිණ.
එවැනි සමාජ ආර්ථික පසුබිමක හැදුණු මතවාදය, “මම - මට” වූ පුද්ගලවාදී මතවාදයක් නොවුනි. එය “අපි - අපට” වූ පොදුකම ඉස්මතු කෙරුණු ප්‍රජා මූලික මතවාදයක් විය. එකට පාසල් ගිය, හවුලේ පෑන් පැන්සල් පාවිච්චි කළ, පාසල් පැමිණීමට නොහැකි වූ සගයාට සටහන් ලබා දුන්, අනෙකා පරදවා පළමු වැනියා වන්නට තරග නොවැදණු පාසල් වියේ පරාර්ථකාමය, විනය හා ශීලාචාරය පාසලේ ගුරු මණ්ඩලයද, නිවසේ දෙමාපියන්ද පෝෂණය කෙරුවකි. එනිසා ඒ ආර්ථිකයෙහි තරගකාරී පාරිභෝගිකයින් හැදුනේ නැත.
එහි දේශපාලනයද එනිසා අද තරුණන් නොදන්නා පමණක් නොව, විශ්වාස කිරීමටද සූදානම් නැති, පිරිසිදු දේශපාලනයක් විය. අවුරුදු 05 ක් එක දිගටම ආණ්ඩුවේ වාර්ෂික අයවැය ඉදිරිපත් කළ මුදල් ඇමතිවරයා, ඊළග මැතිවරණ පරාජයෙන් පසු ගම යන්නට “සූට්කේසය” රැගෙන බස් නැවතුම්පළ ඉන්නවා යැයි මේ කාලයේ ප්‍රභන්ධ සාහිත්‍යයේ හෝ නොලියවෙන්නකි. දෙසතියකට ජාත්‍යන්තර ආහාර හා කෘෂි සමුළුවට විදේශගත වන ඇමතිවරයා තමන් එනතුරු, තමන්ගේ නිවසට ලබා දී ඇති නිල දුර කතනය විසන්ධිකර තබන්න යැයි දිස්ත්‍රික් ඉංජිනේරුවරයාට ලිඛිතව දන්වා යවන ඇමතිවරුන් එදා හිටියා යැයි කී විට, අද තරුණන් කියන්නේ ”විහිළු කරන්න එපා” යැයි කියා ය.
තේරෙන බාසාවෙන් කිවහොත් නිදහසින් පසු එදා ඒ ආර්ථිකය විසින් නඩත්තු කෙරුණු සමාජයෙහි පුරවැසියා, රුපියල් ශත වලින් වටිනාකම ගණන් බැලුනු මිනිසකු නොවේ. ශීලාචාර සමාජයක සදාචාරය, හැදියාව මත “මනුස්සකම” අගයනු ලැබූ මිනිසකු විය. එනිසා ඒ සමාජයෙහි හොරකමක්, මිනී මැරුමක්, ස්ත්‍රී දූෂණයක්, ළමා අපචාරයක්, අන්තරායකර මත්ද්‍රව්‍ය අලෙවියක් ගැන ඇසුනේම නැති තරම් ය. ඉතාම කලාතුරකින් රංජනී කැබ්ස්, ඇඩ්ලින් විතාරණ වැනි මිනී මැරුමක් ස්ත්‍රී දූෂණයක් සිදුවුවහොත් ඒ සිදුවීම සමාජ කම්පනයක් ඇති කෙරෙන ලෙස කවියට නගා, බස් වල කවි කොළ විකුණන්නට හැකි වූවකි.
විවෘත කළ වෙළඳපල ආර්ථිකයේ “මනුෂ්‍යත්වය” ගැන සිතුවොත්?

බණ්ඩාරනායක මැතිනියගේ ‘70 යුගයේ “පෝලිම්” සමච්චලයට ලක් කරමින් 1977 මැතිවරණයෙන් ආණ්ඩු බලයට පත් එ.ජා.පයේ ජයවර්ධන එතෙක් පැවති රාජ්‍යවාදී ආර්ථිකය 1978 දී විවෘත කළේය. එය ආවේනිකව දූෂිත විවෘත වෙළදපල ආර්ථිකයක් විය. එහි මූලික අරමුණ වූයේ තරගකාරී පාරිභෝගිකයින් සඳහා නිදහස් ආනයන අපනයන වෙළඳපලක් හැදීම ය. ඒ පාරිභෝගික තරගකාරිත්වය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපාරික වගකීම බාර ගැනීමට අලෙවි ප්‍රචාරක හා ප්‍රවර්ධන සමාගම් බිහි විය. විවෘත වෙළඳපල ආර්ථිකයෙහි ඇතිවූ මාධ්‍ය නවීකරණයෙහි සියලු ඉඩකඩ යොදා ගනිමින් මේ අලෙවි ප්‍රචාරක හා ප්‍රවර්ධන සමාගම් එතෙක් වූ පොදු පාරිභෝගික මානසිකත්වය පුද්ගලවාදී තරගකාරිත්වයකට පෙරැළීමට හවුල් වූහ.
ඒ වෙනසට හසු නොවුනු ආයතනයක්, සංවිධානයක් හෝ වෘත්තියක් නොවුනි. එනිසා නිවසේ සිට පෙර පාසලෙන් පටන් ගෙන විශ්ව විද්‍යාලයෙන් පිට වෙන තෙක් හැම අවදියකම සියල්ලන්ගේ මනස් හැඩ කරනු ලැබුවේ “තමන් හිසට තම අතමය සෙවනැල්ල” යැයි වන පාරම්පරික කියමන අනුවය. හැම ළමයෙකුම පංතියේ පළමු වැනියා වන්නට තරග කළ යුතු විය. 05 ශිෂ්‍යත්වයෙන් වැඩිම ළකුණු ලබා ගත යුතු විය. සාමාන්‍ය පෙළ සියලු විෂයන් සදහා විශිෂ්ට “ඒ” සාමාර්ථ ලබා ගත යුතු විය. උසස් පෙළ විභාගයෙන් “ඒ” සාමාර්ථ පමණක් නොව, උපරිම ළකුණු එකතුවක්ද ලබාගත යුතු විය. දෙමාපියන් හා ගුරුවරුන් ළමුන් තල්ලු කරනු ලැබුවේ අනෙකාට වඩා ඉහළ සාමාර්ථ ලැබීමට ය.
එහි මූලික ආකල්පමය වෙනස වූයේ සමාජීය පරාර්ථකාමිත්වය, පුද්ගලවාදී ආත්මාර්ථකාමිත්වයක් බවට වෙනස් කිරීමය. ඒ “වෙනස” හුවා දැක්වුනේ මේ විවෘත වෙළදපල ආර්ථිකයෙහි කවරෙකුට හෝ දියුණු වන්නට, හම්බ කරන්නට බැරි නම්, ඔහු හෝ ඇය ජීවන දැක්මක් නොමැති කම්මැලියෙක් යැයි අර්ථ දැක්වීමෙනි. ඉකුත් දසක කිහිපයේ “ධනාත්මක චින්තන” විශේෂඥයින්, උපදේශකයින් බිහි වූයේ ඒ වෙනුවෙන් මාර්ගෝපදේශන ලබාදීමට ය. එවැනි වූ මේ සමාජයේ පුද්ගලයෙකුගේ සාර්ථකත්වය ගණන් හැදුනේ “හොඳ නරක” මත නොව, “ජය පරාජය” මත ය.
වත්මන් දරුවන්ගේ ඛේදවාචකය

මේ කාලයේ දහස් ගණනින් වාර්තාවන ස්ත්‍රී දූෂණ, බාල වයස්කාර දැරිවියන් දූෂණය, ළමා හිංසන හා අපචාර සමග මේ සමස්ථ සමාජයේ පිරිහීම පවතින්නේ විවෘත වෙළදපල ආර්ථිකය විසින් ඉල්ලා සිටින ආත්මාර්ථය, පරාජය බාර නොගන්නා තරගකාරී මානසිකත්වයක් පදම් කරන හෙයිනි. එවැනි පුද්ගල මානසිකත්වයක් ස්වයං ජයග්‍රහණය සදහා “හොඳ නරක” තෝරා බේරා ගැනීමට නතර වන්නේ නැත. ඔවුන්ට වැදගත් වන්නේ “හොඳ නරක” නොව, කෙසේ හෝ ජය ගැනීම ය.
මේ වල් වැදීම පසුගිය අවුරුදු 40 ට වැඩි කාලයක පරම්පරාවෙන් පරම්පරාවට වැල් පොලී සමගින් පැමිණියකි. එබැවින් අප මේ ඉන්නේ අන්තයට පිරිහුණු සමාජයක ය. මේ සමාජයේ දෝසය ඇත්තේ ඉපදෙන බිළින්දන්ගේ නොවේ. දෝසය ඇත්තේ ආවේනිකව දූෂිත විවෘත වෙළදපල ආර්ථිකයෙහි සහ එය නඩත්තු කිරීමට හැඩ කෙරුණු සමාජයෙහි ය. මෙහි තනි තනිව “හොඳ” පුද්ගලයින් හැදිය නොහැක. මේ සමාජය හදන්නට නම්, ආවේනිකව දූෂිත මේ විවෘත වෙළදපල ආර්ථිකයට විකල්පයක් ලෙස සහභාගී ප්‍රජාතන්ත්‍රවාදී සංවර්ධන ආකෘතියක් ඉදිරිපත් කළ යුතු වන්නේය. අලුත් බිළිඳුන්ට මනුෂ්‍යත්වය අගය කරමින් හැදෙන්නට හැකි සමාජයක් සැළසුම් කළ යුතු වන්නේය.(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2025 ජුලි 08 වන දින



