විද්‍යුත් තරංගවල පූර්ණ අයිතිය ඇත්තේ සමාජයට, ජනතාවට බැව් බොහෝවිට මේ ආයතනවල මාධ්‍ය රංගණ ශිල්පීන් නොදන්නවා විය හැක. විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ නියාමනයක් දකින්නට දැනෙන්නට නොමැති හෙයින්, ඒ සමාජ අයිතියෙන් ඇති වැඩක්ද නැත.
මේ මාධ්‍ය ආයතන සඳහා විද්‍යුත් තරංග වෙන්කර තාවකාලික බද්දකට ලබා දෙන රජයේ ආයතනය වන විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව විසින් මෙතෙක් ඔවුන් ලබා දුන් සහ දැනට සක්‍රීයව ඇති විද්‍යුත් තරංග සම්බන්ධ විස්තර කිසිවක් ප්‍රසිද්ධකර නැත. ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ විද්‍යුත් තරංග ලබා දෙන ප්‍රතිපත්තිය හා කොන්දේසි කිසිත් සඳහන් වන්නේද නැත. විද්‍යුත් තරංග ලබා ගැනීමේ හා භාවිතය කිරීමේ කොන්දේසි තිබේදැයි කියා හෝ කිසිවකු නොදන්නේ එනිසාවෙනි.

දැනට විකාශනය කෙරෙන රූපවාහිනි හා එෆ්.එම් ගුවන් විදුලි නාලිකා සඳහා විද්‍යුත් තරංග ලබා දීමේදී එම මාධ්‍ය ආයතන හිමිකරුවන්ට විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව විසින් කොන්දේසි පනවා තිබේදැයි සහ එසේ පනවා තිබේ නම් ඒ මොනවාදැයි එහි සේවක සේවිකාවන් නොදන්නා බව, ඔවුන්ගේ මාධ්‍ය හැසිරීමෙන් පැහැදිලිය. අප දන්නා තරමින් නැවත දීර්ග කරගත හැකි කෙටි කල් භාවිතය සඳහා ලබා දෙන බදු බලපත්‍ර අන් සතු කළ නොහැකිය.
අති දූෂිත වෙළදපල ආර්ථිකයක නීතිය කුමක් වූවත්, කොන්දේසි කවරක් වූවත් නියාමන වගකීම් භාර කෙරුණු රාජ්‍ය ආයතන, ඒ කිසිත් නිසියාකාරව, වගකීමක් ඇතිව කරන්නේ නැත. අදාල තොරතුරු ප්‍රසිද්ධ නොකිරීම හා ලබා නොදීම හැම තැනම සිදුවන්නකි. තොරතුරු ප්‍රසිද්ධ කිරීමෙන් ජාවාරම් සඳහා ඇති ඉඩ ඇහිරෙන හෙයිනි. රූපවාහිනි හා එෆ්.එම් ගුවන් විදුලි නාලිකා සඳහා විද්‍යුත් තරංග ලබා දීමේ තොරතුරු ප්‍රසිද්ධ නොවන්නේද ඒ නිසාවෙනි.

ජන සමාජයේ සිතුම් පැතුම් හා ආකල්ප හැඩ කළ හැකි බලයක් රූපවාහිනි හා එෆ්.එම් ගුවන් විදුලි නාලිකා සතුව ඇතැයි අපි කවුරුත් විශ්වාස කරන්නෙමු. විද්‍යුත් තරංගවල බදු අයිතිය හා භාවිතය පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ නොකෙරෙන පසුබිමක, ඒවා ජාවාරම්කාර ව්‍යාපාරිකයින් අත, දේශපාලන පක්ෂ හා නායකයින් සමග සම්මුති ගැසීමේ මෙවලම් බවට පත්ව ඇත.
විද්‍යුත් තරංග සඳහා ලබා ගන්නා බලපත්‍රය, බදු රහිත වාහන සඳහාවන බලපත්‍රයටද වඩා අධි මිලකට අලෙවි කළ හැක්කේ එවැනි ඉල්ලුමක් ඇති බැවිනි. ඊට හොඳම නිදසුන, 2004 අප්‍රේල් පාර්ලිමේන්තු මැතිවරණයේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගේ නායකත්වයෙන් තරග කළ ජ.වි.පෙ, චන්ද්‍රිකා ආණ්ඩුවේ ඇමතිකම් 04 ක් සහ නියෝජ්‍ය ඇමතිකම් 04 ක් ලබා ගත්තාට අමතරව, එෆ්.එම් ගුවන් විදුලි නාලිකාවක් සඳහා විද්‍යුත් තරංග බලපත්‍රයක් ආරම්භයේදීම ලබා ගැනීමය. අන් සතු කිරීම නීති විරෝධී වූවත් “වී එෆ්.එම්” නමින් වූ එම බලපත්‍රය ඔවුන් විශාල මුදලකට අලෙවි කර ඇති බැව් වැඩි කලක් නොගොසින් ප්‍රසිද්ධ විය.
එවැනි යෝධ දූෂණ සඳහා ඉඩ ඇත්තේත් විද්‍යුත් තරංග භාවිතයේදී කිසිදු සමාජ වගකීමක් නොමැත්තේත් කාරණා කිහිපයක් නිසාවෙනි. පළමුවැන්න, බොහෝ පෞද්ගලික රූපවාහිනි හා එෆ්.එම් නාලිකාවල සේවය කරන මාධ්‍යවේදීන්ට මාධ්‍යවේදිනියන්ට, හරියාකාර පත්වීමේ ලිපි නැත. එනිසා ඔවුන්ගේ රාජකාරිය හා රාජකාරී කොන්දේසි නිශ්චිත නැත. එහි සැබෑ අර්ථය නම්, ඔවුන්ගේ රැකියා සුරක්ෂිතතාව තීන්දු වන්නේ මාධ්‍ය ආයතන හිමිකාරිත්වයේ අවශ්‍යතා අනුව බවය.

අනෙක් අවුල නම්, අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14.1(ඈ) වගන්තියෙන් සහතික කර ඇති මූලික මානව අයිතියක් වන වෘත්තීය සමිතියක සාමාජිකත්වය ලබා ගැනීම හෝ වෘත්තීය සමිතියක් සංවිධානය කිරීම පාලනාධිකාරය විසින් සපුරා තහනම් කර තිබීමය. එනිසා පෞද්ගලික මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ට හා සේවක සේවිකාවන්ට කිසිදු කාරණාවක් සම්බන්ධයෙන් සාමුහිකව හඬ නගන්නට, කේවල් කරන්නට නොහැක. ඒ තහනම අභියෝග කිරීමටද ඔවුන්ගේ සාමුහිකත්වයක් නැත. එනිසා ඔවුන්ට වරාය කම්කරුවන්ට ඇති සාමුහික ශක්තිය හෝ ඇත්තේ නැත. මාධ්‍යවේදය පරිපූර්ණ වෘත්තියක් ලෙස ගොඩ නොනැගෙන්නේද එබැවින්ය.
තවත් ගැටළුවක් වන්නේ මාධ්‍ය වෙනුවෙන් සමාජය හමුවේ පෙනී සිටින සිවිල් සංවිධාන කිහිපයට, මාධ්‍ය හා සෘජු සම්බන්ධයක් නොවීම ය. එබැවින් ඔවුන් කතා කරන්නේ සමාජීය ප්‍රශ්නයක් ලෙස ඉදිරිපත් කළ හැකි යැයි සිතන “මාධ්‍ය නිදහස” වැනි ව්‍යුක්ත කාරණා සම්බන්ධවය. මාධ්‍ය නිදහස වෙනුවෙන් ආණ්ඩුව හෝ පෞද්ගලික මාධ්‍ය සමාගම් වගකීම් බාර ගන්නේ නැත.

මාධ්‍ය නිදහස යනු ආයතනගත මාධ්‍යවේදීන් තමන්ගේ වෘත්තීය නිදහස ප්‍රායෝගිකව බුක්ති විඳින්නට සූදානම්ද නැද්ද යන්න අනුව තීන්දු වන්නකි. ඔවුන්ට බලපෑම් වලින් නිදහස්ව මාධ්‍ය වෘත්තියෙහි නියැලෙන්නට නොහැකි නම්, එය ආයතනයත් සමග විසදා ගත යුත්තකි. එය නැවත රැකියා සුරක්ෂිතතාව හා වෘත්තීය අයිතිවාසිකම් සමග ගැට ගැසෙන්නකි. ඒ මූලික අයිතිය ගැන, රැකියා සුරක්ෂාව හා වෘත්තීය සමිති අයිතිය ගැන මාධ්‍ය සංවිධාන කතා කරන්නේ නැත.
අනෙක් කාරණාව නම්, දසක 04 ක කාලයක් විවෘත වෙළදපල ආර්ථිකයෙහි දූෂණයවී, හැදියාවෙන් හා චරියාවෙන්ද පිරිහුණු සමාජයෙහි, මාධ්‍යයට හා මාධ්‍යවේදීන්ට පමණක් සුපිරිසිදු ගෞරවනීය ක්ෂේත්‍රයක් ලෙස මාධ්‍ය පවත්වා ගත නොහැකි වීමය. සෘජුව කියන්නේ නම්, හැදියාවෙන් හා චරියාවෙන්ද පිරිහුණු මාධ්‍ය වෘත්තිය, අනෙක් සියල්ල මෙන්ම දූෂිත ය.
මාධ්‍ය ගැන පොදුවේ එසේ කියූ විට, එය මුද්‍රිත, විද්‍යුත් හා අලුත් තාක්ෂණය සමග බිහිව ඇති අන්තර්ජාල මාධ්‍යයටද අදාල වන්නේ ය. ඒවා එකිනෙකට වෙනස් වන්නේ, සන්නිවේදනය සඳහා යොදා ගන්නා මාදිලිය නැතිනම් මාධ්‍ය අනුව ය. මුද්‍රිත මාධ්‍ය යොදා ගන්නේ පත්තර කඩදාසි ය. විද්‍යුත් මාධ්‍ය යොදා ගන්නේ විද්‍යුත් තරංග ය. අන්තර්ජාල මාධ්‍යය පවතින්නේ අන්තර්ජාල සේවා සපයන්නන් හා සමාජ මාධ්‍ය ලෙස පවතින මෘදුකාංග වේදිකා මත ය.

තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනය සමග අන්තර්ජාල සේවා සහ සමාජ මාධ්‍ය මෘදුකාංග දැන් අති සුහුරු ජංගම දුරකතන වලටද ලබාගත හැක. එබැවින් නාගරිකයන් අතර සමාජ මාධ්‍ය භාවිතය, ඇබ්බැහි වන තරමටම ජනප්‍රියව ඇත. ඒවායේ ඉන්නා මාධ්‍යවේදීන්ගේ වියදම තීන්දු වන්නේ භාවිත කෙරෙන දත්ත (Data) ප්‍රමාණය අනුව ය. මෙහි වැදගත්ම කාරණය වන්නේ ඒවායේ ඉන්නා මාධ්‍යවේදීන් සමාජයට වග කියන්නට බැඳී නොසිටීම ය. ඔවුන්ගේ මාධ්‍ය භාවිතය හැඩ වන්නේ, ඔවුන්ගේ සමාජ මාධ්‍ය වේදිකාවලට විශාල අනුග්‍රාහක සංඛ්‍යාවක් ආකර්ශනය කරගන්නා භාවිතයකට අනුවය. එබැවින් බහුතරයක් අන්තර්ජාල මාධ්‍ය ආමන්ත්‍රණය කරනුයේ බාල, තාවකාලික රසයක් තොලගා යන්නට එන සිල්ලර අනුග්‍රාහකයන්ය
මුද්‍රිත මාධ්‍යයෙහි වගකීම එවැන්නක් නොවේ. පුවත් පතක් ගත් විට, කඩදාසි දක්වා සියලුම ආයෝජන එක්කෝ රාජ්‍ය හිමිකාරිත්වයට යටත් ය. නැතිනම් පෞද්ගලික ආයෝජන ය. එනිසා මුද්‍රිත මාධ්‍යයෙහි පුවත් පතක් සඟරාවක් වෙනුවෙන් ආයෝජනය කරන්නෙකුට ඒ පුවත් පත, සඟරාව යොදා ගන්නේ කුමකටදැයි තීන්දු කිරීමේ අයිතියක් ඇත. ඔහුගේ හෝ ඇයගේ වගකීම තීන්දු වන්නේ ඒ තේරීම සමග ය.

එ.ජා.පය “සියරට” පළ කෙරුවේත් කොමියුනිස්ට් පක්ෂය “ඇත්ත” පුවත් පත සහ ජ.වි.පෙ “ලංකා” පුවත් පත පළ කෙරුවේත් ඔවුන්ගේ පක්ෂ දේශපාලනය වෙනුවෙනි. එය කාටවත් ප්‍රශ්න කළ හැක්කක් නොවේ. පරිසරය, විද්‍යාව, ක්‍රීඩා වැනි වෙනත් ඕනෑම විෂය ක්ෂේත්‍රයක් වෙනුවෙන්ද පුවත්පත්, සඟරා පළ කළ හැක. විජය පුවත්පත් සමාගම පත්තර ගණනාවක් සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් පළ කරන්නේ ලාභ ලැබීමට ය. ඔවුන් හැමෝම සමාජයට වග කියන්නේ සමාජයේ පිළිගත් සාරධර්ම වලට යටත්ව සහ රටේ නීතියට අනුව පුවත්පත් පළ කිරීම වෙනුවෙනි. ඒ වෙනුවෙන්ද මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් අවශ්‍ය වන්නේ ය. අවුරුදු 25 ට 30 ට පමණ ඉහතින් කර්තෘ සංසදය විසින් කෙටුම්පත් කළ, පුවත්පත් ප්‍රකාශකයින් විසින්ද පිළිගෙන ඇති, මුද්‍රිත මාධ්‍යයට සීමාවූ ආචාර ධර්ම පද්ධතියක් ඇත. පිරිහුණු මාධ්‍යයන්හි එය එනමුත් කිසිවෙකු ගුරුකොට නොගන්නකි.
මේ සියල්ලෙන් විද්‍යුත් මාධ්‍ය වෙනස් වන්නේ ගොඩනැගිලි, උපකරණ හා නවීන තාක්ෂණයට කෙතරම් ආයෝජන කළද, ජනතාවට, සමාජයට පූර්ණ අයිතියක් ඇති විද්‍යුත් තරංග නොමැතිව විද්‍යුත් මාධ්‍යයකට පැවතිය නොහැකි හෙයිනි. විද්‍යුත් තරංගවල හිමිකාරිත්වය ඇත්තේ සමාජයට යැයි ජාත්‍යන්තරවද පිළිගනු ලබන්නකි. ස්වභාව ධර්මයේ මූලික සාධකවල හිමිකාරිත්වය පෞද්ගලික වත්කම් ලෙස තීන්දු කළ නොහැකි නිසාම නොවේ. ඒවායේ ඇත්තේ සමාජීය වටිනාකමක් හා පොදු ප්‍රයෝජනයක් යැයි ඇති පිළිගැනීමත් ආණ්ඩුවකට ඒවායේ අයිතිය රජයට පැවරිය නොහැකිවන නිසාත් ය.
එබැවින් ස්වභාවික සම්පත් කලමනාකරණය කිරීමේ වගකීම මිස, අයිතිය ආණ්ඩුවකට පැවරෙන්නේ නැත. එය පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන අණ පනත් මගින්ද වෙනස් කළ නොහැක. විද්‍යුත් මාධ්‍ය සමාජයට වගකිව යුතු යැයි කියන්නේ එනිසාම ය. “සමාජ වගකීම” යනු කිසිදු කාරණාවකිදී සමාජයට හැර වෙන කිසිවකට පක්ෂග්‍රාහී නොවීම ය. එය පැහැදිලි කළහොත්, දේශපාලනය ගැන කතා කළ යුත්තේ පක්ෂ දේශපාලනයෙන් ඉවත්ව ය. වර්ගවාදයට, ආගම්වාදයට එරෙහිව ය. විද්‍යුත් තරංග සමාජය සතු වීමේ හරය ඇත්තේ එතැනය. ඒ ස්වාධීනත්වයෙහි ය. එය සහතික කිරීමේ වගකීම ඇත්තේ මාධ්‍යවේදීන්ට ය.
මේ සම්බන්ධව අපේ රටේ ඓතිහාසික අධිකරණ තීන්දුවක් වූයේ එප්පාවල ෆොස්ෆේට් නිදිය කැණීමට එරෙහිව කිරලෝගම ටිකිරි බණ්ඩා බුලන්කුලම සමග සය දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරි පත් කළ අංක 884/99 මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම විභාගකර ඒ සම්බන්ධව ලබා දුන් තීන්දුවය. එම මූලික අයිතිවාසිකම් පෙත්සම ඇසූ ත්‍රිත්ව විනිසුරු මඬුල්ලෙහි විනිසුරුවරුන් වූ වඩුගොඩපිටිය හා ගුණසේකර එකඟ වූ තීන්දුව ලියමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අමරසිංහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27(14) අනුව්‍යවස්ථාවට අවධානය යොමු කරමින් සඳහන් කරන්නට වූයේ, “සමාජයේ යහපත වෙනුවෙන් පරිසරය සුරැකීම, සංරක්ෂණය කිරීම හා වැඩි දියුණු කිරීම, රාජ්‍ය කළ යුතු” බවත් ආණ්ඩුවක වගකීම වන්නේ ස්වභාවික සම්පත්වල භාරකරු වශයෙන් කටයුතු කිරීමත් යන්න ය.

එබැවින් විකාශන කටයුතු සඳහා විද්‍යුත් තරංග ලබා දීමේදී පුරවැසි යහපත සහතික කෙරෙන අයුරු, කොන්දේසි ඇතිව ඒවා ලබා දීමේ වගකීම ආණ්ඩුවට ඇත. එහි ඊළඟ කාර්ය වන්නේ, බලපත්‍රලාභියා එම විද්‍යුත් තරංග සමාජ වගකීමක් ඇතිව භාවිත කරන්නේ දැයි නියාමනය කිරීම ය. විද්‍යුත් තරංග සඳහා බලපත්‍ර ලබාදීමේ පිළිවෙත, කොන්දේසි සහ බලපත්‍ර ලාභියාගේ තොරතුරු ප්‍රසිද්ධ කිරීම එනිසා ආණ්ඩුවේ සමාජ වගකීම වන්නේය. ඒ වගකීම ආණ්ඩුවෙන් ඉල්ලා සිටීම, මාධ්‍ය සංවිධානවල හා පුරවැසියන්ගේ වගකීම වන්නේ ය. ඒ සමාජ වගකීම අත හැරෙන තාක් කල් සිදුවන්නේ, දැන් සිදුවන්නාක් මෙන් මහජන දේපලක් වන විද්‍යුත් තරංග ජාවාරම්කාර මාධ්‍ය හිමියන් විසින් ඔවුන්ගේ ආත්මාර්ථය වෙනුවෙන් යොදා ගැනීමේදී මාධ්‍යවේදීන් ඒ වෙනුවෙන් ක්‍රීඩා කිරීම ය.
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2025 අගෝස්තු 17




