The Leader News
BREAKING
Top Ad
Opinion

රහස් පොලීසියට හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක එපා වූ හේතුව ? - රජිත් කීර්ති තෙන්නකෝන්

T

The Leader Desk

September 2, 2025 • 4:14 PM

රහස් පොලීසියට හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක එපා වූ හේතුව ? - රජිත් කීර්ති තෙන්නකෝන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විධායක ජනාධිපතිවරයාගේ ‘ජනාධිපති ධූරයේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේලා සහ ඉටු කිරීමේලා තමාට සහාය දීම පිණිස තම මතය අනුව...’’ කටයුතු කිරීමකි.
  • ලන්ඩන් හි ලංකාව නොවන විදේශ තානාපති කාර්යාලයකින් ද ලේඛන ලැබී ඇති සෙයකි.
  • ''සමන් අද එන්න අවශ්‍ය නැත..." යැයි රහස් පොලීසිය කියන්නට ඇත්තේ ඒ නිසා ය.
  • සරලව සමන් ගණුදෙනුවේ පොදු 35 වියදම් වව්චරයක්වත් අත්සන් කර නැත; දැකලා ද නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

විධායක ජනාධිපතිවරයාගේ ‘ජනාධිපති ධූරයේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේලා සහ ඉටු කිරීමේලා තමාට සහාය දීම පිණිස තම මතය අනුව...’’ කටයුතු කිරීමකි.

සමන්, අද එන්න අවශ්‍ය නැත...

ජනපති රනිල්, තම ලේකම් සමන් ‘මට ලන්ඩන් යන්න ඕනි’ කියූ විට රාජ්‍ය නායකයා යන්නේ කොහෙද? නිදාගන්නේ කොහෙද? නිදාගන්නේ කා සම.දැයි විමසීමට ඔහුට හැකියාවක් නැත. තානාපති කාර්යාල සහ ප්‍රොටකෝල් නිලධාරීන් එය කලමනාකරණය කරන අතර, ජනාධිපතිවරු සමාන්‍යයෙන් ගුබ්බෑයම්වල ලගින්නේ ද නැත.  ජනාධිපතිවරුන් තමන් කරන කියන දෑ, හැම කොල්ලා - බල්ලා සමඟම කියන්නේ ද නැත. රාජ්‍ය නායකයා යනු තම ලේකම්වරුන් සමග ‘එක ගේ කන්නෙකු’ නොවේ.


හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කුමක් පැවසූව ද, තවමත් හිටපු ජනාධිපතිවරුන්ගේ මුක්තිය ව්‍යවස්ථා පොතෙන් ඉවත් කර නැත.  ඒ නිසා, හිටපු ජනපතිවරයකු සිය ධුර කාලය තුළ ලබාදුන් නියෝග සම්බන්ධයෙන් ඔහුට මුක්තියක් තිබේ.


රනිල් ගේ කාර්යාලය මේ ගමනට අදාළ ලේඛන කිහිපයක් එළියට දමා තිබුණි. මේ සියලු ලේඛන විදේශ අමාත්‍යාංශය හා තනාපති කාර්යාලයේ තිබූ/තිබිය යුතු දේ ය. ලන්ඩන් හි ලංකාව නොවන විදේශ තානාපති කාර්යාලයකින් ද ලේඛන ලැබී ඇති සෙයකි. නගර සභාව විසින් සිය සභා වාරයේ වර්තාව ද සපයා දී තිබුණි. ''සමන් අද එන්න අවශ්‍ය නැත..." යැයි රහස් පොලීසිය කියන්නට ඇත්තේ ඒ නිසා ය.

අවුල විසඳාගත යුත්තේ කවුරු විසින් ද...?

ජනාධිපතිවරයාගේ බලතල සහ ජනාධිපති ලේකම් ගේ සීමා මායිම සලකුණු කරන සුවිශේෂ නඩුකරයක අත්දැකීම ඒ අනුව රටට අහිමි විය. පොදු ජන දැනුම සඳහා ලියා තැබිය යුතු දේ නම්, සමන් ඒකනායක මේ සිද්ධියේ දී කියන රජයේ මුදල් රුපියලක් හෝ තම පරිහරණයකට ගෙන නොතිබුණි.  ඔහු එම මුදල් කිසිවක ප්‍රසම්පාදන ක්‍රියා සිදු කර නොතිබුණි (එය තානාපති කාර්යාලයේ වැඩකි). ඇස්තමේන්තුවට මුදල් අනුමත කිරීම පමණක් ඔහු සිදු කර තිබුණි.  


සරලව සමන් ගණුදෙනුවේ පොදු 35 වියදම් වව්චරයක්වත් අත්සන් කර නැත; දැකලා ද නැත. නමුත්, පොදු 35 වත් අත්සන් නොකර හිටපු ජනපති ලේකම්වරයෙකු වුව ද, රාජ්‍ය සේවකයෙකුට පත් විය හැකි බලවත්ම අවමානයට, හිංසනයට පත් කළ හැකි බව ක්‍රියාවෙන් ඔප්පු වී ඇත. රනිල් ගේ ලන්ඩන් ගමන රාජ්‍ය නායක, සේනාධිනායක, මුදල් ඇමතිවරුන්‍ගේ විදේශ සංචාර පිළිබඳ කිසිදා ඇති නොවිය යුතු අමිහිරි අප්‍රසන්න සිද්ධි රැසක් ද, තානාපති අංශවල හාස්‍යයට හා උපහාසයට ද ලක්වී ඇත. රනිල් - සමන් හිරේ ගියත් - නැතත් රාජ්‍යය විසින්ම මේ අවුල විසඳාගත යුතුය.


රාජ්‍ය නිලධාරියා අනුමැතිය ලබා දුන් ලිපි ගොනුව කෝ...?

මුදල් අනුමැතිය ලබාදීම, පොදු 35 අත්සන් ගැසීම අනතුරු සහිතය.  ප්‍රවේශමෙන් පරිහරණය නොකරන්නේ නම්, අපරාධ පරීක්ෂණයකින්, නින්දා අපහාස ලැබෙන ප්‍රවෘත්ති සිරස්තල සිය ගණනකින්, නඩුව අසා අවසන් වන තුරු රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමකින් හා වසර ගණන් ඇදෙන නඩු හබයක් දක්වා දීර්ඝ විය හැකි බව දැන් සක් සුදක් සේ පැහැදිලියි.  

බී වාර්තාව පදනම් වන්නේම පොදු 35 වව්චර මත ය.  එම අනුමැති ලැබුණු කොන්දේසි/පදනම ඇත්තේ ලිපි ගොනුවේ ය.  අනාගතයේ උසාවියට කරුණු වාර්තා කර ඇප අයඳුම් කරන විට චූදිත රාජ්‍ය නිලධාරියා අනුමැතිය ලබා දුන් ලිපි ගොනුව නැත.

හිටපු ජනාධිපතිවරයා බන්ධනාගාර ගත වන්නේ ආරාධනා පත්‍රයේ විශ්වසනීයත්වය ගැන සැකකරන බව අධිකරණයේ දී පවසන නිසා ය. අවම වශයෙන් ඊ මේල් පණිවුඩයකින් තහවුරු කර ගත හැකි දෙයක් වත් නොකර අත්අඩංගුවට ගැනීමට විමර්ශකයින්ට හැකියාව ඇත.  අධිකරණය ද සැකය මත පදනම්ව හිටපු ජනපතිවරයෙකු ද රිමාන්ඩ් බන්ධනාගාර ගත කර එයට අනුකුලතාව දක්වා ඇත්තේය. ජනාධිපතිවරයකු හුදු සැකය නිසා රිමාන්ඩ් බන්ධනාගාර ගත වන්නේ නම්, පහළ නිලධාරීන්ට දෙවි පිහිට ම ය.  


රජයේ මුදල් පාලනය සම්බන්ධයෙන් පරිපාලන නිලධාරීන් සතු දැනුම, චක්‍රලේඛන, ව්‍යවහාරයන් කිසිදු නිදහසට කරුණක් නොවන බව පැහැදිලි ය. අභ්‍යන්තර විගණන අංශය මුදල් කාබාසිනියා කරන තැනක් මිසක් වැඩක් හරියට නොකරන බව මේ නඩුකරය සාක්ෂි ය.  අද අට වන්නම නටා පිහිටවු ‘ස්වාධීන විගණන කොමිසමට’ හෝ කෝපාවලින් රිංගා ජනාධිපතිවරයාට විදේශ රටක තානාපති වරප්‍රසාද සහිතව හොර ගමණක් යා හැකි බවට දැන් අධිකරණයට කරුණු කියා ඇත.


සමන් තවමත් අත්අඩංගුවට පත් නොවූයේ ඇයි...?

පී.බී. මැනික්දිවෙල ගේ සිට සමන් ඒකනායක දක්වා එදා මෙදා තුර  ජනපති ලේකම්වරු සියලු දෙනා ජනපතිවරුන්ගේ පුද්ගලික හා රාජකාරි සම්බන්ධ වියදම් -- ආරක්ෂාව, ප්‍රොටකෝල්, ගමන් විදයම්, පිළිබඳ කටයුතු කළ ව්‍යවහාරයක් ඇත. ජනපති හිටපු ලේකම්වරු හා ගණනාධිකාරීවරුන් විශේෂඥ සාක්ෂිකරුවන් ලෙස සමන්ට පක්ෂව අධිකරණයට කරුණු දක්වනු නිසැක ය.

ලංකා ඉතිහාසයේ එදා මෙදා තුර සියලු ම ජනපති ලේකම්වරුන් විදේශ ගමන් සම්බන්ධයෙන් ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත්, වගකීම් පැහැර ඇති බවත්, රජයේ අධිනීතිඥවරයාට අධිකරණය හමුවේ ‘සාධාරණ සැකයෙන් තොරව’ ඔප්පු කර පෙන්වීමට සිදු වන්නේය. එය ‘සිදු කළ නොහැකි’ වැඩක් ලෙස පෙනී යයි.

මෙතැන අධි ගෙවීමක් සිදුව ඇතැයි මොහොතකට උපකල්පනය කරමු.  ප්‍රශ්නය ඇත්තේ, සමන් ඒකනායකගේ අනුප්‍රාත්තික නිලධාරීයා (එනම් කුමානායක) එම මුදල් අය කර ගැනීමට ගනු ලැබූ පියවර කුමක් ද? යන්නය.  උත්තරය, කිසිවක් නැත.


සමන් වරදක් කර ඇති නම්, වත්මන් ලේකම් ද, අනුප්‍රාප්තික නිලධාරියා ද ඒ හා සමාන වරදක් කර ඇත. මෙහි අනෙක් පස තර්කය, ජනාධිපති ලේකම්ට ආයතන සංග්‍රහය හා මුදල් රෙගුලාසි අදාළ නොවේ යන්න ය. වත්මන් ලේකම් කුමානායක ‘ජනාධිපති ලේකම්ට ආයතන සංග්‍රහය හා මුදල් රෙගුලාසි අදාළ නොවේ යන ස්ථාවරයට යන්නේ නම්, ඔහු රනිල් - සමන්ට විරුද්ධ පැමිණිල්ල සිදු කළේ ඇයි ද? යන්න මතුවන්නේ ය.  දැන් මේ නූල් බෝලය හොඳටම අවුල් කර ගෙන ඇත.


පොදු 35 අනතුරුදායකයි; ප්‍රවේශමෙන් පරිහණය කරන්න

1973 ‍ෆීලික්ස් ඩයස් ගේ යුගයේ ඉයන් වික්‍රමනායක මෙවැනිම ආකර්ෂණීය ප්‍රවේශකින් කටයුතු කළ ආකාරය ‘සාරයක් මැද’ චිත්‍රපටියේ කතාවයි. ‘ලෝරන්ස් මාෆියාව’  නමින් රණසිංහ ප්‍රේමදාසගේ යුගයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ලෝරන්ස් පෙරේරා හොරු අල්ලන්ට මෙලෙස ම කටයුතු කර ඇත.  එම අවස්ථා දෙකේ දී ම ඊයන් වික්‍රමනායක මෙතඩ් එක ද, ලෝරන්ස් මෙතඩ් එක ද, ජනතාවට ආකර්ෂණීය විය. දේශබන්දු තෙන්නකෝන් ගේ ‘යුක්තිය මෙහෙයුම’ ට අත් පොළසන් දුන් පිරිසක් ද ‍රටේ වූහ.

කුමන හෝ වාසනාවකට, සමන්ටත්, රනිල් වික්‍රමසිංහටත් මේ උත්සවයේ නිල ආරාධනා පත්‍රය පමණක් නොව දිවා භෝජන සංග්‍රහයේ සමරු කාඩ් පත ද, මෙනූ පත, විඩියෝ, මෙට්‍රපොලිටන් පොලීසියේ වාහනය ගැන පවා සාක්ෂි සොයා ගැනීමට හැකිවී ඇත.  එවැනි වාසනාවක් - හැකියාවක් රාජ්‍ය සේවයේ අවශේෂ  සියලු දෙනාට තිබිය නොහැකි ය.

 

රාජ්‍ය සේවයේ සියලු නිලධාරීන් තමන් අත්සන් කරන, නිර්දේශ - අනුමත කරන පොදු 35වව්චරයක පමණක් නොව අනුමත - නිර්දේශ නියෝගයක ද, පිටපත් කොට තබා ගැනීම මතු ආරක්ෂාවට වැදගත් වනු ඇත.  සෑම පොදු 35 වව්චර අත්සනක්ම, රාජ්‍ය දේපල අයථා පරිහණ නඩු නිමිත්තක් විය හැකිය. හෘදය වස්තුවේ කිරීට ධමනි අවහිරවී නැති නම් නඩුව අවසන් වන තුරු රිමාන්ඩ් බන්ධනාගාර ගත විය හැකි ය. පොදු 35 අනතුරුදායකයි. ප්‍රවේශමෙන් පරිහණය කරන්න



Rajith Keerthi(සටහන | රජිත් කීර්ති තෙන්නකෝන්)
Former Governor of Uva, Southern and Central Provinces
Former Executive Director of Campaign for Free and Fair Elections (CaFFE) and Center for Human Rights and Research - CHR Sri Lanka

rajith_tennakoon@yahoo.com
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රහස් පොලීසියට හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක එපා වූ හේතුව ? - රජිත් කීර්ති තෙන්නකෝන් | The Leader