ඒ නිසා ම මා බොහෝ විට කියන්නේ ගෝඨාභයගේ පැත්තෙන් කිව යුතුය කියා මා සිතන කථාව යි. වසර තුනක් ගත වෙන විටත් 2022 වසරේ ඒ සිදු වූ දෙය හරියට ම කවුරුවත් දන්නේ නැහැ. එහි අපැහැදිලි තැන් බොහෝ යි. තවම ඒ පිළිබඳව පොදු අවකාශයේ තිබෙන්නේ “සත්‍යය කෑලි” සහ පදනම් විරහිත විශ්වාසයන් පමණයි. දැන් අපට කාලය එමින් තිබෙනවා එම සිදුවීම් දාමය දෙස අභ්‍යන්තරවත් විමසීමක් කරන්න. අද පටන් ඒ ගැන ලිපි පෙළක් ලියමි.

මේ සඳහා අපිට ටිකක් ආපස්සට යන්න වෙනවා. ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති අපේක්ෂකකම ලැබුණු පසුබිම මෙහි ලා අප තේරුම් ගත යුතුයි. ඒ වන විට මහින්ද රාජපක්ෂට නැවත ඡන්දය ඉල්ලන්න බැරි කරලා තිබුණා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන්. නාමල්ටත් බැරි කරලා තිබුණා වයස අනුව. නමුත් මා හිතන්නේ නැහැ 2019 වරණය සඳහා කොහොමත් නාමල්ට ඉදිරිපත් වීමට විභවයක් තිබුණා ය කියා. එතන ප්‍රධාන වශයෙන් තෝරා ගැනීම තිබුණේ චමල්, බැසිල් සහ ගෝඨාභය අතර. චමල්ව තෝරා ගැනීම සඳහා අභ්‍යන්තර හෝ බාහිර තල්ලුවක් තිබුණේ නැහැ. දේශපාලනිකව චමල් පරිණත සහ අත්දැකීම් බහුල වුණත් ඔහුට කවදාවත් මහින්දට වගේ අවස්ථාවක් ලැබුණේ නැහැ. ඔහුට කියලා පාක්ෂික “කල්ලියක්” සිටියේ නැහැ. දේශපාලනය කරනවා නම් ඔබට අනිවාර්යෙන්ම කල්ලියක් සිටිය යුතුයි. ඒ දෛවයම තිබෙනවා ඔහුගේ පුතා වන ශෂීන්ද්‍රටත්. ශෂීන්ද්‍ර දේශපාලන විද්‍යාව ශාස්ත්‍රීයව සහ ප්‍රායෝගිකව ඉගෙන ගත් දක්ෂයෙක්. නමුත් ඒ දෙදෙනා ම තරමක් කුලෑටියි. අවස්ථාව සඳහා ඔවුන් දැඩිව තරග කරන්නේ නැහැ.

නමුත් බැසිල්ට එවැනි කල්ලියක් සිටියා. අපේක්ෂකයා විය යුත්තේ බැසිල් බවට පක්ෂය තුළ ප්‍රබල මතයක් ඔවුන් ගෙන ගියා. මේ දවස්වල මා හට බැන බැන යන මහින්ද පතිරණ ඇතුළු එවක පක්ෂයේ අභ්‍යන්තර ක්‍රියාකාරීන් බොහෝ දෙනා බැසිල් වෙනුවෙන් පෙනී සිටියා. ඇත්තට ම බැසිල් ඒ සඳහා සුදුසුයි. දේශපාලන උපායමාර්ග සැලසුම් මෙන්ම ව්‍යාපෘති සංවිධාන ශක්තිය පැත්තෙන් බැසිල් තරම් දක්ෂයෙක් ලංකාවේ දේශපාලනයේ මා දැක නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙලා ඉන්ධන ඇතුළු සියලු අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්නුවේ බැසිල් ඉන්දියාවට ගිහිල්ලා ගත්ත ඩොලර් බිලියන 4 ක ණය සහනයෙන්. ඒ මිසක් රනිල් අලුතෙන් කිසිවක් කළේ නැහැ. රනිල්ගේ භූමිකාව වෙන ම ලිපියකින්.

මේ පසුබිමේ තමයි ගෝඨාභයගේ නම මේසයට එන්නේ. මෙතනදී මත දෙකක් තිබෙනවා. එකක් තමයි වියත්මග සංවිධානය විසින් ගෝඨාභයව උස්සලා ගත්තා කියන මතය. අනෙක් මතය තමයි ඒ නැති වුණත් දුර්වල යහපාලන ආණ්ඩුව යටතේ රාජ්‍ය ආරක්ෂාව බිඳ වැටීම සහ තවත් හේතු මත ගෝඨාභය වැනි ප්‍රබල නායකයෙකුගේ අවශ්‍යතාවය සමාජය තුළින් ම ආවා ය යන මතය. මා හිතන්නේ ඒ දෙක ම නිවැරදියි. මා නිරීක්ෂණය කළ ආකාරයට ගෝඨාභයට සිදු වුණා අපේක්ෂකත්වය වෙනුවෙන් තමා සුදුසු බව පෙන්වන්න. මොකද පක්ෂය ඇතුළෙන්, එනම් මන්ත්‍රීවරුන් සහ ක්‍රියාකාරීන් ගෝඨාභය සමග එතරම් සම්බන්ධයක් තිබුණේ නැහැ. මුල සිටම ඔවුන් ගෝඨාභයව දැක්කේ පිටස්තරයෙක් ලෙසයි. ඒක සාධාරණයි. ඒක ම තමයි ඒ අවස්ථාවේ ජනතාව ගෝඨාභයව ඉල්ලන්නත් හේතුව. එනම් ඔහු සම්ප්‍රදායික දේශපාලකයෙකු නොවීම. ඒ වගේ ම එය ම තමයි පසුව ඔහුට ආණ්ඩුවේ සහාය අහිමි වීමටත් හේතුව. ඒක වෙනම ලිපියකින්.

ගෝඨාභය වෙනුවෙන් ඊනියා ජාතික කඳවුර පෙනී සිටියේ ගෝඨාභය කෙරෙහි ඔවුන්ගේ විශ්වාසයට වඩා බැසිල් කෙරෙහි ඔවුන්ගේ ඇති විරෝධය නිසා ය කීම සාධාරණයි. ඔබට මතක ඇති නලින් ද සිල්වා පවා ගෝඨාභය ගැන මුල් කාලයේ කථා කළේ අවිශ්වාසයකින්. විමල් වීරවංශ වැන්නවුන් පවා ගෝඨාභය වෙනුවෙන් කථා කළේ බැසිල් ඒම වැළැක්වීමටයි. සරලව කිව්වොත් ගෝඨාභය වෙනුවෙන් ම කියලා කල්ලියක් හිටියා නම් හිටියේ වියත්මග පමණයි. ඔවුන් පැහැදිලිවම ගෝඨාභයට අපේක්ෂකත්වය දිනා ගැනීම සඳහා සටන් කළා.
මේක ම වුණා 2024 ජනාධිපතිවරණය වෙලාවේත්. අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා අප්‍රකාශිත තරගයක් තිබෙනවා. ඒ සඳහා සැලකිය යුතු කාලයක් දීලා බලනවා. ඔබට මතක ඇති ධම්මික පෙරේරා ඒ දවස්වල DP Education එක උස්සගෙන දුවනවා. පක්ෂයේ නායකයන් එම අපේක්ෂකයන්ගේ වැඩපිළිවෙල වගේම පොදුජන සමාජයේ ගතිකයන් නිරන්තරයෙන් විමසා බලනවා. එක්තරා විදිහකට ඇමරිකාවේ එක් එක් පක්ෂවල තිබෙන primaries වගේ මූලික තරග වටයක්. මෙතනදී නැවත මතක් කළ යුතුයි මම වියත්මගට සම්බන්ධ වෙන්නේ 2018 දී. නමුත් වියත්මග ආරම්භ වෙන්නේ 2015-16 කාලයේ. එයට මූලිකත්වය ගන්නේ මහාචාර්ය ජනිතා ලියනගේ සහ ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු වෘත්තියවේදීන් පිරිසක්. එයට ඉක්මනින් එකතු වෙනවා ගෝඨාභයට හිතවත් විශාමික ඉහළ හමුදා නිලධාරීන් පිරිසක්. වියත්මග නැගීම සහ බැසීම වෙන ම ලිපියකින්.
නාලක ගොඩහේවා ගේ FB පිටුවෙන්
බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි මහින්ද පතිරණ වැන්නවුන් අපොහොසත් වෙනවා නිකන් කියව කියව ඉන්නවට වඩා දෙයක් කරන්න. අඩුම තරමින් වියත්මග වගේ සංවිධානයක් හදලා තව පිරිස් එකතු කරගෙන බැසිල් වෙනුවෙන් සටනක් දෙන්න ඔවුන්ට බැරි වෙනවා. ඔවුන් ටිකක් අධිමානයෙන් ඉන්න පිරිසක්. ඔවුන් හිතුවා පක්ෂයේ බලය තියෙන්නේ බැසිල්ට නිසා අවසාන මොහොතේ බැසිල්ව අපේක්ෂකයා කරන්න පුළුවන් කියලා. බැසිල්ගේ කල්ලියේ දුර්වලතාවය වුණේ එයයි. එතන ඇත්තටම දැක්මක් ඇතුව වැඩ කළේ බැසිල් විතරයි. ඔහු වෙනුවෙන් හිටිය කණ්ඩායම එච්චර දක්ෂ නැහැ. පතිරණලාගේ අදක්ෂකම නිසා තමයි බැසිල්ට අපේක්ෂකත්වය නැති වෙන්නේ.

කොහොම හරි ජනාධිපතිවරණය කිට්ටු වෙනකොට ගෝඨාභය පැහැදිලිව ඉදිරියෙන් හිටියා. ඔබට මතක ඇති ඒ වෙලාවේ මුළු රට ම ඉල්ලුවේ ගෝඨාභයව. ඒක රැල්ලක් වගේ ආවා. ඒ අනුව තමයි 2019 ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ තෝරා ගැනෙන්නේ. ඒ අතින් නාමල් වාසනාවන්තයි. අනාගතයේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වයට තරග කරන්න දෙයක් නැහැ. නාමල්ටත් ඉන්නවා කල්ලියක්. ඒ කල්ලිය එන්න එන්න විශාල වෙනවා. මට පේනවා දැන් ඒක නවත්වන්න බැරි අනුරාගික බලවේගයක් බවට පත් වේගෙන එනවා. එකතු වෙන අය දැන්ම එකතු වෙන්න. දිස් ඉස් පොලිටික්ස්.
මගේ කුළුඳුල් නවකථාව නිකුත් වෙනවා තව සති කිහිපයකින්.
(සටහන |එරන්ද ගිනිගේ)
BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
උපුටා ගැනීම : ගිනිහුළ
2025 ජූලි 9
eranda.ginige@gmail.com



