මා ඉදිරිපත් කළ දළ කෙටුම්පත සම්බන්ධයෙන් මගෙන් ඇසූ එක් ප්‍රශ්නයක් වූයේ “මිනිස්සු එක්ක කතා කරන්නෙ මොනවටද ප්‍රතිසංස්කරණ හදන්න? ඒකට ඇමති එක්ක අධ්‍යාපන විශේෂඥයින් හිටියම ඇතිනේ” යන්න ය. ඒ කෙටුම්පත සම්බන්ධයෙන් ඇතැමුන්ට එහි වූ බරපතලම ප්‍රශ්නය වූයේ “මිශ්‍ර පාසල්” සහ පාසල් විෂය මාලාවෙන් “ආගම ඉවත් කිරීම” සම්බන්ධ යෝජනා ය.

සමාජය සමග සාකච්ඡා කිරීමත් මේ ප්‍රශ්න දෙකත් එකට ගැට ගැසෙන තැන වන්නේ, අධ්‍යාපනය කාගේ අවශ්‍යතාවක්ද යන්න විස`දා ගැනීමේදී ය. එය දරුවන්ගේ අශ්‍යතාවක් යැයි කී පමණින් උත්තරය සම්පූර්ණ වන්නේ නැත. එනිසා ඊට අවශ්‍ය උත්තරය සම්පූර්ණ කර ගැනීමට අපි මිශ්‍ර පාසල් සම්බන්ධ කතාවෙන් පටන් ගනිමු. එය “ආගම” සම්බන්ධ කතාවටද සම්බන්ධ වන හෙයිනි.
මිශ්‍ර පාසල් හා Convent සම්බන්ධ ප්‍රශ්නය
මට ඉදිරිපත් කෙරුණු නිශ්චිත ප්‍රශ්නයක් වූයේ “සියලු පාසල් මිශ්‍ර පාසල් කිරීමේදී Convent වලට වෙන්නෙ මොකක්ද? ඒවයේ පාලකයෝ ඒකට ඉඩ දෙයිද?” යන්න ය. Convent මිශ්‍ර පාසල් කිරීමේදී විශේෂයෙන් ආගමික පාර්ශවයෙන් විරෝධයක් මතු විය හැකි යැයිද, එයට ඒ සමග ඒවායේ ඉගෙන ගන්නා බාලිකාවන්ගේ දෙමාපියන් හවුල් වනු ඇතැයි ද මම සිතමි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනිවාර්යෙන්ම දීර්ග සමාජ කතිකාවකින් සම්පාදනය කළ යුත්තක් යැයි මම දිගින් දිගටම අවධාරණය කෙරුවේ මෙවැනි කාරණා අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ නිලධරයින්ගේ කාමරවල නොව, සමාජය හමුවේ, සමාජය විසින් ලිහා ගත යුතු හෙයිනි. සියවස් දෙක තුනක් පැරණි පාරම්පරික මත අතහැර ගැනීමට, සමාජයෙහි නූතන, දියුණු ඉදිරි දැක්මක් වර්ධනය කර ගැනීමට විවෘත සංවාද අවශ්‍ය හෙයිනි.

එය පිළිගනිමින් කතා කළහොත්, පාසල් අධ්‍යාපන පද්ධතිය සකස් විය යුත්තේ මිශ්‍ර පාසල් ලෙස යැයි මා ඉදිරිපත් කරන එක් යෝජනාවකි. එය ඉදිරිපත් කෙරෙන්නේ කාරණා කිහිපයක් නිසාවෙනි. එකක්, බාල වයසේ සිට සිසු සිසුවියන් මිශ්‍ර පාසල්වල ඉගෙනුම ලැබීමේදී ගුරුවර ගුරුවරියන් පසුගාමී නොවන්නේ නම්, ළමුන් අතර පංති කාමරයේදීත් පාසල් භූමියේදීත් සැවොම සමානයින් ලෙස ඇතිවන නිදහස් ගනුදෙනුව, සමාජයට ගෙන යා යුතු අන්‍යෝන්‍ය ගෞරවය, මිශ්‍ර පාසල්වල වගා කිරීම පහසු වන හෙයිනි.
සිසු සිසුවියන් වෙන වෙනම බාලක බාලිකා පාසල්වල ගාල් කෙරෙන විට නව යෞවන වයසේදී ඇතිවන “ලිංගික කුකුස” දැකිය හැක්කේ වාර්ෂික “බිග් මැච්” තරග හේතු කරගෙන පිරිමි පාසල්වල ළමුන් බලහත්කාරයෙන් බාලිකා පාසල් වලට කඩා වැදීමෙහි ය. මිශ්‍ර පාසල්වල එවැනි පසුගාමිත්වයක් හීනමානයක් සමග වන නරුමාකාර කුතුහලයක් හැදෙන්නේ නැතැයි මගේ පෞද්ගලික අත්දැකීමක් වන හෙයිනි.

මෙය සමාජ සංවාදයට විවෘත වන්නකි. Convent පවත්වා ගෙන එන්නේ කතෝලික සම්ප්‍රදාය තුල ඇති කාන්තාවන් ස්වභාවයෙන්ම දුර්වල යැයි ඔවුන්ට ආරක්ෂාවක් ලබා දීමේ වගකීම ඉටු කිරීමක් ලෙසින් ය. එහි අනෙක් පැත්තේ ඇත්තේ, කුඩා කළ සිට දැරිවියන් හැදිය යුත්තේ “ලජ්ජා බය” ඇතිව සමාජයෙහි ගනු දෙනු කිරීමට යැයි වන පිළිගැනීම ය. එබැවින් Convent සංස්කෘතියෙහි ඇත්තේ 19 වන සියවස ආරම්භයෙහි පමණ සිට සමාජගත කෙරුණු වික්ටෝරියානු සුචරිතවාදයේ “න්‍යෂ්ටික” පවුල පාලනය කෙරෙන පුරුෂාධිපත්‍යයට අවනත භාර්යාවක් හැදීම ය.
එනිසා Convent වෙනුවෙන් පෙනී සිටනවුන්ගෙන් ඇසිය යුත්තේ, ඔවුන් මිශ්‍ර පාසල් වලට විරුද්ධ වන්නේ නම්, මේ නූතන ලෝකයේ “ස්ත්‍රී-පුරුෂ සමානතාව” ඔවුන් නොපිළිගන්නේදැයි කියා ය. අද එය නොපිළිගන්නේ යැයි කීම තරමක් අසීරු ය. එවැනි සමානාත්මතාවක් නොපිළිගන්නේ නම්, ඔවුන්ට සමාන රැකියාවට සමාන වැටුප් ඉල්ලා සිටින්නටද නොහැකිය. සමානාත්මතාව පිළිගන්නේ නම්, එය මේ සමාජයේ ප්‍රවර්ධනය කිරීමේ වඩාත්ම ප්‍රායෝගික ක්‍රියාවලිය දිග හැර ගත හැක්කේ අධ්‍යාපන ක්‍රියාවලියෙහි ය. මිශ්‍ර පාසල් වල ය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සමාජ සාකච්ඡා අවශ්‍ය වන්නේ සමාජ මත එළෙසින් අලුත් කර ගැනීමට ය. 19 වන සිය වසෙහි නතර නොවී, මේ 21 වන සියවසෙහි අනාගතය දකින්නට ය.

මේ වනවිට ව්‍යවහාරික “බුද්ධාගම” ඇතුළුව හැම ආගමක්ම පවතින්නේ විශ්වාස මත මිස තාර්කික පිළිගැනීම් මත නොවේ. එනිසාම ආගම හුදෙක් පෞද්ගලික චර්යාවකි. ආගමික සංස්ථා මගින් ඔවුන්ගේ ආගම ප්‍රවර්ධනය සඳහා ඉරිදා පාසල් පැවැත්වීම වෙනුවෙන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහයක් ඇත.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා දියුණු සමාජ සංවාදයක් අවශ්‍ය වන්නේ දෙමාපියන් ඇතුළු සියල්ලන් සියවස් කිහිපයක් පැරණි ප්‍රාථමික ආකල්ප මත අධ්‍යාපනය තීන්දු කිරීමෙන් මුදවා ගැනීමට ය. මෙවැනි යෝජනා එබැවින් බරපතල විවාද වලට හේතු විය හැකිය. නමුත් ඒ සංවාදයට අප ඉඩ තැබිය යුතුය.
(සටහන | කුසල් පෙරේරා)ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2025 අගෝස්තු 05




