The Leader News
BREAKING
Top Ad
Opinion

ලංකාව විනාස කළ දේශපාලන කස්තිරම් | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

T

The Leader Desk

September 11, 2025 • 8:12 AM

ලංකාව විනාස කළ දේශපාලන කස්තිරම් | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිදහස් ලංකා දේශපාලන ක්‍රියාවලිය තුළ අපේ දේශපාලන පක්ෂ බලයට කෑදරව වැරදි ගස් වලට බඩ ගෑම හේතුවෙන් රට කඩා වැටුණ බව පමණක් නිදහස් ලංකා ඉතිහාසය පුරා සටහන් වී ඇති බව අප විසින් පිළිගත යුතුව තිබේ.
  • රටේ දූෂණය හොරකම ඉහවහ ගියේ 2005දී ජවිපෙ ප්‍රභාකරන් සමග එක්ව උස්සා තැබූ රාජපක්ෂ පාලනය විසින් මිස, සේනානායකලා බණ්ඩාරනායකලා විසින් නොවේ.
  • රාජපක්ෂ කාලයේ ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැලිගොඩ, නඩරාජා රවිරාජ්, තාජුදීන් මහ පාරේ මැරුම් කෑවේ විජය කුමාරතුංගලා ලයනල් ජයතිලකලා මැරුම් කෑ ආකාරයටම බව මතක ඇති.
  • වැඩිහිටියන්ට 88-89 භිෂණ කාලයේ සිද්ධින්ට වගකිව යුතු ජවිපෙ ආරක්ෂාව වෙනුවෙන් මහින්ද රාජපක්ෂ පෙනී සිටි බව අමතක නැත.
අකුරු ප්‍රමාණය (Font Size):


නිදහස් ලංකා දේශපාලන ක්‍රියාවලිය තුළ අපේ දේශපාලන පක්ෂ බලයට කෑදරව වැරදි ගස් වලට බඩ ගෑම හේතුවෙන් රට කඩා වැටුණ බව පමණක් නිදහස් ලංකා ඉතිහාසය පුරා සටහන් වී ඇති බව අප විසින් පිළිගත යුතුව තිබේ. රටේ දූෂණය හොරකම ඉහවහ ගියේ 2005දී ජවිපෙ ප්‍රභාකරන් සමග එක්ව උස්සා තැබූ රාජපක්ෂ පාලනය විසින් මිස, සේනානායකලා බණ්ඩාරනායකලා විසින් නොවේ.

 

රාජපක්ෂ කාලයේ ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැලිගොඩ, නඩරාජා රවිරාජ්, තාජුදීන් මහ පාරේ මැරුම් කෑවේ විජය කුමාරතුංගලා ලයනල් ජයතිලකලා මැරුම් කෑ ආකාරයටම බව මතක ඇති. වැඩිහිටියන්ට 88-89 භිෂණ කාලයේ සිද්ධින්ට වගකිව යුතු ජවිපෙ ආරක්ෂාව වෙනුවෙන් මහින්ද රාජපක්ෂ පෙනී සිටි බව අමතක නැත.

ප්‍රභාකරන් ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ගැසුවේ ජවිපෙය ගිය පාරේම ගමන් කරමිනි. ලාංකේය අප අත් විඳින මේ ඉරණම හෝ කරුමය ජාතික හෝ පොදු අවශ්‍යතා ගැන නො සිතා පුද්ගල රුචි අරුචිකම් අනුව ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය පාවිච්චි  කිරීමේ ප්‍රතිපලය වන්නේය.

 

වැරදි නඩු තීන්දුවක් දී තමා රාජපක්ෂ බේරා ගැනීම පිළිබඳ සමාව ඉල්ලා සිටි අග විනිසුරුව සිටි සරත් නන්ද සිල්වා කළ ප්‍රකාශය අදටත් අධිකරණයට කළ අපහාසය කිරිමේ වරදට දඬුවම් ලැබිය යුතු වරදකි. විනිශ්චය කරුවන්ගේ විනය සම්බන්ධව මේ දිනවල අධිකරණ කොමිෂන් සභාව දක්වන  උනන්දුව සරත් නන්ද සිල්වාගේ ප්‍රකාශය පිළිබඳවද යොමු වේ නම් යහපත්ය. හේතුව රනිල් රිමාන්ඩ් කරතී යයි කළ ප්‍රකාශය, අයවැය රහස් කල් තබා හෙළි කිරීම වැනි වාචාල කතාවට වඩා යමක් නො වූවද, කැරම් බෝර්ඩ් නඩුව අවසානයේ අපේ ආණ්ඩුවක් නො තිබියා නම් එවැනි දඬුවම් නො ලැඛෙතී යයි අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර කළ ප්‍රකාශයත් සරත් නන්ද සිල්වා කළ ප්‍රකාශය මෙන්ම අධිකරණයේ ස්වාධිනත්වය සහ ගෞරවය කෙළෙසීමකි.

 

rajapaksa sarath
අධිකරණ තීන්දු පිටුපස ආණ්ඩුව සිටිනවා යයි හර්ෂණ නානායක්කාර නො කියා කියා තිබේ. එසේම මත්පැන් පානය කොට රිය පදවා රවි සෙනෙවිරත්න සිදු කළා කියන අපරාධයට අදාළව ගල්කිස්ස උසාවියේ ගොනු කළ නඩුවේ විනිසුරු මාරු කිරීමට ඉල්ලා සිටීම තෙක් 2005-2025 අතර වාර්තාවන අධිකරණයට සම්බන්ධ බොහෝ සිද්ධින් අධිකරණය කෙරෙහි පවත්නා අප්‍රමාණ ගෞරවයට යහපත් නොවුණද, වර්තමානයේ අධිකරණ නිලධාරින් පිළිබඳව ඍජු ක්‍රියා මාර්ග ගැනීමට අධිකරණ කොමිෂන් සභාව දක්වන උනන්දුව සරත් නන්ද සිල්වා සිට අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර දක්වා පුළුල් කළ යුතුව තිබේ.  

මාලිමා පාලකයන් නිතර ජප කරන සාප ලත් නිදහස් ලංකාවේ 76 වසරෙන් මුල් වසර 40ක විශිෂ්ඨ ප්‍රභූ දේශපාලන මැදිහත්වීම් පිළිබඳ පසුගිය ලිපියෙන් සවිස්තරව දක්වා ඇත. ඒ අනුව රටට සාපයට ගොදුරු වූ කාලය සොයා ගැනීමට එකී වසර 76න් 40 වසරක්  අඩු කළ විට ලැඛෙන 36 ඉලක්කම මාලිමාව බලයට පත් 2024න් අඩු කළ කාට වුවද උත්තරය 1988 බව පැහැදිලි වන අතර, 1988 යනු මේ ලිපිය ආරම්භයේ කියන වැරදි ගස්වල නැගීමේ උච්ඡාවස්ථාවක් මිස එහි ආරම්භය නො  වන්නේය.  

1971 අප්‍රේල් 5 වෙනිදා බණ්ඩාරනායක අගමැතිනිය කැරළිකරුවන්ට හසු වුණා නම් වර්තමානයේ ශ්‍රී ලංකාව යනු කියුබාවක් හෝ බංගලිදේශයක් මිස චීනයක් හෝ වියට්නාමයක් වන්නේ නැත. නිදහස් ලංකා ඉතිහාසයේ ජනතාව තුනෙන් දෙකක බලය ලබා දීම 1970 පත් කළ ප්‍රථම ආණ්ඩුවට රටට යහපතක් කිරීමට එක් අවුරුද්දක් හෝ ගතවී යාමට නොදී සිදු කළ සාහසික අපරාධයට වගකිව යුතු නොමේරු විජේවීරගේ බැල්මෙන් අඳුරු ව අවපැහැ ගැන්වුණ පැලවත්තේ දේශපාලනයෙන් කීර්තිමත් අතීත ප්‍රභූ දේශපාලනයක වර්තමාන පුරුකක් වන අගමැති හරිනි අමරසූරිය ඇතුළු වර්තමාන පාලකයන් ප්‍රවේශම් විය යුතුවේ.  

JR Maramu

බණ්ඩාරනායක අගමැතිනිය, 71 කැරැලි කිරි සප්පයන්ට දරු සෙනෙහසින් සලකා විජේවීරලාට නීතිය ක්‍රියාත්මක කළ බව ධනාත්මකව කල්පනා කළා නම් බටලන්දක් නිර්මානය වන්නේවත් විජේවීර පන පිටින් ගෑස් උඳුනක මිය යන්නෙවත් නැත. ජේ.ආර්.මරමු කියා පෝස්ටර් ගසා විජේවීර දුන් උදව්වෙන් බලයට පත් ප්‍රේමදාස විසින්  විජේවීරවත්, ප්‍රේමදාස දුන් අවි ආයුධ මුදල් වලින් ශක්තිමත්වූ ප්‍රභාකරන්, ප්‍රේමදාසවත් විනාස කිරීම මෙන්ම 2005දී උතුර නැගෙනහිර බිය ගන්වා රටේ ජනාධිපති කරවීමට ජවිපෙ සමග ඇපකැපවී ක්‍රියා කළ ප්‍රභාකරන් මහින්ද විසින් කළ ඝාතනය කිරීමත් තම වාසියට ඕනෑම අළුකුත්තේරු වැඩක් කිරීමට ලැබුණ දඬුවම් වන අතර, ඒ අද්‍රෘෂ්‍යමාන අධිකරණය හෙටටත් එසේම සක්‍රිය බව පමණක් කවුරු කවුරුත් වටහා ගත යුතුවේ.

හාල් පොතට මුවා වී සිදු කළ නිකමුන් බෝ කිරීමේ ජාතික අපරාධය ජේ.ආර්. අවසන් කළද, ප්‍රේමදාස ජනාධිපති වී ජන සවිය නමින් යළි ජනගත කළ ඒ වැරදි තීරණය වර්තමානයේ සමෘධිය අස්වැසුම ආදි විවිධ ස්වරූපයෙන් රටේ ආර්ථීකයට වින කැටීමත් කවුරු කළත් අළුකුත්තේරු වැඩකි. ලජ්ජා බය නැතිව දූෂණය වංචාව රටට හුරු කළ සිය දේශපාලන හතුරන් බියක් සැකක් නැතිව විනාස කළ කැත දේශපාලනය රටට හඳුන්වා දුන් වර්තමානයේ විපක්ෂයට නායකත්වය දෙන සජිත් නාමල් පෝතකයන් යළි බලයට පත් වුණොත් රටට සිද්ධ වන දේ කියන්නට වෙනම ස්කෝල අවශ්‍ය නොවේ.

පවත්නා තත්වය තුළ රටට අවශ්‍ය ආණ්ඩු පෙරළන විපක්ෂයක් නොව පවත්නා පාලකයන්ගෙන් සිදුවන යහපත ජනගත කළ හැකි ශක්තිමත් සිවිල් ව්‍යාපාරයකි. ජනතාව පත් කළ ප්‍රජාතන්ත්‍රවාදි ආණ්ඩුවකට මුලින්ම කොකා ගැස්සුවේ 1971දී බව ඉතිහාසයේ ලියැවී ඇත. යන්තම් එක් අවුරුද්දක් ගෙවා දැමූ වර්තමාන ආණ්ඩුවට වින කැටීමට දඟලන ප්‍රේමදාස රාජපක්ෂ පැටවුන්ට එරෙහි නිර්දේශපානික ව්‍යාපාරයක් අවශ්‍ය  වේ. පවත්නා ආණ්ඩුව විපක්ෂයෙන් බේරා ගන්නවා කියන්නේ පොහොර ජයකොඩිලා බදු වසන්තලා ආරක්ෂා කිරීම නොවේ. එසේම පිස්කල් ගෙදර යවා නඩු තීන්දුව ක්‍රියාත්මක කිරීමට ජෙවීපි කාරයන් පොලූ මුගුරු ගෙන දේපල කොල්ල කෑමට හෝ බීමත්ව රිය පදවා හසුවූ තක්කඩින් තම නඩුවේ විනිසුරු මාරු කිරීමට කිසිවෙකු ඉඩ දිය නො දිය යුතුවේ.

මේ වන විට අධිකරණයත් ආණ්ඩුව පසුපස යතී යයි ජනතාව සිතුවොත් එය රටේ අවාසනාවකි. නේපාලයේ එක දිගට සිදුවූ විනාසය ගැන විමසිල්ලෙන් සිටි බොහෝ දෙනා එහි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිනි තැබුවා කී විට තිගැස්සීම ගැන අධිකරණ සේවාව කල්පනා කළ යුතුවේ.  කොටින්ම ලිපියේ මුලින් කී ආකාරයට මේ ආණ්ඩුව වලල්ල නැතිව වැරදි ගස්වල නැගීම මතවාදීව නතර කළ යුතුවේ.

ගිය සතියේ ලිපියෙහි දැක්වෙන ආකාරයට උතුර දකුණ එක්ව නිදහස් ලංකාවේ පළමුවැනි පාලනය 1948දී ආරම්භ වූ අතර, 1952 මැතිවරණයේදී ජනතාව එකී සංහිඳියාම වඩාත් තහවුරු කළද ප්‍රජාතන්ත්‍රවාදයට ආගම් භාෂා විස පෙවීමෙන් 1956දී ඒ ජාතික එකමුතුව විනාස වූ අතර, සිංහල දෙමළ භාෂා දෙකට සමතැන් ඉල්ලා ගුටි කෑ වමේ පක්ෂ සිංහල රාජ්‍ය භාෂාව කිරීමට බලය ඉල්ලා සිටි බණ්ඩාරනායක දිනවීමට ඒ විනාසයට උදව් කරමින් නිතරග ගිවිසුම් ගැසීය.

බලයට පත්ව එක් වසරක් යාමට පෙර බණ්ඩාගේ ආණ්ඩුවට වින කැටීම විජේවීර දැක බලා ගත්තේ සාම්ප්‍රදායික වමේ මොල කාරයන් ගෙනි. ප්‍රධාන විපක්ෂය වූ  සමසමාජ කොමියුනිස්ට නායකයන් 56 ගොඩ නැගූ ආණ්ඩුවට එරෙහිව කළ හැකි සියල්ල සිදු කළ අතර ඒ හරහා පෙළ ගැසුණ ප්‍රතිගාමි බලවේග බණ්ඩාරනායක පෙට්ටියක දමා හොරගොල්ලට පිටත් කිරීම සම්පිණ්ඩනය කරමින් බණ්ඩාරනායක මැතිනිය ''මගේ සැමියා නො මරා මැරුවේ ඇන්.ඇම්.'' බව 1960දී ප්‍රසිද්ධියේ කීවාය.  


dadli Pereraඅතීතයේ සිටි දේශපාලකයිින් දෙදෙනෙක් මේ. එකළ අගමැති ඩඩ්ලි සේනානයක හා ඇම්.ඩි. බණ්ඩා

මේ හැම මැදිගත්වීමකම තිබුණේ දෙන්නම් බැටේ සෙල්ලම මිස, රටට අවශ්‍ය ජාතික වැඩ සටහනක් නිර්මානය කිරීමට ජනතාව බලයට පත් කළ පාලකයන්ට සහාය දැක්වීමක් නො වීය. හාල් සත 49කින් වැඩි කිරීමට එරෙහි හර්තාලය නිසා අගමැතිකම දමා ගිය ඩඩ්ලි 1965දී ජනතාව යළි බලයට පත් කළ පසුව 1966 වැපුරූ එක් වී බුසලකට බුසල් විස්සක්වූ වී අස්වැන්න 1969යේදී බුසල් එකසිය හතරකට වැඩි කළ කිරීමට සමත් විය. එහෙත් මැතිනිය, හඳෙන් හෝ හාල් ගෙනත් දෙනවා කී කතාවෙන් උද්දාම වූ රටේ තුනෙන් දෙකක ජනතාව 1970දී පිහිටවූ පාලකයන් දින දෙකක් බත් කෑම නීතියෙන් තහනම් කිරීම නිසා හත් වසක සාප අවලාදයට මැතිනිය බිලි වුණේ සිය සැමියා නො මරා මැරූ ඇන්.ඇම්.ලා ගෙන් රටට යමක් කිරීමට ගත් උත්සාහය  වැරදීම නිසාය.  

දෙවේලක් බත් කන රටේ තුනෙන් දෙකක ජනතාව 1970 සිදු කළ ආණ්ඩු පෙරළිය පසුගිය ලිපියේ සඳහන් චොකා මල්ලිලා දිනවීමට 2020දී පෙළ ගැසුණ බලවේග 2024දී මාලිමාව වෙනුවෙන් පෙළ ගැසීම රනිල් සජිත් දෙදෙනාගේ අමන බල අරගලයේ ඍජු ප්‍රතිපලයක් මිස රටේ ජනතාව ගත් ඍජු තීරණයක් නොවේ.

දේශපාලනිකව නොව රටේ යහපත වෙනුවෙන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සේනානායකලා බණ්ඩාරනායකලා කිසි විටෙක පසුබට නොවීය. අමෙරිකාව විරුද්ධ වෙද්දී, එක්සත් ජාතින්ගේ සංවිධානයේ සාමාජිකවත්ය අපේක්ෂාවෙන් සිටි ලංකාවේ අගමැති මහාමාන්‍ය ඩී.එස්.සේනානායක, චීන ලංකා සහල් රබර් ගිවිසුමට එකඟ වුණේ  රටේ යහපත වෙනුවෙන් මිස කලාපීය දේශපාලනය කනපිට ගැසීමට නොවේ. සූවස් ඇල යුද්ධය අවස්ථාවේ එජා සංවිධානය ලෝක මතය විමසීමට තීන්දු කළ විට අගමැති බණ්ඩාරනායක උපදෙස් දුන්නේ ඉන්දියාව ගන්නා තීරණය සමග අනුගත වන ලෙසය. එහි තේරුම් බණ්ඩාගේ සෙවලකම නොව රටට වැඩදායි සමකාලීන භූ දේශපාලන කියැවීමට අනුගත වීමය.

harthalaya53 හර්තාලය

බණ්ඩාරනායක මැතිනිය, සිරිමා - ශාස්ත්‍රී ගිවිසුම අත්සන් කිරීමට පෙර එවකට විපක්ෂ නායක ඩඩ්ලි සේනානායකට ගිවිසුම් කෙටුම්පත එවා අනුමැතිය ලබා ගත්තේ එය රටේ පැවැත්මට බලපාන නිසාය. මහවැලිය උතුරට හරවා වියලි කලාපය සශ්‍රික කිරීමේ ඩඩ්ලිගේ යෝධ ව්‍යාපෘතිය බණ්ඩාරනායක මැතිනිය විසින් ක්‍රියාත්මක කරවීම තවත් එවැනි අවස්ථාවකි. රජරට උපන් මෛත්‍රීපාල සේනානායක, වැඩි ඉඩම් ප්‍රමාණයක් අස්වැද්දීමේ අරමුණෙන් සිදු කළ රජරට සමහර මහා වැව් කැපීමට සාමාන්‍ය ජනතාව එරෙහි වූ විට ඊට සහාය නොදුන් එවකට ආණ්ඩුවේ තනතුරු දැරූ ඇන්ඇම් කොල්වින්ලා 1977 පරාජයෙන් පසුව සාම්ප්‍රදායික රජරට ප්‍රභූ  ඉඩම් හිමියන්ගේ උවමනාවට වැව් කැපීමට එරෙහිව එප්පාවලට ගොස් මහා විරෝධයක් පෑවේ 53 හර්තාල පන්නයේ දේශපාලනික කස්තිරමක් ඇල්ලීමටය.

රටෙන් හාල් ගේන්න ආණ්ඩුවක් ඕනැද වැනි ප්‍රකාශ කරමින් වමේ දේශපාලනය පුරුදු  මේ සෙල්ලමට අනුව යමින් ජවිපෙ/ මාලිමා වේදිකාවලින් ඇසුණ බොහෝ ප්‍රකාශ මේ දිනවල සමාජ මාධ්‍ය  හරහා සමච්චලයට ලක්වනු දැකිය හැකිය.  

ජනතාව බලය දෙන්නේ දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවා ගැනීමට නොව, ජීවත්වන රටට තමන්ට යහපතක් අපෙක්ෂාවෙනි. රටක පැවැත්ම සඳහා කැප වෙනවා මිස සිය දේශපාලනය වෙනුවෙන් බලය පාවිච්චි කර අත්හදා බැලීම් සිදු කිරීමෙන් කියුබාවට සිදුවූ විනාසය ශ්‍රී ලංකාවේ කිසිසේත් සිදු නො විය යුතුවේ.

 



රනිල් වික්‍රමසිංහ අත් අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට කළ තර්ජනයක් බව කියන විපක්ෂයට එක වේදිකාවකදී පෙනී සිටීමේ හැකියාවක් නොමැති අතර විශේෂයෙන් එහිදී රාජපක්ෂලාගේ බොක්ක වෙනස් බව කාටත් පැහැදිලි විය. මේ පටු දේශපාලනය වඩාත් කැපී පෙනුණේ 2024 ජනාධිපති මැතිවරණ ප්‍රතිපලයෙහිය. එහිදී රනිල් සජිත් ගත් ඡන්ද ප්‍රමාණය එක් කළ විට, රටේ ජනාධිපති අනුර නොවේ. කාට කෙළවිලා හෝ වාසිය තමන්ට ලැබිය යුතු යයි සිතන මැදමුලන රාජපක්ෂලාට වඩා යමක් එජාපය විනාස කළ රනිල් සජිත් දෙදෙනා ගෙන් අපේක්ෂා කළ නො හැකිය.

කෙසේ වෙතත්  2024 රටේ පාලකයා හැටියට සජිත් තේරි පත් නොවී අනුර කුමාර දිසානායක තේරී පත් වීම නම් රටේ ජනතාවගේ වාසනාවකි. මේ හැරෙන්නේ මාලිමාවට ජයවේවා කියන්නට නොවේ. නිදහස් ලංකා ඉතිහාසයේ වාමාංශික දේශපාලන පක්ෂ බලය ඇල්ලීමට කළ අලූකුත්තේරු වැඩ ගැන කල්පනා කරන විට, වමේ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින අනුර කුමාර දිසානායකගේ දායකත්වය ඛෙහෙවින් ධානාත්මක බව කියන්නටය.

imf 2 1

විවිධ වර්ගයේ උප්පර වැට්ටි යොදා බලය ලබා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදි ලංකාවට අමුතු කතාවක් නොවේ. එහෙත් සත්‍යයට මුහුණ දෙමින් රටට විය යුතු දේ කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ පාලකයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමත කළ ආර්ථීක වැඩ සටහන අත් නොහැර ක්‍රියාත්මක කිරීම ගැන සත්තකින්ම වර්තමාන විපක්ෂය අනුර කුමාර දිසානායකට කෘතඥ විය යුතුවේ.  

2022 ජූලියේ රනිල් ආර්ථීක ප්‍රතිසංස්කරණ ආරම්භ කළ අවස්ථාවේ, රට දුවන්නේ මාස පහක් කියා අනාවැකි කී ආචාර්ය හර්ෂ සිල්වා හක හක ගා රනිල්ට සිනාසීමට බලා සිටියද, වර්තමාන ආණ්ඩුවත් ගෙවී ගිය වසර පුරා රටත් රටේ ජනතාවත් ජාම බේරා ගත්තේ පැවති ආර්ථීක පිළිවෙත අඛණ්ඩව ක්‍රියාත්මක කළ නිසා බව හිතන්නට කල්පනා කරන්නට ජනතා දැනුවත් කරන්නට විපක්ෂය පෙළ ගැසිය යුතුව තිබේ.

 පසුගිය කාලයේ රටේ බිඳ වැටීම ගැන පැවති ආණ්ඩු මෙන්ම විපක්ෂයද එක තරමට වගකිව යුතු අතර, සත්තකින්ම මේ එළඹී ඇත්තේ ජාතික ආණ්ඩුවක්  රටට අවශ්‍ය කාල පරිච්ඡේදයකි.  

 

මුදල් ලේකම් මහින්ද සිරිවර්ධන විශ්‍රාම ගත් අවස්ථාවේ කළ කතාවේදී ජනාධිපති වික්‍රමසිංහ රට ගැන හිතා ජනප්‍රිය නොවන බොහෝ තීරණ ගත් බව කීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායෙන් දියුණුවූ රටක් නැත යයි කී අනුර කුමාර දිසානායක, රට පාලනය කළ ආසන්න වසරක කාලය පුරා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රනිල් එකඟ වූ කොන්දේසි ඉස්පිල්ලක් පාපිල්ලක් හෝ වෙනස් නොකර ක්‍රියාත්මක කිරිමට කැපවී ක්‍රියා කිරීම රටේ ජයග්‍රහණයකි.  

දේශපාලනිකව වෛර කළ ඉන්දියාව සමග පවා ඉතා යහපත් රාජ්‍ය තාන්ත්‍රීක ගණුදෙනු කිරීමට පියවර ගැනීම මා මිත්‍ර විශ්‍රාමික විදුහල්පති වරයා දකින්නේ මාඕ සේතුං නිර්මානය කළ චීනය වර්තමානයට අනුගත වීමක් වැනි රටේ ජයග්‍රහණයක් හැටියටය. මාලිමා පාලනයේ මේ නව ප්‍රවේශය දේශපාලනිකව අනුර කුමාරලාට එරෙහිව දමා ගැසීම රටට කරන හතුරු කමකි.

chandrasiri senevirathne

(සටහන | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com


 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...