ප්‍රභූ පන්තියේ වරප්‍රසාද සුරැකීමට වඩා පීඩිත සමාජ ව්‍යුහය වෙනස් කිරීම බලයේ පරමාර්ථය විය යුතු බවට දීප්ති කුමාරගෙන් සමාජ විද්‍යාත්මක කියවීමක්
අධිකරණ ක්ෂේත්‍රයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමේ යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලන හා සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් නිර්මාණය වී ඇත. එක් පාර්ශවයක් මෙම පියවර අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වන මරු පහරක් ලෙස හඳුන්වන අතර, රජය නියෝජනය කරන පාර්ශවයන් එය රටේ ඉදිරි ගමන වෙනුවෙන් සිදුකරන අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණයක් ලෙස පෙන්වා දෙයි.
මෙම ද්විත්ව මතවාදී ගැටුම මැද, මෙරට දේශපාලන කියවීමේ අලුත් මානයන් පිළිබඳව අවධානය යොමු කිරීම කාලීන අවශ්‍යතාවයක් බවට පත්ව තිබේ.
මෙම කතිකාව සම්බන්ධයෙන් Ideas front යු ටියුබ් නාලිකාව හරහා සිය විශ්ලේෂණය ඉදිරිපත් කරන සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න, ප්‍රශ්නය දෙස වෘත්තීය මට්ටමෙන් ඔබ්බට ගිය සමාජ විද්‍යාත්මක කියවීමක් ඉදිරිපත් කරයි. ඔහු පෙන්වා දෙන්නේ මෙරට බුද්ධිමය සංවාදය බොහෝ විට සංකේතාත්මක හෝ ප්‍රභූ පන්තියේ අවශ්‍යතා වටා කැරකෙන බවයි. 1983 කළු ජූලියෙන් පසු ඇති වූ දේශපාලන මාරුවීම් හා නිව්ටන් ගුණසිංහ වැනි විද්වතුන්ගේ මතවාද උපුටා දක්වමින් ඔහු පවසන්නේ, වෘත්තිකයන්ගේ වරප්‍රසාද හෝ අයිතිවාසිකම් පිළිබඳ අරගලවලට වඩා සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිතයේ පීඩනය කෙරෙහි දේශපාලන අවධානය යොමු විය යුතු බවයි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ නීතිඥයන් වැනි ඉහළ මධ්‍යම පාන්තික වෘත්තිකයන් බොහෝ විට පෙනී සිටින්නේ ඔවුන්ගේම සමාජ තත්ත්වය හෝ වෘත්තීය අනන්‍යතාවය සුරක්ෂිත කර ගැනීමට බවට ඔහු චෝදනා කරයි. නිදසුනක් ලෙස, ජාතික රෝහලකට ප්‍රතිකාර ලබාගැනීමට එන සාමාන්‍ය මිනිසෙකුට තම වාහනය නවතා ගැනීමටවත් ක්‍රමවත් ඉඩක් නොමැති තරමට ඔවුන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු පාලකයන්ට හෝ මෙම බුද්ධිමය පන්තියට විෂය නොවන බව ඔහු අවධාරණය කරයි. දේශපාලන බලය ලබාගැනීමේ පරමාර්ථය විය යුත්තේ මෙවැනි පීඩිත ජීවන ව්‍යුහයන් වෙනස් කිරීම මිස, ප්‍රභූ පන්තියේ සංකේතාත්මක අවශ්‍යතා ඉටු කිරීම නොවන බව ඔහුගේ ස්ථාවරයයි.
අතීත දේශපාලන තීන්දු පිළිබඳවද අදහස් දක්වමින් දීප්ති කුමාර ගුණරත්න පෙන්වා දෙන්නේ, ජේ.ආර්. ජයවර්ධන වැනි නායකයන් ගත් ඇතැම් ආර්ථික තීන්දු නිසා මෙරට සාමාන්‍ය පන්තියේ මිනිසුන් විදේශ රැකියා හරහා ආර්ථික වශයෙන් ශක්තිමත් වූ බවයි. එහෙත් එවකට සිටි ඇතැම් බුද්ධිමතුන් එම පිරිස් "ඩුබායි ගැහැනු" ලෙස හඳුන්වමින් අවඥාවට ලක් කළ ආකාරය ඔහු සිහිපත් කරයි. මෙයින් පැහැදිලි වන්නේ මෙරට බුද්ධිමය හා වෘත්තීය පන්තිය සහ පොදු මහජනතාව අතර ඇති විශාල පරතරය බව ඔහු පෙන්වා දෙයි.
සමස්තයක් ලෙස ගත්කළ, අධිකරණ සංශෝධන වැනි තාක්ෂණික කරුණුවලට වඩා රටේ පොදු ජනතාවගේ දෛනික ජීවන අරගලය දේශපාලන න්‍යාය පත්‍රයේ පෙරමුණට පැමිණිය යුතු බව ඔහු යෝජනා කරයි. විපක්ෂයක් ලෙස බලය ඉල්ලා සිටිය යුත්තේ වෘත්තිකයන්ට අවශ්‍ය වරප්‍රසාද ලබාදීමට නොව, සැබෑ ලෙසම පීඩාවට පත් පොදුජන දෛනික ජීවිතයේ ව්‍යුහාත්මක වෙනසක් සිදුකිරීමට බව දීප්ති කුමාර ගුණරත්න වැඩිදුරටත් අවධාරණය කරයි.
සමස්ත අදහස් දැක්වීම මතු පලවන වීඩියෝ ....




