BREAKING
ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●බ්‍රිතාන්‍ය දුම්රියකදී කාන්තාවකට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්●'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●
Top Ad
Opinion

ලාල්ගේ කශේරුව හා අන්දමන්ද වියත්තු | කේ. ඩබ්ලිව්. ජනරංජන

T

The Leader Desk

August 13, 2026 • 9:28 AM

ලාල්ගේ කශේරුව හා අන්දමන්ද වියත්තු | කේ. ඩබ්ලිව්. ජනරංජන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ නීතියේ පාලනය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය තුළ තියුණු මතභේද
  • එදින ලාල් එවැනි ප්‍රකාශයක් කරන බව එම මාධ්‍ය හමුවට සහභාගි වූ මේ ලියුම්කරු ඇතුළු කිසිවෙක් දැන නොසිටියහ.
  • ඔහු එදින කීවේ, තමා ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලයේ සාමාජිකයකු බවත්, ජාතික විධායක සභාවේද සාමාජිකයකු බවත්, එසේම මෙහෙයුම් මණ්ඩලයේ ද සාමාජිකයකු බවත්ය.
  • ඒ කිසිම මණ්ඩලයකදී, ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා තීරණයක් නොගත් බව ඔහු අවධාරණය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ලිබරල් වටිනාකම් වෙනුවට ජවිපෙ කාඩර් පාලනය තහවුරු වන බවට ජ්‍යෙෂ්ඨ දේශපාලන ක්‍රියාකාරිකයන්ගෙන් චෝදනා


ජාතික නීතිඥ හමුවේදී සිදුවූ හෙළිදරව්ව

ජුලි 29 වැනිදා කොළඹදී පැවති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජික මහා සභා රැස්වීමට පැමිණි නීතිඥ ලාල් විජේනායක දැක්වූ අදහස් ආණ්ඩුව තුළ විශාල කලබැගෑනියකට තුඩුදුන්නේය. එහෙත්, ඔහු ඒ අදහස් මුලින්ම පැවසුවේ එහිදී නොවේ. ඊට පෙර දිනක කොළඹ පැවැති ජනාධිපති හා ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගේ මාධ්‍ය හමුවකදීය. එය සංවිධානය කරනු ලැබ තිබුණේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින්ද නොවේ. එදින ලාල් එවැනි ප්‍රකාශයක් කරන බව එම මාධ්‍ය හමුවට සහභාගි වූ මේ ලියුම්කරු ඇතුළු කිසිවෙක් දැන නොසිටියහ.

ඔහු එදින කීවේ, තමා ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලයේ සාමාජිකයකු බවත්, ජාතික විධායක සභාවේද සාමාජිකයකු බවත්, එසේම මෙහෙයුම් මණ්ඩලයේ ද සාමාජිකයකු බවත්ය. ඒ කිසිම මණ්ඩලයකදී, ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා තීරණයක් නොගත් බව ඔහු අවධාරණය කළේය. පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු රැස්වීමකදී, මේ කාරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පැහැදිලි කළ බවත් ඔහු කීවේය. තමා එම අදහසට විරුද්ධ වූ බවත්, පසුව දූරකථනයෙන් කතාකළ ජාජබ ජාතික විධායක සභාවේ වෙනත් සාමාජිකයකු, මේ කාරණය ගැන නිශ්ශබ්දව සිටින ලෙස තමාට කී බවත් ලාල් විජේනායක කීවේය.



මේ පිළිබඳ පෞද්ගලික අදහස් දැක්වීමකදී විජේනායක මහතා තවදුරටත් කිව්වේ, ‘අරගොල්ලන්ව ඇතුළට ගන්නට මෙයාව තියාගන්න වෙනවා’ (මේ වචන එම ප්‍රකාශය හැකි තරම් ශිෂ්ට ලෙස වෙනස් කිරීමකි; ලේඛකයා) යනුවෙන් විධායක සභිකයකු තමාට කී බවයි. ඉහත කී රැස්වීම අවසානයේදී ජනාධිපතිවරයා අමතා, ‘අරයා ඒ වචනවලින් කී දේම තමයි ඔබ වෙනත් වචනවලින් කිව්වේ’ යැයි තමා කී බවද විජේනායක මහතා කියයි.

පුරුදු පරිදි විජේනායක මහතාගේ මේ ප්‍රකාශය, ජාතික ජන බලවේගයේ ඇතැමුන්ගේ නිර්දය ප්‍රහාරයට ලක්විය. ඉන් සමහරුන් කිව්වේ කට වහගන්න යැයි කිසිවකු ලාල්ට කීවේ නැති බවයි. ලාල්ට විරුද්ධ වීමේ අයිතිය ඇති බව තවත් කෙනෙක් කීවේය.

එහෙත් ඒ කිසිවකින් ලාල් විජේනායක මහතාගේ ප්‍රකාශයේ ගැඹුර නිෂ්ප්‍රභ නොවේ. ඒ බව ජාතික ජන බලවේගයේම තවත් ප්‍රමුඛ ප්‍රකාශකයන් සිදුවීමෙන් පසුව කී දේවලින් පැහැදිලි වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ ජාජබ අභ්‍යන්තරය

ලාල් විජේනායක ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලයට, මෙහෙයුම් මණ්ඩලයට හා ජාතික විධායක සභාවට පත්වුණේ, ඔහු වසර පනහකටත් වැඩි කාලයක් පේවී සිටි වාමාංශික දේශපාලන ධාරාවේ වැදගත්කම නිසාය. ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායක තනතුර පවා දැරූ ඔහු ඇතුළු පිරිසක් (ඊට ජයම්පති වික්‍රමරත්න ද ඇතුළත්ය), එම පක්ෂය තිස්ස විතාරණගේ පෞද්ගලක බූදලයක් බවටත්, ඔහුට රිසි සේ ඇදගෙන යන පක්ෂයක් බවටත් පත්වීමට විරුද්ධව ඉන් ඉවත් වූහ. ඔවුන් විසින් නිර්මාණය කරන ලද නව පෙරමුණ, නව වාමාංශික පෙරමුණ විය.

2024 ජනපතිවරණයේදී මේ නව වාමාංශික පෙරමුණද මතවාදිමය වශයෙන් බෙදී ගියේය. ජයම්පති වික්‍රමරත්න ඇතුළු කණ්ඩායමක් සජිත් ප්‍රේමදාසට සහාය දීමට කල්පනා කළ අතර ලාල් විජේනායක ඇතුළු කණ්ඩායම අනුර කුමාර දිසානායකට සහාය දීමට ඉදිරිපත් වූහ. අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ පොරොන්දුවත්, ජන බලවේගය වාමාංශික දේශපාලන පක්ෂයක් මුල් කොට කටයුතු කිරීමත් විජේනායක මහතාට ඔහු කෙරෙහි ආකර්ෂණය ඇතිකිරීමට හේතු විය.

අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගය නිර්මාණය කිරීමට කල්පනා කළේ සියයට තුනක්ව පැවැති ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද පදනමෙන් කිසිදා මැතිවරණ ජයග්‍රහණයක් ලබාගැනීමට නොහැකිය යනුවෙන් ඉදිරිපත් වූ මතය මුල්කරගෙනය. වෑයම සාර්ථක විය. ඒ වන විට, ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දී හෙම්බත්ව සිටි පොදු ජන පෙරමුණු පාක්ෂිකයෝද, යහපාලන ආණ්ඩුව බලයට ගෙනඒමෙන් පසු මුසුප්පුව සිටි සිවිල් සමාජ කණ්ඩායම්ද වේගයෙන් ජාජබ වෙත එකතු වූහ. එම රැස්වීම්වල ලාල් විජේනායක ප්‍රධාන කථිකයෙක් විය. අවසාන වරට කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවැති දැවැන්ත රැලියේදීද ලාල් විජේනායක කථිකයෙක් විය. මේ සියල්ල ඔහුට ලැබුණේ, ලාල් නියෝජනය කළ අතීත දේශපාලනයත්, පුද්ගලයකු හැටියට ඔහුගේ වැදගත්කමත් නිසාය.

ජවිපෙ කාඩර් බලපෑම සහ විතැන්වන සිවිල් බලවේග

ආණ්ඩුවේ පළමු අභිනික්මන..! කවුද මේ ලාල් විජේනායක? - උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ  ගුරුදා විග්‍රහය
ජාතික ජන බලවේගය බලයට පත්වූ පසු, මහජනතාවට පොරොන්දු වුණු අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමේ කටයුතු පටන්ගනු ඇතැයි ලාල් විජේනායක බලාපොරොත්තු විය. එම බලාපොරොත්තුවට අයිතියක්ද ලැබුණේ, යහපාලන ආණ්ඩු කාලයේදී අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලියේදී රට පුරා ජනතාවගේ අදහස් විමසීමට පත්කර තිබුණු කමිටුවේ සභාපතිධුරය විජේනායක මහතා දැරීම නිසාය. හරිනි අමරසූරිය එහි සාමාජිකයෙක් විය. ‘පොහොසත් රටක් ලස්සන ජිවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව දැක්වෙන්නේ, යහපාලන ආණ්ඩුකාලයේ කරගෙන ආ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය නැවැත්වූ තැන් පටන් ඉදිරියට ගෙන යන බවයි.

ජාජබ ආණ්ඩුව පත්වී මාස හයක් ගතවන තුරුත්, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභාව රැස්වුණේ නැත. ඒ කියන්නේ ජාජබ ආණ්ඩුව පාලනය වුණේ වෙන තැනකින් බවයි. අලුත් ව්‍යවස්ථාව ගැන කිසිම සාකච්ඡාවක් පැවැත්වුණේද නැත. මේ තත්වය යටතේ ලාල් ජනාධිපතිවරයාට ලියුමක් ලිව්වේය. අලුත් ව්‍යවස්ථාවක් ගැන කතා කරන්නට සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලුවේය. එහෙත් එවැනි සාකච්ඡාවක් ඔහුට ලැබුණේ නැත.

අවුරුදු දෙකක් ගතවන විට විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව කරළියට පැමිණි විට ලාල් නැවත ජනාධිපතිවරයාගෙන් ඉල්ලුවේ ජාජබ විධායක සභාව රැස්කරන ලෙසය. ඒ විධායක සභාවේදීය, ඉහත දේ සිදුවුණේ. එම සභාව කැඳවුණේ ලාල්ගේ ඉල්ලීමටත් වඩා ආණ්ඩුව කරන්නට යන ව්‍යවස්ථා සංශෝධන ව්‍යාපෘතියට සහාය ලබාගන්නට ජනාධිපතිවරයාට වුවමනාවී තිබුණු නිසායැයි සිතිය හැකිය.

ඉහත කී මාධ්‍ය හමුවේදීත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මහා සභා රැස්වීම දාත් ලාල් විජේනායක කළ ප්‍රකාශයෙන් ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙත හොඳින් පැහැදිලි වෙයි. වර්තමානය වන විට ජාතික ජන බලවේගය ආණ්ඩුවේ තීරණාත්මක කොටසක් නොවේ. දැන් සිදුවන්නේ, සියයට තුනේ සිට මැතිවරණ ජයග්‍රහණයක් තෙක් ජාජබ ඔසවා තැබූ ඊට පල නොකියා පලා බෙදීමය. ජාතික ජන බලවේගය ලෙස ජවිපෙට එකතු වී එය ජයග්‍රහණය කරා ගෙන ගිය පිරිස අතරින් සැලකිය යුතු පිරිසක් මේ වන විට තමන් දරමින් සිටි තනතුරු අත්හැර යමින් සිටිති. මුල්ම අවස්ථාවකදී තනතුරු හැරගිය ආචාර්ය දිලීප විතාරණගේ සිට මෑත කාලයේ තනතුර අතහැරිය මධ්‍යම පළාතේ ආණ්ඩුකාර සරත් අබේකෝන් දක්වා එසේ ගිය බොහෝ දෙනකුගේ පෞද්ගලික අදහස නම්, “තම තනතුරුවල වැඩකිරීමට නොහැකි වන තරමට විශාල ජනතා විමුක්ති පෙරමුණේ කාඩරයේ දැළක් දමා තිබෙන බව”යි. ඊට විරුද්ධ වීමට තරම් පෞරුෂයක් හෝ වුවමනාවක් නැති හිනිදුම සුනිල් සෙනෙවිගේ සිට (ඔහු ඉතසිතින්ම ‘පොරෙමොලා අයියාට’ යටත්වීම තෝරාගෙන තිබේ) තම වැඩි වයස නිසා තනතුරෙන් ඉල්ලා අස්වන බව කියා නැවත තනතුර භාරගත් රත්න ශ්‍රී විජේසිංහ දක්වා තිබෙන්නේද එකම කතාවය.

ජාතික ජන බලවේගය තුළ ජනතා විමුක්ති පෙරමුණේ නොවන කොටස් දුර්වල වීම යනු සරල කාරණයක් නොවේ. බොල්ෂෙවික් පක්ෂයක දැඩි ආධිපත්‍යවාදී ක්‍රියාපිළිවෙතින් වෙනස්ව, ආණ්ඩුවට මානුෂික මුහුණුවරක් එකතු කළේ ජාජබ විසිනි. ජාජබට එකතු වූවෝ, පසුගිය කාලය පුරාම, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ලිබරල් වටිනාකම්, නීතියේ පාලනය, අධිකරණයේ ස්වාධීනත්වය, සුළුතර ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් මූලධාර්මික ප්‍රමිතීන් වෙනුවෙන් පෙනීසිටියෝ වෙති. මේ වන විට ඔවුන්ට ඉරණම් දෙකකින් එකක් තෝරාගැනීමට සිදුවී තිබේ.

එක්කෝ සිය මූලික වටිනාකම් අතහැර ජවිපෙ පසුගාමී ආණ්ඩුකරණයට එකඟවීමට ඔවුන්ට සිදුවී තිබේ. නැතිනම්, නිශ්ශබ්දතාව තෝරාගැනීමට සිදුවී තිබේ. ලාල් විජේනායකට ‘කට වහගෙන ඉන්න’ යැයි ජාතික විධායක සභිකයකු කී වචනවල අර්ථය එයයි.

 



ලාල්ගේ ප්‍රකාශයේ දුර්ලභකම මතුවන්නේ මෙතැනදීය. එනම් ඉහත කී කුලක දෙකෙන් එකකටවත් ඔහු අයත් නොවීම නිසාය. ඉහත කුලක දෙකෙන් දුක්ඛිතම ඉරණම අත්වී තිබෙන්නේ, පළමුවැනි කොටසටයි. තමන් ජාජබයට දෙන්නේ ‘විවේචනාත්මක සහයෝගයක්’ යැයි නැවත නැවත කියමින් ආණ්ඩුව කරන හැම දෙයක්ම, තමන් දන්නා න්‍යායන් උපයෝගි කරගෙන ආණ්ඩුවට වාසි වන පරිදි විග්‍රහකරන්නට සිදුවීම ඔවුන්ගේ දුක්ඛිත ඉරණමයි.

අධිකරණයේ ස්වාධීනත්වය සහ වියතුන්ගේ කාර්යභාරය

ආණ්ඩුව දුර දිග නොසිතා නොබලා ගන්නා විවිධ සරල තීරණ, ඍජුව විවේචනය හෝ අනුමත නොකර, දාර්ශනික පසුබිමක තබා විග්‍රහ කිරීමත්, ආණ්ඩුවේ පියවර ගැන අවසානයේ කොහොමින් හෝ එකඟතාව පළකිරීමත් ජාජබ බුද්ධිමතුන්ගෙන් බහුතරයකගේ වර්තමාන කාර්යභාරය වී තිබේ. ඔවුන්ගේ තර්කවල විශේෂත්වය වන්නේ, ‘සුන්බුන්’ විපක්ෂය විවේචනය කරන වාක්‍ය දහසකට පමණ එකක් වන අනුපාතයට, ආණ්ඩුව ගැන මෘදු විවේචනාත්මක වාක්‍යයක්ද ඇතුළත් කිරීමය.

ඒ සමගම තමන් අතීතයේ පෙනීසිටි ප්‍රමිතීන්, අලුත් ආකාරයෙන් ආණ්ඩුවේ වුවමනාවට සමගාමීව ‘පරිකල්පනය’ කරන්නට ඔවුන් දක්වන්නේද ඉමහත් කැමැත්තකි. ඒ අනුව, ඔවුහු අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යන්න ‘අලුතෙන් පරිකල්පනය’ කරමින් සිටිති. සුළුතර ජනතාව සමග බලය බෙදාගැනීම ගැන, ඊට අදාළ පළාත් සභා ගැන ‘අලුතෙන් පරිකල්පනය’ කරමින් සිටිති.

මේ දවස්වල ඔවුන් අලුතෙන් පරිකල්පනය කරමින් ඉන්නේ අධිකරණයේ ස්වාධීනතාව ගැනය. වර්තමාන අගවිනිසුරුවරයා තවත් වසර දෙකක කාලයක් ධුරයේ තබාගැනීමට මේ ආණ්ඩුවට තිබෙන දේශපාලන වුවමනාවේ නිරුවත වැසීම සඳහා මේ උගතුන් කියන්නේ, අධිකරණ පද්ධතියේ සමස්ත වෙනසක් පිළිබඳව මහජනතාව සමග අලුතෙන් සංවාදගත වීමට නීතිඥ සංගමය අසමත් වූ බවය. අධිකරණ පද්ධතියම විශාල අවුලකට ඇද දමමින්, දෙසැම්බර් මාසය එළඹීමට පෙර කොහොමින් හෝ අවසන් කරගන්නට ආණ්ඩුව දඟලන දඩිබිඩි ව්‍යවස්ථා සංශෝධනය ගැන වචනයක වත් විවේචනයක් ඔවුන්ට නැත. හරි නම් ඔවුන් විවේචනය කළ යුත්තේ, මේ පැලැස්තර ව්‍යවස්ථා සංශෝධනය ගෙනඑන්නට පෙර ඔය කියන අධිකරණය පිළිබඳ ගැඹුරු සංවාදය මහජනතාව සමග ඇතිකරගන්නට ආණ්ඩුවට උවමනාවක්, දැක්මක් නොතිබීම ගැනය. අද මතුවී තිබෙන්නේ, ආණ්ඩුව හදිසියේ වත්මන් අගවිනිසුරුවරයා විශ්‍රාම යන දෙසැම්බර් 1 වැනිදාට පෙර මෙම සංශෝධනය නීතිගත කරන්නට වලිකෑම පිළිබඳ ප්‍රශ්නයයි. අලුතෙන් පරිකල්පනය කරන්නන්ට ඒ තිත්ත ඇත්ත නොපෙනේ.

ලාල් විජේනායක වෙනස්වන්නේ මෙතැනදීය. තමා ගරුකරන ප්‍රතිපත්තියක් වෙනුවෙන් ජාජබට එකතු වුණු ඔහු තවමත් ජාජබ සාමාජිකයෙකි. එහෙත්, ආණ්ඩුවේ වැරදිවලට වැරදියැයි කියන්නට ඔහුට කොන්දක් තිබේ.

(සටහන | නීතිඥ කේ. ඩබ්ලිව්. ජනරංජන)
අනිද්දා වෙබ් අඩවියේ සංස්කාරක
kwjanaranjana@gmail.com

උපුටා ගැනීම -  'අනිද්දා''අනිද්දා' පුවත් වෙබ් අඩවියෙන්

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...