BREAKING
ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●බ්‍රිතාන්‍ය දුම්රියකදී කාන්තාවකට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්●'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන වාර්තාවක්●රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි●සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●
Top Ad
Opinion

අධිකරණයේ ස්වාධීනත්වයට ඇති අභියෝගය ප්‍රශ්න කරන නීතිඥ සංගමයට තර්ජනයක්

T

The Leader Desk

August 18, 2026 • 8:29 AM

අධිකරණයේ ස්වාධීනත්වයට ඇති අභියෝගය ප්‍රශ්න කරන නීතිඥ සංගමයට තර්ජනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති මාධ්‍ය ඒකකය සම්පූර්ණ වීඩියෝව වසන් කරද්දී, සැබෑ ගැටලුව මඟහැර විධායක බලය පෙන්වීමට ගිය බවට නීතිඥ ප්‍රජාවෙන් චෝදනා.
  • ජනාධිපතිවරයා සහ නීතිඥ සංගමය 12 බදාදා හෝරා කීපයක් ගත කළ සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ දේශනයක් පමණක් රැගත් විනාඩි කීපයක විඩියෝවක් තෝරාගත් මාධ්‍ය වෙත මුදා හරින්නට ජනාධිපති මාධ්‍ය අංශය ( PMD) විසින් කටයුතු කර තිබුණි.
  • එමෙන්ම PMD ය විසින් ලබා දී ඇති කෙටි වීඩියෝවෙහි අඩංගු වන්නේ සාකච්ඡාවේ ආරම්භක අවස්ථාවේ කොටසක් පමණක් බවත්, එසේම එහිද ඇතැම් තන්හි හඬ බාල බවත් අදාල ලිපියෙහි වැඩිදුරටත් දක්වා තිබේ.
  • එම ලිපියට පිළිතුරු ලෙස ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එදිනම ශ්‍රි ලංකා නීතිඥ සංගමය වෙත යවා තිබෙන පිළිතුරු ලිපියෙහි දැක්වෙන්නේ සාකච්ඡාව පැවති දාම සභාපතිවරයාගේ ‘නිල ප්‍රකාශය’ රැගත් සංස්කරණය නොකළ වීඩියෝ පටයක් සංගමය වෙත ලබා දුන් බවකි.
අකුරු ප්‍රමාණය (Font Size):


22 වැනි සංශෝධනයෙන් අධිකරණයට අතපෙවීම මූලික මිනිස් අයිතිවාසිකම්වලට මරු පහරක් බවට ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලාල් විජේනායකගෙන් අනතුරු ඇඟවීමක්.


විනිසුරු සේවයේ වයස ඉහළ දැමීමේ යෝජනා හකුලා ගන්නා ලෙස ඉල්ලන ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන්  ( BASL)  පසුගිය සතියේ ජනාධිපතිවරයා සමග කළ  සාකච්ඡාවේ තොරතුරු අඩංගු සම්පූර්ණ වීඩියෝ පටය ප්‍රසිද්ධ කිරීමට ජනාධිපති මාධ්‍ය අංශය (PMD) කටයුතු කර නැතැයි හෙළි වීමත් සමගම පනත් කෙටුම්පත  සම්බන්ධයෙන් වන සාකච්ඡාව ඉන් ඔබ්බේ ආණ්ඩුවේ පාරදෘශ්‍ය භාවය පිළිබඳ බරපතල අර්බුදයක් දක්වා දිග්ගැසෙමින් පවතී.

ජනාධිපතිවරයා සහ නීතිඥ සංගමය 12 බදාදා හෝරා කීපයක් ගත කළ සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ දේශනයක් පමණක් රැගත් විනාඩි කීපයක විඩියෝවක් තෝරාගත් මාධ්‍ය වෙත මුදා හරින්නට ජනාධිපති මාධ්‍ය අංශය ( PMD) විසින් කටයුතු කර තිබුණි.

 



විඩියෝ අවුල

ඉන් දෙදිනකට පසුව, ජනාධිපති මාධ්‍ය ප්‍රධානියා වෙත ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) පරිපාලන ලේකම් සුරනී සමරසේකර විසින් යවා ඇති ලිපියක දැක්වෙන්නේ ජනාධිපතිවරයා සමග පවත්වන ලද සාකච්ඡාවේ සියළු නීතිඥවරුන්ගේ ප්‍රකාශ සහ අදහස් දැක්වීම් සහිත සංස්කරණය නොකරන ලද සම්පූර්ණ විඩියෝ පටයක් තම සංගමය වෙත ලබා දීමට කටයුතු කරන ලෙසයි.

එමෙන්ම PMD ය විසින් ලබා දී ඇති කෙටි වීඩියෝවෙහි අඩංගු වන්නේ සාකච්ඡාවේ ආරම්භක අවස්ථාවේ කොටසක් පමණක් බවත්, එසේම එහිද ඇතැම් තන්හි හඬ බාල බවත් අදාල ලිපියෙහි වැඩිදුරටත් දක්වා තිබේ.

එම ලිපියට පිළිතුරු ලෙස ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එදිනම ශ්‍රි ලංකා නීතිඥ සංගමය වෙත යවා තිබෙන පිළිතුරු ලිපියෙහි දැක්වෙන්නේ සාකච්ඡාව පැවති දාම සභාපතිවරයාගේ ‘නිල ප්‍රකාශය’ රැගත් සංස්කරණය නොකළ වීඩියෝ පටයක් සංගමය වෙත ලබා දුන් බවකි.

“අදාළ සහභාගි වූවන්ගේ ඉතිරි අදහස් සහ මැදිහත්වීම්වල පටිගත කිරීම්, ඔබගේ ඉල්ලීමට අනුකූලව සහ නිල පටිපාටීන්ට යටත්ව, නිසි කලට ප්‍රායෝගිකව හැකි මුල්ම අවස්ථාවේ දී ලබා ගත හැකි වනු ඇත,” යි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න පෙරේරා විසින් අගෝස්තු 14 දා යවන ලද ලිපියෙහි දැක්වෙයි.

එකට , එක

කෙසේ නමුත් නීතිඥ සංගමය විසින් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කොට කෙටි කාලයකට පසුව අදාල සාකච්ඡාවේදි නීතිඥ සංගමයේ සභාපතිවරයා කරන ලද කරුණු දැක්වීම ඇතුලත් විඩීයෝ පටයක් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් මගින් ප්‍රචාරය කරන ලද්දේ ඒ සම්බන්ධයෙන් තවත් කරුණු සහ අර්බුද ගණනාවක් මතු කරමිනි.

 



අධිකරණ ක්ෂේත්‍රයට අතිශය තීරණාත්මක ලෙස බලපාන්නා වූ මෙන්ම ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ද ඉමහත් අවධානයක් ගෙන තිබෙන කරුණක් සම්බන්ධයෙන් රටේ නීති ප්‍රජාව නියෝජනය කරන ප්‍රමුඛතම ආයතනයේ නියෝජිතයන් සහ විධායක ජනාධිපතිවරයා ප්‍රමුඛ විෂය භාර දේශපාලන බලධාරින් අතර කෙරුනු සාකච්ඡාවක තොරතුරු වසං කොට ඒක පාර්ශවීය ලෙස රාජ්‍යය විසින් ප්‍රචාරය කිරීම කෙතරම් දුරට යුක්ති සහගත  මෙන්ම සදාචාර සම්පන්න ද වන්නේ දැයි  ප්‍රශ්න මතු කරන්නට හේතු කාරනා වී තිබේ.

පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් විසින් ප්‍රචාරය කරනු ලැබු, නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය විසින් සාකච්ඡාවේ මුල් අදියරේදි ප්‍රකාශ කොට සිටින කරුණු සහ ඉන් අනතුරුව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරනු ලැබු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ අන්තර්ගතය යන දෙකම විමසිල්ලෙන් බලන කල ඉතා පහසුවෙන්ම අවබෝධ කොට ගත හැකි එක් කරුණක් වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න ගත විෂය දෙස ගැඹුරින් නොබලා ඔහුට හුරු පුරුදු වාග් මාලාවෙන් දමා ගසන්නට උත්සාහ දරා ඇති බවකි.

මල්ලේ පොල්

‘සාකච්ඡාවෙන් පස්සේ තත්වය යහපත් අතට හැරෙන්න පුළුවන්,” බවට ජනාධිපති කාර්යාංශ ගේට්ටුව අසලදී නීතිඥ සංගම් සභාපතිවරයා රියෙන් නොබැසම මාධ්‍යවේදීන්ට කීවත්, සාකච්ඡාවට සහභාගී වීමෙන් අනතුරුව අප හා කතා කළ නීතිඥ ප්‍රජාවේ වෙනත් නියෝජිතයන් වෙතින් එවන් විශ්වාසයක් පළවුයේ  නැත.

 



"අපි කරුණු කිවුවේ මේ ගැටළුවට අදාලව. නමුත් ජනාධිපතිවරයා දුන්නේ ඒවට කිසිම ගැලපීමක් නැති, අදාල තාවයක් නැති උත්තර ටිකක්," යැයි සාකච්ඡාවට සහභාගිවූ දිවයිනේ ප්‍රවිණතම සහ ජ්‍යෙෂ්ටතම ජනාධිපති නීතිඥවරයෙක් අප හා පැවසීය.

ඔහු එසේ කියා සිටියේ ජනාධිපතිවරයා සහ නීතිඥ සංගමය අතර පැවති සාකච්ඡාව ගැන ජනාධිපති මාධ්‍ය අංශය විසින් සඟවන්නට වෙර දරණ සත්‍ය කුමක් දැයි අප විසින් විමසා සිටින ලද අවස්ථාවේ දීයි.  

"අපි කතා කරන්න ගියේ පාස්කු නඩුව ගැන හරි, ජනාධිපතිවරයා ධූරයේ කොච්චර කාලයක් ඉන්නවද කියන එක නෙමෙයි. මේ ගැටලුවට ඒවා අදාලම නෑ. නමුත් පාස්කු ප්‍රහාර නඩුව වැනි එකක් මේකට ඇදලා දාගෙන සැබෑ ප්‍රශ්නයෙන් පිට යන්නයි ජනාධිපතිවරයාට උවමනා වෙලා තියෙන්නේ. අනෙක අපි කිසිම කෙනෙක් කැමති  නෑ මේ වගේ වැදගත් නඩුවලට අගතියක් වෙනවට වගේම ඒවට දේශපාලනය ගාවා ගන්නවට," යි  ස්වකීය අනන්‍යතාවය සඳහන් නොකරන ලෙස ඉල්ලමින් එම ජනාධිපති නීතිඥයා තවදුරටත් කීය.

"මට යන්න වුණොත් මම යන්න ලැහැස්ති  මිනිහෙක්. ඒ වගේම මේ වෙනස ගන්න නම් අවදානමක් ගන්නම වෙනවා. පාස්කු පරික්ෂණය දියත් කරලා තියෙන්නේ බුද්ධි අංශයට විරුද්ධව. මගේ ආරක්ෂාවට වග කියන්නෙත් ඔවුන්. ඒ තුළ ජීවිත අවදානමක් පවා තිබෙන බව මම දන්නවා," යනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානයක පවසන ආකාරය PMD ය විසින් නිකුත් කරනු ලැබු වීඩියෝ පටයෙහි දැක්වේ.

තර්ජනයක් !

"අපි සාකච්ඡා කරන්න ගියේ අධිකරණ විනිසුරන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමක් ගැන. රටේ ජනතාවට සංවේදී නඩුවක් මේකට ඇදලා අරන් අවධානය වෙනතකට දාන්නයි ජනාධිපතිවරයා උත්සහ කරේ. අපිට ඒක තේරුනා. අනෙක විනිසුරුවරුන් අධිකරණයකින්, අධිකරණයකට මාරු වෙලා ගියාම හරි විශ්‍රාම ගියාම හරි ඒක නඩුවකට බලපානවා කියලා තර්ක කරනවා නම් ඇත්‌තෙන්ම ඒක ඒ විෂය ගැන ජනාධිපතිවරයාගේ තියෙන නොදන්නා කම කියලයි අපිට නම් එතනදි තේරුනේ," යි එම ජනාධිපති නීතිඥවරයා තවදුරටත් පැවසීය.

ජනාධිපතිවරයා විසින් නීතිඥ සංගමයේ නියෝජිතයන් ඉදිරියේ කරන ලද ප්‍රකාශය ඉතා සංයමයෙන් සහ අධිකරණ පද්ධතියේ සැබෑ වෙනසක් අරමුණු කොට ගෙන අවංකවම කරන ලද්දක් බවට ඇතැමුන් විසින් කියා සිටියද නීති ප්‍රජාවේ මතය වන්නේ එම ප්‍රකාශයේ යටි පෙලේ විධායක ගර්ජනයක් ගැබ්ව තිබෙන බවයි.  ජනාධිපති නීතිඥවරයා ද කියා සිටියේ අනිවාර්යෙන්ම ‘සියයට සියයක්ම’ එය එසේම බව සාකච්ඡාවට එක්වු  නීතිඥ නියෝජිතයන්ට ද ඒ අවස්ථාවේම  හැඟුනු බවකි.

"සියයට සියයක්ම  ඒක එහෙමම තමයි. ඔහු අවසානයට කියපු කාරණාවල තිබුණේම සියුම් තර්ජනයක්. මට උවමනා දේ මම කොහොම හරි කරනවා කියන අදහස තමයි ජනාධිපතිවරයාගේ කතාවේයි හැසිරීම් රටාවෙයි  තිබුණේ," යි  ජනාධිපති නීතිඥවරයා පැවසීය.

'සීමාව පනින්න එපා' යි  ජනාධිපති නොකියා කියයි

771909707 1639384830891073 3506523905456706585 n
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න ආණ්ඩුවට බලය තියෙනවා, ඒක වෙනස් කිරීම අපේ අයිතියක්,” යැයි BASL සභාපති රජීව් අමරසූරිය සාකච්ඡාවෙන් පසුව මාධ්‍යවේදීන් හා පවසා තිබුණි.

නමුත් නීතිඥවරුන් හා පැවති හමුවේදී ජනාධිපතිවරයා කියා සිටියේ මෙවන් කතාවකි.

"ඒ නිසා මේක අධිකරණ පද්ධතියට මාර විනාශයක් සිද්ධ කෙරෙන, සියළු බිඳ වැටීම් සිද්ධ කෙරෙන මෙයින් පස්සේ අධිකරණය ගැන ජනතාවට තියෙන විශ්වාසය මුළුමනින්ම බිඳ වැටෙන තත්වයක් නිර්මාණය වනවා කියන එක  ටිකක් සීමාවට එහා කරුණු ඉදිරිපත් කිරීමක්. ඒක තමයි සටන්වල තත්වය.මට ඒක තේරුම් ගන්න පුලුවන්. සටනක් කරන කොට ඒ සටන කරන ඇත්ත තර්කනයේ සිට ඒ තර්කනයට ටිකක් උඩින් සටන පිහිටුවන්න ඕනේ. මම ඒක දන්නවා. එතකොට අපිට  හදන්න පුලුවන් විශාල බිය වැද්දීමක්. මෙතැන් සිට  අධිකරණය  ගැන ජනතාවගේ විශ්වාසය පලුදු වේවී මේ ජාතියේ ඒවා මතු වෙන්න පුලුවන්" යනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානයක රට පිළිගත් ඉහළ පෙලේ නීති විශාරදයන් හමුවේ කියා පෑවේ " සටන් කරන්න මමත් දන්නවා,  හරි අපි කරලා බලමු" වැනි සියුම් තර්ජනයක් සහිත සිනහ පිරි මුහුණෙනි.

මෙතරම් විවාද සම්පන්න එමෙන්ම ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් දැඩි අවධානයක් ගෙන තිබෙන අතිශය තීරණාත්මක නෛතික සංශෝධනයක් සම්බන්ධයෙන් ප්‍රධානතම පාර්ශවකරුවන් දෙපිරිසක් අතර වුණු සාකච්ඡාවේ සියළු තතු නිසි පරිදි දැන ගැනීමේ අයිතිය ද පුරවැසියන් සතුව ඇති බව අවිවාදීත බවත් නීති විශාරදයන් විසින් පෙන්වා දෙති.

 යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉදිරිපත් කෙරෙන විනිසුරු වයස් සීමාව ඉහළ දැමීමේ ක්‍රියාවලිය  හුදෙක් පරිපාලනමය හෝ සරල නීතිමය අර්බුදයකට පමණක් හෝ සීමාවන්නක් නොව රටේ පුරවැසියන්ගේ සකල විධ ක්‍රියාකාරකම්වලටම සෘජුවම බලපාන්නා වූ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් යැයි වාමවාදි දේශපාලන ක්‍රියාධරයකු මෙන්ම ශ්‍රී ලංකා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රමුඛයකු වන ජ්‍යෙෂ්ට අධිනීතිඥ ලාල් විජේනායක කියා සිටි.

මුලික මිනිස් අයිතිවාසිකම්වලට සීමා

" මේක අධිකරණයේ ස්වාධීණත්වයට දැඩි පහරක් වදින ක්‍රියාවක්. විනිසුරුවරුන්ගේ වයස් සීමාවන් ඉහළ දැමීමට, ඔවුන්ගේ කටයුතුවලට අත පෙවීමට හරි ඇඟිලි ගැහීමට හරි විධායකය උත්සාහ කළොත් එහෙමත් නැත්නම් අධිකරණ කටයුතුවලට මොන විදිහකින් හරි මැදිහත් වෙන්න විධායකය උත්සහ කළොත් ඒකෙන් අධිකරණයේ ස්වාධීනත්වයට විශාල හානීයක් සිද්ධ වෙනවා" යනුවෙන් අධිනීතිඥ විජේනායක කියා සිටියේ අප හා විඩීයෝ සාකච්ඡාවකට එක් වෙමිනි.

අධි නීතිඥ ලාල් විජේනායක වැඩි දුරටත් පවසා සිටියේ විනිසුරු වයස් සීමාව මෙසේ කඩි මුඩියේ හිතුමනාපයට ඉහළ දැමීමට යාමෙන් විසඳුමක් නොව ප්‍රශ්න ගණනාවක් ඉදිරියේදී මතු විය හැකි බවයි. විශේෂයෙන්ම රටේ මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් නඩුකරවලට මෙය සෘජුවම  බලපෑ හැකි බවට ඔහු අනතුරු අඟවා සිටි.

" මේක සෘජුවම රටේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් නඩු සම්බන්ධයෙන් බලපාන ප්‍රශ්නයක්. යමකුගේ මානව හිමිකම් උල්ලංඝණය වුණාම හරි එසේ වෙයි කියලා හරි හිතෙන කොට ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන පෙත්සමක වග උත්තරකරුවන් වෙන්නේ විධායකය සහ පරිපාලනය  කියලා අපි දන්නවානේ. අධිකරණයට අයිතිය තියෙනවා - ඒ වගේම පුලුවන් - ආණ්ඩුවෙන් වගේම රජයෙන් ප්‍රශ්න කරන්න. අධිකරණයට මේ විදිහට බලපෑම් එල්ල වෙද්දි ඒ ස්වාධීනත්වයට බාධා ඇති වෙන්න පුලුවන්,"  යැයි ආණ්ඩුවේ ප්‍රධානතම පාර්ශවකරු වන ජාතික ජන බල වේගයේ නායකත්ව මණ්ඩයේ සහ විධායක කමිටුවේ සමාජිකයෙකු ද වන හෙතෙම පැවසීය.


අධිකරණ පද්ධතියම අවුලෙන් අවුලට

කෙසේ වෙතත් ලාල් විජේනායක අවධාරණය කරන්නේ විනිසුරු විශ්‍රාම වයස ඉහල දැමීමේ සංශෝධන ක්‍රියාවලියේ වෙනසක් සිදු නොවුණ හොත් ඉදිරියේදි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශව කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පෙත්සම් ඉදිරිපත් කළ හැකි බවකි. නමුත් එය තවත් නෛතික අර්බුදයකට මග පෑදිය හැකි බවටත් ඔහු අනතුරු හඟවා සිටියි.

" අපිට පුලුවන් මේ පනත් කෙටුම් පතට විරුද්ධව අධිකරණයට යන්න. ඒත් මේ පෙත්සම් එහෙම නැත්නම් නඩුකර කවුද විසඳන්නේ? මේ කෙටුම්පතේ සෘජු  පාර්ශවකරුවන් වෙන්නේ ඉහළ අධිකරණවල විනිසුරුවරුන්මයි. එතුමන්ලට ඒක කරන්න බැරි වෙයි මොකද බැඳියාවල් අතර ගැටුමක් එනවා," යි අධි නීතිඥ ලාල් විජේනායක පැහැදිලි කළේය.

කෙසේ නමුත් සමස්ත ව්‍යවස්ථා සංශෝධනයක් කරන බවට පොරොන්දු වී බලයට පත් මාලිමාව මේ මොහොතේ රටට හෝ නීති ක්ෂේත්‍රයට කිසිදු අවශ්‍යතාවයක් නැති, විනිසුරු ප්‍රජාව විසින් හෝ කිසිදු ඉල්ලීමක් නොකරන නීති සංශෝධනයක් රට හමුවේ තබා  කරන්නට හදන අත්තනෝමතික ක්‍රියාව මගින් සමස්ත නීතී සහ අධිකරණ පද්ධතියම  දැඩි අන්තරාකාරි තත්වයකට තල්ලු වී යෑම නොවැළැක්විය හැකි වනු ඇති බවටත් නීති හා ව්‍යවස්ථා විශාරදයෝ අනතුරු අඟවා සිටිති.  

(සටහන | කේ. විජේසිංහ)
නිදහස් ලේඛක 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...