The Leader News
BREAKING
Top Ad
Opinion

අඛණ්ඩව ඉහළ යන ඉන්ධන මිල හමුවේ අප කුමක් කළ යුතු ද? | ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා

T

The Leader Desk

June 3, 2026 • 9:19 AM

අඛණ්ඩව ඉහළ යන ඉන්ධන මිල හමුවේ අප කුමක් කළ යුතු ද? | ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක වෙළෙඳපොළේ අර්බුද හමුවේ ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම ජන ජීවිතය මෙන්ම සමස්ත ආර්ථිකයම දැඩි කම්පනයකට ලක් කර ඇත.
  • ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික සහ දේශපාලනයේ වඩාත්ම සංවේදී මාතෘකාවක් බවට පත්ව ඇත්තේ ඉන්ධන මිල ඉහළ යාමයි.
  • මීට හේතුව වන්නේ බලශක්ති වෙළෙඳපළේ නිරන්තරයෙන්ම සිදුවන මිල උච්ඡාවචනයන් සහ ශ්‍රී ලංකාව දැඩි ලෙසම බලශක්ති ආනයනය මත රඳා පැවතීමයි.
  • 2026 පෙබරවාරි මාසයේ 28 වන දින රුපියල් 293 ක් වූ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල මැයි අවසානය වන විට රුපියල් 434 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඩීසල් ලීටරයක මිල රුපියල් 281 සිට රුපියල් 407 දක්වා ඉහළ ගොස් ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ පීඩනය සමනය කරන්නේ කෙසේද? පිරිවැය පදනම් කරගත් මිල සූත්‍රය හමුවේ අවදානමට ලක්වූවන් රැකගත යුත්තේ කුමන ක්‍රමවේදයකින්ද? පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ආර්ථික සහ සංඛ්‍යාන විද්‍යා අධ්‍යයනාංශයේ අංශාධිපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ඉදිරිපත් කරන විශේෂ විශ්ලේෂණයක් මතු පළවේ.

ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික සහ දේශපාලනයේ වඩාත්ම සංවේදී මාතෘකාවක් බවට පත්ව ඇත්තේ ඉන්ධන මිල ඉහළ යාමයි. මීට හේතුව වන්නේ බලශක්ති වෙළෙඳපළේ නිරන්තරයෙන්ම සිදුවන මිල උච්ඡාවචනයන් සහ ශ්‍රී ලංකාව දැඩි ලෙසම බලශක්ති ආනයනය මත රඳා පැවතීමයි. ඉන්ධන යනු ජන ජීවිතයට ඉතා අත්‍යවශ්‍ය, ආර්ථික විද්‍යාවේදී හඳුනාගන්නා අනම්‍ය භාණ්ඩයක් වන අතර එවැන්නක මිල ඉහළ යාම පාරිභෝගිකයින්ගේ ජන ජීවිතය සහ ආර්ථික ක්‍රියාකාරකම් අඩපණ කිරීමට සමත්වේ.

2026 පෙබරවාරි මාසයේ 28 වන දින රුපියල් 293 ක් වූ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල මැයි අවසානය වන විට රුපියල් 434 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඩීසල් ලීටරයක මිල රුපියල් 281 සිට රුපියල් 407 දක්වා ඉහළ ගොස් ඇත. එනම් මාස තුනක පමණ කාලයක් තුළ පෙට්‍රල් මිල 48% කින් සහ ඩීසල් මිල 45% කින් පමණ ඉහළ ගොස් ඇත.

මෙවැනි තත්ත්වයක් තුළ මතුවන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ “මෙම ඉන්ධන මිල කම්පනය ජනතාව විසින්ම දරාගත යුතුද?” යන්නයි. මෙය ආර්ථික, සමාජීය සහ දේශපාලනික වශයෙන් සංකීර්ණ ප්‍රශ්නයකි.

ගෝලීය බොරතෙල් වෙළෙඳපොළේ බලපෑම

ඉන්ධන මිල ඉහළ යාම සම්පූර්ණයෙන්ම දේශීය ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් නොවේ. ශ්‍රී ලංකාව සිය ඉන්ධන අවශ්‍යතාවයෙන් 100%කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කරයි. 2026 වසරේ මැද භාගයේදී මැදපෙරදිග කලාපයේ භූ දේශපාලනික සටන්, ඉරානය ආශ්‍රිත අර්බුද සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ද ඉක්මවා ගිය අතර, මැයි මස අග භාගයේදී සටන් විරාම සාකච්ඡා හේතුවෙන් එය නැවත ඩොලර් 90–95 අතර මට්ටමකට පහත වැටුණි. නමුත් ජාත්‍යන්තර විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ බලශක්ති සැපයුම් බාධා හේතුවෙන් 2026 පුරාම තෙල් මිල ඉහළ මට්ටමක පවතිනු ඇති බවයි.

දකුණු ආසියානු රටවල් සමඟ සංසන්දනය

fuel pakistan

දකුණු ආසියානු කලාපයේ සියලුම රටවල් ඉන්ධන ආනයනකරුවන් වන නමුත් මිල උච්චාවචනයන්ට දක්වන ප්‍රතිපත්ති ප්‍රතිචාර රටින් රටට වෙනස් වේ. ඉන්දියාව වැනි රටවල් ඇතැම් අවස්ථාවල ඉන්ධන බදු අඩු කිරීම හෝ තාවකාලික බදු සහන ලබාදීම මගින් පාරිභෝගිකයන්ට සහන ලබා දෙයි. පකිස්ථානය සහ බංග්ලාදේශය ද දේශපාලනික සහ සමාජීය පීඩන හේතුවෙන් සහනාධාර ක්‍රමවේද භාවිතා කරයි. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ වෙළෙඳපොළ පදනම් වූ පිරිවැය පිලිබිඹු කරන මිල සූත්‍රයක් අනුගමනය කරයි. එබැවින් ජාත්‍යන්තර මිල ඉහළ යාම වඩාත් වේගයෙන් දේශීය වෙළෙඳපොළේ ඉන්ධන මිලට මාරු වේ. මෙලෙසින් දකුණු ආසියානු කලාපය තුළ ඉහළ ඉන්ධන මිලක් සහිත රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇත.


මෙය ආර්ථික ස්ථාවරත්වය සඳහා වැදගත් වුවද, සාමාන්‍ය ජනතාවගේ ජීවන වියදම් මත වැඩි පීඩනයක් ඇති කරන අතර උද්ධමනීය ප්‍රතිවිපාක මතු කරමින් ආර්ථික කටයුතු අඩපණ කරයි.

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ඉහළ යාමට බලපාන ප්‍රධාන හේතු මොනවා ද?

01. ජාත්‍යන්තර බොරතෙල් මිල ඉහළ යාම.
02. ශ්‍රී ලංකා රුපියලේ අගය පහල යාම සහ හෝ අව ප්‍රමාණය වීම. ඩොලරයට සාපේක්ෂව රුපියල දුර්වල වන විට ආනයන වියදම වැඩිවේ.
03. මැදපෙරදිග කලාපයේ යුද්ධ සහ භූදේශපාලනික ගැටුම් නිසා නැව් ගාස්තු, රක්ෂණ ගාස්තු සහ සැපයුම් දාම පිරිවැය ඉහළ යාම.
04. රජය විසින් අය කරන බදු සහ ගාස්තු.
05. දිගු කාලීන ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ස්ථානීය (spot) වෙළෙඳපොළෙන් ඉහළ මිලක් ගෙවා බොරතෙල් මිලට ගැනීම.
06. ගල් අඟුරු ගැටලුව හේතුවෙන් තාප විදුලිය සඳහා ඩීසල් ඉල්ලුම හදිසියේ ඉහළ යාම.
07. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ යටතේ වෙළඳපොළ මත පදනම් වූ පිරිවැය නිරූපිත මිල සූත්‍රය පවත්වාගෙන යාම.

ඩීසල් මිල ඉහළ යාම ආර්ථිකයට සිදු කරන්නාවූ බලපෑම

ඉන්ධන වර්ග අතරින් ආර්ථිකයට වැඩිම බලපෑමක් ඇති කරන්නේ ඩීසල් මිලයි. පෙට්‍රල් ප්‍රධාන වශයෙන් පෞද්ගලික වාහන භාවිතය සමඟ සම්බන්ධ වන නමුත් ඩීසල් යනු ආර්ථික ක්‍රියාකාරකම්වල ගාමක බලවේගයකි. මගී ප්‍රවාහනය, භාණ්ඩ ප්‍රවාහනය, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ, ධීවර කර්මාන්තය, කර්මාන්තශාලා සහ ජනන යන්ත්‍ර, ඉදිකිරීම් කර්මාන්තය ආදී සියලු අංශ ඩීසල් මත රඳා පවතී. 2026 මාර්තු මාසයේ රුපියල් 281 ක් වූ ඔටෝ ඩීසල් ලීටරයක මිල මැයි අවසානය වන විට රුපියල් 407 දක්වා ඉහළ ගොස් ඇත. එනම් රුපියල් 126 ක වැඩිවීමකි.

සරලව කිවහොත් ඩීසල් මිල ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රවාහන ගාස්තු ඉහළ යයි. ගොවියාගේ නිෂ්පාදන පිරිවැය වැඩි වේ. ධීවර කර්මාන්තයේ මෙහෙයුම් වියදම් ඉහළ යයි. භාණ්ඩ ප්‍රවාහන වියදම් ඉහළ යාමෙන් වෙළෙඳපොළේ සියලුම භාණ්ඩවල මිල ඉහළ යයි. ආර්ථික විද්‍යාවේදී මෙය පිරිවැයෙන් තල්ලු වූ උද්ධමනයක් (Cost-Push Inflation) ලෙසට හඳුනා ගනී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේම අධ්‍යයනවලින් පෙනී යන්නේ ඉන්ධන මිල කම්පන දියුණු ආර්ථිකයන්ට වඩා සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි පුළුල් හා නිරන්තර උද්ධමනයක් ඇති කරමින් ආර්ථික වෘද්ධි මාවත අඩපණ කරන බවයි.  

ශ්‍රී ලංකාවේ වාර්ෂික උද්ධමනය අනුපාතයේ සියයට 5හේ සීමාවෙන් ඔබ්බට පසුගිය අප්‍රේල් මාසයේ සිට පැමිණෙමින් සිටින අතර එය මහ බැංකුවේ අපේක්ෂිත මට්ටම් වන සියයට 5හේ මට්ටමට වඩා ඉහළින් පවතිනු ඇතැයි මහා බැංකුවම ප්‍රකාශ කරයි.

bumithel lampu

එමෙන්ම, අඩු ආදායම්ලාභී හා ග්‍රාමීය පවුල්වල ආහාර පිසීමට, ආලෝකය සඳහා සහ ධීවර කර්මාන්තයේ බහුලව භාවිත වන භූමිතෙල් මිල ද මෙම කාලය තුළ සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. 2026 මුල් භාගයේදී රුපියල් 195 ක් වූ භූමිතෙල් ලීටරයක මිල මැයි අවසානය වන විට රුපියල් 285 දක්වා ඉහළ ගොස් ඇත. භූමිතෙල් ප්‍රධාන වශයෙන් සමාජයේ ආර්ථික වශයෙන් අවදානමට ලක්විය හැකි කණ්ඩායම් භාවිත කරන බැවින්, මෙම මිල ඉහළ යාම ඔවුන්ගේ ජන ජීවිතය තව තවත් අර්බුදයට ලක් කරයි.


ජනතාවම මෙම කම්පනය දරාගත යුතුද?

ආර්ථිකමය වශයෙන් බැලූ විට ලෝක වෙළෙඳපොළේ මිල උච්ඡාවචනයන් සම්පූර්ණයෙන්ම රජය විසින් අවශෝෂණය කිරීම ප්‍රායෝගික නොවේ. අතීතයේදී ඉන්ධන සහනාධාර සඳහා දැවැන්ත මුදලක් වැය කිරීම හේතුවෙන් රාජ්‍ය මූල්‍ය පීඩනය ඉහළ ගොස් තිබුණි. නමුත් ජනතාවට ඉන්ධන මිල ඉහළ යාමේ සම්පූර්ණ බරම පවරා දීම ද සාධාරණ නොවේ.

විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී පවුල්, ගොවීන්, ධීවරයන් සහ පොදු ප්‍රවාහන සේවා සපයන්නන් මෙම කම්පනයෙන් දැඩි ලෙස පීඩාවට පත් වේ. එබැවින් සමාජීය වශයෙන් සාධාරණ විසඳුම වන්නේ සම්පූර්ණ සහනාධාර හෝ සම්පූර්ණ වෙළෙඳපොළකරණය නොව, ඉලක්කගත සහනාධාර ක්‍රමවේදයකි. අඩු ආදායම්ලාභී සහ ආර්ථික වශයෙන් අවදානමට ලක්විය හැකි පිරිස් ආරක්ෂා කරමින් වෙළෙඳපොළ මිල සංඥා පවත්වාගෙන යාම වඩාත් යෝග්‍ය ප්‍රායෝගික ප්‍රවේශයකි.

දිගුකාලීන විසඳුම කුමක්ද?

transport

ශ්‍රී ලංකාව සෑම වසරකම බලශක්ති ආනයන සඳහා ඩොලර් බිලියන ගණනක් වැය කරයි. එබැවින් ඉන්ධන මිල ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් වන්නේ සහනාධාර නොව, බලශක්ති අංශයේ ප්‍රතිසංස්කරණයයි. සූර්ය බලශක්තිය, සුළං බලශක්තිය සහ අනෙකුත් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ප්‍රවර්ධනය කළ යුතුය. පොදු ප්‍රවාහන පද්ධතිය නවීකරණය කළ යුතුය. දුම්රිය සේවාව ශක්තිමත් කළ යුතුය. විදුලි වාහන භාවිතය දිරිමත් කළ යුතුය. ඉන්ධන ආනයන මත රඳා පවතින තාක් කල් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තෙල් වෙළෙඳපොළේ කම්පනයන්ට ගොදුරු වනු ඇත.


ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සහ ආර්ථික බලපෑම් පිළිබඳ කෙටි අනාගත නිමිති විශ්ලේෂණය (Scenario Analysis)

2026 වසරේ ඉන්ධන මිල ප්‍රවණතා ශ්‍රී ලංකාවේ ආර්ථික ගමන් මගට බලපාන ප්‍රධාන බාහිර අවදානම් සාධකයක් බවට පත්ව ඇත. IMF සහ ජාත්‍යන්තර ආයතන පෙන්වා දෙන්නේ මැදපෙරදිග අර්බුදය, ඉහළ බොරතෙල් මිල සහ විදේශ විනිමය පීඩනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2025 වසරේ 5% සිට 2026 දී 3% පමණ දක්වා මන්දගාමී විය හැකි බවයි.

හොඳම තත්ත්වය (Optimistic Scenario) යටතේ ඉදිරිය පිළිබඳ නිමිති විශ්ලේෂණය

 
oil 260427
මැදපෙරදිග ගැටුම් ඉදිරි මාස කිහිපය තුළ සමනය වී බ්‍රෙන්ට් බොරතෙල් මිල බැරලයකට ඩොලර් 75-85 අතර මට්ටමට නැවත පහළ ගියහොත් ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල පීඩනය අඩුවිය හැකිය. එවැනි තත්ත්වයක් තුළ උද්ධමනය පාලනය වී රුපියල ස්ථාවර වීමේ හැකියාවක් පවතී.

සංචාරක ආදායම් සහ විදේශ ප්‍රේෂණ තවදුරටත් වර්ධනය වුවහොත් විදේශ විනිමය සංචිත ශක්තිමත් විය හැකි අතර ආර්ථික වර්ධනය 3% - 4% අතර මට්ටමක පවත්වා ගැනීමට හැකි වනු ඇත.

මධ්‍යස්ථ තත්ත්වය (Base Scenario) යටතේ ඉදිරිය පිළිබඳ නිමිති විශ්ලේෂණය

වර්තමාන තත්ත්වය දිගටම පැවතුණහොත් ඉන්ධන මිල ඉහළ මට්ටමක පැවතියද තවදුරටත් විශාල කම්පනයක් නොමැතිව පවතිනු ඇත. මෙම තත්ත්වය යටතේ ශ්‍රී ලංකාව IMF නිර්දේශිත මිල සූත්‍රය පවත්වාගෙන යන අතර, ඉන්ධන සහ විදුලි මිල වරින්වර සංශෝධනය කිරීමට සිදුවනු ඇත.

උද්ධමනය 5%-7% අතර පවතින අතර ආර්ථික වර්ධනය 3% පමණ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. කෙසේ වෙතත් පාරිභෝගික වියදම් සහ පෞද්ගලික ආයෝජන මන්දගාමී විය හැකිය.

අහිතකර තත්ත්වය (Pessimistic Scenario) යටතේ ඉදිරිය පිළිබඳ නිමිති විශ්ලේෂණය

sri lanka rupee260521

මැදපෙරදිග යුද්ධය දීර්ඝ වී හෝ හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත සැපයුම් බාධා තවදුරටත් උග්‍ර වුවහොත් බොරතෙල් මිල බැරලයකට ඩොලර් 100-120 ඉක්මවිය හැකිය. එවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම දැඩි ලෙස ඉහළ යනු ඇත. විදේශ විනිමය සංචිත මත පීඩනය වැඩි වන අතර රුපියල තවදුරටත් පහළ යාමේ හෝ අවප්‍රමාණය වීමේ අවදානමක් පවතී. ඉන්ධන, විදුලිය සහ ප්‍රවාහන ගාස්තු නැවත ඉහළ යාමෙන් උද්ධමනය දෙගුණයකින් පමණ ඉහළ යා හැකි අතර ආර්ථික වර්ධනය 2% ට අඩු මට්ටමකට පවා පහළ යා හැකිය.

ඉදිරි වසර තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සඳහා ප්‍රධාන තීරණාත්මක සාධකය වන්නේ ලෝක තෙල් වෙළෙඳපොළේ දිශානතියයි. කෙටි කාලීනව ඉන්ධන මිල ඉහළ මට්ටමක පැවතිය හැකි අතර, ආර්ථික ප්‍රතිපත්තියේ අභියෝගය වන්නේ IMF නිර්දේශිත පිරිවැය පිළිබිඹු කෙරෙන මිල සූත්‍රය පවත්වාගෙන යමින් අඩු ආදායම්ලාභී පවුල්, ගොවීන්, ධීවරයන් සහ පොදු ප්‍රවාහන අංශ සඳහා ඉලක්කගත සහන සැපයීමයි.

එබැවින් අප මූලික වශයෙන් විසඳුම් සොයා ගත යුතු ප්‍රශ්නය වන්නේ ජනතාවම මෙම කම්පනය දරාගත යුතුද? යන්න නොව, මෙම මිල කම්පනයෙන් සමාජයේ ආර්ථික වශයෙන් අවදානමට ලක්විය හැකි පිරිස් සහ දිළිඳු පුද්ගලයින් ආරක්‍ෂා කර ගනිමින් ආර්ථිකය සමාජ සාධාරණත්වයේ මූලධර්ම මත පිහිටා මැනවින් කළමනාකරණය කර ගතයුත්තේ කෙසේ ද යන්නයි.

FB IMG 1757920255585.jpg(සටහන | ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා)
 අංශාධිපති ආර්ථික සහ සංඛ්‍යාන විද්‍යා අධ්‍යයනාංශය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

උපුටා ගැනීම - ලංකාදීප
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අඛණ්ඩව ඉහළ යන ඉන්ධන මිල හමුවේ අප කුමක් කළ යුතු ද? | ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා | The Leader