The Leader News
BREAKING
Top Ad
Opinion

ගමනක අවසානය : ප්‍රභූ විරෝධීන් ප්‍රභූවීම | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

T

The Leader Desk

September 7, 2025 • 11:52 AM

ගමනක අවසානය : ප්‍රභූ විරෝධීන් ප්‍රභූවීම | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගයාත්‍රී චක්‍රවර්තී ස්පිවැක් පසුව පශ්චාත් යටත් විජිත අධ්‍යන විද්වතුන් විශේෂයෙන් ගයාත්‍රී චක්‍රවර්තී ස්පිවැක් වැනි අය එම අදහස පුළුල් කරමින් යටත් විජිතකරණය වූ ජනතාව, කාන්තා සහ පීඩිත සුළු ජනවර්ග හැඳින්වීමට “ නිර්ප්‍රභූන් ” යන්න යොදා ගත්තා.
  • වර්තමාන ජනතා විමුක්ති පෙරමුණු මාළිමා ආණ්ඩුව නිර්ප්‍රභූ ආණ්ඩුවක් ලෙස ඔවුන් විසින්ම හඳුන්වා ගැනීමට උත්සහ කරන බවක් පෙනෙන්නට තිබෙනවා.
  • එහෙත් ඉහත නිර්වචන වලට අනුව මේ ආණ්ඩුව නිර්ප්‍රභූ ආණ්ඩුවක් ලෙස හැඳින්විය හැකිද?
  • මෙය මැතිවරණ ව්‍යාපාරය තුළ ජනතා විමුක්ති පෙරමුණු මාලිමාව ඉදිරිපත් කළ ප්‍රභූ විරෝධයට ලැබුණ මහජන කැමැත්ත හරහා ඔවුන් සහ මහජනතාව අතර ඇතිවූ සමාජ ගිවිසුම කඩ කිරීමක් නො වන්නේද?
අකුරු ප්‍රමාණය (Font Size):


091-4540 148 robertcrc.zg@gmail.comගයාත්‍රී චක්‍රවර්තී ස්පිවැක්පසුව පශ්චාත් යටත් විජිත අධ්‍යන විද්වතුන් විශේෂයෙන් ගයාත්‍රී චක්‍රවර්තී ස්පිවැක් වැනි අය එම අදහස පුළුල් කරමින් යටත් විජිතකරණය වූ ජනතාව, කාන්තා සහ පීඩිත සුළු ජනවර්ග හැඳින්වීමට “ නිර්ප්‍රභූන් ” යන්න යොදා ගත්තා. ඔවුන්ට අනුව නිර්ප්‍රභූන්ගේ හඬ ප්‍රධාන කතිකාව තුළ ඇහෙන්නේ නැහැ.ඒ තුළ නිර්ප්‍රභූන්ගේ නියෝජනයක් නැහැ.

වර්තමාන ජනතා විමුක්ති පෙරමුණු මාළිමා ආණ්ඩුව නිර්ප්‍රභූ ආණ්ඩුවක් ලෙස ඔවුන් විසින්ම හඳුන්වා ගැනීමට උත්සහ කරන බවක් පෙනෙන්නට තිබෙනවා. එහෙත් ඉහත නිර්වචන වලට අනුව මේ ආණ්ඩුව නිර්ප්‍රභූ ආණ්ඩුවක් ලෙස හැඳින්විය හැකිද? වෙනත් විදිහකට කියන්නේ නම් මේ ආණ්ඩුවේ නායකයින් ප්‍රභූ විරෝධී කතා කියමින් ප්‍රභූවරු වශයෙන් කටයුතු කිරීම සදාචාර සම්පන්නද? මෙය මැතිවරණ ව්‍යාපාරය තුළ  ජනතා විමුක්ති පෙරමුණු මාලිමාව ඉදිරිපත් කළ ප්‍රභූ විරෝධයට ලැබුණ මහජන කැමැත්ත හරහා ඔවුන් සහ මහජනතාව අතර ඇතිවූ සමාජ ගිවිසුම කඩ කිරීමක් නො වන්නේද?

A supporter of the leader and presidential candidate of National People's Power Anura Kumara Dissanayake cheers during the final public rally ahead of the election in Colombo, Sri Lanka, Wednesday, Sept. 18, 2024. (AP Photo/Eranga Jayawardena)

 

මේ ආණ්ඩුව බලයට පත්කලේ සහ ආණ්ඩුව මෙහෙයවන්නේ ප්‍රභූ සහ මධ්‍යම පාන්තික සුළුතර කණ්ඩායමක් විසිනි. ඔවුන්ට බලයට පත් විමට පෙර සිටම අවම වශයෙන් සමාජ දේශපාලන බලයක් තිබුණා. අවම වශයෙන් සමාජ මාධ්‍ය වේදිකා, ප්‍රජා සංවිධාන, ප්‍රජා ක්‍රියාකාරකම් සහ මහජන කතිකා අවකාශයේ ආධිපත්‍ය දැරුවේ ජනතා විමුක්ති පෙරමුණු මාළිමා පන්තිය විසිනි.

ඔවුන්ගේ සිහිනය වූයේ ප්‍රභූ පන්තියේ කවයට ඇතුළත් වීමයි. ප්‍රභූ ජීවිතයක්, සුඛෝපබෝගී නිවසක්, සුඛෝපභෝගී වාහනයක්, ලොකු පුටුවක්, විදේශ සංචාර, සමාජ ශාලා, මිල අධික ඇඳුම් , රස බොජුන්, ආරක්ෂකයින්, ආරක්ෂක රථ පෙරහර, සමාජ බලය, සමාජ ගරුත්වය , සහ ලොකුකම ඔවුන්ගේ සිහින විය. ඒ අනුව මෙම කණ්ඩායම හැඳින්වීමට වඩාත් සුදුසු යෙදුම වන්නේ “ මාළිමා පන්තිය” , “ ආරෝපිත නිර්ප්‍රභූන්” , හෝ “ව්‍යාජ නිර්ප්‍රභූන්” වැන්නකි.

ප්‍රභූන්

Bourgeoisie The Capitalists Who Own the Means of Production 1
ප්‍රභූ (Elite) යන යෙදුම පැමිණෙන්නේ තෝරාගත් විශේෂ අය යන අර්ථ ඇති Elite යන ප්‍රංශ වචනයෙනි. ඓතිහාසිකව මෙම යෙදුම භාවිතා වූයේ බලය, ධනය සහ බලපෑමක් කල හැකි කුඩා කණ්ඩායමක් හැඳින්වීමටයි. දේශපාලන නායකයින්, ඉඩම් හිමියන්, ව්‍යාපාරිකයින්, වංශාධිපතීන්, තීරණ ගැනීමේ ව්‍යුහයේ ආධිපත්‍ය දරන්නන් සහ බුද්ධිමතුන් මෙම කණ්ඩායමට අයිති වේ. කාල් මාක්ස් ගේ දෘෂ්ටිවාදය වූයේ නිර්ධන පංතියේ/ වැඩ කරන පන්තියේ විප්ලවයක් තුලින් ධනපති පන්තියේ (bourgeoisie) බලය අල්ලා ගැනීමයි.

එහෙත් මාළිමා පක්ෂයේ බහුතරය සහ බලය ඇත්තේ කම්කරුවන්ට නොව මධ්‍යම පන්තියටය. ඔවුන් බහුතරය ග්‍රාමීය පරිසරයකින් පැමිණ සිංහල මාධ්‍යයෙන්  ඉගෙනගෙන රජයේ විශ්ව විද්‍යාල වලින් උපාධි ලැබූවන් හෝ උසස් පෙළ සමත් වූවන්ය. ඔවුන්ගේ සිහිනය වූයේ නිර්ධන පාන්තික ආණුඩුවක් නොව තමන්ට ප්‍රභූන් වන්නට ඉඩක් ලැබෙන ආණ්ඩුවකි. ඒ සඳහා ඔවුන් ප්‍රභූ වෛරය, ප්‍රභූන්ගේ සුඛෝපබෝගී ජීවිතය ගැන ඊර්ෂ්‍යාව, ආරෝපිත දූෂණ වංචා, අක්‍රමිකතා, හොරකම, සංහතියේ හඬ (පොදුජන හඬ) වෛරය සහ කෝපය බවට පත් කලා.

ඉච්ඡාභංගත්වය

polite
එය ජනප්‍රිය වාදයට අහුවන පහල මධ්‍යම පාන්තිකයා මෙන්ම ඔවුන් පසුපස යන නිර් ප්‍රභූන් ද උගුලකට හසු කර ගැනීමකි. ඔවුන් ප්‍රභූ විරෝධය, වෛරයෙන් සහ සමානාත්මතාවයේ සිහින වලින් පෝෂණය කර, ප්‍රභූ  පැලැන්තියේ අසමාන බවට සහ අහංකාරයට එරෙහිව සංහතිය ඡන්දය භාවිතයට දක්කාගෙන යනු ලැබුවා. මාළිමා පන්තිය සංහතික ජනයා සජීවීකරණය කරනු ලැබූ සමානාත්මතාවය පිළිබඳ සිහින කිහිපයක් පහත දැක්වේ:

- දේශපාලන පත්වීම් සහ ඥාති මිත්‍ර සංග්‍රහ නතර කිරීම.
- හොරකම සහ සමාජ අසාධාරණයට තිත තැබීම.
- ප්‍රදර්ශන කාමය අවසන් කිරීම:


මැති ඇමතිවරු සහ සාමාන්‍ය ජනතාව එක සමාන තලයකට ගෙන්වීම ( ගරු - තුමා වැනි නම්බුනාම භාවිතා නොකිරීම, ආරක්ෂක රථ පිරිවරා ගෙන ගමන් බිමන් නොයාම, කුඩ නොඇල්ලීම, වාහනයේ දොර ඇරීමට කෙනෙකු නොසිටීම, මුල්ගල් නොතැබීම, පීත්ත පටි නොකැපීම, රැස්වීම් වල ලොකු පුටු නොතැබීම, අන් අයගෙන් වෙනස් වන අන්දමට ඇඳුම් පැළඳුම්  නො ඇඳීම ආදී දහසකුත් ජනප්‍රිය ප්‍රභූ විරෝධී සටන් පාඨ මාළිමා පන්තියේ සමානාත්මතා පොරොන්දු අතර විය).

එම පොරොන්දු වලින් ඇස් නිලංකාර කර ගත් සංහතික ජනයා මාළිමා පන්තිය බලය හිමි කවයට ඇතුළත් කරනු ලැබුවා. එහෙත් සත්‍ය වශයෙන්ම ඔවුන් විසින් මාළිමා පන්තිය ඇතුළත් කලේ ප්‍රභූ කවයට බව සංහතික ජනයා දැනගෙන හිටියේ නැහැ. ඕනම රටක පාලන බලය ලබා ගන්නවා කියන්නේ ‍ප්‍රභූ යාන්ත්‍රණයට ඇතුළු වීමක්. යම් කණ්ඩායමක් පාලකයන් බවට පත් වෙනවා කියන්නේ පාලිතයන්ගෙන්  වෙන් වී ප්‍රභූන් බවට පත්වීමක්. මේ කාරණය මාලිමා පාලකයින් මැතිවරණ ව්‍යාපාරයේ දී ජනතාවගෙන්  සඟවනු ලැබුවා.  

 

anura kumara dissanayake in parliament 5
අද රටේ බලය අල්ලා ගත් මාළිමා පන්තිය - ආරෝපිත නිර්ප්‍රභූන්, ඔවුන් හෙලා දුටු ප්‍රභූන්ම අනුකරණය කරති. නිදසුනක් වශයෙන් ජනාධිපතිවරයා පෞද්ගලික ජෙට් යානා වලින් විදේශ සංචාර වල යෙදෙයි. මුල් ගල් තබයි. පීත්ත පටි කපයි. සමරු පළක වල “ගරු ජනාධිපති තුමා” යන්න සටහන් වෙයි. අති සුඛෝපභෝගී නවාතැන්පළ වල නවාතැන් ගනී. ජනාධිපති සහ අගමැතිවරිය ආරක්ෂක රථ පිරිවරාගෙන ආරක්ෂක වැටවල් දා ගෙන ගමන් බිමන් යයි. අගමැතිවරියට සහ ඇතැම් ඇමතිවරුන්ට වාහනයේ දොර අරින්න අයෙකු සිටී. ඇතැමිවිට කුඩ අල්ලන අවස්ථාද දක්නට ලැබෙයි.

සාමාන්‍ය ජනතාවගෙන් වෙනස්ව කැපී පෙනීම සඳහා, බලයට පත්වෙන්න කලින් ඔවුන් අනුන්ගෙන් ඉල්ලා ඇඳපු කමිස කලිසම් ඉවතලා ඒ වෙනුවට අපේ රටේ දේශගුණයටද නොගැලපෙන ප්‍රභූ ඇඳුම් වන මිල අධික ටයි කෝට්, ඩබල් පොකට් කමිස අඳිති.

හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, වෘත්තීය සඳහා අධ්‍යාපන සුදුසුකම් මත රජයේ වෛද්‍ය සහ හෙද හෙදි තනතුරු ලබන්නන්ට පත්වීම්, ප්‍රසිද්ධ උත්සවයක් පවත්වා ඔහුගේ අතින් ලබා දුන්නේ එම තනතුර ඔහු ලබාදෙන දේශපාලන පත්වීමක් ලෙස හැඟෙන අයුරිනි. වර්තමාන ජනාධිපතිවරයාද එයම කරයි. රජයේ තනතුරක් ලැබීමට සුදුසුකම් ලබන්නෙකුට එම පත්වීම් ලිපිය තැපෑලෙන් ලැබීම ඔහුගේ සුදුසුකම් වලට ගෞරව කිරීමකි.

මාළිමා පන්තියේ ගජ මිතුරු ධනවාදය

Presidential Secretary
මාළිමා පන්තිය සංහතිය හමුවේ තැබූ ප්‍රධාන පොරොන්දුවක් වූයේ රජයේ දේශපාලන පත්වීම් නවත්වා සුදුස්සාට සුදුසු තැන, වෘත්තිකයින්ට ඔවුන්ට හිමි ස්ථානය ලබා දීමය.

එහෙත් මාළිමා ආණ්ඩුව රාජ්‍ය ආයතන වල ප්‍රධානීන්, සභාපති, අධ්‍යක්ෂ ජනරාල්, අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජික ආදී තනතුරු වලට පත් කර ඇත්තේ පෙර ආණ්ඩු කලාක් මෙන්ම දේශපාලන හිතවතුන්ය. පාසලේ - සරසවියේ යාළු මිත්‍රාදීන්ය. තම මැතිවරණ ව්‍යාපරයට මුදල් යෙදවූ ව්‍යාපාරිකයින්ය. එසේ නැතහොත් තම මැතිවරණ වේදිකාවේ කතා පැවැත්වූ පුද්ගලයන්ය. තානාපති තනතුරු ,විදේශ දූත මණ්ඩල  වෘත්තීය විදේශ සේවා නිලධාරීන් පත් කිරීම වෙනුවට තම දේශපාලන හිතවතුන්ගෙන් පුරවමින් සිටී. අමාත්‍යාංශ ලේකම්වරු ගණනාවක් රාජ්‍ය පරිපාලන සේවයෙන් බැහැරව පත් කර තිබේ.

රාජ්‍ය සේවය සියල්ලන්ට සමාන අවස්ථාවක් කිරීම අවස්ථාවක් කිරීම, අධ්‍යාපන සුදුසුකම් සහ වෘත්තීය සුදුසුකම් මත විවෘත තරඟකාරී ක්‍රමවේදයක් ඔස්සේ පත්කිරීම් සිදුකිරීමේ මාළිමා මැතිවරණ පොරොන්දු අතුරුදන් වී ඇත. තමන් මහජනතාව ඉදිරියේ තැබූ පොරොන්දු වෙනුවෙන් මාළිමා ආණ්ඩුව කැපවී සිටන්නේ නම් රජයේ ආයතන වල ප්‍රධානීන් විවෘත අයදුම්පත් කැඳවීමක් හරහා විධීමත් සම්මුඛ පරීක්ෂණයකින් තෝරා ගත හැකිය. විදේශ සේවයට විදේශ සේවයේ නිලධාරීන් පමණක් පත් කල හැකිය. ඔවුන් පොරොන්දු වූ රාජ්‍ය සේවයේ විවෘත භාවය සහ වගවීම සහතික වන්නේ එමගිනි. එහෙත් මාළිමා පක්ෂය අද කරන්නේ ජනතාව වෛර කල පසුගිය ආණ්ඩු කල දේමය.

anura

 

ව්‍යාජ ප්‍රභූ විරෝධි -ආරෝපිත නිර්ප්‍රභූ නායකයින් මැතිවරණ ව්‍යාපාරයේදී සමානාත්මතාවය, දූෂණ, වංචා, අනුක්‍රමිකතා වලට එරෙහි වීම සහ ප්‍රභූ වෛරය පිළිබඳව වෙස් මුහුණු දාගත්තද බලය අල්ලා ගත් පසු එය ගලවා දමා ප්‍රභූ ජීවිතයට ඇතුළත් වන ආකාරය පිළිබඳ ලංකාව කදිම නිදසුනකි. ඔවුහු බලය අල්ලා ගත් වහාම ප්‍රභූ ලෝකයට අවශෝෂණය වේ. ඔවුන්ගේ භාෂාව අරගලයේ සිට පාලනය, ආධිපත්‍ය, ධූරාවලිය සහ බලය භුක්ති විඳීම දක්වා වෙනස් වේ. ඔවුහු සැබෑ නිර්ප්‍රභූන්ගේ හඬ ශක්තිමත් කරනු වෙනුවට ඔවුන් නිහඬ කරන මැදිහත්කරුවන් බවට පත් වේ.

මේ ආකාරයට  මැතිවරණ ව්‍යාපාරය තුළ   සංහතික සමාජයේ සටන් පාඨ බවට මාලිමා පන්තිය විසින් පත් කළ “පරමාදර්ශ”, මාලිමා ආණ්ඩුව කුණු කූඩයට දමමින් සිටි.  සංහතික සමාජය විසින්  තමන්ගේ අනෙකා ලෙස හඳුනාගත් ප්‍රභූවරු වෙනුවට තම “අවසාන තේරීම” බවට පත්කර ගත් මාලිමා පන්තිය සහ ඔවුන්ගේ පරමාදර්ශයන් “සිහිනයක්” බවට පත්කරමින් සිය අවසාන තෝරා ගැනීම නිවැරදි කළ නොහැකි අත්වැරැද්දක් බවට  සංහතික සමාජය විසින් පත් කරගෙන ඇත.

සංහතික දේශපාලනයේ නැගීම සහ බිඳ වැටීම

ග්‍රාමීය පසුබිම් වලින් එන නායකයින් රටක ලබය අල්ලා ගන්නා විට ඔවුන් තුළ ප්‍රභූන් කෙරෙහි ඇති වෛරය ද රැගෙන එයි. ඔවුන් සංහතික සමාජය බලමුළු ගැන්වීමේදී ප්‍රභූ ආධිපත්‍ය “ සාමාන්‍ය ජනතාවගේ ” හඬින් ප්‍රතිෂ්ඨාපනය කිරීමට පොරොන්දු වනවා. එහෙත් උත්ප්‍රාසාත්මක ලෙස ඔවුන් විසින් ප්‍රභූන් පරාජය කල පසු ඔවුන් කලින් විවේචනය කල ජීවන රටාව, සුඛෝපභෝගී ජීවිතය, ඥාති මිත්‍ර සංග්‍රහ සහ සමාජයේ කැපී පෙනීම සහ සමාජ තත්වය නඩත්තු කරයි.

සත්‍ය වශයෙන්ම ප්‍රභූන් බලයෙන් පහ කර “ සමාන්‍ය ජනතාවගේ පාලනයක් ” පිහිටවීමේ සිහිනය අවසන් වන්නේ ආරෝපිත වෙස් වලාගත් නිර්ප්‍රභූ නියෝජිතයින් ඔවුන් එරෙහිව සටන් කල ප්‍රභූන් බවට පරිවර්තනය වීමෙනි. නව පද්ධතියක් ගොඩනගනු වෙනුවට, ක්‍රමයේ වෙනසක් ඇති කරනු වෙනුවට ඔවුන් සුඛෝපභෝගී, වරප්‍රසාද, දූෂණ වැළඳ ගන්නා ජීවන රටාවක් වෙත අනුවර්තනය වෙමින් සිටී.

gtv56u
2019 ගොඨාභය ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව සිදු වූයේද එයයි. ප්‍රසිද්ධ කියමනක් තිබෙනවා: “ ඉතිහාසයේ එකම සිදුවීම දෙවරක් සිදුවෙනවා. පළමු වැන්න අහම්බයක් ලෙස. දෙවැන්න ඛේදවාචකයක් ලෙස ”. මෙරට සංහතික සමාජයේ පරමාදර්ශී සිහිනය යථාර්තයක් කර ගැනීමට ගැසූ අවසාන තුරුම්පුව වන මාළිමා ආණ්ඩුව පිහිටුවීමෙන් පසු අද සිදුවෙමින් පවතින්නේ එයයි.

19 වන සහ 20 වන සියවස් වලදි කාර්මීකරණය, නාගරීකරණය, අධ්‍යාපනය සහ ජනමාධ්‍ය විසින් පොදු ජන සමාජයක් හෙවත් සංහතික සමාජයක් ගොඩනගනු ලැබුවා. ඒ හා සම්බන්ධ වූ බහුජන ව්‍යාපාර විසින් මුල් රහිත පහසුවෙන් හැසිරවිය හැකි සංහතික මිනිස් සමාජයක් නිර්මාණය කරනු ලැබුවා. එමඟින් පවුලේ, ප්‍රජාවේ සහ සමාජයේ පැවති ධුරාවලිගත  සාම්ප්‍රදායික බැඳීම් අහිමි උනා. විලියම් කෝර්න් හවුසර් (1949) වැනි විද්වතුන් තර්ක කලේ සාම්ප්‍රදායික ධූරාවලින් බිඳවැටීම නිසා සමාජයේ සැබෑ ප්‍රභූන්ගේ ස්ථාවර භූමිකාව විනාශ වූ බවත් ජනප්‍රියවාදී වාචාලයින්ට බලය අල්ලා ගැනීමට මග පෑදුනු බවත්ය.

ජෝන් ස්ටුවර්ට් මිල් ට අනුව පන්ති වෙනස්කම් විනාශ කිරීම සහ සංහතික දේශපාලනයේ නැගීම විසින් සංස්කෘතික‍ සදාචාරාත්මක වටිනාකම් සහ බුද්ධිමය ප්‍රමිතීන් ඛාදනය කරයි. 19- 20 වන ශත වර්ෂ වල නාගරීකරණය, කාර්මීකරණය, අධ්‍යාපනය සහ ජනමාධ්‍ය විසින් යුරෝපයේ සංහතික සමාජයක් ඇති කලාක් මෙන් වර්තමානයේ මෙරට සංහතික සමාජයේ හදිසි අවදි වීමට සහ බලය අල්ලා ගැනීමට සමාජ මාධ්‍ය සහ ඩිජිටල්කරණය තීරණාත්මක මැදිහත්වීමක් සිදු කර තිබෙනවා.

projects mend

 

“බහුතරයේ කුරිරු පාලනයක්” ගැන අනතුරු අඟවමින් ජෝන් ස්ටුවර්ට් මිල් පැවසුවේ ජනතාවගේ ඝෝශාකාරී හඬ විසින් ස්වල්ප දෙනෙකෙුගේ ප්‍රඥාව තලා පොඩි කර දැමිය හැකි බවයි. ඔටෙගා ගැසට් තවදුරටත් පෙන්වා දුන්නේ සංහතික මිනිසා අධ්‍යාපනය ලබා ගනිමින්, මාධ්‍ය වෙත ප්‍රවේශ වෙමින් බලය අල්ලා ගන්නා නමුත් ඔහුට නායකත්වය දීමට  සදාචාරාත්මක බව සහ බුද්ධිමය විනය නොමැති බවයි.

සංහතිය විසින් රටක බලය අල්ලා ගැනීමේ අඳුරු පැත්ත පිළිබඳව අවධානය යොමු කරමින් හැනා අරේන්ඩ් මෙසේ පවසයි. සැබෑ ප්‍රභූන්ගේ මගපෙන්වීමකින් තොරව විරසක වූ සංහතිය කලහකාරී ලෙස දේශපාලනයට ඇතුළු වූ විට ඒකාධිපතිවාදය සඳහා සාරවත් භූමියක් නිර්මාණය වේ. 

නාසිවාදය, ස්ටාර්ලින් වාදය, පැසස්ට් වාදය නොමග ගිය සංහතික සමාජයේ කලහකාරී මැදිහත්වීමේ ප්‍රතිඵලයන්ය. සංහතිකවාදී ප්‍රතිපත්ති සහ ජනප්‍රියවාදී මාධ්‍ය ආඛ්‍යාන කෙටිකාලීනව අත්පොළසන් දිනාගනී. විශාල “ like” ප්‍රමාණයක් එකතු කර ගනී. එහෙත් එය අවසානයේ දීර්ඝකාලීන මහා ව්‍යසනයක් සඳහා දොර කවුළු විවර කරයි. ශ්‍රී ලංකාවේ දැන් සිදුවෙමින් පවතින්නේ එයයි.

මිල් ගේ “ බහුතරයේ ඒකාධිපති පාලනය” සිට අරේන්ඩ් ගේ සංහතික සමාජයේ දේශපාලන මැදිහත්වීම පිළිබඳ අනතුරු හැඟවීම අදටත් වලංගුය.

pradeep(සටහන | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ)
ජනමාධ්‍ය අධ්‍යන අංශය
කොළඹ විශ්ව විද්‍යාලය

pnweera@yahoo.com

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...