ශිරාණි බණ්ඩාරනායක දෝෂාභියෝගයේ සහ 20 වැනි සංශෝධනයේ පරාජිත පාඩම් අමතක නොකරන්නැයි ආණ්ඩුවට මතක් කිරීමක්
මෙවර 'කිවිදා දැක්ම' ලියන්නට සිදුවී තිබෙන්නේ තරමක් සංකීර්ණ දේශපාලන තත්ත්වයක් යටතේය. මා එසේ කියන්නේ මේ වනවිට ආණ්ඩුව ඉදිරියේ මතුවී තිබෙන විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ප්‍රශ්නය ගමන් කර තිබෙන දුර ගැන සිතමින්ය. මෙය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් වැඩි කරනවාද නැද්ද යන සරල පරිපාලන ප්‍රශ්නයක් ලෙස තවදුරටත් සැලකිය නොහැකිය. එය අධිකරණයේ ස්වාධීනත්වය, ආණ්ඩුවේ බලය, ව්‍යවස්ථානුකූල පාලනය සහ අවසානයේ ආණ්ඩුවේ දේශපාලන ගමන් මඟ පිළිබඳ ප්‍රශ්නයක් බවට පත්වී ඇත.
අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් ඇති විය හැකි ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයකට යාමෙන් අනවශ්‍ය දේශපාලන හා ව්‍යවස්ථාමය අර්බුදයක් ඇති විය හැකි බව ජවිපෙ නොවන බොහෝ දෙනෙකුට පෙනෙන කාරණයකි. නීති ක්ෂේත්‍රයේ ප්‍රධාන ආයතනවලින්ද ඒ පිළිබඳ බරපතළ විරෝධයක් මතුවී තිබේ. එහෙත් ජවිපෙ සහ ආණ්ඩුව සිටින්නේ ඒ සියල්ලටම වඩා වෙනස් තැනක බවක් පෙනේ.
එයට එක් හේතුවක් විය හැක්කේ තමන්ට පසුගිය මහ මැතිවරණයෙන් ලැබුණු විශාල ජනවරම තවමත් ඒ ආකාරයෙන්ම තිබෙනවා යැයි සිතීමය. පැලවත්තේ දේශපාලන ගණන් හැදීම තුළ මේ අදහස ඉතා ප්‍රබලව තිබෙන බවක් පෙනේ.
සමාජ මාධ්‍යයේ ආණ්ඩුව සහ බිමේ ආණ්ඩුව
මේ “ලොකුකම” තවත් වැඩි වන්නේ ආණ්ඩුවේ සමහර මන්ත්‍රීවරුන් සහ ඔවුන් වටා සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ හැසිරීම දෙස බැලූ විටය. සමාජ මාධ්‍යවල පෙනෙන ආකාරයට නම් මේ රටේ ජවිපෙ හැර වෙනත් දේශපාලන මතයක් නැත. ආණ්ඩුව විවේචනය කරන කෙනා දූෂිතයෙකි. ප්‍රශ්නයක් අසන කෙනා පරණ ක්‍රමයේ කෙනෙකි. ආණ්ඩුවේ තීරණයක් පිළිබඳ සැකයක් මතු කරන කෙනා දේශපාලන සතුරෙකි.
එහෙත් සමාජ මාධ්‍යයේ දේශපාලනය සහ බිමේ දේශපාලනය එකම දෙයක් නොවේ. Facebook එකේ “like” ගණන ඡන්ද ගණන නොවේ. Comment එකක් ඡන්ද පත්‍රිකාවක් නොවේ. Share එකක් ජනවරමක් නොවේ.
මේ දෙක අතර පරතරය දැනටමත් බිම් මට්ටමේ විවිධ ඡන්ද සහ දේශපාලන ක්‍රියාකාරකම්වලදී පෙනෙන්නට පටන්ගෙන තිබේ. කුඩා සමූපකාර ඡන්දයකදී පවා ආණ්ඩු පක්ෂයට බලාපොරොත්තු වන ආකාරයේ ප්‍රතිඵල ලබා ගැනීම පහසු නැති තැන් පෙනේ. එසේ නම් අප ඉදිරියේ තිබෙන්නේ අපූරු පරස්පරයකි.
සමාජ මාධ්‍යයේ ජවිපෙ පමණි. බිමේ ජවිපෙ වියැකෙමින් යමින් තිබේ.

මේ පරස්පරය අවසන් වන්නේ තවත් ජාතික මැතිවරණයකදීය. එදාට Facebook algorithm එකට ඡන්දය දෙන්නට බැරිය. Comment කරන fake account එකකට ඡන්ද මධ්‍යස්ථානයට යන්නටත් බැරිය. එදාට ගණන් කරන්නේ සැබෑ මිනිසුන්ගේ සැබෑ ඡන්දයයි.
විනිසුරුවන්ගේ වයස දික් කිරීම
දැන් අපි මූලික ප්‍රශ්නයට එමු. ආණ්ඩුවේ යෝජනාව වන්නේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමය. ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් කරන තර්කයක් තිබේ. රටේ නඩු විශාල ප්‍රමාණයක් ගොඩගැසී ඇත. විනිසුරුවන්ගේ හිඟයක් තිබේ. පළපුරුදු විනිසුරුවන් තවත් කාලයක් සේවයේ තබා ගැනීමෙන් එම ගැටලුවට යම් විසඳුමක් ලබා ගත හැකි බව ආණ්ඩුව කියයි.
මේ තර්කය සම්පූර්ණයෙන්ම ඉවත දැමිය යුතු එකක් නොවේ.
එහෙත් ප්‍රශ්නය තිබෙන්නේ වෙනත් තැනකය.

නඩු ගොඩගැසීමේ ගැටලුව විසඳීමට අධිකරණ පද්ධතියේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍යය. නව විනිසුරුවන් බඳවා ගැනීම, අධිකරණ සංඛ්‍යාව වැඩි කිරීම, නඩු කළමනාකරණය ඩිජිටල්කරණය කිරීම, රජයේ රස පරීක්ෂක වැනි ආයතනවල ප්‍රමාදයන් අඩු කිරීම, විකල්ප ආරවුල් විසඳීමේ ක්‍රම වැඩි කිරීම වැනි බොහෝ දේ කළ යුතුය.
එවැනි විශාල ප්‍රතිසංස්කරණයක් වෙනුවට ව්‍යවස්ථාව සංශෝධනය කර දැනට ධුරයේ සිටින ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ සේවා කාලයට බලපාන වෙනසක් කිරීමේදී ප්‍රශ්න මතුවීම සාධාරණය.
අධිකරණය ස්වාධීන වීම පමණක් ප්‍රමාණවත් නොවේ. එය ස්වාධීන බව පෙනෙන්නටත් අවශ්‍යය.
නීති ක්ෂේත්‍රය කියන දේ අහන්නේ නැද්ද?
මේ ප්‍රශ්නයේදී ආණ්ඩුවට විරුද්ධ වන්නේ විපක්ෂයේ දේශපාලනඥයන් පමණක් නොවේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම යෝජනාව පිළිබඳ බරපතළ කනස්සල්ල ප්‍රකාශ කර තිබේ. විනිශ්චයකාරවරුන්ගේ සංවිධානයේ විශේෂ මහා සභාවකදී සහභාගි වූ සාමාජිකයන් යෝජනාවට එකඟ නොවන බව රහස් ඡන්දයකින් ප්‍රකාශ කර තිබීමද නොසලකා හැරිය හැකි කාරණයක් නොවේ.
Commonwealth Lawyers Association සහ LAWASIA වැනි ජාත්‍යන්තර නීති සංවිධානද මේ පිළිබඳ අවධානය යොමු කර ඇත. ඒ සියලු දෙනාම ජවිපෙට විරුද්ධ කුමන්ත්‍රණයක සිටිනවා යැයි කියන්නට බැරිය.
ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක වැදගත් ලක්ෂණය වන්නේ තමන්ට කැමති දේ කියන අයගේ හඬ පමණක් ඇසීම නොවේ. තමන්ට අකමැති දේ කියන අය කියන්නේ කුමක්දැයි ඇසීමය.
මහනාහිමිවරුන්ගේ අනුශාසනය

මේ ප්‍රශ්නය නීතිඥයන්ගේ සහ දේශපාලනඥයන්ගේ කවය තුළ පමණක් තබා ගත හැකි තත්ත්වයක්ද දැන් නැත. රටේ ප්‍රධාන ආගමික නායකත්වය වෙතින් ද මේ පිළිබඳ කරුණු ඉදිරිපත් වී තිබේ. මහනාහිමිවරුන්ගේ අවවාද සහ අනුශාසනා දේශපාලන තීරණ ගැනීමේදී නීතිමය නියෝග නොවන බව ඇත්තය. එහෙත් ශ්‍රී ලංකාවේ දේශපාලන හා සමාජ ඉතිහාසය තුළ ඒවාට විශාල සදාචාරාත්මක බරක් තිබේ.
විශේෂයෙන්ම ආණ්ඩුවක් ව්‍යවස්ථාමය වශයෙන් සංවේදී කාරණයකට අත තබන අවස්ථාවක නීති ක්ෂේත්‍රයෙන්, සිවිල් සමාජයෙන් සහ ආගමික නායකත්වයෙන් එකවර කනස්සල්ල මතුවන්නේ නම්, බුද්ධිමත් ආණ්ඩුවක් කළ යුත්තේ ඒ සියල්ල “විරෝධය” ලෙස නම් කිරීම නොවේ. ඒවාට සවන් දීමය.
බලවත් ආණ්ඩුවක් යනු කිසිවකුට ඇහුම්කන් නොදී තමන්ට අවශ්‍ය දේ කරන ආණ්ඩුවක් නොවේ. බලවත් ආණ්ඩුවක් යනු තමන්ට බලය තිබියදීත් අවශ්‍ය තැනදී තමන්වම සීමා කරගත හැකි ආණ්ඩුවකි.
සුක්කානම අතහැර පැදවීම
මේ සියල්ල දෙස බලන විට මට සිහිවන්නේ තරුණ කාලයේ සමහර කොල්ලන් බයිසිකලයේ හැඬලය අතහැර පැදවූ ආකාරයයි. හැඬලය අතහැර මීටර් සියයක් බයිසිකලය පැදවිය හැකිය. සමහරුන්ට කිලෝමීටරයක් වුවද යා හැකිය. ඒ මොහොතේ එය දක්ෂකමක් ලෙස පෙනෙයි. එහෙත් පාරේ එක ගලක් හමු වූ විට කතාව වෙනස් වේ.
ආණ්ඩුව දැන් කරන්නේත් එවැනි දෙයක් බව මට පෙනේ. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට ආසන්න විශාල බලයක් තිබේ. ඒ නිසා “අපට පුළුවන්” යන හැඟීම ඇතිවීම ස්වාභාවිකය.
එහෙත් කළ හැකි සෑම දෙයක්ම කළ යුතු දෙයක් නොවේ. ව්‍යවස්ථාමය බලය තිබීම සහ දේශපාලන ප්‍රඥාව තිබීම එකම දෙයක් නොවේ.

අපේම ඉතිහාසයේ මේ සඳහා හොඳ උදාහරණ තිබේ. 2013දී එවකට අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය පාර්ලිමේන්තුව හරහා ගෙන යාමට එවකට ආණ්ඩුවට හැකි විය.
පාර්ලිමේන්තුවේ සංඛ්‍යාත්මක බලය ඔවුන්ට තිබුණි. ඒ ආණ්ඩුවේ අපිත් සිටියෙමු. ඒ දවසේ පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් ආණ්ඩුව දිනුවේය. එහෙත් දේශපාලනිකව සිදු වූයේ වෙනත් දෙයකි. අධිකරණය සහ රාජ්‍ය ආයතන තම බලයට යටත් කර ගැනීමට ආණ්ඩුව උත්සාහ කරනවා යන මතය සමාජය තුළ වර්ධනය විය. ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී විශ්වාසනීයත්වයට එය විශාල හානියක් කළේය. 2015 ජනාධිපතිවරන ප්‍රතිඵල එහි තාර්කික අවසානය විය.
20 වැනි සංශෝධනයත් එසේමය
ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැනත් කිව යුත්තේ ඒ කතාවමය. ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ බලය පොහොට්ටුවට තිබුණි. විධායක ජනාධිපති බලය නැවත ශක්තිමත් කළ හැකි විය. සංශෝධනය සම්මත විය. පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුව දිනුවේය. නමුත් එයින් වසර දෙකක් ගත වීමටත් පෙර රටේ දේශපාලන චිත්‍රය සම්පූර්ණයෙන්ම වෙනස් විය.
මෙයින් කියන්නේ 20 වැනි සංශෝධනය නිසාම ගෝඨාභය ආණ්ඩුව කඩා වැටුණු බව නොවේ. එය වැරදි ඉතිහාස කියවීමකි. ආර්ථික අර්බුදය ඇතුළු බොහෝ හේතු ඒ සඳහා තිබුණි. එහෙත් 20 වැනි සංශෝධනය තුළ ප්‍රකාශ වූ “අපට බලය තිබෙන නිසා අපට අවශ්‍ය දේ කළ හැකිය” යන දේශපාලන මානසිකත්වය පසුව ඇති වූ විශාල අර්බුදයේ එක් පූර්ව සංඥාවක් විය.
තුනෙන් දෙක යනු හිස් චෙක්පතක් නොවේ

වත්මන් ආණ්ඩුව තේරුම් ගත යුතු වැදගත්ම කාරණය මෙයයි. මැතිවරණයකින් ලැබෙන තුනෙන් දෙකක බලය යනු ජනතාව ලබා දුන් හිස් චෙක්පතක් නොවේ. ජනවරමකට කාලයක් තිබේ. පදනමක් තිබේ. දේශපාලන විශ්වාසයට ජීවිත කාලීන වගකීමක් නැත. අද ලබා දුන් ජනවරම හෙට වෙනස් විය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදයේ සුන්දරත්වයත් එයයි.
2024දී ජනතාව පරණ දේශපාලන ක්‍රමයට විරුද්ධව විශාල තීන්දුවක් ගත්හ. ඒ තීන්දුවෙන් NPP ආණ්ඩුවට ඉතා විශාල බලයක් ලැබුණි. නමුත් ඒ බලය ලැබුණේ පරණ ආණ්ඩු කළ දේම වෙනත් නමකින් කිරීමට නොවේ. ඒ බලය ලැබුණේ වෙනස් දේශපාලන සංස්කෘතියක් හදන්නටය.
“අපි වෙනස්” කියූ අයගේ පරීක්ෂණය
ජවිපෙ සහ NPP දේශපාලනයේ ප්‍රධානම වෙළෙඳ ලකුණ වූයේ “අපි අනෙක් අය වගේ නොවේ” යන ප්‍රකාශයයි. දැන් ඒ ප්‍රකාශය පරීක්ෂාවට ලක්වී තිබේ. රාජපක්ෂලාට තුනෙන් දෙක තිබුණු විට ඔවුන් තම බලය පුළුල් කරගත්හ. ඒ ගැන ජවිපෙ දැඩිව විවේචනය කළේය.
පාරේ ඉදිරියෙන් වංගුවක් ඇත
අවසානයේ මට නැවතත් සුක්කානම අතහැර පැදවිම පිළිබඳ රූපකයට පැමිණෙන්නට සිදුවේ. වාහනය වේගයෙන් යන විට සුක්කානම අතහැරීම වීරකමක් ලෙස පෙනෙන්නට පුළුවන. පාර කෙළින් තිබෙන තුරු කිසිම ප්‍රශ්නයක් නැති බවක්ද පෙනේ. නමුත් දේශපාලනයේ පාර හැමදාම කෙළින් නැත. වංගු තිබේ. වළවල් තිබේ. අනපේක්ෂිත බාධක තිබේ.
ශිරාණි බණ්ඩාරනායක දෝෂාභියෝගය ගෙන ආ ආණ්ඩුවටත් ඒ වෙලාවේ තමන් ඉතා බලවත් බව පෙනුණි. 20 වැනි සංශෝධනය ගෙන ආ ආණ්ඩුවටත් එසේම පෙනුණි. දෙකම පාර්ලිමේන්තුවේ ජයගත්තේය. එහෙත් පාර්ලිමේන්තුවේ ජයගත් සෑම සටනක්ම දේශපාලනයේ ජයග්‍රහණයක් නොවන බව ඉතිහාසය පෙන්වා දී ඇත.

වත්මන් ආණ්ඩුවටත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස පිළිබඳ ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගත හැකි විය හැකිය. ප්‍රශ්නය එය නොවේ. ප්‍රශ්නය වන්නේ එය සම්මත කළ පසු සිදුවන්නේ කුමක්ද යන්නයි. ජනවරමක් ලැබීම යනු සුක්කානම අතහැරීමට ලැබුණු අවසරයක් නොවේ. එය සුක්කානම වඩාත් වගකීමෙන් අල්ලාගෙන රට පදවාගෙන යාමට ලැබුණු වගකීමකි.
ආණ්ඩුව අද ඒ වෙනස තේරුම් ගත යුතුය.
මන්ද පාරේ ඉදිරියෙන් වංගුවක් තිබෙන බව දැන්ම පෙනෙන්නට පටන්ගෙන ඇති නිසාය.
(සටහන | මහාචාර්ය චරිත හේරත්)charith9@yahoo.com
(ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇති මහාචාර්ය චරිත හේරත්, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මහාචාර්ය වරයකු ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත්, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති ලෙසත් කටයුතු කළේය.)
උපුටා ගැනීම | ලංකාදීප 'කිවිදා දැක්ම'




