The Leader News
BREAKING
Top Ad
Opinion

'සිහින' දකින අය සමග අලුත් දේ ගැන කතා කතා කරමු | කුසල් පෙරේරා

T

The Leader Desk

June 30, 2026 • 6:16 AM

'සිහින' දකින අය සමග අලුත් දේ ගැන කතා කතා කරමු | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මම සිහින කොටස් වශයෙන් දකින්නට රුසියෙක්මි.
  • දවසේ ආදායම සොයන්නට පදිකයේ වෙළඳාම් කරන, කුලී වැඩ සොයමින් පාරවල් ගානේ යන, හේනේ-කුඹුරේ, කම්හලේ වැඩ කරන කිසිවකුට, ආර්ථික වර්ධනය තේරුම් ගැනීමට උවමනාවක් ඇතැයි මම නොසිතමි.
  • එවැනි වූ විවෘත වෙළඳපල ආර්ථිකයක අප 2022 අප්‍රේල් වන විට මුහුණ දුන් අර්බුදය, මහ බැංකු අධිපති කියූ විදේශ ණය සඳහා පොලී ගෙවීමට හෝ අප සතුව ඩොලර නොමැතිවීමේ ගැටළුවම නොවීය.
  •   එයට උත්තර සෙවූ ආකාරයෙන්ම, මේ ආර්ථිකය සාමාන්‍ය ජන ජීවිතයට අදාල නොවන බව සනාථ විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉකුත් දිගු සති අන්තයේ එළෙසින් දුටු සිහිනයක් එකළස් කළ විට කියවෙන කතාව ආරම්භ වූයේ සරළ ප්‍රශ්නයකිනි. “ආර්ථික වර්ධනය” කියූ විට අපට එකවිට හිතෙන්නේ මොනවාද? දවසේ ආදායම සොයන්නට පදිකයේ වෙළඳාම් කරන, කුලී වැඩ සොයමින් පාරවල් ගානේ යන, හේනේ-කුඹුරේ, කම්හලේ වැඩ කරන කිසිවකුට, ආර්ථික වර්ධනය තේරුම් ගැනීමට උවමනාවක් ඇතැයි මම නොසිතමි.

ආර්ථික වර්ධනය මැන ගන්නට යොදා ගන්නා නිර්ණායකද ඔවුන්ට අදාල නැතැයි මම සිතමි. ආර්ථික විශේෂඥයින් කතා කරන දළ ජාතික නිෂ්පාදනය, උද්ධමනය, ඒක පුද්ගල ආදායම, විදේශ වෙළද හිඟය වැනි නිර්ණායක ඔවුන්ට වැඩක් නැත. එමගින් ඔවුන්ට ඔවුන් ජීවත්වන මේ ආර්ථික ක්‍රියාවලිය තේරුම් ගන්නට හැකි යැයි මම නොසිතමි. එවැනි නිර්ණායක මගින් සාමාන්‍ය ජනතාවගේ ජීවන පැවැත්ම පිළිබඳව චිත්‍රයක් ඇඳගැනීමට අපටද නොහැකිය.

 

u75678686786786

ආර්ථිකය සම්බන්ධයෙන් වන එම විශේෂඥ නිරීක්ෂණ හා ඇගයීම් මගින් කතා කෙරෙන්නේ ජන ජීවිතයක් ගැන නොවේ. මේ විවෘත වෙළඳපල ආර්ථිකය, දුප්පත් නාගරික ජන ජීවිත හා බහුතර ග්‍රාමීය ජන ජීවිතය වෙනුවෙන් පවත්වා ගන්නක් හෝ නඩත්තු කරන්නක් නොවේ. මේ ආර්ථිකයෙහි ප්‍රධානම ක්‍රියාකාරිත්වය වන්නේ ජාවාරම්කාර ව්‍යාපාරිකයින් සඳහා ඉහළ ලාභ රේට්ටු පවත්වා ගැනීම ය. ඒ වෙනුවෙන් වෙළඳපල පුළුල් කර ගැනීම ය. මේ වෙළඳපල ආර්ථිකයෙහි “කොටස් වෙළඳපල” වැදගත් වන්නේද “ආයෝජන හා ඉහළ ලාභ රේට්ටු” වෙනුවෙනි.

එවැනි වූ විවෘත වෙළඳපල ආර්ථිකයක අප 2022 අප්‍රේල් වන විට මුහුණ දුන් අර්බුදය, මහ බැංකු අධිපති කියූ විදේශ ණය සඳහා පොලී ගෙවීමට හෝ අප සතුව ඩොලර නොමැතිවීමේ ගැටළුවම නොවීය. එහි යටි අර්බුදය වූයේ වෙළඳපල සඳහා ව්‍යාපාරිකයින්ට අවශ්‍ය ආයෝජන නොමැති වීම ය. ඒ සඳහා හෝ ණයට ගැනීමට නොහැකිවීම ය. එනිසා නාගරික මැදපංතික ජීවන රටාව සහමුලින් අවුල් විය. ආර්ථික අර්බුදය ගැන කතා වූයේ කොළඹ මැදපංතිකයින් සමගය. කාබනික පොහොර ගැනීමට නොහැකි වූ ගමේ ගොවියා සමග නොවීය.

 

6544254455635675

එයට උත්තර සෙවූ ආකාරයෙන්ම, මේ ආර්ථිකය සාමාන්‍ය ජන ජීවිතයට අදාල නොවන බව සනාථ විය. මේ දේශපාලන තීන්දු කවුරුන් කොහෙන් ගත්තේදැයි රටේ ජනතාව නොදැන ගත්තද, රාජපක්ෂ පාලනය ප්‍රචණ්ඩ ලෙස අහෝසි කෙරුණු පසු, පාරාජිකාවී සිටි දේශපාලන චරිතයක් වූ රනිල් වික්‍රමසිංහ 2022 මැයි මාසයේ අගමැති පුටුවෙහි වාඩි කරවනු ලැබිණ. ඊට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එකඟ වූයේ මන්දැයි තවමත් ප්‍රසිද්ධ නොවුනකි. අනතුරුව ජූලියේදී ප්‍රචණ්ඩ කඩා වැදීමකින් ජනාධිපති ගෝඨාභය පලවා හැර පාර්ලිමේන්තු ඡන්දයකින් අගමැති වික්‍රමසිංහව ජනාධිපති ලෙස පත් කරනු ලැබිණ. “සිස්ටම් චේන්ජ්” ගැන ගාලුමුවදොර විරෝධයෙහි ලොකුවට කතා කෙරුවද, මේ “සිස්ටම් චේන්ජ්” එක ගැන හීන් කතාවක් හෝ නොවුනි.

කෙසේමුත් මැයි 12 වන දින වික්‍රමසිංහව අගමැති කරන්නටත් පෙර, 2022 ජනවාරියේ සිට ඉන්දීය ආණ්ඩුව ලාංකීය ආර්ථිකය ගැට ගසා ගැනීමට ඩොලර මිලියන 500 ක ණය දීමක් ආරම්භ කළේය. අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ ගැනීමට මාර්තු 17 වන දින ඩොලර බිලියන 01 ක තවත් ණය ක්‍රමයක් විවෘත කෙරුණි. අප්‍රේල් 02 වන දින ඉන්දියාවෙන් සහල් මෙ.ටො. 40,000 ක් ලැබිණ. අප්‍රේල් 06 වන දින මෙ.ටො. 2,70,000 ක ඉන්ධන තොගයකින් කොටසක් කොළඹ වරායට එවා තිබිණ. ශ්‍රී ලංකා මහ බැංකුව සමග සහ බැසිල් රාජපක්ෂ යටතේ වූ මුදල් අමාත්‍යාංශය සමග 2021 අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කතා ආරම්භ කර තිබුණේ ලාංකීය ආර්ථිකය පිළිසකර කිරීම වෙනුවෙන් වූ එවැනි භූ-දේශපාලනික පසුබිමක ආරම්භය හමුවේය. බැසිල් ඊට හවුල් වූයේ රාජපක්ෂ ආණ්ඩුවට 2023 වන විට ලාංකීය ආර්ථිකය ගැට ගසා ගන්නට හැකි යැයි වූ සිහිනය සමගින් ය. එහෙත් ඊට හවුල් වූවන්ගේ ලාංකීය ආර්ථිකය ගොඩ දැමීමේ න්‍යාය පත්‍රයෙහි තිබුණේ එවැන්නක් නොවේ.

එනිසා වික්‍රමසිංහට ආණ්ඩු පාලනය බාර දුන් පසු මාස දෙකකින් වෙළඳපල භාණ්ඩ හිඟය පියවින. ඉන්ධන පෝලිම්වල සිටි පිරිස් නැවත නිවෙස් වෙත ගියහ. අප්‍රේල් මාසයේ දිනකට පැය 15 ක් වූ විදුලි කප්පාදුව, ජූලියේදී පැය 10 ට අඩු කෙරිණ.

 

4355555er
වික්‍රමසිංහට බාර කෙරුණේ රාජපක්ෂලා සමග ජා.මූ. අරමුදල පැමිණි එකඟතාවය සීඝ්‍රයෙන් ආරම්භ කිරීමේ වගකීමය. අතිශය දුෂ්කර කාර්යක් යැයි ඔහු විටින් විට රටට කියමින් ක්‍රියාත්මක කරනු ලැබූ කිසිදු අලුත් හෝ විශේෂ සංවර්ධන සැළසුමක් නොවුනි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සංවර්ධනයක් නොවේ. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වගකීම ඇතිව ණය ගෙවීම් ආරම්භ කෙරෙන අලුත් කාලසටහනක් හදා ගැනීමකි. ඒ මත නැවත ණය ගැනීමට අවසර ලබා ගැනීමකි. 2022 අවසන් වන විට රාජ්‍ය ණය ඩොලර් බිලියන 34.8 ක් විය. ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ දැමූ පසු, ජනාධිපති වික්‍රමසිංහ 2024 නොවැම්බරයේ ඉවත් වන විට, රාජ්‍ය ණය ඩොලර් බිලියන 36.7 ක් දක්වා වැඩි වී තිබිණ. එළෙසින් නැවත ණය ලබා ගැනීමෙන් වෙළඳපල සක්‍රීය විය. එසැණෙන් කොළඹ මැදපංතික ජීවන රටාව නැවත යථාවත් විය. කොළඹ මැදපංතික ජීවන රටාව නැවත යථාවත්වීම යනු, ජනාධිපති වික්‍රමසිංහ ණයට රට ගොඩ දැමීම විය.

දේශපාලනඥයෙකු ලෙස වික්‍රමසිංහ මැතිවරණයකින් බලයට ගෙනෙන්නට නොහැකි වූයෙන් දේශපාලන ආදේශකය වූයේ ජ.වි.පෙ/මාලිමා නායකත්වය විය. ඔවුන්ගේ ජනප්‍රිය මැතිවරණ පොරොන්දුව වූ දූෂණයෙන් තොර, ජනතාවට වග කියන, පිරිසිදු පාරදෘශ්‍ය පාලනයක් එනමුත් මේ දූෂිත ජාවාරම්කාර වෙළඳපලෙහි හැදිය නොහැක. මාලිමා ආණ්ඩුව පිහිටුවා දෙමසක් යන විට රේගුවේ නීති පිළිවෙත් නොතකා බහළුම් 323 ක් පිට කෙරුණේත් විපක්ෂ විරෝධය හමුවේ පැවත් වූ පරීක්ෂණයේ වාර්තා තවමත් ප්‍රසිද්ධ කර නොමැත්තේත්, බාල ගල් අඟුරු ආනයන මගඩි සම්බන්ධ විවෘත බරපතල චෝදනා ඇත්තේත් මෙවැනි විවෘත වෙළඳපල ආර්ථික ඉන් තොරව නොපවතින හෙයිනි. කාලයක් තිස්සේ මේ විවෘත වෙළදපල ආර්ථිකයෙහි යෝධ ව්‍යාපාරිකයින් වූ හා ඒ වෙනුවෙන් පැවති ආණ්ඩු සමග ගනුදෙනු කළ ආර්ථික ඔස්තාර්ලා ජනාධිපති අනුර කුමාරගේ විශේෂඥයින් උපදේශකයින් වන්නේත් විවෘත වෙළඳපල ආර්ථික පවතින්නේ එළෙසින් නිසා ය.

පැවති ආණ්ඩු වලට වඩා මේ ආණ්ඩු පාලනයේ පෙනුමෙහි සහ කතාවෙහි ඇති සිල්ලර වෙනස්කම් මගින් බහුතර සමාජයේ ජන ජීවිතයට සමාජ-ආර්ථික වැදගත්කමක් ඇති කිසිවක් අලුතින් එකතු වන්නේ නැත. මේ විවෘත වෙළදපල ආර්ථිකය ජනාධිපති අනුර කුමාර ගේ මාලිමා ආණ්ඩුව යටතේ පවතිනු ඇත්තේද පෙර මෙන්ම, ජාවාරම්කාර ව්‍යාපාරික ලාභය වෙනුවෙනි. දළ ජාතික නිෂ්පාදනය, උද්ධමනය, විදේශ වෙළද හිඟය, විරැකියාව, ඒක පුද්ගල ආදායම වැනි කතා අත නොහැරෙන්නේද එනිසා ය.

 

a4578546856
එහෙත් මේ විවෘත වෙළඳපල ආර්ථිකය වෙනුවෙන් මෙතෙක් අවුරුදු 50 ක කාලයක් කතා නොකර අතහැර දමා ඇති බරපතල විනාශයක් ඇත. එය කිසිදු වාර්ෂික අයවැය කතාවක ආණ්ඩු පක්ෂයෙන් හෝ විපක්ෂයෙන් මතු කෙරෙන්නේද නැත. ආර්ථික විශේෂඥයින් හා සමාජ-දේශපාලන න්‍යායාචාර්යවරුන්, විශ්ව විද්‍යාල ඇදුරන් තබා ආගමික නායකයින් හෝ ඒ ගැන කතා කරන්නේ නැත. මේ අධි-තරගකාරී ජාවාරම්කාර විවෘත වෙළදපල ආර්ථිකය විසින් ලාංකීය පුරවැසියා බැංකු ණය, ක්‍රෙඩිට් කාඩ් පත්, කල් බදු මත යැපෙන මෝඩ, හිස් පාරිභෝගිකයකු බවට පත් කරමින් විනාශ කළ සමාජීය සාරධර්ම, සමාජ විනය පිළිබඳ කතාව එය ය.

කලක් පරාර්ථකාමී පුරවැසියන්ගේ ශිෂ්ඨ සමාජයක් වූ ලාංකීය සමාජය, විවෘත වෙළඳපල තරගකාරිත්වය විසින් ඉකුත් අවුරුදු 50 ක කාලය තුල අතිශය කෑදර, කුරිරු ආත්මාර්ථකාමී සමාජයක් බවට පත්කර ඇති බවට සාක්ෂි එමට ය. ස්ත්‍රීන්, බාල වයස්කාර දැරිවියන් වාර්ෂිකව දහස් ගණනින් දූෂණය කෙරෙන (2023 වසරේ පැමිණිලි අනුව 1,634), ළමා හිංසන, ළමා අපචාර හා දූෂණ පමණක් දහස් ගණනින් සිදුවන (2025 වසරේ 3,138 - ජාතික ළමා ආරක්ෂක අධිකාරිය), එවගේම සිය ගණන් පාසල් ළමුන් ඔවුන්ගේ පාසලේ විදුහල්පතිගෙන් ගුරුවර ගුරුවරියන්ගෙන් හිංසනයට, අපචාරයට, දූෂණයට ලක් වෙන නමුත් වාර්තා නොවන, ආගමික ආයතන පවා දූෂිත ආයතන බවට පත්වන, කොන්තරාත් ඝාතන, කප්පම් ගැනීම් වාර්ෂිකව වැඩිවන, අන්තරායකර මත්ද්‍රව්‍ය පාසල් වල පවා අලෙවි වන, රැඳවියන් උපරිම 11,700 ක් සඳහා ඉදිකර ඇති බන්ධනාගාරවල 30,000 ක් පමණ රඳවලා තිබෙන අපාගත සමාජයකට අපව රැගෙන විත් ඇති බැව් අහම්බෙන් හෝ කතා වන්නේ නැත.

මේ සමාජ පිරිහීම, ආර්ථික අර්බුදයට වඩා බෙහෙවින්ම බරපතල ය. ආර්ථික අර්බුදයට විසදුම් කතා කරන විදග්දයින් මේ සමාජ පිරිහීම පාලනය කර ගැනීමට, මේ විනාශය සඳහා විසඳුම් කතා නොකරන්නට ලොකු හේතුවක් ඇත. මේ ජාවාරම්කාර විවෘත වෙළඳපල ආර්ථිකය තුල මේ සමාජ විනාශයට විසඳුම් කතා කළ නොහැකි හෙයින් සමාජය ගොඩ දමන්නට සිදුවන්නේ ඊට විකල්ප කතා කිරීමත් සමග ය.  එනිසා සමාජ-ආර්ථික අර්බුදය ගැන කතාව, හැම වේදිකාවකම වෙළඳපල ආර්ථිකයට කොටු කෙරෙන්නේ ය.

එහෙත් බහුතර ලාංකීය සමාජයට එළෙස යා නොහැක. බහුතර ලාංකීය සමාජයට දියුණු ශිෂ්ඨ අනාගතයක් සඳහා විසඳුම් සොයන්නට මේ දැවැන්ත සමාජ පිරිහීම් බල කරති. ඒ වෙනුවෙන් “සංක්‍රමණික” පියවරක් ලෙස මා මෙහි යෝජනා කරන්නේ,

1. මූලික රාජ්‍ය ප්‍රතිපත්තියක් වශයෙන් අසීමිත තරගකාරී වෙළඳපල ආර්ථිකයක් වෙනුවට, සාමාන්‍ය ජන ජීවිතයට බාධා නොවන නියාමනයක් සහිත වෙළඳපල පැවැත්මක් සහතික කිරීමකි. ඒ වෙනුවෙන් ඉදිරි වසර 05 ක කාලය සඳහා ආනයනය විධිමත් සීමිත නියාමනයකට නතු කිරීමටත් දේශීය වෙළඳපලෙහි සුඛෝපභෝගී පාරිභෝගික භාණ්ඩ තහනම් කිරීම වෙනුවට “සෙස්” බද්දක් අය කිරීමත් කළ හැකිය.

2. විදේශ ආයෝජන හා ණය ලබා ගත යුතු සංවර්ධන කාර්යන් ප්‍රමුඛතාගත කිරීමට ය.

3. ප්‍රමුඛතාගත කාර්යන් සඳහා වන ආයෝජන වෙනුවෙන් දිරි ගැන්වීම්, බදු සහන සළකා බැලීමටය.

4. අත්‍යාවශ්‍ය ආහාර, ඖෂධ, පාසල් පොත් හා ලිපිද්‍රව්‍ය, බදු අය කිරීමෙන් නිදහස් කර, ජාතික බදු ප්‍රතිපත්තියක් සමාජ කතිකාවකට තැබීමටය.

5. පළමු තෙමස තුල, ග්‍රාමීය තරුණ ශ්‍රමය විදේශ සංක්‍රමණික ශ්‍රමය ලෙස පිටරට පැටවීම අධෛර්යමත් කෙරෙන, ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ ප්‍රජා සහභාගිත්වයක් සහිත සැළසුමක් ක්‍රියාත්මක කිරීමටය.

6. පළමු වසර තුල අධ්‍යාපනය, සෞඛ්‍ය, පොදු මගී ප්‍රවාහනය, නිවාස හා සේවක ශ්‍රමය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තීන් සම්පාදනය කාල නිර්ණයක් ඇතිව විශේෂඥ කමිටු වෙත පවරා, කෙටුම්පත් සම්මත කිරීමට පෙර සමාජ කතිකාවකට තැබීමටය.

සිහින දකින්නට සූදානම් නැති මේ ජාවාරම්කාර වෙළඳපල පාරිභෝගිකයින්ට කතාවට අලුත් දේ නැත. සිහින දකින ලාංකීය පුරවැසියන් සමග අලුත් දේ ගැන කතාව මේ සාකච්ඡාව තුල කළ හැකිය.  

Kusal 28(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2026 ජුනි 30 වන දින

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'සිහින' දකින අය සමග අලුත් දේ ගැන කතා කතා කරමු | කුසල් පෙරේරා | The Leader