*විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සහ බහුතර ඡන්ද ප්‍රතිශතය මත ආණ්ඩුවේ සහ විපක්ෂයේ අනාගත තීන්දුව
‘ජේ.ආර්. 1982 ජනමත විචාරණය තිබ්බේ නැත්නම් 1988 කැරැල්ලක් එන්නේ නැහැ…
මේ, ජවිපෙ හිටපු කැරැලිකාරයෙක් මාධ්‍යවේදියකුට කී කතාවක්ය.
‘හොඳයි, ජේ.ආර්. 1982 මහ ඡන්දයක් තිබ්බා නම් මොකද වෙන්නේ…?’
ජේ.ආර්. 1982 මහ ඡන්දයක් තිබ්බා නම් ජවිපෙට අනිවාර්යයෙන්ම ආසන තුන හතරක් දිනාගැනීමට ඉඩ තිබිණි. 1982 ජනාධිපතිවරණයේදී රෝහණ විජේවීර 4.19%ක් ගත්තේය. ඒ 2019 අනුර ගත්තාට වඩා වැඩි ප්‍රතිශතයකි. අනුර ගත්තේ 3.16%කි. ඒ කියන්නේ ජවිපෙ 2020 මහ ඡන්දයට ගත්තාට වඩා ආසන ගණනක් 1982 ජවිපෙට දිනාගත හැකිව තිබිණි.
එහෙම වුණා නම් රෝහණ විජේවීර අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේය. එසේ වූවා නම් ජේ.ආර්. ජවිපෙ තහනම් කරන්නේ නැත. ජවිපෙ තහනම් නොකළා නම් ජවිපෙ යටිබිම්ගත දේශපාලනයට යන්නේ නැත. ජවිපෙ 1988 කැරැල්ල ගැහුවේ යටිබිම්ගත දේශපාලනය හරහාය. ජේ.ආර්. 1982 හෝ 1983 මහ ඡන්දයක් තිබ්බා නම් සමානුපාතික ඡන්ද ක්‍රමයට විපක්ෂයේ සිටි ශ්‍රීලනිපයට ආසන 60ක් 70ක් ලැබෙයි. එසේ වූවා නම් පාර්ලිමේන්තුවේ වීරයන් වන්නේ විජය සහ රෝහණ විජේවීරය. එහෙනම් විජය ඝාතනය වන්නේත් නැත.
ජේ.ආර්.ගේ ජනමත විචාරණ තීන්දුව සියල්ල වෙනස් කළේය. ලංකාවේ පළමු ජනමත විචාරණය තියන්න තීරණය කළේ පාර්ලිමේන්තු නිල කාලය දික් කරගන්නටය. ඒ ජනමත විචාරණය කොක්කෙන් හෝ කෙක්කෙන් දිනන්න ජේ.ආර්.ට ඕනෑ විය.
ජේ.ආර්. ජනමත විචාරණය තිබ්බේ විපක්ෂයේ ආකර්ෂණීය චරිතය වූ විජය අත්අඩංගුවේ තියාගෙනය
ජනමත විචාරණ පරාජය කරන්න විපක්ෂයේ සියලු පක්ෂ එක් වේදිකාවකට එමු යැයි විපක්ෂය යෝජනා කළේය. එහෙත් එය සාර්ථක නොවීය. ජේ.ආර්. ජනමත විචාරණය තිබ්බේ විපක්ෂයේ ආකර්ෂණීය චරිතය වූ විජය අත්අඩංගුවේ තියාගෙනය. විජයගේ සටන් සගයන් වූ ඔසී අබේගුණසේකර සහ ෆීලික්ස් පෙරේරා සිටියේත් හිරේය.
ජනමත විචාරණය දිනන එක ලෙහෙසි නැති බව ජේ.ආර්. දැන සිටියේය. තෝරාගත් පළාත්වල ආණ්ඩුව ඡන්ද දූෂණයේ යෙදුණේය. 1982 ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුවගේ ඡන්දයත් හොරට දමා තිබිණි. අත්තනගල්ල ඡන්ද මධ්‍යස්ථානවලින් ශ්‍රීලනිප ඡන්ද පොළ නියෝජිතයන් එළවා දමා තිබිණි. ජනමත විචාරණයේ ප්‍රතිඵල නිකුත් වෙද්දීම ඡන්දය දූෂිත ඡන්දයක් බව ජනතාවට පෙනෙන්නට තිබිණි.
ජනමත විචාරණය ගැන ප්‍රකට ත්‍රස්ත මර්දන විශේෂඥයකු වූ මහාචාර්ය රොහාන් ගුණරත්න ‘ජවිපෙ අහිමි විප්ලවය’ නම් වූ ඔහු විසින් ලියපු පොතේ මෙසේ සඳහන් කර ඇත.
‘කර්තෘවරයා ජනමත විචාරණය පැවැත්වීම සාධාරණීකරණය කළ හැකි දැයි ජේ.ආර්. ජනාධිපති ධුරයේ සිටියදී ප්‍රශ්න කළ විට ‘ඔව්’ යැයි කීවේය. ජේ.ආර්. ජනාධිපතිවරයා විශ්‍රාම ගියාට පසු කර්තෘවරයා ජේ.ආර්.ගෙන් මේ ප්‍රශ්නයම ඇසුවේය. එවිට ජේ.ආර්. කීවේ ජනමත විචාරණය පැවැත්වීම තමන් කළ අත්වැරැද්දක් බවය.
ලංකාවේ ජනමත විචාරණ කියන නම මතක් කරද්දීත් මිනිස්සුන්ට මතක් වන්නේ ලාම්පු කළගෙඩි සෙල්ලමය. ජනමත විචාරණය පවත්වා කාලයකට පසු මැතිවරණ කොමසාරිස් චන්ද්‍රානන්ද ද සිල්වා ජනමත විචාරණය දූෂිත මැතිවරණයක් බව සිය වාර්තාවෙන් පෙන්වා දෙනු ලැබීය.
ජනමත විචාරණයක් ප්‍රකාශයට පත්කොට අන්ත අසරණ වූ චන්ද්‍රිකා මංගල මැදිහත් වී ගෙන ආ ජවිපෙ කොන්දේසිවලට එකඟ වූවාය
ජේ.ආර්.ගේ මෙම ජනමත විචාරණයට පසු 2001දී චන්ද්‍රිකා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට නව ව්‍යවස්ථාවක් ගේන්න ජනමත විචාරණයක් පවත්වන්න තීරණය කළාය. ඇය ඒ ජනමත විචාරණය ප්‍රකාශයට පත් කළේ සද්භාවයෙන් නොව තම ආණ්ඩුවට පාර්ලිමේන්තු බහුතරය අහිමි වීම කළමනාකරණය කර ගන්නටය. 2001දී බහුතරය හදාගන්න සහාය දුන් මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවෙන් ඉවත් විය. ඇයට පාර්ලිමේන්තු බහුතරය නැති නිසා වහාම පාර්ලිමේන්තු ඡන්දයකට යන්න යැයි එවක විපක්ෂයේ සිටි එජාපය සහ ජවිපෙ ඉල්ලා සිටියහ.
මහ ඡන්දයකට ගියොත් පරදින නිසා ඇය මේ අර්බුදයෙන් රිංගන්න සිදුරක් හෙව්වාය. මේ වෙනකොට එවක අගවිනිසුරු සරත් සිල්වාට එරෙහිව විපක්ෂය දෝෂාභියෝගයක් භාරදී තිබිණි. එම දෝෂාභියෝගයට ඡන්දය විමසුවොත් අගවිනිසුරුවරයාට ගෙදර යන්න වෙන බව ඇය දැන සිටියාය. දෝෂාභියෝගය වීසිකර පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වන විපක්ෂයේ කට වහන්න ඇය පාර්ලිමේන්තුව කල් දැම්මාය. පාර්ලිමේන්තුව කල්දමලා හදිසි ජනමත විචාරණයක් පවත්වන්න තීරණය කළාය.
‘හිට්ලර්වතී…’
මේ, ඒ කාලයේ යූ.ඇන්.පී.ය රට පුරා අලවපු පෝස්ටරයය. ප්‍රධාන විපක්ෂය වූ යූ.ඇන්.පී.ය සහ ජවිපෙ චන්ද්‍රිකාගේ ජනමත විචාරණයට එරෙහිව එක්වෙන්න නොනිල සාකච්ඡා ආරම්භ කළහ.
‘චන්ද්‍රිකාට ජනමත විචාරණයක් දිනන්න පුළුවන්ද…?’

චන්ද්‍රිකාගේ අගසව් මංගල ගණන් හද හදා බැලීය. ජනමත විචාරණයක් දිනන්න බැරි බව මංගලට තේරුණි. දැන් ප්‍රකාශයට පත්කළ ජනමත විචාරණය හකුළා ගත්තොත් චන්ද්‍රිකාත්, ආණ්ඩුවත් ඉවර බව මංගලට තේරුණි. ඔහු කළේ ජවිපෙට ළංවී ජවිපෙ සහාය ලබාගන්න උත්සාහ කිරීමය. ජවිපෙ කොන්දේසි දැම්මේය. පළමු කොන්දේසිය ජනමත විචාරණය අවලංගු කිරීමය. ජනමත විචාරණයක් ප්‍රකාශයට පත්කොට අන්ත අසරණ වූ චන්ද්‍රිකා මංගල මැදිහත් වී ගෙන ආ ජවිපෙ කොන්දේසිවලට එකඟ වූවාය. වහාම ජනමත විචාරණය අවලංගු කෙරුණි.
හරියටම ඉන් වසර 25කට පසු දැන් යළිත් ජනමත විචාරණය ගැන කතිකාවක් ඇතිවී තිබේ. ඒ, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දික් කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය යැයි අධිකරණ තීන්දුවක් දුනහොත් ජනමත විචාරණයක් පවත්වන්න වෙන නිසාය.
‘ජනමත විචාරණයක් පැවැත්වුවහොත් මොනවා වෙයිද…?’
ශ්‍රේෂ්ඨාධිකරණය ජනමත විචාරණයකට යන්න කිව්වොත් ජනමත විචාරණයකට යනවාද නැද්ද තීරණය කිරීමට ආණ්ඩුවට සිදුවේ.
ජනමත විචාරණයට යන්න වෙන්නේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දික් කරන්නටය. විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දික් කරගන්න කෝටි ගණනක් මුදල් අපතේ යවන්නේ මොනවාටදැයි ජනතාව හිතන්න ඉඩ තිබේ.
‘නෑ, මේ ජනමත විචාරණය හොරු අල්ලන්න අධිකරණ ක්‍රමය ශක්තිමත් කරන්නයි…’ ආණ්ඩුව එවිට කියනු ඇත.
‘ජනතාවගෙන් හොරකම් කළ කෝටි ගණන් මුදල් හොයන්න ජනමත විචාරණයකට කෝටි ගණනක් වැය කිරීම අපරාධයක් නෙමේ…’

ආණ්ඩුව මෙහෙම කිව්වොත් ජනතාව පිළිගන්නත් ඉඩ තිබේ. හැබැයි පසුගිය පළාත් පාලන මැතිවරණයේදීද ජනාධිපතිත් ආණ්ඩුවත් කීවේ හොරු අල්ලන්න දුන් ජනවරම තහවුරු කරන්න කියාය. පළාත් පාලන ආයතනවල හොරකම් නතර කරන්න බලය දෙන්න කියාය. ජනතාව ආණ්ඩුවට දුන්නේ 43.26%ක ජනවරමකි. ඒ වෙලාවේ විපක්ෂය පුංචි ඡන්දයට තරග කළේ බෙදිලා වෙන් වෙලාය. ඒත් ජනමත විචාරණයකදී විපක්ෂය එකට එකතු වී එක පොදු ලකුණක් වෙනුවෙන් ඡන්දය ඉල්ලීමට නියමිතය. එතැනදී විපක්ෂයට ලොකු වාසියක් ලැබේ.
පුංචි ඡන්දයේදීත් ආණ්ඩුවට 50% තියා 45%ක්වත් ඡන්ද ගත නොහැකි විය. ජනමත විචාරණයක් දිනන්න ආණ්ඩුව 50%ක් ඡන්ද ගත යුතුය. එය සූදුවකි.
ආණ්ඩුව ජනමත විචාරණය දින්නොත් විපක්ෂය ඉවරයටම ඉවරය. පරාජය වුණොත් ආණ්ඩුව ඉවරයටම ඉවරය.
‘ආණ්ඩුව සියතින්ම ගෙල සිඳගනීද…?’
(සටහන | උපුල් ජෝශප් ප්‍රනාන්දු)
Creative Content Consultant
උපුටා ගැනීම - mawratanews.lk




