The Leader News
BREAKING
Top Ad
Opinion

'අවතරණය' යනු ඉතිහාස කථාවක් ද, නැතිනම් නූතන කථාවක් ද? | එරන්ද ගිනිගේ

T

The Leader Desk

July 20, 2025 • 8:38 AM

'අවතරණය' යනු ඉතිහාස කථාවක් ද, නැතිනම් නූතන කථාවක් ද? | එරන්ද ගිනිගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සංස්කෘත සහ පාළි බසෙහි එන එම වදන සිංහලයේ ද එලෙස ම පවතී.
  • ඉතිහාස කථා බොහෝ විට “මහා කාව්‍ය” (Epics) ලෙස මුඛ පරම්පරාගතව පැමිණ පසුව ලේඛන ගත විය.
  • ඉලියඩ් සහ ඔඩිසි වැනි ග්‍රීක මහා කාව්‍ය මෙන්ම බයිබලය ද ඉතිහාස කථා ලෙස සැලකිය හැකි ය.
  • යම් සිදුවීමක් හෝ සිදුවීම් මාලාවක් “සංගත” ඉතිහාස කථාවක් ලෙස සැකසීම “ව්‍යුහාත්මක” ව්‍යාපෘතියකි.
අකුරු ප්‍රමාණය (Font Size):

සංස්කෘත සහ පාළි බසෙහි එන එම වදන සිංහලයේ ද එලෙස ම පවතී. “පෙර සිදුවීම්” පිළිබඳ “මතකය” තබා ගැනෙන්නේ ඉතිහාස කථාවෙනි. වේද සංස්කෘතියේ “ඉතිහාස” සමග බොහෝ විට එකට ම යන වදනකි “පුරාණ”. ඉතිහාස සහ පුරාණ, අතීතයේ වූ දේ පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යයි. එය මානව ප්‍රගමනයට මහෝපකාරී වූ පරිණාමීය කර්මයකි. නැත්නම් අදට පෙර යමක් සිදු වූවාද කියාවත් අප දන්නේ නැත. “ඉතිහාසය” පාසල් අධ්‍යාපනයෙන් කොන් කිරීම විහිළුවකි. ඉතිහාසය යනු මානව පැවැත්මේ නෛසර්ගික ලක්ෂණයකි.

 

epicsjsd

ඉතිහාස කථා බොහෝ විට “මහා කාව්‍ය” (Epics) ලෙස මුඛ පරම්පරාගතව පැමිණ පසුව ලේඛන ගත විය. මහාභාරතය සහ රාමායනය එවැනි ප්‍රසිද්ධ ඉතිහාස කථා ය. ඉලියඩ් සහ ඔඩිසි වැනි ග්‍රීක මහා කාව්‍ය මෙන්ම බයිබලය ද ඉතිහාස කථා ලෙස සැලකිය හැකි ය. යම් සිදුවීමක් හෝ සිදුවීම් මාලාවක් “සංගත” ඉතිහාස කථාවක් ලෙස සැකසීම “ව්‍යුහාත්මක” ව්‍යාපෘතියකි. මහාවංශය ද ඉතිහාස සහ පුරාණ ග්‍රන්ථයක් ලෙස සැලකීම යුක්ති සහගත ය. මේවාට අමතරව ජනප්‍රවාද ද ඉතිහාස කථා ලෙස සැලකිය හැකි ය.

සබරගමුව විශ්ව විද්‍යාලයේ එක්තරා කථිකාචාර්යයෙකු පවසා තිබුණේ “එක රජෙකු මරා තව රජෙකු රජ වුණු ඉතිහාසය නම් ඉගැන්විය නොයුතු බව ය.” ඉතිහාසය කියා ඔහුගේ පාසලේ උගන්වා තිබෙන්නේ එපමණ ද කියා අප දන්නේ නැත. නමුත් එය ම ඉතිහාසය ඉගෙනීමේ වැදගත්කම අපට පෙන්වයි. “එකෙකු මරා තවකෙකු රජ වීම” සමාජ දේශපාලනික “යථාර්ථයකි”. එය රාජ්‍යයක පමණක් නොව, ඕනෑම ආයතනක පවා සෑම කලෙක ම දැකිය හැකි “අනිවාර්යතාවයකි”. ඉතිහාස කථාව විසින් කරනු ලබන්නේ එම යථාර්ථය අපට පෙන්වීම ය. ඉතිහාසය යනු වත්මන තේරුම් ගැනීමේ කැඩපතයි. උත්ප්‍රාසය වන්නේ ඉහත ප්‍රකාශය කළ තැනැත්තා ඊනියා අරගලය හරහා එක ජනපතියෙකු මරා තවකෙකු එම පුටුවේ හිඳ වූ අයෙකු වීම ය. අර ඉතිහාස කථාව අවබෝධ කර ගත්තා නම් ඔහු එසේ කරන්නේ නැත.

 

එන්න, විධායක ජනාධිපති ක්‍රමයේ රඟ සොබාව නරඹන්න - ගාමිණී වියන්ගොඩ
වත්මන් දේශපාලන සිදුවීම් ඉතිහාසයට එකතු වනු ඇත්තේ ද අතිශයෝක්තියෙනි. එමෙන් ම එය ලියවෙනු ඇත්තේ සමාජයට ආදර්ශයක් ඉගැන්වෙන ලෙසට ය. එහිදී අරගලකරුවන්ගේ ක්‍රියාව වනචර අශිෂ්ටත්වයක් ලෙසත්, ගෝඨාභයගේ නික්ම යාම බෝධිසත්ත්ව පාරමිතාවක් ලෙසත් ලියවෙනු ඇත. එය වැළැක්විය නොහැක. බුදුන් වහන්සේ විසින් අතීත කථා දේශනා කළේ හේතුවක් ඇතිව ය.

ඉතිහාස කථා යන්න ඒ අනුව හුදෙක් වියළි සිදුවීම් වාර්තාවකට එහා යන පුළුල් සමාජ පරීක්ෂණ කෘතියක් බවට පත් වේ. මානව පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය සාරධර්ම, ගුණධර්ම, මූලධර්ම සහ ඒවායේ විරුද්ධතාවයන් ද සහිත සංකීර්ණ මිනිස් ස්වභාවයන් විවිධ පැති ඔස්සේ විචාරාත්මකව විමසන පැරණි පර්යේෂණ පත්‍රිකා ලෙස අපට ඉතිහාස කථා සැලකිය හැකි ය. ඒ සඳහා භාවිත කර තිබෙන අතිශයෝක්ති සහිත ශෛලිය නූතන විද්‍යාත්මක ලේඛනයට වෙනස් වුවත්, අරමුණ එකම ය. එනම් මානව සංහතියේ පැවැත්ම උදෙසා දැනුම සකස් කිරීම සහ සන්නිවේදනය කිරීම ය. ඒ අර්ථයෙන් ගත් කල නූතන ක්‍රමයට වඩා ඉතිහාස කථා ක්‍රමය සාර්ථක ය. ඒවා වසර දහස් ගණනක් තිස්සේ පවතී.

historyc9a8yr

 

මාගේ තර්කය වන්නේ ඉතිහාසය තුළ සත්‍යයෙන් ම වූ දෙය පමණක් සෙවීම ඵල රහිත බව ය. ඉතිහාසය අප භාර ගත යුත්තේ එහි පරමාර්ථමය (purpose) හේතුව ද සැලකීමෙනි. ඉතිහාස කථා තුළ එන ඇතැම් සිදුවීම් විද්‍යාත්මකව ඔප්පු කිරීමට උත්සාහ දැරීමේ වරදක් නැත. නමුත් ඉතිහාසය කෙසේ හෝ “සත්‍යය ම” කිරීමට යාම බොළඳකමකි. එනයින් ඇතැම් ඉතිහාස කරුණු කෙසේ හෝ “අසත්‍යය ම” කිරීමට යාම ද බොළඳකමකි.

උදාහරණයක් ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය උගන්වන මහාචාර්ය නිර්මාල් දේවසිරි විසින් “මහින්දාගමනය සම්පූර්ණයෙන් ම මිත්‍යාවකි” කියා බැහැර කිරීම බොළඳකමකි. එයින් පෙන්වන්නේ “ඉතිහාසය” පිළිබඳව ඔහුගේ ඇති සීමිත දෘෂ්ටිය පමණී. ඒ අර්ථයෙන් ම මහාචාර්ය රාජ සෝමදේව විසින් කෙසේ හෝ “යක්ෂයන් යනු ආදි සිංහලයන් ය” කියා ඔප්පු කිරීමට ‘ශගශ’ යන්න ‘යගශ’ කර ගැනීම දැක්විය හැකි ය. ඒ අන්ත දෙක ම බොළඳ ය.

ඉතිහාසය ඉගැන්විය සහ ඉගෙන ගත යුත්තේ එයින් වඩාත් ප්‍රඥාවන්ත, සාරධාර්මික, ශිෂ්ටසම්පන්න මිනිසෙකු බිහි කළ හැකි නිසා මිස හරිනි අමරසූරිය වැනි බාගෙට උගත් නුසුදුස්සන්ගේ හිතළු අනුව නොවේ. නමුත් එයම අපට ඉතිහාසයේ ද හමු වේ. එහි ආදීනව අප දන්නේ ඉතිහාසය නිසා ය.

ඉතිහාසය පිළිබඳ සමාජ කතිකාවක් සෑදී තිබෙන මෙවන් මොහොතක මා ලියූ, සරසවි ප්‍රකාශකයන් පළ කෙරූ ඉතිහාස නවකථාව “අවතරණය” සිංහල පාඨක සමාජයට නිකුත් වීම අපූරු සහ-සිද්ධියකි. ඒ වෙනුවෙන් සකස් කළ මෙම ප්‍රචාරක වීඩියෝව: රසවිඳින මෙන් ඉල්ලමි.

 



අවතරණය යනු ඉතිහාස කථාවක් ද, නැතිනම් නූතන කථාවක් ද යන්න තීරණය කිරීම ඔබට භාර කරමි. ඇතැම් ජාතිකවාදීන් නම් මාව පතුරු ගසනු ඇත. ධර්මය අපට මග වේවා!

ජනතාවාදයේ මධුසමය - (එරන්ද ගිනිගේ)(සටහන |එරන්ද ගිනිගේ)

BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.

සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක

උපුටා ගැනීම : ගිනිහුළ
2025 ජූලි 20
eranda.ginige@gmail.com

සබැඳි ලිපියක් :

'අවතරණය' ; එරන්ද ගිනිගේ ලියූ ඓතිහාසික නවකථාව අගෝ.5 වැනි දා එළිදකී  

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...