BREAKING
නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●
Top Ad
Opinion

රාජ්‍ය නිලධාරීන්ගේ වැරදි තීරණවලට දණ්ඩ නීති සංග්‍රහය යෙදවීම බරපතල අවභාවිතයක්! | සුනිල් කන්නන්ගර

T

The Leader Desk

August 5, 2026 • 11:36 AM

රාජ්‍ය නිලධාරීන්ගේ වැරදි තීරණවලට දණ්ඩ නීති සංග්‍රහය යෙදවීම බරපතල අවභාවිතයක්! | සුනිල් කන්නන්ගර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පූජිත් සහ හේමසිරිගේ තීන්දු හමුවේ රාජ්‍ය සේවයේ අනාගත පැවැත්ම ගැන මතුවන නීතිමය ප්‍රශ්නාර්ථය
  • මේ දිනවල උණුසුම්ම මාතෘකාව පූජිත් ජයසුන්දරට හා හේමසිරි ප්‍රනාන්දු ට පනවා ඇති මරණ දඬුවම ය.
  • පූජිත්ගේ පොලිස්පතිකමේ විශේෂත්වයක් ඇත.
  • ඔහු පොලිස්පති ධුරයට පත් වුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ පළමු පොලිස්පතිවරයා ලෙසිනි.
අකුරු ප්‍රමාණය (Font Size):


ආයතන සංග්‍රහය (AR) සහ අපරාධ නීතිය අතර සීමා මායිම් පැහැදිලි කිරීමේ අවශ්‍යතාව


රාජ්‍ය නිලධාරීන් අතින් සිදුවන රාජකාරිමය වැරදි සහ තීරණ සඳහා ආයතන සංග්‍රහය (AR) සහ මුදල් රෙගුලාසි (FR) වෙනුවට දණ්ඩ නීති සංග්‍රහය යොදාගනිමින් අපරාධ නීතිය යටතේ කටයුතු කිරීම රාජ්‍ය සේවයේ පැවැත්මට එල්ල වන බරපතල තර්ජනයක් බව හිටපු දිසාපති සුනිල් කන්නන්ගර පෙන්වා දෙයි. පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු පිළිබඳ සිදුවීම පදනම් කරගනිමින් ඔහු මතු පලවන විශ්ලේෂණය ඉදිරිපත් කරයි.

මේ දිනවල උණුසුම්ම මාතෘකාව පූජිත් ජයසුන්දරට හා හේමසිරි ප්‍රනාන්දු ට පනවා ඇති මරණ දඬුවම ය. මරණ දඬුවම යනු මානව ඉතිහාසයේ අතිශය සංවේදනාත්මක හා විවාදාත්මක තීන්දුවකි. පූජිත් යනු ශ්‍රී ලංකා පොලිසියේ හිටපු පොලිස්පතිවරයෙකි. හේමසිරි යනු හිටපු ආරක්ෂක ලේකම්වරයෙකි. පූජිත්ගේ පොලිස්පතිකමේ විශේෂත්වයක් ඇත. ඔහු පොලිස්පති ධුරයට පත් වුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ පළමු පොලිස්පතිවරයා ලෙසිනි. පොලිසියේ සිටි කීර්තිමත්ම පොලිස්පතිවරයා වූ එන්. කේ. ඉලංගකෝන්ගෙන් පසුව පොලිස්පති ධුරයට යමෙකු පත් කිරීම ජනාධිපතිවරයාගේ ඕනෑ එපාකම මත පමණක් කළ හැකි එකක් නොවීය.

පූජිත් ජයසුන්දර - හේමසිරි ප්‍රනාන්දු 

 

ඉලංගකෝන් පොලිස්පතිවරයා විශ්‍රාම යන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය අනුමත වී තිබුණි. ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පොලිස්පති ධුරයට අයෙකු පත්කිරීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය අවශ්‍ය විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මේ සඳහා සලකා බැලූ නම් අතර එක සමාන සුදුසුකම් සහිත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙක් වූහ. ඒ එකම කණ්ඩායමේ සහකාර පොලිස් අධිකාරිවරු ලෙස සේවයට බැඳුණු පූජිත් ජයසුන්දර හා එස්. එම්. වික්‍රමසිංහ යන දෙදෙනායි. මේ දෙදෙනාම එකම ජ්‍යෙෂ්ඨත්වයක් සහිත නිලධාරීහු වූහ. පූජිත් කුරුණෑගල අයෙකු වූ අතර වික්‍රමසිංහ පොළොන්නරුවේ අයෙක් විය. වික්‍රමසිංහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකුව සිට 1985 ශ්‍රී ලංකා පරිපාලන සේවාවට එක්වී මසක් පමණ කල් ඊට අදාළව පුහුණුවේ සිට සහකාර පොලිස් අධිකාරි පත්වීම ලැබ පොලිසියට බැඳුණු අයෙකි. ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවය අතහැර පොලිස් සේවයට එක්වුණේ ඔහුගේ පොලිස් සේවය කෙරෙහි වූ ප්‍රබල ආශාව නිසාම ය. පූජිත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වී සිට 1985දී සහකාර පොලිස් අධිකාරි ලෙස පොලිස් සේවයට එක් වූ අයෙකි.

මේ දෙදෙනාම එකිනෙකාට නොදෙවෙනි සමාන දක්ෂතා පෙන්වමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු බවට පත්ව සිටි අය වූහ. වික්‍රමසිංහ ජනාධිපති ආරක්ෂක අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි අතර ඒ කාලය තුළට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට දැඩි ජීවිත තර්ජන තිබුණු යුද සමය ද අයත්ව තිබුණි. එසේ වුව ද ඔහු සිය වගකීම අකුරටම ඉටු කරමින් ජනාධිපතිවරයාට කිසිම ශාරීරික හානියක් වීමට ඉඩ නැතිවන ලෙස රාජකාරි කළේ ය. මෛත්‍රීපාල ජනාධිපතිවරයා ද වික්‍රමසිංහටම සිය ආරක්ෂාව පවරන ලද්දේ ඔහුගේ දක්ෂතාව නිසා ය. පූජිත් ද පොලිසියේ ඔහු භාරයේ තිබුණු පළාත්වලත් අංශවලත් ඉතා දක්ෂ ලෙස රාජකාරි කර නමක් දිනා සිටි ජනප්‍රිය නිලධාරියෙක් විය.

 

එස්. එම්. වික්‍රමසිංහ

අවසානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට පූජිත්ගේ නම නිර්දේශ කරන ලදුව ඔහු පොලිස්පතිවරයා විය. ඒ දිනවල තිබුණු කතාවක් වුණේ වික්‍රමසිංහට ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග දිගු කලක් කටයුතු කර තිබීම මෙන්ම පොළොන්නරුවේ අයෙකු නිසා මෛත්‍රීපාල ජනාධිපතිවරයාට ද සමීපත්වයක් තිබීම මත මේ තරඟයේ දී ඔහුට අවාසි වූ බවට ය. එහි ඇත්ත නැත්ත අපි දන්නේ නැත. මෙහිදී වික්‍රමසිංහ පොලිසියට බැඳීමේදී අතහැර දැම්මේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකු ලෙස අනාගතයේදී අමාත්‍යාංශ ලේකම් පදවියක් හෝ ප්‍රධාන දෙපාර්තමේන්තු ප්‍රධානී ධුරයක් ලැබීමට තිබුණු ඉඩකඩ ය. ඒ අතහැර දැමීම ආවරණය වීමට නම් ඔහු පොලිස්පති ධුරයට පත්විය යුතුවම තිබුණි. එහෙත් ඔහු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයකින් රාජ්‍ය සේවය අවසන්වීමේ ඉරණම හිමි කර ගෙන තිබුණි.

පොලිස්පති ධුරය නොලැබුණි නම් ජනප්‍රිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස රාජ්‍ය සේවය අවසන්වීමට ඉඩ තිබුණු පූජිත්, ඉරණම විසින් පොලිස්පතිවරයා කරනු ලැබ බෙහෙවින් මානසික හිරිහැරවලට ලක්වී අවසානයේ අධිකරණයෙන් ලොව බිහිසුණුම මරණ දඬුවම ද හිමි වීමට තරම් අවාසනාවන්ත වුණේ සෑම ජයග්‍රහණයක්ම වාසනාවන්ත නොවන බව පසක් කරමිනි. පූජිත් ගැන දන්නා අතිමහත් බහුතරය ඔහු ඉතාම හොඳ මනුෂ්‍යත්වයෙන් පිරිපූර්ණ අවංක නිහතමානී අයෙක් බව පිළිගනිති.

 

poojitha je3
පූජිත් පොලිස්පති ධුරයට පත්වූ පසු ඔහුට සුබපැතීමට සංවිධානය කළ සුබපැතුම් උත්සවයකදී පිළිගැනීමේ කතාව කළ පූජිත්ගේ සරසවි මිත්‍රයෙකු කියූ අපූරු කතාවක් මට සිහිපත් වේ. ඒ මෙසේය: “පූජිත ජයසුන්දර මැතිතුමා විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබද්දී මිත්‍රයින්ට බෙහෙවින් ළෙන්ගතු මිත්‍රයෙක් වී සිටියා. මිත්‍රයන්ගේ පමණක් නොව ඔහු යම් මිතුරෙකුගේ නිවසට ගියා නම් ඒ දෙමාපියන්ගේද ආදරය සැනෙන් දිනා ගැනීමට තරම් වූ ගෞරවයක් ආදරයක් ඒ දෙමාපියන්ටත් දැක්වූවා. එක් අවස්ථාවක පූජිත කොළඹ ආසන්න ප්‍රදේශයක පිහිටි සරසවි සගයෙකුගේ නිවසේ සති අන්තයක් නතර වී සිටියා. ඔහු ඒ නිවසේ මවට හා පියාට අසීමිත ආදරයකින් හා ගෞරවයකින් තමයි හැසිරුණේ. අවසානයේ ආපසු යන අවස්ථාවේදී ඒ පියාටත් මවටත් දණගසා වැඳ සමුගත්තා. ඒ මව ඉතාමත් ආදරයෙන් පූජිත් මහතාගේ හිස අතගා ‘මගෙ පුතාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි, සියලු දෙවියන්ගේ ආරක්ෂාවයි’ කියමින් ඔහුට සමුදුන්නේ කඳුළු පිරි දෙනෙතින්. ඉන්පසු ඉදිරි දොර උළුවස්සට හේත්තුවී පූජිත් මහතා පාරට යන අන්දම කඳුළු පිරි දෙනෙතින් බලා සිටි ඒ අම්මා, ‘අනේ හොඳට හැදුණු සීදේවි, හොඳ ශීලාචාර, වැදගත් පුතෙක්. ඒ පුතාට නම් කවදාවත් වරදින්නෙ නෑ. අන්න ඒකට අපේ එවුන් හිතුවක්කාරෙටමයි හැදෙන්නෙ’ කියා තමන් ළඟම සිටි පූජිත් මහතාගේ මිත්‍රයා දෙසත් බැලුවා. අන්න ඒ සීදේවි ශීලාචාර පුතා අද ශ්‍රී ලංකාවේ පොලිසියේ පොලිස්පතිවරයා වෙනකොට, අර හිතුවක්කාරෙට හැදුණු පුතා අද ඒ සීදේවි පුතා යටතේ සහකාර පොලිස් අධිකාරී කෙනෙක් හැටියට එතුමාව පිළිගන්න මෙතන කතා කරනවා” යි යනුවෙන් සඳහන් වූ ඒ කතාව එහි රැස්ව සිටි සියල්ලන්වම සිනාගැන්වූ රසබර කතාවක් විය.

පූජිත්, හේමසිරි දෙන්නාම අයත් වුණේ රාජ්‍ය සේවයට ය. හේමසිරි අමාත්‍යාංශ ලේකම් කෙනෙකු හැටියට රාජ්‍ය සේවයට පත්වුණේ ය. පත්වීම් බලධාරියා ජනාධිපතිම ය. අමාත්‍යාංශ ලේකම්කමට කෙනෙකුව තෝරාගන්නට ජනාධිපතිට කාගේවත් නිර්දේශය ඕනෑ නැත. අමාත්‍යාංශ ලේකම් කෙනෙකුව තනතුරෙන් අයින් කරන්න හේතුවක් ඕනෑත් නැත. ජනාධිපතිට හිතෙන කෙනෙක් ඕනෑම අමාත්‍යාංශයක ලේකම් හැටියට පත්කරන්නත්, ඕනෑ වෙලාවක පත්කළ කෙනාව අස්කරන්නත් තමන්ට ඇති බලය හොඳටම පෙන්නුවේ ද හේමසිරිව ආරක්ෂක ලේකම් හැටියට පත්කළ ජනාධිපති මෛත්‍රීපාල ය. මෛත්‍රීපාලගේ වසර හතරහමාරකට මඳක් වැඩි ජනාධිපති ධුර කාලයේදී ඔහු විසින් ආරක්ෂක අමාත්‍යාංශයට පත්කළ හතරවෙනි ලේකම් වුණේ හේමසිරි ය. හේමසිරිට කලින් උත්පල බස්නායක නම් ජ්‍යෙෂ්ඨ පරිපාලන සේවා නිලධාරියෙකුද, කරුණාසේන හෙට්ටිආරච්චි නම් ඉංජිනේරුවරයෙකුද, කපිල වෛද්‍යරත්න නම් සොලිසිටර් ජනරාල් කෙනෙකුද ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කර සෑහීමට පත් නොවුණු මෛත්‍රීපාල ජනාධිපති හේමසිරිව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලෙස පත්කළේ ය. පාස්කු ප්‍රහාරයෙන් පසුව පස්වැන්නා ලෙස ශාන්ත කෝට්ටේගොඩ නම් හිටපු හමුදාපතිවරයාව පත්කර වැඩිම සංඛ්‍යාවක් ලේකම්වරු සමග කටයුතු කළ ආරක්ෂක ඇමති වීමේ වාර්තාව ද පිහිටෙව්වේ ය. ඒ අතර ජනාධිපති ලේකම්වරුත් තුන්දෙනෙකු පත්කර එදා මෙදාතුර වැඩිම ජනාධිපති ලේකම්වරු සමග කටයුතු කළ ජනාධිපතිවරයා වීමේ වාර්තාවද අත්කර ගත්තේ ය.

1540911998 hemasiri fernando

 

පූජිත්ගේ අවාසනාවට නැතහොත් මරණ දඬුවමට පත් වීමෙන් පසු ඔහු විසින්ම කියා සිටි “සාංසාරික කරුමයට” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත පොලිස්පතිවරයා පත් කිරීමට ජනාධිපතිට හැකි වුණත් පොලිස්පතිව ඉවත් කිරීමේ බලය මෛත්‍රීපාල ජනාධිපතිට තිබුණේ නැත. එසේ තිබුණා නම් පූජිත් මේ කරදරේ වැටෙන්නේ නැත. එහෙම නම් වික්‍රමසිංහත්, සී. ඩී. වික්‍රමරත්නත්, දේශබන්දුත් ඒ කාලෙම පොලිස්පති වී ගෙදර ගොස් අවසන් වන්නට ද ඉඩ තිබුණි. මේ පත්වීමේ බලධාරියා කවුරු වුණත් හේමසිරිත් පූජිතුත් අයත් වුණේ රාජ්‍ය සේවයට ය. රාජ්‍ය සේවකයින් රාජ්‍ය සේවයේදී අනුගමනය කළ යුත්තේ ආයතන සංග්‍රහය (AR) හා මුදල් රෙගුලාසි (FR) බවට ප්‍රසිද්ධ කතාවක් ඇත්තේ ය. එසේ වුවත් පසුකාලයේ ඒ දෙකටත් වඩා උඩින් “JR, PR හා MR” තියාගෙන වැඩ කරන්නත් රාජ්‍ය සේවකයින්ට සිද්ධ වුණේ ය. ඒ කාලවල AR, FR ඔය සඳහන් කළ අනික් R වලට ඉඩදී පැත්තකට වුණත්, රාජ්‍ය සේවකයාට වැරදුණු පසු ඇහුවේ AR, FR පැත්තක දැම්මේ ඇයි කියා ය. ඊට හේතු ලෙස JR, PR MR, නිසාය යන පිළිතුරු නම් භාරගත්තේ නැත.

පූජිතුත් හේමසිරිත් රාජ්‍ය සේවකයන් ලෙස කළ රාජකාරි නියාමනය කළ යුතුව තියෙන්නේ AR එකෙනි. ඒත් පූජිත් පොලිස්පති වෙනකොටත් පොලිසියේ මූල්‍ය අපරාධ අංශය කියා එකක් පටන්ගෙන, රාජ්‍ය සේවකයන්ගේ රාජකාරියේ කළ දේවල් ගැන ලැබෙන පෙත්සම් දණ්ඩ නීති සංග්‍රහයෙන් හා පොදු දේපළ පනතින් විමර්ශනය කර ඔවුන්ව රිමාන්ඩ් කිරීමේ ක්‍රමයක් පටන්ගෙන තිබුණි. රාජ්‍ය සේවකයින්ගේ රාජකාරිමය කටයුතු නියාමනය ක්‍රමයෙන් අපරාධ නීතිය මගින් කිරීම දක්වා රාජ්‍ය සේවය පීළි පන්නවා තිබුණි. ඊට එරෙහිව බුද්ධිමත් රාජ්‍ය නිලධාරීන් පෙන්වා දුන් කරුණු අනුව ඒ ක්‍රියාවලිය පූජිත් පොලිස්පති වන විටත් මන්දගාමී කර තිබුණි. රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් අතින් සිදුවිය හැකි බරපතල රාජකාරිමය වැරදි වීමට පදනම් වන හේතූන් AR එකේ නැත්නම් ආයතන සංග්‍රහයේ පෙන්වා දී ඇත. ඒවා බොහොමයක් ‘අ’ යන්නෙන් ඇරඹෙන ඒවා ය. “අකාර්යක්ෂමතාවය”, “අදක්ෂතාවය”, “අවංකභාවය නැතිකම”, “අනිසි හැසිරීම”, “අවිනය” ඒ ‘අ’ යන්නෙන් පටන්ගන්නා වැරදි ය. ‘අ’ යන්නෙන් පටන් නොගන්නා එකම වරද “නොසැලකිල්ල” ය.

 

1683449120 government employees L

රාජ්‍ය සේවකයෙකු අතින් සිදුවන ඕනෑම රාජකාරිමය වරදක් ඉහත කරුණු හයට ඇතුළත් වන්නේ ය. ඒ නිසා ඉහත කරුණු හයට වැටෙන වැරදි ගැන ක්‍රියා කළ යුතු ක්‍රමවේදයද ආයතන සංග්‍රහයේ සඳහන් ය. එයට අනුව මූලික විමර්ශනයක් පවත්වා චෝදනා පත්‍රයක් නිකුත් කර, විධිමත් විනය පරීක්ෂණයකින් පසු වරද ඔප්පු වුණොත් ඒ තැනැත්තා රාජ්‍ය සේවයෙන් නෙරපා හැරීම දක්වා වන දඬුවම් ලබාදීමට හැකි වේ. රාජකාරිය මුවාවෙන් චේතනාන්විතව අපරාධමය වරදක් කර ඇති බව පෙනී ගියහොත් පමණක් රාජ්‍ය සේවකයාට එරෙහිව අපරාධ නීතිය යටතේ ක්‍රියා කිරීම සාමාන්‍ය සිරිතයි. මේ සාමාන්‍ය සිරිත කඩ කරමින් නීතිපතිවරයා පූජිතුත් හේමසිරිත් අතින් සිදුවූ රාජකාරිමය වරදක් වූ පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට ක්‍රියා නොකිරීම යන වරදට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයෙන් ක්‍රියා කිරීමට තීරණය කිරීම රාජ්‍ය සේවයේ පැවැත්ම කෙරෙහි බලපාන අතිශය තීරණාත්මක කරුණක් වන්නේ ය.

මේ න්‍යාය තවත් ඉදිරියට ගෙන ගියොත් රජයේ වෛද්‍යවරුන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී නොසැලකිල්ලෙන් ක්‍රියා කර රෝගියා මියගියහොත් වෛද්‍යවරයාට එරෙහිව මිනීමැරුම් නඩු පැවරෙන්නටත් පුළුවන. ගොඩනැගිල්ලක් කඩා වැටී සිදුවූ මරණවලට එරෙහිව මනුෂ්‍ය ඝාතනයට අනුබල දීමේ වරද ඉංජිනේරුවන්ට එරෙහිව එන්නත් බැරි නැත. පසුගිය දිට්වා ආපදා වෙලාවේදී කොත්මලේ ජලාශයේ වාන් දොරටු රාත්‍රියේදී හදිසියේ ඇරීම නිසා ගම්පොළ ප්‍රදේශයේ ජනතාවට වතුරට අසුවී බොහෝ දෙනකුට මියයාමට පවා සිදුවූ බවත්, දේපළ විශාල ප්‍රමාණයක් විනාශ වූ බවත් ප්‍රචාරය විය. ඒවා ගැන පරීක්ෂා කර වාරි ඉංජිනේරුවන් අපරාධ නඩුවලට කොටු කරන්නටත් නීතිපතිවරයාට සිදුවනු ඇත. රාජකාරි කිරීමේදී අපරාධමය චේතනාවක් නොමැතිව සිදු කරන වැරදි සඳහා දණ්ඩ නීති සංග්‍රහය යොදාගත නොහැකි වුණත් දැන් ඇතිවී තිබෙන්නේ කෝකටත් තෛලය ලෙස පොදු දේපළ පනත, දූෂණ විරෝධී පනත හා දණ්ඩ නීති සංග්‍රහය යොදාගෙන රාජ්‍ය සේවය නියාමනය කිරීම ය. එය බරපතල ලෙසින් රාජ්‍ය සේවය අවභාවිත කිරීමකි.

(සටහන | සුනිල් කන්නන්ගර)
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com

(vinivida.lk)(vinivida.lk)(vinivida.lk)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...