BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
Opinion

රාජ්‍ය විශ්වවිද්‍යාල කඩාවැටීමේ තර්ජනයක: අගමැතිනි හරිනීට ආචාර්ය අතුලසිරිගෙන් විවෘත ලිපියක්!

T

The Leader Desk

July 28, 2026 • 12:06 PM

රාජ්‍ය විශ්වවිද්‍යාල කඩාවැටීමේ තර්ජනයක: අගමැතිනි හරිනීට ආචාර්ය අතුලසිරිගෙන් විවෘත ලිපියක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • භාණ්ඩාගාරයේ මූල්‍ය සීමා නිසා ස්ථිර ආචාර්යවරුන් බඳවාගැනීම ඇහිරෙයි: පද්ධතියම තාවකාලික ආචාර්යවරුන් මත යැපෙන තත්ත්වයක්
  • එම අර්බුදයේ වඩාත් පැහැදිලි ප්‍රකාශනය වන්නේ ස්ථිර අධ්‍යයන කාර්ය මණ්ඩල පුරප්පාඩු දිගින් දිගටම පිරවීමට නොහැකි වීමයි.
  • විශ්වවිද්‍යාල ආචාර්යවරියක්, පර්යේෂිකාවක් සහ උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති පිළිබඳ විචාරකයෙකු ලෙස ඔබ වසර ගණනාවක් තිස්සේ මේ පිළිබඳව අදහස් දක්වා ඇත.
  • එහෙත් අද අමාත්‍යවරිය ලෙස ඔබ මුහුණ දෙන්නේ තවත් යථාර්ථයකටය.
අකුරු ප්‍රමාණය (Font Size):


'දැනුම් ආර්ථිකය' ගැන කතා කළත් උසස් අධ්‍යාපනයට ප්‍රතිපාදන නෑ: අර්බුදයෙන් ගොඩ ඒමට ජාතික සැලැස්මක අවශ්‍යතාව පෙන්වා දෙයි

ස්ථිර අධ්‍යයන කාර්ය මණ්ඩල අර්බුදය සහ උසස් අධ්‍යාපනය මුහුණ දෙන ව්‍යුහාත්මක අභියෝග



ගරු උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය වෙත විවෘත ලිපියක්

ගරු  අමාත්‍යතුමියනි,

ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය අද මුහුණ දී සිටින්නේ හුදෙක් මූල්‍ය අර්බුදයකට නොවේ. එය රාජ්‍යයේ උසස් අධ්‍යාපනය පිළිබඳ දේශපාලනික සහ ආර්ථික දැක්මේ පරිවර්තනයක ප්‍රතිඵලයක් ලෙස ඇති වූ ව්‍යුහාත්මක අර්බුදයකි. එම අර්බුදයේ වඩාත් පැහැදිලි ප්‍රකාශනය වන්නේ ස්ථිර අධ්‍යයන කාර්ය මණ්ඩල පුරප්පාඩු දිගින් දිගටම පිරවීමට නොහැකි වීමයි.

ඔබතුමියට මෙම යථාර්ථය අලුත් එකක් නොවේ. විශ්වවිද්‍යාල ආචාර්යවරියක්, පර්යේෂිකාවක් සහ උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති පිළිබඳ විචාරකයෙකු ලෙස ඔබ වසර ගණනාවක් තිස්සේ මේ පිළිබඳව අදහස් දක්වා ඇත. එහෙත් අද අමාත්‍යවරිය ලෙස ඔබ මුහුණ දෙන්නේ තවත් යථාර්ථයකටය. එනම්, අධ්‍යාපනය පිළිබඳ දේශපාලන කැපවීම සහ භාණ්ඩාගාරයේ මූල්‍ය සීමා අතර පවතින ගැටුමටය.

 

Famous University Lecturers You Could Be Learning From 1
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද කාර්ය මණ්ඩල ව්‍යුහයන් තිබියදීත්, එම පුරප්පාඩු පිරවීම සඳහා අවශ්‍ය මූල්‍ය අනුමැතිය ප්‍රමාද වීම හෝ නොලැබීම අද සාමාන්‍ය තත්ත්වයක් වී තිබේ. එහි ප්‍රතිඵලය වන්නේ ස්ථිර ආචාර්යවරුන් වෙනුවට තාවකාලික, කොන්ත්‍රාත් සහ පැය ගණන මත පදනම්ව සේවය කරන ආචාර්යවරුන් මත විශ්වවිද්‍යාල ක්‍රියාත්මක වීමයි.

තාවකාලික ආචාර්යවරුන්ගේ කැපවීම කිසිසේත් අවතක්සේරු කළ නොහැකිය. ඔවුන් බොහෝ විට ඉතා අඩු සුරක්ෂිතභාවයකින්, සීමිත වැටුප් යටතේ, විශාල වැඩ ප්‍රමාණයක් දරමින් විශ්වවිද්‍යාල පද්ධතිය බිඳ වැටීමෙන් වළක්වාගෙන සිටියි. එහෙත් ඔවුන්ගේ කැපවීම ස්ථිර ප්‍රතිපත්තියකට ආදේශ කළ නොහැකිය.

විශ්වවිද්‍යාලයක් යනු දේශන පමණක් පවත්වන ආයතනයක් නොවේ. පර්යේෂණ සිදු කිරීම, නව පාඨමාලා සංවර්ධනය, ශිෂ්‍ය උපදේශනය, පශ්චාත් උපාධි අධීක්ෂණය, තත්ත්ව සහතිකකරණය, විෂය නිර්දේශ සංශෝධනය, ජාත්‍යන්තර සහයෝගිතා සහ ආයතනික මතකය පවත්වාගෙන යාම සඳහා ස්ථිර අධ්‍යයන ප්‍රජාවක් අත්‍යවශ්‍ය වේ.

අද බොහෝ දෙපාර්තමේන්තු තුළ ස්ථිර ආචාර්යවරුන් කිහිප දෙනෙකු අධ්‍යයන නිවාඩු, විදේශ පර්යේෂණ, පරිපාලන පත්වීම් හෝ විශ්‍රාම ගැනීම නිසා ඉවත් වූ විට, සම්පූර්ණ ඉගැන්වීමේ වගකීම තාවකාලික ආචාර්යවරුන් කිහිප දෙනෙකු මත පැටවෙයි. ඔවුන්ට විභාග, දේශන, පැවරුම් ඇගයීම්, ශිෂ්‍ය උපදේශන සහ පරිපාලන කටයුතු එකවර කළ යුතු වේ. මෙය පුද්ගලයන්ගේ අසාර්ථකත්වයක් නොව ප්‍රතිපත්තිමය අසාර්ථකත්වයකි.

 

e56u56567un67n64i68i78
මෙම අර්බුදය තේරුම් ගැනීමට නම්, එය පුද්ගල අමාත්‍යවරයෙකුගේ හෝ උපකුලපතිවරයෙකුගේ දුර්වලතාවක් ලෙස නොව, රාජ්‍යයේ මූල්‍ය ප්‍රතිපත්තිවල කොටසක් ලෙස විමසා බැලිය යුතුය. 2022 ආර්ථික අර්බුදයෙන් පසු රාජ්‍ය වියදම් සීමා කිරීම, රාජ්‍ය සේවයේ නව බඳවා ගැනීම් පාලනය කිරීම සහ මූල්‍ය විනය දැඩි කිරීම යන ප්‍රතිපත්ති, උසස් අධ්‍යාපනයටද සෘජුව බලපා ඇත. රාජ්‍ය මූල්‍ය ස්ථාවර කිරීම වැදගත් වුවද, විශ්වවිද්‍යාලවල මානව සම්පත "වියදමක්" ලෙස පමණක් සැලකීම අනාගත ආර්ථික වර්ධනයටම හානිකර වේ.

මේ අතර, විශ්වවිද්‍යාලවලට සිසුන් වැඩි වශයෙන් ඇතුළත් කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කෙරේ. නව පාඨමාලා ආරම්භ කරන ලෙස ඉල්ලා සිටී. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීමට, පර්යේෂණ ප්‍රකාශන වැඩි කිරීමට, නවෝත්පාදන බිහිකිරීමට සහ කර්මාන්ත සමඟ සබඳතා ගොඩනැගීමට අපේක්ෂා කරයි. නමුත් මේ සියල්ල සිදු කිරීමට අවශ්‍ය මූලික මානව සම්පත නොමැති නම්, එම අපේක්ෂා යථාර්ථවාදී නොවේ.

තවත් බරපතළ ගැටලු රැසක් මේ සමඟ බැඳී පවතී. පර්යේෂණ සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැතිකම, රසායනාගාර හා පුස්තකාල නවීකරණයේ ප්‍රමාදය, ඩිජිටල් යටිතල පහසුකම්වල හිඟය, විදේශගත වන ආචාර්යවරුන් වෙනුවට නව බඳවා ගැනීම් නොකිරීම, පුරප්පාඩු වසර ගණනාවක් පුරවා නොතිබීම, තත්ත්ව සහතිකකරණයේ බලපෑම නිසා වැඩිවන පීඩනය සහ පරිපාලන ක්‍රියාපටිපාටිවල අධික මධ්‍යගතභාවය විශ්වවිද්‍යාල පද්ධතියේ ක්‍රියාකාරිත්වය දුර්වල කරයි.

56756yuyuykuytre

 

මෙහි තවත් දේශපාලනික පරස්පරයක් තිබේ. රට දැනුම් ආර්ථිකයක් ගොඩනැගීම ගැන කතා කරයි. නවෝත්පාදනය, කෘත්‍රිම බුද්ධිය, ඩිජිටල් පරිවර්තනය සහ ගෝලීය තරගකාරීත්වය ගැන කතා කරයි. එහෙත් ඒවා නිර්මාණය කරන විශ්වවිද්‍යාලවල මූලික අධ්‍යයන කාර්ය මණ්ඩලය පවා පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ආයෝජනයක් සිදු නොවේ.

ගරු අමාත්‍යතුමියනි,

ඔබගේ අමාත්‍යාංශයට මෙම ගැටලු සියල්ල තනිව විසඳිය නොහැකි බව අපි දනිමු. එහෙත් ඔබට කළ හැකි ඉතා වැදගත් කාර්යයක් තිබේ. එනම්, උසස් අධ්‍යාපනය පිළිබඳ ජාතික සංවාදයක් ආරම්භ කිරීමයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, භාණ්ඩාගාරය, විශ්වවිද්‍යාල, වෘත්තීය සමිති සහ ශිෂ්‍ය නියෝජිතයන් එක්කර ගනිමින් ඉදිරි වසර පහ සඳහා ජාතික අධ්‍යයන කාර්ය සාධන සැලැස්මක් සකස් කිරීම කාලීන අවශ්‍යතාවයකි.

එම සැලැස්ම තුළ අවම වශයෙන් පහත කරුණු ඇතුළත් විය යුතුය.

* වසර ගණනාවක් පුරවා නොමැති ස්ථිර පුරප්පාඩු කඩිනමින් පිරවීම.
* ශිෂ්‍ය-ආචාර්ය අනුපාත සඳහා ජාතික ප්‍රමිතියක් ස්ථාපිත කිරීම.
* තාවකාලික සහ කොන්ත්‍රාත් පත්වීම් මත අධික ලෙස රඳා සිටීම අවම කිරීම.
* විදේශගත වන සහ විශ්‍රාම යන ආචාර්යවරුන් වෙනුවට කල්තියා බඳවා ගැනීම් සැලසුම් කිරීම.
* පර්යේෂණ, ඉගැන්වීම සහ ප්‍රජා සේවය සමබරව ඉටු කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම.

istock 148314926

 

අවසානයේ, මෙම ප්‍රශ්නය ආචාර්යවරුන්ගේ රැකියා පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවේ. එය ශ්‍රී ලංකාවේ සමාජ සංචලනය, දැනුම් නිෂ්පාදනය, ප්‍රජාතන්ත්‍රවාදය සහ ජාතික සංවර්ධනය පිළිබඳ ප්‍රශ්නයකි. රාජ්‍ය විශ්වවිද්‍යාල දුර්වල වන්නේ නම්, ඒ සමඟම දුර්වල වන්නේ සමාජයේ අවස්ථා සමානාත්මතාවයයි.

උසස් අධ්‍යාපනය සඳහා වන සටන වැටුප් හෝ කාර්ය මණ්ඩල අනුමැතිය පිළිබඳ සටනක් පමණක් නොවේ. එය ශ්‍රී ලංකාවේ අනාගතය කුමන ආකාරයක රාජ්‍යයක් මත ගොඩනඟන්නේද යන්න පිළිබඳ මූලික දේශපාලන ප්‍රශ්නයකි.

එම නිසා, මෙම ප්‍රශ්නයට කඩිනම්, විනිවිදභාවයෙන් යුතු සහ ප්‍රතිපත්තිමය විසඳුමක් ලබාදීම සඳහා ඔබගේ නායකත්වය ඉතිහාසය විසින් අපේක්ෂා කරයි.

athulasiri samarakoon(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)

Digital creator
Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo

smasa@ou.ac.lk

(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)
2026 ජුලි 26

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...