කොහොමටවත් ලාභ ලබන්න බැරි ප්‍රදේශවල වෙනත් කර්මාන්ත ආරම්භ කිරීමත් එහි එක පියවරක්. උදාහරණයකට කළුතර දිස්ත්‍රික්කයේ වී වගා කිරීම කොහොමත් නොගැලපෙන නිසා විසිතුරු මත්ස්‍යයන් හා මල් වැවීම වැනි කර්මාන්තයන් එම ප්‍රදේශවල ආරම්භ කරන්න ඕන. මේක සරල වැඩක් නෙවෙයි. අතිවිශාල සමාජීය, ආර්ථික හා දේශපාලන පරිවර්තනයක් නිසා පරිස්සමෙන් කරන්න ඕන වැඩක්.
කළුතර දිස්ත්‍රික්කයේ වී වගා කිරීම කොහොමත් නොගැලපෙන නිසා විසිතුරු මත්ස්‍යයන් හා මල් වැවීම වැනි කර්මාන්තයන් එම ප්‍රදේශවල ආරම්භ කරන්න ඕන
1977 බලයට ආව යූඑන්පී ආණ්ඩුව පහළ ඌවට බුකර් ට්‍රේට් බහුජාතික සමාගම ගෙනාවෙත් මෙහෙම වැඩකට. කතරගම දේවාලයට හා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත්ව තිබූ සුවිශාල ඉඩම් වපසරියක ආර්ථික ක්‍රියාකාරීත්වයකට තිබුණේ හේන් ගොවිතැන පමණයි. ඒ ඵලදායි නොවන ඉඩම් වලින් ප්‍රයෝජනයක් ගන්නට බුකර් ට්‍රේට් සමාගම එනවිට පහළ ඌවේ වැඩවසම්වාදීහු හා වැලේ වැල් නැතිව හිටි ලාංකික වම්මු පහළ ඌවේ කඳවුරු බැද ගත්තා.
ලංකාවේ ග්‍රාමීය ආර්ථිකය කරා විදේශීය ආයෝජන ගලාඒම ධනාත්මකව විග්‍රහ කර ගන්න ලාංකීය වමට නොහැකිවීම කණගාටුවට කරුණක්. වමට එදා කරන්නට තිබුණේ වැඩවසම් කල්ලි කණ්ඩායම් සමග හවුල් වී පසුගාමී අරගලයකට යෑම නෙවෙයි. එක අතකින් ආයෝජනවලට ඉඩ දෙමින් අනෙක් අතින් සමාජයේ පහළ ස්ථරයේ පීඩාකාරීත්වයට එරෙහිව අරගල කිරීමයි වමේ ස්ථිරසාර වගකීම වුනේ. නමුත් ගඟක් ආපසු හරවන්නට නොහැකි නිසා විදේශ ආයෝජන ග්‍රාමීය ආර්ථිකය කරා පැමිණි අතර සමස්ත වමේ දේශපාලනයම අතාර්කික වුනා. ඒ සමගම පහල ඌවේ දේශපාලනය තුළ රික්තයක් නිර්මාණය වූවා.
හේන් ගොවිතැන
අද ත්‍රිකුණාමලයේ සිදුවෙමින් පවතින්නේ ද එයයි. එහි ග්‍රාමීය ආර්ථිකය දශමයකින් හෝ ඉහළ නැංවීමට නම් පවතින නිෂ්පාදන ආකෘතිය පොඩි පට්ටම් කළ යුතුවීම අනිවාර්‍යක්. එහෙත් එදා මෙන්ම අදත් ලාංකික වම පෙනී ඉන්නේ පැරණි නිෂ්පාදන ආකෘතිය රැක ගැනීමටයි. එය වෙනස් කළ යුතු බවත් අලුත් නිෂ්පාදන ආකෘතිය තුළ පීඩිතයන්ගේ පැවැත්ම ආරක්ෂා කිරීම තම වගකීම බවත් ඔවුන් දන්නේ නෑ. ඔවුන් දන්නා එකම දෙය විරෝධතා දේශපාලනය පමණයි. ඒ සදහා පැරණි හා කල් ඉකුත් වෙමින් පවතින නිෂ්පාදන ආකෘතිය රැක ගැනීමට මහන්සිවීම හැර වෙනත් දේශපාලනයක් ඔවුන්ට නැහැ.
මේ දේශපාලන අවබෝධය ආණ්ඩුවේ ත්‍රිකුණාමලයේ මන්ත්‍රීවරුන්ට ද ඇති බවක් පෙනෙන්නට නැහැ. ඔවුන්ගේ තරුණ මදය නිසා ගැමියන්ට දේවල් බලෙන් ඒත්තු ගැන්වීමට තර්ක කළත් එවැනි සංකීර්ණ සමාජ දේශපාලන පරිවර්තනයකට මහජන සහාය ලබා ගන්නා උපක්‍රමය එය නෙවෙයි. ඔවුන් එසේ අපරිණතව හැසිරෙන්නේ විය යුතු ඇත්ත පරිවර්තනය ගැන ඔවුන් පවා අවබෝධයක නොමැති නිසයි.
කාලයක් තිස්සේ ආණ්ඩු සාදා සමාජවාදයට යන්නට සිහින බැලූ ජවිපෙ කාඩර්වරුන්ටත් දේශපාලන යථාර්ථය තේරුම් ගන්නට අපහසුවීම විය හැක්කක්. නමුත් ඒ අවබෝධය නොමැතිව ආර්ථික සමාජීය ප්‍රතිසංස්කරණ කරන්නට නම් කොහෙත්ම බැරි බව සියළුදෙනා තේරුම් ගත යුතුයි.
(සටහන | පිලිප් ශාන්ත)
සමාජ හා දේශපාලන ක්‍රියාකාරික
shan.info1978@gmail.com




