The Leader News
BREAKING
Top Ad
Opinion

වාමාංශික වෛරයේ අවධිය | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

September 3, 2025 • 9:19 AM

වාමාංශික වෛරයේ අවධිය | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙය අප අවුරුදු 77ක් පුරා සූදානම් කරමින් සිටි එකකි.
  • එම සූදානම ආරම්භ වූයේ 1971ට පෙර 1965න් හෝ ඊටත් කලින් 1940 දශකයේ සමසමාජ-කොමියුනිස්ට් බෙදීම කාලයේ පටන් විය හැකිය.
  • ඒවා විසින් ඇති කරනු ලබන මෝහනය විසින් මාක්ස්වාදය විසින් ලොව පුරා ප්‍රචලිත කරන ලද ඉපැරණි දයලෙක්තික චින්තනය යටපත් කෙරේ.
  • ප්‍රතිවාදය නම් එවැනි නිශ්චිත පන්ති බෙදුම්කඩනයන් සමාජයේ නොමැති වන අතර එය තවත් බොහෝ බෙදුම් රේඛාවන් මෙන් අපැහැදිලි මනෝමූලික සංකල්පයක් බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙය අප අවුරුදු 77ක් පුරා සූදානම් කරමින් සිටි එකකි. එම සූදානම ආරම්භ වූයේ 1971ට පෙර 1965න් හෝ ඊටත් කලින් 1940 දශකයේ සමසමාජ-කොමියුනිස්ට් බෙදීම කාලයේ පටන් විය හැකිය.

වාමාංශික වෛරය යනුවෙන් මා හඳුන්වන්නේ ප්‍රධාන වශයෙන්ම පංති සටන නමින් ප්‍රබන්ධකරණය කරන ලද දෘෂ්ටිවාදීමය ගැටලුවයි. ඒ වෙනුවෙන් සමාජය පන්ති වශයෙන් බෙදී ඇති බවට ද, ධනපති පන්තිය නම් වූ පන්තියක් විසින් නිර්ධන පන්තිය නම් වූ පන්තියක් සූරාකන බවට ද ආදී වශයෙන් පටන් ගෙන කම්කරුවන් නිර්ධනයන්ය, ඔවුන්ට අහිමි වීමට යදම් හැර අන් කිසිවක් නැතිය වැනි යම් වකවානුවකදී, යම් භූගෝලීය සංදර්භයකදී සත්‍ය විය හැකි, සමස්ත ලෝකය සම්බන්ධයෙන් ගත් කල විකට ස්වරූපයක් ගන්නා ආඛ්‍යානයක් ගොඩනගාගෙන තිබේ.

 

red gf

රතු අඳින, කොඩි ලෙලවන, සටන් පාඨ කියන, පංති වෛරයෙන් පරලව කතා පවත්වන හා ජයවේවා කියන ආදී වශයෙන් වූ ඒ හා සම්බන්ධ වාමාංශික අභිචාර යාතුකර්ම පද්ධතියක් විසින් මෙම ප්‍රබන්ධය නඩත්තු කරනු ලැබේ.

ඒ නඩත්තු කිරීම ඉතා වැදගත්ය. ඒවා විසින් ඇති කරනු ලබන මෝහනය විසින් මාක්ස්වාදය විසින් ලොව පුරා ප්‍රචලිත කරන ලද ඉපැරණි දයලෙක්තික චින්තනය යටපත් කෙරේ. දයලෙක්තිකය අඛණ්ඩ ප්‍රශ්න කිරීමකි. ප්‍රවාද, ප්‍රතිවාද, සංස්ලේෂණ ඔස්සේ නිර්මාණය වන්නකි.

ප්‍රවාදය පන්ති අරගලය නම් සංකල්පයකි. ප්‍රතිවාදය නම් එවැනි නිශ්චිත පන්ති බෙදුම්කඩනයන් සමාජයේ නොමැති වන අතර එය තවත් බොහෝ බෙදුම් රේඛාවන් මෙන් අපැහැදිලි මනෝමූලික සංකල්පයක් බවයි. සංස්ලේෂණය වන්නේ සමාජය පන්තිමය වශයෙන් විග්‍රහ කිරීම නිවැරදි හා අසාර්ථක ක්‍රමයක් බවයි.

ඊළඟ අරගලය - (එරන්ද ගිනිගේ)
ඉහත ඉදිරිපත් කිරීම දයලෙක්තික අදහස් දැක්වීමක් ලෙස සැලකිය හැකිය. එය වඩා විද්‍යාත්මක උපකල්පනයක් ලෙස ඉදිරිපත් කරන්නේ නම්, “සමකාලීන සමාජය තුළ, පන්ති බෙදීම්වලට පමණක් අසමානතාවන්ගේ සහ ගැටුම්වල රටා ප්‍රමාණවත් ලෙස පැහැදිලි කළ නොහැක; ජනවාර්ගිකත්වය, ආගම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ සංස්කෘතික අනන්‍යතාවන් වැනි පන්ති නොවන සාධක සමානව හෝ වඩාත් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.”

කෙසේ වෙතත්, සියවසකට ආසන්න කාලයක් තිස්සේ ලාංකීය සමාජය තුළ ධනවත් පුද්ගලයන්ට එරෙහිව නිර්මාණය කරන ලද ඊනියා පන්ති වෛරයක් මුල්බැසගෙන තිබේ. ඒ සමගම, ඊනියා කම්කරු හෝ නිර්ධන පන්තියට විමුක්තිය ලබාගත හැක්කේ සියතට බලය ගෙන ධනපති ක්‍රමය විනාශ කර සමාජවාදී සමානාත්මතා සමාජයක් නිර්මාණය කිරීමෙන්ය යන අදහස සමාජයේ පතුරුවා තිබේ.

මෙය දේශනා කරමින්, සුළු පිරිසක් හා පාර්ලිමේන්තු ආසනයක් දෙකක් දිනා ගනිමින්, වෘත්තීය සමිති හදාගෙන මුට්ටි කාසි එකතු කරමින්, වෘත්තීය සමිති කේවෙල් කිරීම භාවිතා කරමින් ඊනියා හාම්පුතුන්ගෙන් කප්පම් ගනිමින්, පක්ෂ අරමුදල්, මූලස්ථාන, ශාඛා, ඊනියා වෘත්තීය විප්ලවවාදී ජීවනෝපාය ආදී පද්ධතියක් නිර්මාණය කර පවත්වාගෙන යාම වෙනම කරුණකි. ඇත්තටම බලය ගෙන මෙම ප්‍රබන්ධය යථාර්ථයක් බවට පත්කරන්නට සිදුවීම වෙනම කාරණයකි.


වර්තමානය වන විට ජනතා විමුක්ති පෙරමුණ මුහුණ දෙමින් සිටින්නේ එම දෙවන අභියෝගයටය. ඔවුන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට පහර දෙන්නේ ඔවුන් කලින් සිටි සුවපහසු ප්‍රබන්ධය පෙසප තනිවම අත්පත් කරගෙන ජවිපෙන් ගැලවුණ රතු අමුඩය කෝටුවක අමුණා උස්ස උස්සා පෙන්නමින් කෝචොක් කරන නිසාය. එසේම, ජවිපෙ වෘත්තීය විප්ලවවාදීන් නමින් ජීවනෝපාය සහ/හෝ අනන්‍යතාව සකසාගෙන සිටි පිරිස තමන් වෙතින් ගිලිහී ආපහු පෙසප වෙත යනු ඇතැයි තිබෙන බිය නිසා විය හැකිය. එසේත්, නැතිනම්, වර්තමානයේදී කරදරයක් විය හැකි එම බලවේගය ගලවා පෙසප වෙතම ආපසු තල්ලු කර දැමිය හැකි අන්දමින් පෙසප ප්‍රවර්ධනය කරන්නට පවා විය හැකිය.

බලය නම් සුරතාන්තයට එළැඹි පසු ජවිපෙට දැන් තිබෙන්නේ වෙන වැඩකි. තමන් වනාහි බලය ගැනීම සඳහා කළ මුග්ධ සටනක සුන්බුන් මිස අන් යමක් නොවන බව දැන් බලය හමුවේ ඔවුන්ට ඥානනය වෙමින් තිබේ. එහෙත්, ලංකාවේ ඊනියා ධනේශ්වර පන්තිය හෝ ඊනියා ප්‍රභූන් හෝ වූ ගතානුගතික පාලක පැළැන්තිය විසින් කරන ලද අන්ධභූත වැඩ නිසා ඔවුන් අතින් ගිලිහී ගිය බලය ජවිපෙ අතට වැටී ඇති බව ප්‍රබන්ධයක් නොව බිහිසුණු යථාර්ථයකි.

දැන් ඔවුන් මොනවා හෝ කළ යුතුය. ආර්ථික, දේශපාලන, සමාජ තලයන්හි ඔවුන්ට කරන්නට කිසිදු බලපෑමක් සහිත විකල්ප කාර්යයක් නැති තරමට යථාර්ථය කුරිරුය. පවත්නා ක්‍රමය විසින් ඔවුන්ට දී තිබෙන්නේ ද රනිල් වික්‍රමසිංහට දුන් දේමය. එය කරනවා හැර ඔවුන්ට වෙන කරන්නට දෙයක් නැත. ඔවුන්ගේ ඊනියා සමාජවාදී අදහස්, එවැනි නිශ්චිත දෙයක් තිබුණා නම්, කරන්නට හිතන්නටවත් බැරිය.

දැන් ඉතින් වෙන කුමක් කරන්නද? කරන්නට තිබෙන්නේ බලය රැකගැනීම සඳහා අවශ්‍ය දේ කිරීමය. පසුගිය සියවසක් තිස්සේ වම විසින් ගොඩනගන ලද වෛරය ඉදිරියට ගැනීමට අවස්ථාව මෙයයි. වෛරයට සූදානම් වෙන්න. වෛරයෙන් පසු කුමක්ද යන්න පසුව කතා කරමු.

පාසල්වලට බස් බෙදීම සම්පත් නාස්තියක් - (අජිත් පැරකුම් ජයසිංහ)(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...