BREAKING
විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●
Top Ad
Opinion

'හර්තාලය'! ආණ්ඩු බලය ගැන හීන දකින විපක්ෂයේ දැන ගැනීම පිණිසයි | කුසල් පෙරේරා

T

The Leader Desk

August 11, 2026 • 11:52 AM

'හර්තාලය'!  ආණ්ඩු බලය ගැන හීන දකින විපක්ෂයේ දැන ගැනීම පිණිසයි | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අගමැති ඩඩ්ලිගේ ආණ්ඩුව හිරිවට්ටමින් ජනතා ඉල්ලීම් දිනාගත් 1953 අගෝස්තු හර්තාලයේ ඓතිහාසික හා දේශපාලන සමාලෝචනය
  • ද සිල්වා - 1953 අගෝස්තු ගාලු මුවදොර පිටියේ පැවැති “හර්තාල් රැස්වීමේදී”.
  • ඊට සති කිහිපයකට පෙර, සමසමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙහි අගෝස්තු 12 වන දිනට “හර්තාලය” සඳහා තීන්දුව ගැනීමේදී, හර්තාලය ගැන පැහැදිලි කිරීම කෙරුවේද කොල්වින් ය.
  • මුදල් ඇමති ජේ.ආර් ජයවර්ධන ඇමෙරිකාවට සමීප වූයෙන් ඩොලර මිලියන 50 ක ණයක් සහ රබර් හා සහල් සඳහා සාධාරණ මිලක් ලබා ගැනීමට කේවල් කෙරුණත් සාකච්ඡා සාර්ථ වූයේ නැත.
අකුරු ප්‍රමාණය (Font Size):


රාජ්‍ය බලය අත්පත් කරගැනීම සහ ජනතා ප්‍රශ්න වෙනුවෙන් කේවල් කිරීම පිළිබඳව ප්‍රවීණ දේශපාලන විචාරක කුසල් පෙරේරාගෙන් දීර්ඝ විග්‍රහයක්


අපි යෝජනා කරන්නේ වැඩ වර්ජනයක් විතරක් නෙවෙයි සහෝදරවරුනි. අපි යෝජනා කරන්නේ හර්තාලයක්. මේ රටේ හැම පුරවැසියෙකුටම එදාට හර්තාලයට හවුල් වෙන්න පුළුවන්...... ඩඩ්ලිගෙ යූ.ඇන්.පී ආණ්ඩුවට අමතක කරන්න බැරි, මග ඇරලා යන්න බැරි, ජනතාවගේ ඉල්ලීම් නොදී ඉන්න බැරි මහා ජනතා විරෝධයක්. මහා හර්තාලයක්.” ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා - 1953 අගෝස්තු ගාලු මුවදොර පිටියේ පැවැති “හර්තාල් රැස්වීමේදී”.

ඊට සති කිහිපයකට පෙර, සමසමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙහි අගෝස්තු 12 වන දිනට “හර්තාලය” සඳහා තීන්දුව ගැනීමේදී, හර්තාලය ගැන පැහැදිලි කිරීම කෙරුවේද කොල්වින් ය. “හර්තාලය කියන්නේ වැඩ වර්ජනයක් විතරක් නෙවෙයි. රජයෙත් කොම්පැනි වලත් කම්කරුවන්, ලිපිකරුවන්, නිලධාරීන්, ඒ සේරම වැඩ වර්ජනය කරනවා. අනෙක් අය, පෙට්ටි කඩ කරන, කඩල විකුණන, පොල් කඩන..... හැමෝම තමන් සාමාන්‍යයෙන් කරන වැඩ නතර කරනවා. එදාට කවුරුවත් මොනවත් කරන්නේ නැහැ. හරියට සිංහල-දෙමළ අලුත් අවුරුද්දට කලින් නොනගොතේ කාලය වගේ. හර්තාලය කියන්නේ පුණ්‍ය කාලය. රටේ කොහෙවත් මොනවත්ම කෙරෙන්නේ නෑ.....”

හර්තාලය තීන්දු වූයේ....

v5yw45y456y
හර්තාලයේ ඉල්ලීම් වූයේ ජීවන වියදම වැඩිවන හෙයින් වැටුප් වැඩි කිරීමේ ඉල්ලීම් නොවේ. ජීවන වියදම් දීමනාවක් ඉල්ලීමද නොවේ. හර්තාලයේ ඉල්ලීම් සමස්ථ සමාජයටම අදාල ඉල්ලීම් විය. හර්තාලයට පසුබිම වූයේ, ඒ කාලයේ ජනප්‍රිය වහරේ “යූ.ඇන්.පී” ආණ්ඩුව යැයි හැඳින්වුනු අගමැති ඩඩ්ලි සේනානායකගේ එ.ජා.ප ආණ්ඩුවට මුහුණ දීමට සිදුවූ ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ඔවුන් ගත්තාවූ පියවර විය.

ආණ්ඩුව මුහුණ දුන් ආර්ථික අර්බුදයට හේතු වූයේ කෘතිම රබර් ලෝක වෙළදපලට පැමිණීමෙන් අපගේ ස්වාභාවික රබර් සඳහා බටහිර ලෝකයේ වූ වෙළදපල කප්පාදු වීමය. ආසියාවේ සහල් හිඟයක් සමග ලෝක වෙළඳපල සහල් මිල ඉහළ යෑමය. මුදල් ඇමති ජේ.ආර් ජයවර්ධන ඇමෙරිකාවට සමීප වූයෙන් ඩොලර මිලියන 50 ක ණයක් සහ රබර් හා සහල් සඳහා සාධාරණ මිලක් ලබා ගැනීමට කේවල් කෙරුණත් සාකච්ඡා සාර්ථ වූයේ නැත.  

ඒ අතරවාරයේ වාණිජ ඇමති ආර්.ජී. සේනානායක චීනයට අවශ්‍ය වූ රබර් චීනයට අපනයන කිරීමටත් අපට අවශ්‍ය වූ සහල් ආනයනය කිරීමටත් චීනය සමග වෙළද ගිවිසුමක් අත්සන් කිරීමට සාකච්ඡා ආරම්භකර තිබුණි. මුදල් ඇමති ජයවර්ධන ඊට විරුද්ධ වූ නමුත් අගමැති ඩඩ්ලි සේනානායකගේ අකමැත්තක් නොවූයෙන් 1952 දෙසැම්බරයේ චීනය සමග ඓතිහාසික “රබර් සහ සහල් ගිවිසුම” අත්සන් කරනු ලැබිණ. එමගින් අපගේ ආර්ථිකය යන්තමින් ගැට ගැසුණාට අමතරව, සහල් සළාකය පැවති මිලටම, නොඅඩුව ලබා දෙන්නට ආණ්ඩුවට හැකි විය. එදා ලෝකයේ එය ඉතාම සාර්ථක වෙළඳ ගිවිසුමක් ලෙස පිළිගනු ලැබිණ.

එහෙත් කොරියානු යුද්ධය 1953 ජුනියේ අවසන් වූයෙන් අපගේ රබර් සහ තේ අපනයන මිල නැවත පහත වැටින. ඉන් ඇතිවූ අයවැය හිඟය පියවා ගැනීමට ජයවර්ධන මුදල් ඇමති, සහල් මිල තෙගුණයකින් පමණ, සත 25 ට තිබූ සහල් සේරුව සත 72 දක්වා වැඩි කර, සමාජ සුභ සාධන වියදම කප්පාදු කර, තැපැල් හා රේල් ගාස්තු වැඩි කළේය.

“හර්තාලය” ඊට ප්‍රතිචාර වශයෙන් සමසමාජ පක්ෂය මූලික වී, ජනතාව වෙනුවෙන් තීන්දු කරනු ලැබූ විරෝධතාවය විය. හර්තාලය විසින් ඉල්ලා සිටියේ වැඩි කළ මිල හා ගාස්තු සියල්ල යළි පැවති මට්ටමට අඩු කළ යුතුය යන්න ය.

හර්තාලයේ සමාජ ප්‍රකාශනය

hgaer57
හර්තාලය ඉතාම සාර්ථකව දියත් වූයේ බස්නාහිර පළාතට අමතරව, සීතාවක ප්‍රදේශයේත් ගාල්ල දක්වා වෙරළකරයේ ටවුන් වලත් බදුල්ල සහ අවටත් මහනුවර නගර සීමාවේත් වවුනියාව තෙක් යාපනය දිස්ත්‍රික්කයේත් ය. බස්නාහිර යැයි කියූවත් එදා උතුරු කොළඹ ලෙස නම් කෙරුණු වත්මන් ගම්පහ දිස්ත්‍රික්කයේ සක්‍රීය සහභාගිත්වයක් තිබූයේ වත්තල සිට මීගමුව දක්වා ප්‍රදේශයන්හි ය. හර්තාලය සාර්ථකවූ ප්‍රදේශ සියල්ලම වාගේ සමසමාජ පක්ෂයේ පදනම් සහිත සැළකිය යුතු නාගරික ආභාෂයක්ද තිබූ ප්‍රදේශ විය.

කොළඹ කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය අවට ප්‍රදේශවල හර්තාලය මෙහෙය වූ සමසමාජ පක්ෂයේ අතිශය ක්‍රියාකාරී පාක්ෂිකයෙකු සහ පසුව සමසමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකුද වූ රෙජිනෝල් මෙන්ඩිස් නොහොත් රෙජි අයියා වරක් මා සමග කියූ පරිදි කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශවල හාර්තාල් දින මැස්සෙක් මදුරුවෙක්වත් දකින්නට නොවුනි. පොලිස් බැටන් ප්‍රහාර, කඳුළු ගෑස් නොතකා ඔවුන් එකල පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙහි කලු කොඩියක්ද ඔසවන ලදී. පාරට පැමිණි වරාය කම්කරුවන් සහ අවට පිරිස් කොටුව - පිටකොටුව ප්‍රදේශ ඔවුන්ගේ පාලනයට ගැනීම වළකා ලීමට පොලීසිය වෙඩි තැබීමෙන් කිහිප දෙදෙනකු මිය ගිය බව පසුව වාර්තා විය.

එවගේම සටන්කාමී සහභාගිත්වයක් දෙහිවල සිට කළුතර දක්වා වෙරළකරයේ දකින්නට තිබිණ. ඇතැම් ස්ථානවල රේල් පීලි ගලවා තිබිණ. තවත් තැන්වල කාන්තාවෝ රබන් ගසන්නටත් රේල් පාරේ ආප්ප පුච්චන්නටත් වූහ. කොළඹ නගරයට ඇතුළුවන බොහෝ මාර්ග අසල්වැසි ජනතාව විසින් අවහිර කර තිබිණ.

ඒ අතර වූ හාස්‍යජනක සිදුවීම්ද ඇත. මේ එවැන්නකි. රාජගිරිය ටවුන් කවුන්සිලයේ වරෙක සභාපතිවරයාවූ සමසමාජ ක්‍රියාකාරික යූ.ඊ. පෙරේරා හර්තාල් දින ඉතා කඩිසර පුද්ගලයෙකු විය. ඔහු නොගිය තැනක්, කාර්යාලයක්, කඩ මණ්ඩියක් නොවුනි. පිරිසක් විසින් රාජගිරියේ කලපළුවාව පාළම කඩන්නට සූදානම් වන බවට යූ.ඊ සහෝදරයාට ලැබුණු ආරංචිය අනුව ඔහු බයිසකලයට නැගී කලපළුවාවට ගියේය. කිහිප දෙනෙකු පාළම කඩන්නට උත්සාහ කරනවා දුර දීම දුටු යූ.ඊ සහෝදරයාගේ තේරුම් ගැනීම වූයේ පාළම කඩනවාට වඩා පහසුවෙන් එතැනම වූ විශාල මාර ගස කපා පාර හරස් කළ හැකි බවය. පාළමට කිට්ටුවන විට ඔහු “හා හා පාළම කඩන්න එපා.... පාළම කඩන්න එපා” යැයි කෑ ගැසුවේය. ඒ ක්ෂණයෙන් “මෙන්න කඩාකප්පල්කාරයෙක්....” යැයි කිහිප දෙන ඔහු වටකර තඩි බෑවේ ය. තරගෙට කට්ටිය තඩි බාන අතර “මං කියන්න ගියේ මාර ගහ කපලා පාර හරස් කරන්න කියලා” යැයි ඔහු අමාරුවෙන් කියා ඇත. එවිට ඔහුට තඩි බෑ හර්තාල් සටන්කාමියෙකු කියා ඇත්තේ “ඒක කලින් කියන්න එපැයි” කියා ය.  

හර්තාලය සහ රාජ්‍ය

1953 Hartal in Sri Lanka Boondi.lk
ඩඩ්ලිගෙ ආණ්ඩුවේ ඉරණම තීන්දු කෙරුවේ කොළඹ අවට හර්තාලයේ සාර්ථකත්වය විය. හදිසි නීතිය පැනවීමෙන් ජනතා බලය යටපත් කළ නොහැකි විට, ප්‍රධාන නගරයේ පාලන බලය හා ආරක්ෂාව බලා සිටියදී ආණ්ඩුවෙන් ගිලිහෙන විට, ඒ ආණ්ඩුවට රාජ්‍ය පාලනය කිරීමේ අධිකාරී බලයක් ඉතිරි වන්නේ නැත. අගමැති ඩඩ්ලි සේනානායක සිය ඇමති මණ්ඩලය සමග වරායේ නවතා තිබූ බි්‍රතාන්‍ය නාවික හමුදාවේ “නිව්ෆවුන්ලන්ඩ්” නැවට ගොඩ වූයේ එනිසාවෙනි. එහි රැස්වූ ඇමතිවරු හර්තාලය අවසන්කර ගැනීමේ අන්තිම උත්සාහය ලෙස වැඩි කළ මිල හා ගාස්තු සියල්ල අහෝසිකර ඒ බැව් නිවේදනය කළහ. ඒ සමග අගමැති ධූරයෙන් ඩඩ්ලි සේනානායක ඉල්ලා අස්වන බවටද වාර්තා කෙරුණි.

එදින දහවල් වන විට හර්තාලය මගින් ඉල්ලා සිටි සියල්ල ලැබී තිබිණ. එනිසා හර්තාලය අවසන් කරමින් පසුදින සිට සියල්ලන් තම සුපුරුදු රාජකාරීන්හි යෙදෙන බවට නිල ප්‍රකාශයක් කිරීම සඳහා සමසමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභාව සවස රැස් විය. එහිදී මුල් කාලයේ ගෝල්ෆේස් හෝටලයේ වේටර්වරයෙකුවූ පසුව සමසමාජ පක්ෂයේ වෘත්තීය සමිති නායකයෙකු වූ ඩී.ජී.විලියම්, රොබට් ගුණවර්ධන, විවියන් ගුණවර්ධන වැනි කිහිප දෙනෙකු ගේ යෝජනාව වූයේ රාජ්‍ය බලය ගැනීම සඳහා හාර්තාලය දීර්ග කර නැව්ගතව ඉන්නා ඇමතිවරුන් අත් අඩංගුවට ගැනීම ය. එහෙත් ලෙස්ලි, කොල්වින්, ඩොරික් ද සූසා, ඇන්.ඇම්, ඔස්මන්ඩ් ජයරත්න වැනි පක්ෂයේ ඉහළ පෙළ න්‍යායාචාර්යන් ඊට එකඟ නොවූහ.

“රාජ්‍ය බලය” අල්ලා ගැනීම සම්බන්ධයෙන් ඉතා සරළ පැහැදිලි කිරීමක් කරමින් කොල්වින් මධ්‍යම කාරක සභාව අමතා කියූවේ, “රාජ්‍ය බලය ගැනීමට, පවතින රාජ්‍ය යාන්ත්‍රණය අපට පූර්ණ ලෙස අවනත විය යුතුයි. නැතිනම්, පවතින රාජ්‍ය නිරායුධ කර විසුරුවා හැර අපගේ පක්ෂ සංවිධානය පාලන බලය පවරා ගත යුතුයි. මේවා අහඹු ලෙස සිදුවෙන්නේ නැහැ. ඒවා කල්තියා සූදානම් කරගත යුතුයි. අපට එහෙම සූදානමක් නැහැ. අනෙක, පවතින රාජ්‍ය යාන්ත්‍රණය මේ මොහොතේ අපට අවනත වන බවට සහතිකයක් ඇත්තෙත් නැහැ. උදාහරණයක් හැටියට, මේ සහෝදරයින් කියන විදියට නැවේ ඉන්න ඇමතිවරුන් වහා අත්අඩංගුවට ගන්න යැයි අපි පොලිස්පතිට නියෝග කෙරුවම, එයා එකඟ උනත් ඒක ක්‍රියාත්මක කරන්න පොලිස්පතිට තනියම බැහැ. මොකක්ද තියෙන විශ්වාසය පොලිසියේ අනෙක් නිලධාරීන් අපේ නියෝගය ක්‍රියාත්මක කරයි කියලා? හර්තාලය එහෙම විරෝධයක් නෙවෙයි. හර්තාලයෙන් ලබන්න පුළුවන් උපරිම ජයග්‍රහණය අපි ලැබුවා. ඒ ජයග්‍රහණය එක්ක හෙට වැඩට යමු” යැයි කියා ය.

අදට ඉතිරිවන ප්‍රශ්නය

ආණ්ඩුවක් හිරි වට්ටන තරමට ‘53 අගෝස්තු හර්තාලය ක්‍රියාත්මක වූයේ හාල් මිල, තැපැල් හා රේල් ගාස්තු ඉහළ දැමීමට සහ සුභසාධන වැය කප්පාදු කිරීමට එරෙහිව ය. එය මූලික වශයෙන් ජනතාවගේ ජීවන වියදම පිළිබඳ ප්‍රශ්නයකි.

අද තත්ත්වය කුමක්ද? ජීවන වියදම පිළිබඳ ප්‍රශ්නය අදටත් එළෙසින්ම වලංගු වන්නකි. ඊට අමතරව දෛනික ජීවිතයේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව සමාජ ක්‍රියාකාරීන් කතා කළ යුතු ප්‍රශ්නද ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම, ආණ්ඩුවේ වග වීම හා විවෘතභාවය පිළිබද ප්‍රශ්නය එවැනි සංවේදී ප්‍රශ්න කිහිපයකි.

ජන සමාජයට අදාල, පාරිභෝගිකයින්ට බලපන්නාවූ ප්‍රශ්න සම්බන්ධයෙන් ආණ්ඩුව සමග කේවල් කිරීමේ නිශ්චිත වැඩපිළිවෙලක් නොමැති, දිගු නාම ලේඛණයක් ලෙස මාධ්‍ය හමුවේ පෙනී සිටින ඒකාබද්ධ විපක්ෂයට ‘53 අගෝස්තු හර්තාලයෙන් පාඩම් උගත හැකිද?

Kusal 28(සටහන | කුසල් පෙරේරා)

ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2026 අගෝස්තු 11

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...