ගල් අච්චුව
මේ දෙන්නගෙන් එක්කෙනෙක් ඒක තමන්ම ලියලා අනිත් එක්කෙනා ඒක බලාගෙන ආපහු ඒකම ලියලා හෙවත් ඒ කාලේ ප්‍රචලිත විශ්ව විද්‍යාල යෙදුමකින් කිව්වොත් "ගල් අච්චුවක් ගහලා" කියන එක ගැන ඉතින් මට කිසි සැකයක් තිබුණේ නෑ. ඉතින් මම ඒ දෙන්නට එන්න කියලා දැනුම් දුන්නම ඉස්සෙල්ලම ආවේ පිරිමි ළමයා. මම ඇහුවා "ඔයා එයාගෙන් කොපි කළා ද නැතිනම් එයා ඔයාගෙන් කොපි කළා ද?" කියලා. එතකොට කොල්ලා එහෙම කොපි කළේ නෑමයි කියනවා.
එතකොට මම කිව්වා "එහෙම නොවෙන්න බෑ නේ, දෙන්නගෙම එකම විදිහට තියෙන්නේ දෙන්නගෙන් කවුරුහරි එක්කෙනෙක් කොපි කරලා නිසානේ" කියලා. එතකොට කොල්ලා මට කියනවා "ඇයි සර් දෙන්නෙක් එකම ප්‍රශ්නයට උත්තර ලියද්දි එකම විදිහට උත්තරය ලියවෙන්න කිසිම ඉඩක් නැද්ද?" කියලා.

ඇත්තටම ඉතින් සිද්ධාන්තමය වශයෙන් ගත්තොත් තැන් දෙකක ඉඳගෙන එකම ප්‍රශ්නෙට උත්තර ලියන දෙන්නෙක්ට වුනත් වචනයක් වචනයක් ගානේ එකම විදිහට ලියවීමේ යම් කිසි හෝ සම්භාවිතාවක් තියෙන්න පුළුවන් තමයි. හැබැයි ඉතින් ප්‍රායෝගිකව අපි දන්නවා මෙයින් එක්කෙනෙක් අනිවාර්යෙන් ම මේක කොපි කරලා කියලා. ඒ අනුව අවශ්‍ය ප්‍රමාණයට තර්ජනය කළායින් පස්සේ පිරිමි ළමයා කිව්වා එයා තමයි කොපි කළේ, "අනේ සර් අර ගෑනු ළමයට මුකුත් වෙන්න තියන්න එපා, එයාගෙන් මම මේක බලල දෙන්නම් කියලා ඉල්ලගත්තා, පස්සේ ලේසියට ඒකම ලිව්වා" කියලා. මට මතක හැටියට දෙන්නටම යම් ප්‍රමාණයක දඬුවමක් දීලා ඒ ප්‍රශ්නෙ ඉවර වුණා.

මේ පරණ කතාව මට මතක් වුණේ අපේ හරිණි අමරසූරිය මැතිනිය කියනවානේ එයාලා 2015 විතර ඉඳන් හදාගෙන ආපු අධ්‍යාපන ප්‍රතිපත්තියක් තමයි දැන් මේ ප්‍රතිසංස්කරණ විදිහට ඉදිරිපත් කරන්නේ කියලා. එතකොට හැමෝම වගේ හාස්‍යයෙන් යුතුව කියනවා අනේ මේ බොරු කියන්න එපා, ඕක මේ අර සුනිල් ජයන්ත නවරත්න ලා, උපාලි සේදරලා ඉදිරිපත් කරපු එකම නෙ කියලා. ඇත්තටම ඉතින් ඕන කෙනෙක්ට මේකයි ඒකයි බැලුවම තේරෙනවා වචන දෙක තුනයි වෙනස් කියලා. ඒ වුනාට අපේ හරිණි අමරසූරිය මැතිණිය ඇතුළු කණ්ඩායම දැන් ඒක පිළිගන්නේ ම නෑ.
ඒ කියන්නේ හරිණි අමරසූරිය මැතිනිය කියන විදියට මෙහෙමයි වෙලා තියෙන්නේ.
අහම්බකාරකයක්

2015 විතර ඉඳන් සුනිල් ජයන්ත නවරත්න, සේදර වගේ අය විසින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් හදාගෙන එනවා. ඒක හරි. නමුත් හරිණි අමරසූරියලත් ඒ කාලේ ඉඳන්ම එයාලගෙ ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවක් හදාගෙන ඇවිල්ල. දැන් බැලුවම ඒ දෙකම සියයට 99% ක්ම වගේ සමානයි. ඉතින් සමහරු කියනවා හරිනි අමරසූරිය, සුනිල් ජයන්ත නවරත්නලගේ එක ගල් අච්චුවක් ගහලා කියලා.
නමුත් ඇත්තටම හරිණි අමරසූරිය මේ කියන්නේ ඇත්තක් වෙන්න බැරිද? ඒ කියන්නේ සුනිල් ජයන්ත නවරත්නලාගේ ප්‍රතිසංස්කරණ යෝජනාවලිය ගැන හාන්කවිසියක්වත් දන්නේ නැතිව එතුමිය සහ එතුමිය කියන පරිදි අර අනුර කරුණාතිලක වගේ අය එකතු වෙලා එයාලගේ ම යෝජනාවලියක් හදලා, ඒ දෙකම අහම්බෙන් එකම විදියට ලියවිල්ලා තියෙන්න පුළුවන් නේද? එහෙම වෙන්න පොඩි හරි ඉඩක් තියෙනවා නේද?
ආශ්චර්යයක්...!
අර ළමයි දෙන්නව ගෙනල්ලා තර්ජනයකුත් කරලා ඇත්ත දැනගත්තා වගේ දෙයක් ඉතින් හරිණි අමරසූරිය මැතිණිය සම්බන්ධයෙන් අපි වගේ දුහුනන්ට කරන්න බෑ. එතුමිය ඉතින් අගමැතිනියනේ. ඒ නිසා ඉතිං සුනිල් ජයන්ත නවරත්න, උපාලි සේදර වගේ අය විසින් ඒ කාලේ ලියපු යෝජනාවලිය ම, ඒ ගැන කිසිම දෙයක් දන්නේ නැතිව හරිනි අමරසූරියලා විසිනුත් ඒ විදියටම ලියලා තියෙනවා කියන එක ඇත්තක් විදියට බාර අරගෙන නිස්සද්දව ඉන්න එක තමයි අපිට කරන්න පුළුවන් එකම දේ.

දුටුගැමුණු රජ්ජුරුවෝ මහ සෑය හදන්න ගිය වෙලාවේ තැන් තැන්වල රන් රිදී නිධි පහළ වුණා නම්, ගෝඨාභය මැතිතුමා ජනාධිපති වෙන්න යන වෙලාවේ නාග ලෝකයෙන් සුබපණිවිඩයක් නයෙක් විසින් ම ගෙනාවා නම්, ඉතින් මේ ආණ්ඩුව සම්බන්ධයෙනුත් ඒ වගේ ආශ්චර්යයක් වෙන්න බැරිද ඉතින් එක අතකට?
අනේ මන්දා, ඕව ගැන හිතන්න ඉතින් අපි පොඩි වැඩියි.
(අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය)
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය
(උපුටා ගැනීම - Anuruddha Pradeep Karnasuriya ගේ ෆේස්බුක් පිටුවෙන් )




