*බහුතරයේ තීරණය සැමවිටම නිවැරදි නොවේ
'ව්‍යවස්ථාවට පටහැනි නිසා විනිසුරු විශ්‍රාම වයස දීර්ග කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයයි'
-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි
ජනමත විචාරණයකින් ඒ ගැන ඇසිය යුත්තේ මොනවද?
සජිත් ප්‍රේමදාස කියූ පරිදි විනිසුරු විශ්‍රාම වයස දීර්ග කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිද නැද්ද කියලද ඇසිය යුත්තේ? නැතිනම් විනිසුරු විශ්‍රාම වයස දීර්ග කරන්නද, එපාද, කියලද? මට හිතෙන්නේ ජනතාවට කිව යුත්තේ විනිසුරු විශ්‍රාම වයස දීර්ග කිරීම ව්‍යවස්ථානුකූලද නැද්ද කියා තීන්දු කරන්නට නෙවෙයි. විනිසුරු විශ්‍රාම වයස දීර්ග කළ යුතුද, නැද්ද කියා තීන්දු කරන්නයි.

ජනමත විචාරණයකින් ලැබෙන්නේ වයස් සීමා සංශෝධනයේ හරි වැරැද්ද සම්බන්ධ උත්තරයක් නෙවෙයි. ජනමත විචාරණයකින් ලැබෙන්නේ ඊට ඇති ඔවුන්ගේ කැමැත්ත අකමැත්ත පිළිබඳව වන බෙදීමේ වෙනසයි. බහුතරය විරුද්ධයි කියන එක. නැතිනම් බහුතරය එකඟයි කියන එක. ඒකටත් බොහෝ විට බලපාන්නේ ආණ්ඩුව ගැන ඇති කලකිරීම. විශ්වාස භංගත්වය. විරෝධය. ඒ අනුව, අද ලැබෙන උත්තරය තව හය මාසයකින් වෙනස් වෙයි.
ජනමත විචාරණයකින් අවසානයේ ලැබෙන්නේ ඊට යොමු කෙරෙන විෂයට අදාල නොවන, බාහිර හේතු සාධකද අමුණා ගෙන තීන්දු කෙරෙන “කැමැත්ත - අකමැත්ත” පිළිබඳ බෙදීමක ඡන්ද ප්‍රමාණ පමණයි. මේ කතාවත් අවධාරණය කළ යුතුයි. “බහුතරය”ගෙන් ලැබෙන “කැමැත්ත - අකමැත්ත” කියන උත්තරය අනිවාර්යෙන් “නිවැරදි” උත්තරයක් නෙවෙයි. අපේ රටේ බහුතර තීන්දු හැම විටම වැරදි තීන්දු. මාස ගණනාවකට පස්සෙ “මොනවා කරන්නද? අපිත් රැවටුනා” යැයි කියන උගත් නාගරික මැදපංතියද හවුල්වන ජනමත විචාරණයකදී උත්තර ලබා ගන්න, මහජන මුදල් කෝටි ගණනක් වැය කරන්නේ මොනවටද?

(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2026 අගෝස්තු 19 වන දින




